මේ පාළු ගේ අස්සෙ මොනව බලන්නද? දැන් ආපහු යං... | Page 2 | සිළුමිණ

මේ පාළු ගේ අස්සෙ මොනව බලන්නද? දැන් ආපහු යං...

බ්‍රයන් හා අමාලි ඒ කුඩා ජන කණ්ඩා­ය­මට මැදිව සිටි­යද තැති ගැන්ම­කින් පීඩා නොවි­න්දේය. එහෙත් දුර­ක­ථන ඇම­තු­මක් ලබා ගන්නට ඉඩක් නොමැ­ති­වීම බල­වත් ගැට­ලු­වක් විය. ආයු පිරිහී ගිය කුඩා සත්ත්ව­යන් දෙප­ළක් පරි­ද්දෙන් ඔවුන්ගේ ඒ හුරු­බු­හුටි උප­ක­රණ යුග­ලය මරණ මංච­කයේ වැද හුන් සෙයකි. සාර සුබා­වට දැල්වෙන ගිනි­මැ­ලය එකී ජංගම දුර­ක­තන හෙළා දකි­මින් සර­දම් සිනා පාන කලෙක මෙන් වඩ ව‍ඩා ප්‍රචණ්ඩ වෙයි.

මිතු­රාගේ සෝප­හාස ස්වර­යෙන් ඇගේ සිත නොරි­දිණ. ඇය අඩ අඳුරු ගෙට ඇතුළු වන්නට පෙරුම් පිරුවා ය. කිසි­වකු වාසය කරන බවක් කිසි­සේත් අනු­මාන කළ නොහැකි ගෙය­කට වදි­න්නට ඇය මඳක් පැකි­ළු­ණාය.

“ඇයි මං බය­වෙන්නෙ...?

මේ අපේ අත්ත­ම්මගෙ ගෙදර...” යි කොඳු­ර­මින් ඒ නුහුරු බිය පලවා හරි­න්නට වෑයම් කළා ය.

“විකාර නැතිව අපි ආපසු යං අමා...”

බ්‍රයන් යතුරු පැදිය මත හිඳ­ග­නි­මින් හඬ නැඟු­වේය. හැකි­තාක් කඩි­න­මින් පිටව යාමට ඔහු උත්සුක වන්නේ මවට ඇම­තු­මක් ලබා දෙන්නට දැරූ ප්‍රය­ත්නය ව්‍යර්ථ වීම හේතු කොට­ගෙන පම­ණක් නොවේ. මේ නිහැ­ඬි­යාව ද මිනිස් පුළු­ටක් හෝ දක්නට නොලැ­බීම ද ඔහු තුළ බිය­මුසු හැඟීම් දන­වන බැවිනි.

“කෝල් එකක් ගන්න විදි­ය­කුත් නෑ... සිග්නල් නෑ... ෂික්” ඔහු සිය නොම­නා­පය නො සඟවා පළ කළේ ය.

නිහ­ඬ­වම ගෙතු­ළට යාම නොමැ­න­වැයි හැඟී ගියෙන් ඇය ‘අම්මා’ යි හඬ නැඟු­වාය... පාළු ගෙය ක්‍රෑර නිහ­ඬ­තා­ව­ය­කින් ඇගේ ආම­න්ත්‍ර­ණය ඒ ආද­ර­ණීය ආම­න්ත්‍ර­ණය ගිල ගත්තේ ය.

“අම්මා...”

අඩ අඳු­රට පුරුදුව­න්නට මෙන් ඇය ඒ ගෘහ භාණ්ඩ කිසිත් නොමැති පුළුල් සාලය මධ්‍යයේ හිට­ගෙන හිටියා ය. අම්මා සමඟ පැමිණි විට නිදා­ගත් කාම­රය වසා තිබිණ.

“එනව යන්ඩ... මේ පාළු ගෙවල් අස්සෙ මොක්කු ඉන්න­වද දන්නෑ...”

මිතු­රිය හඹා ආ තරු­ණයා කෝප­යෙන් අඬ ගැසුවේ ය.

“අපි තව චුට්ටක් බලමු බ්‍රයන්...” යි ඇය ආයා­චනා කළේ බිඳුණු හඬිනි.

“තව මොනාද බලන්නෙ? මේක පාළු ගෙයක්.‍‍.. කිසි කෙනෙක් නෑ ‍මෙතන... දැං ඉතිං අපි ආපසු යං...”

ඔහු ඇගේ අතින් ඇද්දේ ය. ඇය ඔහුට අව­නත වූයේ ඒ හැටි කැමැ­ත්ත­කින් නොවේ. වසා තිබූ කාම­රය විවර කර බැලීමේ හදිසි හා බල­වත් උව­ම­නාව යට­පත් කර ගනි­මින් ඇය මිදු­ලට බැස්සා ය.

