
ලංකා ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස 1986 - 1989 ජවිපෙ දෙවැනි කැරැල්ල සැලකේ. එහි ආරම්භය, විකාශය හා අවසානය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් වසර ගණනාවක් පුරා කරන ලද ගවේෂණාත්මක වාර්තාකරණයක ප්‍රතිඵලයක් ලෙස “ජවිපෙ දෙවැනි කැරැල්ල” ග්‍රන්ථය ප්‍රකාශයට පත්විය. එහි දෙවැනි කාණ්ඩය ලෙස “සටනින් සටන” ග්‍රන්ථය අප්‍රේල් 29 වැනිදා (හෙට) සවස 3.00 ට කොළඹ 5, තුංමුල්ල මංසන්ධිය අසළ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදි එළිදැක්වීම සිදු වේ.
පිටු 1024 කින් සමන්විත මේ කෘතියට දුර්ලභ ඡායාරූප 1347 ක් ඇතුළත්ය. මෙම ග්‍රන්ථය සුවිශේෂ වන්නේ මාධ්‍යවේදියකු ලෙස ඒ සිද්ධීන් සියැසින් දුටු, ඇසූ හා වාර්තා කළ මාධ්‍යවේදියකු ද වන බැවිනි. ජවිපෙ දෙවැනි කැරැල්ලට දීර්ඝ කාලයක් තිස්සේ විශාල පරිශ්‍රමයකින් රැස් කළ දුර්ලභ දත්ත සහ තොරතුරු මේ කෘතියට ඇතුළත් ය.
අසූවේ දශකයට යළි පාඨක මනස යොමුකරන මේ කෘතිය 60,000ක් ඝාතනයට ලක්වූ ජවිපෙ දෙවැනි කැරැල්ල පිළිබඳ වඩා නිවැරදි හා නිරවුල් කියැවීමකට ද මං පෙත් විවර කරනු ඇත. ලාංකේය දේශපාලනයේ පමණක් නොව ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාවේ ද නව සම්ප්‍රාප්තියක් සලකුණු කරන ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ හදාරන හා උනන්දුවක් දක්වන අය පමණක් නොව සාමාන්‍ය පාඨකයා ද කියැවිය යුතු අගනා කෘතියක් වන “සටනින් සටන” පිළිබඳ එහි කතුවරයා සමඟ සිදු කළ සංවාදයකි.
71 කැරැල්ල ගැන කෘති, වාර්තා ආදිය සෑහෙන සංඛ්‍යාවක් සැපයී තිබුණත් ඊට වඩා විශාල ජීවිත හා දේපළ හානියක් සිදුවූ 87 - 89’ ජවිපෙ දෙවැනි කැරැල්ල ගැන විශ්වසනීය වාර්තා කිරීම් විරලයි. එවැනි පසුබිමක ඔබ “ජවිපෙ දෙවැනි කැරැල්ල” කෘතියේ දෙවැනි කාණ්ඩය ලෙස “සටනින් සටන” එළි දක්වනවා. ඔබ මෙවැනි කාර්යයකට යොමු වුණේ ඇයි?
71’ කැරැල්ලට අදාළ ව මහ නඩුව සහ පරීක්ෂණ කොමිෂන් සභා 140ක් විතර තිබුණා. 71’ ගැන පොත් දුසිම් 2ක් විතර ලියැවිලා තියෙනවා. 71’ දී කළේ ඒ ගැන සාක්ෂි විමසලා, විභාග කරලා දඬුවම් කිරීම. 89’ දී වුණේ නායකයාගේ සිට පහළම සාමාජිකයා දක්වා මරා දැමීම. 87’ - 89’ ජවිපෙ දෙවැනි කැරැල්ල ගැන සත්‍ය කතාව මේ කෘති දෙකේ අපි ලියල තියෙනවා. මේ සත්‍ය කතාව කියල මේ දත්ත ගැන අදටත් ජවිපෙ වගේ ම වාමාංශික දේශපාලන පක්ෂවල අය පුදුමාකාර විදිහට උනන්දුයි. ඒ; මේවා සොයා ගත්තේ කොහොමද කියන කාරණය ගැන.
