![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/04/05/sil-15.jpg?itok=BDcifNsM)
තව නම් බලා ඉන්න බෑ... මේක අදින්නයි යන්නෙ. ඔක්කොම ප්ලෑන් අප්සෙට් වෙනවා” මගේ ජංගම දුරකථනය ඔස්සේ තනුරගේ හඬ ඇසෙන්නේ හෙණ හඬක් මෙනි.
“මල්ලි ඉක්මන් කරල යං...බස්එක පිටත්වෙන්නලු යන්නෙ” මං සද්දය දැම්මේ ටුක්-ටුක් රියැදුරාට ය. ඒ වනවිට පිටකොටුවට ඉතා කිට්ටුවෙන් සිටිය ද, තවත් තත්පරයක් හෝ ඉක්මන් කිරීම වටී.
‘කරාස්...’ අනුකරණයෙන් ටුක්-ටුක් රිය නැවතුණේ හැර වූ විලසින් පැත්තක් ද ඇල කරගෙන ය. මම බිමට පැන ගතිමි. ඒත් මගේ ‘පිට මල්ල’ ඒ සා පහසුවෙන් ඇද ගත නොහැකි වූයෙන් තවත් මොහොතක් පමා විය. ඒ වන විටත් අම්පාර බසය පාරට බැස ඇත. පා පුවරුවෙන් පැනගත් තනුර මගේ ගමන් මල්ලත්, අනෙකුත් ආම්පන්නත් පටවා ගැනීමට සහාය වූවේ ය.
“මේක ඇතුළට දාන්න බෑ මහත්තයා. ඩිකියට දාමු.” මගේ පිටමල්ලේ විශාලත්වය මැන ගත් කොන්දොස්තර තැන යෝජනා කළේ ය. “හරි හරි ඒක හොඳයි” මම ද කීවේ, ඒ වන විටත් සෙනඟ පිරී සිටි බසයේ මලු පැටවීම සැබවින්ම කරදරයක් බැවිනි.
කොළඹින් පිටත් වෙද්දීම, බසයේ අතුරු සිදුරු නැති තරමට සෙනඟ ය. මිතුරන් විසින් මට ද අසුනක් වෙන් කරගනු ලැබ තිබීම මහත් අස්වැසිල්ලකි. බසය ගමන් ඇරැඹූයේ මැදියම් රැය ආසන්නයේ ය. “එළිවෙන්න කලින් අපිටබැහැගන්න පුළුවන්” තනුරගේ අනුමානය ගැන මට සැක සිතුණේ, දුරගමන් බසයකට තරම් නොවන සේ එය ‘කොටන්නට’ ගත් නිසා ය. කොරේ පිටට මරේ කිව්වා සේ, මහනුවර පසු කොට මහියංගන පාරේ ටික දුරක් යන විට ම එය හිටි අඩියේ නතර විය.
“බ්රේක් බයින්ඩ් වෙලා” කවුදෝ කියනවා ඇසුණි. “මේක දුර දුවන බස් එකක් නොවේ. අද බස් අඩු නිසා අපි මේ ටෙම්පරියක් ආවේ.” කොන්දොස්තර තැන නිදහසට කරුණු පවසයි. “කට්ටියම බැහැල පොඩි සහයෝගයක් දෙමු” තවත් කිසිවෙකුගේ යෝජනාවෙන්, කාන්තාවන් සහ ළමයින් පමණක් ඉතිරි කර අන් සියල්ලෝම පාහේ බසයෙන් බැස, එයට තල්ලුවක් දෙන්නට දායක වූහ. අඩ හෝරාවක පමණ ඇවෑමෙන්, යළි එය පණ ගැන්විණි.
දෙවැනි වතාවට තේ බොන්නට නතර කරන විට, වටින් ගොඩින් එළිය වැටෙමින් තිබිණි. දහඅට වංගුව පසු කරත්දී, ඈතින් පෙනෙන වැව් තලය මත හිරු රැස් පතිත වී, එය කැඩපතක් මෙන් දිලිසේ. අප සිටියේ සැලසුම් කළ වේලාවට වඩා හෝරා ගණනක් පිටුපසින් වුව ද, වංගුවක් වංගුවක් පසා මතු වී පෙනෙන, ක්ෂිතිජය දක්වා දිවෙන කඳු වළල්ලේ දසුන දකින විටනම් සිතට දැනෙන්නේ සැනසුමකි.