“හොඳ­ටම රෑ වෙයි ආපසු යද්දී... මට නම් අවු­ලක් නෑ අමා... ඔයා මොනාද කියන්නේ? යි ඔහු යතු­රු­පැ­දි­යට නඟි­මින් ඇසුවේ ය. ඇය බිහිරි වූවක මෙන් ඔහේ බලා සිටියා පමණි.

තමාගේ මව දැරි­යක ලෙස දුව පැන නැටූ ගෙමි­දුල මධ්‍යයේ ඇය අස­ර­ණව අනා­ථව ගිය සෙයකි. චණ්ඩ රැලි රළ නඟන මහ සමු­දු­රක කුඩා ඔරු­වක් මෙන් ඇය හුදෙ­ක­ලාව මෙන් ම දුර්ව­ලව නිය විකු­වාය.

“මේ ළමයා මේ සැටි නි‍යපොතු කන්නෙ මොකද චම්පා? යි අත්තම්මා කී වරක් අසා ඇත්දැයි සිහි කර­න්නට ඇය වෑයම් කළා ය.

චම්පා සිය දිය­ණිය වෙත හෙළන්නේ අති­ශ­යින් මෘදු මොළොක් බැල්මකි.‍ අත්තම්මා මෙන් රළු පරළු නොවන බව අමාලි දනියි. දැරිය ගමේ එන්නට ප්‍රිය කළේ අත්තා නිසා මිස අත්තම්මා ‍නිසා නොවේ. මිනි­බි­රිය ඇකයේ හිඳු­වා‍ ­ග­නි­මින් කත­න්දර කීවේ ද වළං ගෙදර හා කිරි ගෙදර කැටිව ගියේ ද ඔහු විසිනි.

“අපේ අත්තම්මා හරි සැරයි. ඒ වුණාට අත්තා එහෙම නෑ... අත්තා හරි හොඳයි. මාව නරක් කර­නවා කියලා අත්තම්මා නිත­රම අත්තට බණි­නවා. අත්තා හිනා වෙලා මේ පොඩි දැරිවි හුර­තල් කර­න්‍ ­නැ­තුව ඒ නාකි ගෑනි හුර­තල් කර­න්නද මට කියන්නෙ කියලා අහන්නෙ අත්ත­ම්මට නෑහෙන්න. අපි දෙන්නම හයි­යෙන් හිනා වෙද්දී අත්තම්මා රවලා බල­නවා. අත්තා හරි ආසයි අත්තම්මා රව­නවා බලන්න. කොහොම හරි අත්ත­ම්මව තරහ ගස්සන වැඩ දෙක තුනක් කරන්න අත්තා අම­තක කරන්නෑ...”

අමාලි මිදුල කොනේ කොහොඹ ගස මත රැදුණු දෙනෙ­තින් අතී­තය ආව­ර්ජ­නය කළාය. පහ­සු­වෙන් හැඟී­ම්බර නොවන යුව­තිය දෙස බ්‍රයන් බලා සිටියේ විස්‍ම­යෙනි. මේ ගරා වැටුණු ගෙය හා අසෝ­බන ගෙමි­දුල ඇගේ ළමා විය සමඟ බැඳී ඇතැයි ඔහු කිසි­සේත් නොසි­තුවේ ය.

“චම්පා ආන්ටිගෙ සහෝ­දර සහෝ­ද­රියෝ නැද්ද මේ කිට්ටුව...? යි ‍ඔහු ඇසුවේ සෝබර කෙල්ලක ඉව­සිය නුහුණු බැවිනි. ගහ මරා­ග­න්නට සැර­සෙන එකිය මේ ඉව­සීම පහසු ය. ආශ්වා­ද­ජ­න­කය.

“අම්මා එකම දරු­වනෙ... අත්තා හැම තිස්සෙම කිව්වෙ අත්තම්මා සැර හින්දා කරු­ම­ක්කා­රයා පැනලා දුව­නවා කියලා....”

ඔහු දෙනෙත හකුළා ගත්තේ ය.

“මට තේරුණේ නෑ ඒ කතාව?”

ඇය දුක්බර මද­හ­සක් පෑවාය.

“නෑ ඉතිං... ගම්වල කට්ටිය කියන්නෙ ළම­යෙක් ඉප­දෙන එක සංසාරේ දිග් ගැහෙන කරු­ම­ක්කාර වැඩක් කිය­ලනේ.”

ඔහු හිස සැලුවේ ඇගේ පැහැ­දිලි කිරීම ප්‍රමා­ණ­වත් වූ නිසා නොවේ. මිත්‍ර­ත්වය හා ළෙන්ග­තු­කම පළ කිරීමේ මඟක් ලෙසිනි.

“අපි යමු නේද අමා...”