71’ වගේම 89’ ගැනත් ඉදිරිපත්වෙලා තියෙන බොහෝ කෘති නිර්මාණ ඒ ඒ දෘෂ්ටිකෝණ වලින් බලා කළ ඒවා බව පෙනෙනවා. එක්කෝ ජවිපෙට පක්ෂ ව නැතිනම් ජවිපෙ කෙරෙහි වෛර සහගත ව. මේ කෘති වලදි ඔබ ඊට වෙනස් මඟක් ගන්නවා නේද?
ඔව්. ඒ ඒ දෘෂ්ටිකෝණවලින් බලලා කළ දේවල්. එක්කෝ විජේවීරට පක්ෂව ලියලා නැත්නම් විරුද්ධ ව ලියලා. 71’ කැරැල්ල ගැන දුසිම් 2 කට වැඩි කෘති අතරට අප්‍රේල් 5 වැනිදාත් පොතක් එකතු වුණා. මගේ අදහස නම්, 71’ ගැන මධ්‍යස්ථ ව බලලා ලිව්වේ විනිසුරු අලස් පමණයි.
89’ ගත්තොත් කවුරුන් හෝ මේක මහජන වේදිකාවට රැගෙන ආ යුතු වුණා. දැන් අපි ඒක කරල තියෙනවා.
කවුරු හරි මේ කාරණාවලට අභියෝග කරනවා නම්, හරි දේ මේකයි කියල අපට පෙන්වා දෙන්න ඕන. ඒක අපට කරන උපකාරයක්. රෝහණ විජේවීර, “අප මරා දැමුවද අප නඟන හඬ සදා නොමියෙනු ඇත” කියල කෘතියක් ලියනවා.
ඒකෙ ඔහු සඳහන් කරනවා 1971 මාර්තු 13 වැනිදා අත්අඩංගුවට ගනිද්දි තමන් සමඟ සිටි අම්පාර ප්‍රේමරත්න අල්ලාගෙන ඝාතනය කළා කියලා. හැබැයි ප්‍රේමරත්න අදටත් වෙනත් නමකින් ජීවත් වෙනවා.
අවුරුද්දකට පෙර මම ඔහුව හමු වුණා. එතකොට ඒ සඳහන නිවැරදි නෑ. ඒක ඒ දවස්වල හැටියට ප්‍රශ්නයක් නොවුණත් විජේවීරගෙ මේ කෘතියෙ 5 වැනි මුද්‍රණය 2015 දී එළිදැක්වෙද්දිවත් මෙවැනි කාරණා සංශෝධනය වෙලා නෑ. ජවිපෙට හුඟක් වෙලාවට තියෙන්නෙ තමන්ගේ වැඩකටයුතු ගැන අතිශයෝක්තියෙන් වර්ණනා කිරීම් සහ මවා පෑම්.
හැටදහසක් පමණ මියගිය ජවිපෙ දෙවැනි කැරැල්ල ගැන ජවිපෙ පක්ෂ ඉතිහාසය ගැන 1965 - 1994 ට අදාළව නිකුත් කළ කෘතියේ තියෙන්නෙ පිටු 48 යි. ඒ පිළිබඳ ගොඩක් දේවල් ලියැවිලා නෑ.
1818 කැරැල්ල ගැන අපි දැනගන්නෙ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්දගෙ කෘතියෙන්. ඒකෙන් මේ ගැන ලෝකයට අනාවරණය වුණා. එතෙක් ලෝකය දැනගෙන සිටියෙ සුද්දො ලියපු දේවල්. තෙන්නකෝන් විමලානන්ද ශූරීන්ගේ කෘතිය නිසා 1818 කැරැල්ල ගැන දැන සිටි දේවල් උඩු - යටිකුරු වුණා.
ඒ වගේ, 1818 කැරැල්ලට පසු මේ විදිහට ජවිපෙ දෙවැනි කැරැල්ලට අදාළව තිත්ත ඇත්ත ගැන කතා කළ ගවේෂණාත්මක කෘතිය, මේ කෘතියයි.
මේ කෘතියේ සඳහන් කරණාවලට අවශ්‍ය නම් කාට හෝ අභියෝග කළ හැකිද?
ඒකයි මම කියන්නෙ, වැරැදි තියෙනවා නම් කතා කරන්න. මීට සම්බන්ධ ඇතැම් චරිත තවම ඉන්නවා. ඔවුන්ගේ දෙමවුපියො, නෑදෑයො, මිත්‍රයො ඉන්නවා. මේ ඕනෑම කෙනෙක් එක්ක මම සංවාදයට කැමැතියි.