අපි පදියතලාවෙන් බැසගත්තෙමු. කොන්දොස්තර තැන පැමිණ ඩිකියට දැමූ ගමන් මලු, එකින් එක එළියට ඇද දැමුවේ ය. ඒවා හඳුනා ගැනීමටත් උගහට තරමට, කුණු තැවරී අවපැහැගැන්වී තිබිණි. සැබවින් ම මෙය දුර දුවන බසයක් නොවේ යැයි මට සපථ වූයේ ඒ වෙලාවේ ය. එකම බසයේ කොළඹ සිට ගමන් ගත්ත ද අපගේ අනෙක් ගමන් සගයන් දෙදෙනා වූ, මයුර සහ දුලාන් හරිහැටි දැක ගැනීමට හැකි වූයේ ඒ මොහොතේ ය. අල්ලාප සල්ලාපයේ යෙදීමට වෙලාවක් නැත. ඊ ළඟ බසයට නැග ගත යුතු ය.
මද්දහනට හෝරාවක් දෙකක් තිබිය දී අපි මහඔය හංදියෙන් බැස ගතිමු. පෙරදා රැයේ සිටම හරිහමන් කෑමක් නැති නිසා, සියල්ලන්ට ම වුවමනා වූයේ, කුමක් හෝ යමක් සප්පායම් වීමට ය. ළඟම තිබූ තේ කඩයට රිංගා බඩකඩ පුරවා ගතිමු. ඒ අතර වාරයේ අප ගමනේ මඟ පෙන්වන්නා පැමිණ සිටියේ ය. ඔහු කුඩා සිරුරක් සහිත ප්‍රියමනාප තරුණයෙකි. කවුරුත් ඔහු හඳුන්වන්නේ ‘චාමර’ යනුවෙනි.
“දැනටම ටිකක් පරක්කු වැඩියි”
ඔහු කීවේ සිනාසෙමිනි.
“මේ ඔක්කොම බඩු උස්සගෙන යන්න ඕන නෑ. මේවා අපේ ගෙදර තියල වුවමනාම ටික විතරක් අරන් යමු” බර පොදිවල විශාලත්වය දුටු චාමර පැවසුවේ ය. අප සූදානම් වී පැමිණියේ දින ගණනාවක සංචාරයක් සඳහා ය. එබැවිනි, මෙතරම් අඩුමකුඩුම රැගෙන ඒමට සිදු වූයේ. චාමරගේ කුඩා යතුරුපැදියේ එකෙකු නැඟගත් අතර සෙස්සෝ ටුක්-ටුක් රියකට ගොඩ වූහ. මහඔය සිට පොල්ලෙබැද්ද ගම්මානය අතර මඟ පිහිටි චාමරගේ නිවෙසේ, අමතර කළමනා තැබූ අපි පොල්ලෙබැද්ද දක්වා පිටත් වීමු. එහි වූ කුඩා කඩයක් අසල අප රැඳවූ හෙතෙම යළි පිටත්ව ගියේ, කලින් කතිකා කරගත් පරිදි වන ගමන්වල හසල අත්දැකීම් ඇති ආදිවාසී ඇත්තෙකු ද ගමන සඳහා එක් කර ගැනීමට ය.