තවත් ඉතිං මෙතන ඉන්න එකේ තේරු­මක් නෑනේ...”

අතී­තයේ සක්මන් කිරීම නවතා තමා වර්ත­මා­න­යට පා තැබිය යුතු බව පමා වී හෝ වට­හා­ගත් අමාලි වහ වහා ඇසි­පිය සැලුවා ය.

“නඟින්න... නඟින්න... සෑහෙන දුරක් යන්නත් තියෙ­න­වනේ...”

ඇය යතුරු පැදි­යට නඟි­න්නට තැත් කළා ය. එකෙ­ණෙහි හාත්පස නිශ්ච­ල­තා­වය බිඳ දැමූ හඬක් කන වැකු­ණේත් තිගැ­ස්සුණා ය.

“අමා...” යි බ්‍රයන් හඬ ගෑවේ ඇය වත්ත පහ­ළට දිව ගිය බැවිනි. එහෙත් ඔහු ගේ උච්ච ස්වරය ඇගේ දෙපස බැඳි රැහැ­නක් වූයේ නැත.

“ෂික්... මොන මඟු­ලක් ද මංදා...” යි කොඳු­ර­මින් ඔහු ඇය ලුහු බැන්දේ ය.

වත්ත පහළ කොස් ගස යට නුපු­රුදු ඇඳි­රිය වෙනු­වට ඇය දුටුවේ නුහුරු ආලෝ­ක­යකි. මානා­ගොල්ල අතු­රු­ද­හන් ය. ඉදි කොට වැඩි දව­සක් ගත නොවූ බව පෙනෙන කූඩා­රම අබි­යස දුව පනින කොලු කෙළි රොත්ත මත ඇගේ විස්මිත දෙන­යන නැව­තිණ.

“එන්ඩ නෝනා... එන්ඩ මාතියා...”

තරුණ යුවළ සාද­ර­යෙන් පිළි­ගත් ස්ත්‍රිය මුව පුරා හිනැ­හු­ණාය. නිතර බුලත් විට සැපී­මෙන් රත් පැහැ ගැන්වුණු දෙතො­ලත් වර්ණ­වත් සාරි­යත් ගෙල පසු­ප­සින් උස්කොට බඳින ලද කෙස් වැටි­යත් ඇගේ අන­න්‍ය­තා­වය මොන­වට පෙන්නුම් කළේ ය.

“සාත්තරේ අහ­මුද නෝනා...”

බ්‍රයන් සිය මිතු­රි­යගේ අත තරයේ අල්ලා ගත්තේ ය. ඉක්බිති ඔහු ආපසු හැරුණේ ඇය ද ඇද­ගෙ­නය.

“දැන්වත් යං අමා... මහ පිස්සු ගම­නක් මේ ආවෙ...” යි ඔහු දෝෂා­රෝ­ප­ණය කළේ ඇය නැව­තත් ඒ ජරා ජීර්ණ නිවෙස තුළට දිව යන අයුරු ඉව­සිය නුහුණු බැවිනි.

ආපසු යෑමට පෙර කාම­රය විවර කර බල­න්නට උප­දනා නොතිත් ආශා­වෙන් මෙහෙ­ය­වුණු යුව­තිය එක එල්ලේ ඒ වෙත දිව ගියා ය.

දෙකන රිද­වන හඬක් නංව­මින් දොර විවර විය. වසන ලද ජනේ­ලය හේතු කොට­ගෙන කාම­රය අඳු­රින් වෙළී තිබිණ. ඒ අන්ධ­කා­ර­යට පය තබ­මින් ඇය ‘අම්මා’ යි හඬ ගෑවාය. එකෙ­නෙහි ඒ අන්ධ­කා­රය තුළින් ම කිසි­වකු ඇය වෙත කඩා පැන්නේ ය.

* * * * *

නිල් මැණික් එබ්බ වූ පල­සක් සේ බබ­ළන අහස යට ඇය තව­දු­ර­ටත් කෙළි­ලොල් කෙල්ලක නොවූ­වාය. ඔහු විටින් විට ඇය දෙස බැලුවේ ද ඒ නුහුරු වෙන­සින් කැල­ඹෙ­මිනි.

“ඔයාට කොහො­මද අමා?”

සිංහල හා දෙමළ, තෙළිඟු වදන් අත­රට ඔහුගේ ඉංග්‍රීසි වැකි­යද එක් විය.