මගේ පළමු කෘතිය නිකුත් වෙලා අවුරුදු දෙකහමාරක් ගතවුණා. කිසිම කෙනෙක් ඒ ගැන මමත් එක්ක සංවාදයකට ආවේ නෑ. ඒ ගැන විවිධ ස්ථානවල සංවාද 17 කට ගියා.
ඒ කිසිම කෙනෙක් ඒ තැන්වලදි පොදු ප්‍රශ්න ඇසුවත් මගේ කෘතියේ ඇතුළත් කාරණා ගැන ප්‍රශ්න මතු කළේ නෑ. අපි කියන්නෙ, මේවා සති අග ජාතික පුවත්පත්වල පළ වුණා.
හැබැයි, මෙන්න මේ කාරණය වැරැදියි කියලා ඒ කතුවරුන්ට අවම වශයෙන් දුරකථන ඇමතුමක්වත් ලැබිලා නෑ. ප්‍රකාශන අයිතිය යටතේ. කවුරු හරි පිළිතුරක් නැත්නම් ප්‍රතිචාරයක් එව්වොත් ඒකටත් ඉඩක් දිය යුතුයි. ඒත් එවැනි කිසිම දෙයක් වුණේ නෑ.
ජවිපෙ දෙවැනි කැරැල්ල යද්දි මට අවුරුදු 24 යි. අපේ තරුණ කාලය ගෙවුණේ ඒත් එක්ක.
මේ ගැන ලියන්නෙ නෑ කියල මං අවුරුදු ගණනාවක් සිතාගෙන සිටියා. හැබැයි මේ ගැන ගජබින්නාලංකාරය වගේ දේවල් ප්‍රචලිත වුණා. අපිට ඒ ගැන තරහක් නෑ.
ඒත්, දන්න අපි ඇයි මේ ගැන ලියන්නෙ නැත්තේ කියන ප්‍රශ්නය අපි අපෙන් ම ඇහුවා. ඒකට පිළිතුරක් හැටියට ඒ වගකීම අපි බාර ගත්තා. මං මේ ගැන ලියන්න පටන් ගත්තෙ 2013 දී. ජාතික පුවත්පත් 4ක මේ ලිපි පළ වුණා, ඒ සති අග ලිපි පෙළක් හැටියට. එදා සිට මේ වනතුරුත් කිසිම කෙනෙක් මේ ගැන තර්ක කරලා අභියෝග කරලා නෑ. හේතුව මගේ දත්ත 100%ක් ම හරි නොවුණත් 95%ක් ම හරි. ඉතිරි 5% ගැන දන්නේ ශක්‍රයාගේ පුතා වයිමා විතරයි.
“සටනින් සටන”, මේ දෙවැනි කෘතිය පාඨක ප්‍රජාව අත තබමින් මම විවෘත අභියෝගයක් කරනවා. ලංකාවේ ඕනෑ ම තැනක මම සංවාදයට කැමැතියි, පක්ෂ දේශපාලනය ගැන නෙවෙයි කෘතියෙන් මතුවූ කරුණු ගැන සාකච්ඡා කරන්න.
මේ අන්දමට ඉතිහාසය වාර්තා කර තැබීම අනාගතයට වැදගත් වගේ ම ඉතිහාසයට සාධාරණය ඉටුකිරීමක් හැටියටත් සැලකිය හැකිද?
ඇත්ත, මොකද ඉතිහාසය දැනගත යුතු නම් ඉතිහාසය කියවන්න ඕන. කියවන්න නම් ලියන්න ඕන. මේ තමයි ඇත්ත කතාව, ඉතිහාසය ලියන්න ඕන කවුද කියලත් තීරණය කරන්න ඕන. ඉතිහාසය ගැන පක්ෂපාතී ව ලියා ඇත්නම් ඒක ප්‍රශ්න සහිතයි.
ජවිපෙ තමන්ගෙ ඉතිහාසය ගැන ලියද්දි වුණත් මේ ගැන ලියන්නේ පිටු 48 ක් විතර. එය ලිවීම ඔවුන්ට අපහසු විය හැකියි. ඒත් දැන් ඔවුන්ට ලියන්න පුළුවන් මගේ ග්‍රන්ථයෙන් මතුවන වැරැදි සහ සත්‍ය මෙන්න මේකයි ලියන්න. එතකොට තමයි මේ රටේ ඝාතනය වුණු හැටදහසක තරුණ පරපුරට සාධාරණය ඉටු වෙන්නෙ.