බ්‍රයන් හා අමාලි ඒ කුඩා ජන කණ්ඩා­ය­මට මැදිව සිටි­යද තැති ගැන්ම­කින් පීඩා නොවි­න්දේය. එහෙත් දුර­ක­ථන ඇම­තු­මක් ලබා ගන්නට ඉඩක් නොමැ­ති­වීම බල­වත් ගැට­ලු­වක් විය. ආයු පිරිහී ගිය කුඩා සත්ත්ව­යන් දෙප­ළක් පරි­ද්දෙන් ඔවුන්ගේ ඒ හුරු­බු­හුටි උප­ක­රණ යුග­ලය මරණ මංච­කයේ වැද හුන් සෙයකි. සාර සුබා­වට දැල්වෙන ගිනි­මැ­ලය එකී ජංගම දුර­ක­තන හෙළා දකි­මින් සර­දම් සිනා පාන කලෙක මෙන් වඩ ව‍ඩා ප්‍රචණ්ඩ වෙයි. එහෙ­යින් තරු කැල්මක චම­ත්කා­රය හිතට ගියේය.

“තුවාලෙ රිදෙ­න­වද?” යි බ්‍රයන් පහත් හඬින් ඇස‍ු­වේය. ඇය හිස දෙප­සට සැලුවා විනා කිසි­වක් නොපැ­ව­සු­වාය.

“එක්කො අපි යං අමා... මෙහෙම ඉන්න එකේ තේරු­මක් තියෙ­න­වද..? මට නම් ගාණක් නෑ... මං කොල්ලෙක්. මමා­ටයි ඩැඩා­ටයි මොනා හරි කියන්න පුළු­වන්. ඒත් ඔයා ඔයා මොනාද තාත්ත­ටයි නැන්ද­ටයි කියන්නෙ?”

සිහි­ලැල් සුළ‍ඟේ පාව ගියා මිසක ඒ වචන ඇගේ දෙකනේ නොගැ­ටිණ. ඇගේ ඇස් යළි යළි දුටුවේ පැය කීප­ය­කට පෙර මුහුණ දුන් ඒ භයං­කර අත්දැ­කීම විනා අනෙ­කක් නොවේ. නිබඳ ඇගේ සිත අරක් ගත් අම්මාගේ රුව පවා බොඳව ගිය සෙයකි.

ඒ අන්ධ­කා­ර­යෙන් කඩා පැන්න සත්ත්ව­යාගේ ප්‍රහා­ර­යෙන් තැති ගත් යුව­තිය විලාප නැඟු­වාය. තමා නිර්භීත එකි­යක බව කව­දත් ඇදහූ අමාලි යටි ගිරි­යෙන් කෑ ගැසූ කල අන්ද­මන්ද වූයේ බ්‍රයන් පමණි. ගං ගොඩේ පාරක් පාරක් පාසා බඩ රස්සාවේ ඇවිද ගිය අහි­ගු­ණ්ඨි­ක­යන් හැරුණු කොට වත්ත පහළ කූඩා­රම තුළ එක ගොඩේ නළි­යන ‍කොලු කෙළි කැලත දිව ආහ.

“අමා.. අමා...” යි බෙරි­හන් දෙමින් දිව යන බ්‍රයන්ගේ ඇ‍ඟේ හැපෙ­මින් ගෙට පැන්නේ නිරු­වත් උඩු­ක­යෙන් යුත් තරු­ණ­යෙකි.

“වේල.... වේල...”

අමා­ලිගේ දෑත සූරා දම­මින් සපා කන්නට තැත් කළ ‍රිලවා මෙල්ල කර­න්නට ඒ උච්ච ස්වරය සමත් විය.

වේළු සැණින් සිය හාම්පු­තාගේ උර­හිස මත නැංගේය.

භීති­යෙන් ද වේද­නා­වෙන් ද සැලෙ­මින් අමාලි ඒ නාඳු­නන තරු­ණයා බදා ගත්තාය. පළ­මුව තෙළිඟු බසින් කිසි­වක් විමසූ ඔහු දෙව­නුව “බය­වෙ­න්ඩෙපා... බය­වෙ­න්ඩෙපා... මේ වේළු...” යි පැහැ­දි­ලිව සිංහ­ලෙන් කතා කළේය. ඇය වත්තන් කර ගනි­මින් ගෙපිල වෙත කැටිව ආවේය.

“අමා...”

ලේ ගලන තුවා­ල­යක් සහිත යෙහෙ­ළිය දකිත් ම බය­බීත වූ බ්‍රයන් මහ හඬින් කෑගෑ­වේය.

“නෑ නෑ හපල නෑ... හූරලා විත­රයි.”

අහි­ගු­ණ්ඨික තරු­ණයා ඔහුගේ කැල­ඹීම දකි­මින් මඳ සිනා­වක් පෑවේය.

“එහෙනං මේ ලේ එන්නේ...?”

“බෙහෙත් ටිකක් දාමු...”

වළ­ල්ලක් මෙන් වට කර­ගත් කොලු කෙල්ලන් අත­රින් එකෙ­කුට ඔහු කතා ක‍ෙළ්ය.

ලබන සතියට‍...

Comments