ඉතිහාස සිදුවීම් වාර්තා කිරීම ඉතිහාසඥයන්ගේ කාර්යයක් වුණත් ඔබ මාධ්‍යවේදියෙක් හැටියට ඒ කාර්යය ඉටු කරනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?
සමහරු කියනවා, මේක පර්යේෂණයක් කියලා. නමුත් මම එහෙම සලකන්නෙ නෑ. මොකද, පර්යේෂණයක් නම් ඒ සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙනවා.
නමුත් මෙය එවැන්නක් නෙවෙයි. මම කළේ ගවේෂණාත්මක මාධ්‍ය භාවිතයට අදාළ කාර්යයක්. හැබැයි, ඒ සමඟ ම කියන්න ඕන මේ මඟින් ලංකා ඉතිහාසයේ අවුරුදු 30ක් තුළ කිසිවකු නොඇසූ, නොකියූ දෙයක් අපි සාකච්ඡා කරනවා.
මේ වෙනුවෙන් මට ලක්ෂ 19කට ආසන්න මුදලක් වැය කිරීමට සිදු වුණා. විශාල පරිශ්‍රමයක් යෙදුවා. කාලය, ශ්‍රමය වැය කළා.
මම හිතනවා ඒකෙ ප්‍රතිඵල මගේ පළමු ග්‍රන්ථය ජනතාව පිළිගැනීමෙන් තියෙනවා කියලා. පළමු ග්‍රන්ථයේ පිටපත් 12000 ක් පමණ පාඨකයා අතට පත්වුණා.
මේ, දෙවැනි ග්‍රන්ථය “සටනින් සටන” ඊට වඩා පෙරළියක් කරයි කියලා මම සිතනවා. මේ ග්‍රන්ථය මම ලියන්නෙ කාටවත් අභියෝග කරන්න නෙවෙයි; සත්‍ය එලෙසින් ම ඉදිරිපත් කිරීමටයි.
මේ කෘතියේ සත්‍ය පමණක් ම ඇතුළත් බවට ඔබ සහතික වනවාද?
මම ඉහළින් ම සහතික වෙනවා. මේකෙ තියෙන්නෙ සත්‍ය පමණයි. මේකෙ ඕපා දූප නෑ. මේ චරිතවලට අදාළ ඇත්ත නම, පක්ෂය ලබාදුන් නම, උප්පැන්න සහතිකවල දත්ත පවා මේ කෘතියට ඇතුළත්. 71’ දී පවා ඒ විදිහට වාර්තා වෙන්නෙ ඉතාමත් අඩුවෙන්.
ඒ ගෙවල් 2000 කට ආසන්න සංඛ්‍යාවකට මම ගියා. මේක අද ඊයේ පරිශ්‍රමයක් නෙවෙයි. අවුරුදු 15ක් තිස්සේ කළ වාර්තාකරණයක ප්‍රතිඵලයක්. මම ඒ සියල්ල ලියල තියෙනවා. මං හිතනවා මගේ පාඨකයො මේ කෘතිය වැලැඳ ගනීවි කියලා.
ඒ පාඨකයො මේ රටේ සති අග ප්‍රධාන පුවත්පත් කියවන අය. ඔවුන් මේකෙ ඇතුළත් කාරණා වැරැදියි කියල මට කිසිවිටෙක කියා නෑ.
ඇතැම් දේශපාලන කණ්ඩායම් හා කල්ලි මේකට විරුද්ධ වන බව නම් මම දන්නවා. මොකද ජීවමාන සත්‍ය අනාවරණය කිරීමට ඔවුන් මැළිකමක් දක්වන නිසා.
හේතුව ඔවුන් තමන්ගේ සාමාජිකත්වය මත තමන් පිළිබඳ විශාල අධිතක්සේරුවක් ආරෝපණය කර තිබීම.
ඒ නිසා ඇත්ත හෙළිදරව් වීම ගැන ඔවුන් අකමැතියි. මේක ඔවුනට අභියෝගයක් වීම මට අදාළ නෑ. මම ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් හැටියට මගේ යුතුකම ඉටු කළා.