ගිනි රස්නය දැනෙන හිරු රැසින් පෙදෙසම නැහැවේ. හෙවණකට මුවා නොවූයේ නම්, දැවී යන තරමේ කාෂ්ටක අව්වකි එය. ටික වේලාවක් කඩය ඉදිරිපිට වූ අඹ සෙවණේ සිටි අප, කටුමැටි මුවා කඩපිලට ගොඩ වූයේ පවස නිවා ගැනීමට කහට කෝප්පයක් බීමේ අටියෙනි. සැලකිය යුතු වේලාවකට පසු චාමර යළි පැමිණියේ ය. කෙටේරිය කර මත රඳවා ගත්, කොණ්ඩ රැවුළු වවා ගත්, හැඩි-දැඩි සිරුරකින් හෙබි පුරුෂයෙකුගේ රූපයකි, ආදිවාසියකු කී විට මා සිතේ වූයේ. එහෙත්, ඒ සා රුවක් සතු කිසිවෙකුත් ඔහු සමඟ නම් පැමිණියේ නැත. අප මෙන්ම ඇඳුමෙන් පැලඳුමෙන් සැරසුණු තරුණයින් කිහිප දෙනෙකු විනා ඔහු කී ආදිවාසියා හෙවත් ‘දානිගල ගුණබණ්ඩියා මාමා’ නම් ඔහු සමඟ පැමිණ නැති බව පැහැදිලි ය.
“ගුණබණ්ඩියා මාමගෙ කකුල තුවාල වෙලා, හොඳටම අමාරුයි. අද අපිත් එක්ක යන්න ඉන්නෙ එයාගෙ පුතාල දෙන්නෙක්” හීන්දෑරි තරුණයන් දෙදෙනෙකු පෙන්වමින් චාමර පැවසී ය. ඉන් වැඩිමලා ගුණබණ්ඩියාගේ ලොකු පුතා ය. හෙතෙම කලිසමකින් සහ අත්දිග කමිසයකින් සැරසී සිටියේ ය. බාලයා කොටකලිසමක් හා කහ පැහැති ටීෂර්ටයක් හැඳ සිටියේ ය.
“ගුණබණ්ඩියා මාමා වගේම නොවුණට මේ මහතුන් අපිව එක්කන් යයි” වැඩිමහලු තරුණයා පෙන්වමින් චාමර පැවසී ය. චාමරගේ මිතුරෙකු වූ විකුම් ද, මහතුන්ගේ මිතුරන් දෙදෙනෙකු ද ආදී වශයෙන්, දැන් දස දෙනෙකුගේ කණ්ඩායමකි.
එක් පසෙක වෙල් යාය ද, අනෙක් පස ලඳු කැලෑවක් ද වූ ගුරුපාර ඔස්සේ අපි ඇවිද ගියෙමු. වෙල්යාය වට කොට කණු සිටුවා ඇත.
“මොකට ද මේ කණු හිටවල තියෙන්නෙ” මම විමසුවෙමි.
“අලිවැට හදන්නයි මේ කණු හිටවල තියෙන්නෙ. ගොයම් පැහෙන කාලෙට මේ හරියට අලි එන්නෙ පෝලිමේ” චාමරගේ පිළිතුර විය.
ඊළඟට අප අවතීර්ණ වූයේ කැලෑ මංඩිය දෙසට වැටී තිබූ අඩි පාරකට ය. වැඩි දුරක් යෑමට මත්තෙන් ඇළකින් එගොඩ වීමට සිදු වූයෙන් සපත්තු පැලැඳ සිටි මටත්, දුලාන්ටත් ඒවා ගලවා ඔසවාගෙන යෑමට සිදු විය. ඉණ අද්දරට ම ජලයේ බැස එගොඩ වූ අපි, නැවතත් සපත්තු පැලඳ ගමන් කරන්නට වීමු. දැන් අපේ ගමන් මඟ කැලය මැද්දෙනි. එහෙත් එය පැහැදිලිව සලකුණු වූ පුළුල් මඟකි.
“මොකද මේ පාර හොඳට පෑදිලා තියෙන්නෙ” මා විමසූයේ, මිනිස් වාසයක් නැති මේ වනාන්තරේ මෙතරම් පැහැදිලි අඩිපාරක් කෙසේ සෑදුණේ දැයි කුහුල් සිතිනි.
“සත්තුයි, මිනිස්සුයි, ඔක්කොම යන්නෙ මේ පාරෙන්නෙ” විරාමයකින් පසු “දඩයංකාරයොත්...” යැයි මහතුන් සෙමෙන් කීවේ ය.
“ගම්මානෙට අලි එන්නෙත් මේ පාරෙන් තමා”
“උන් රංචු පිටින් ඇවිල්ල වගා පාළුකරල යනවා”
“සමහර කාලෙට අපි රැකල ඉඳල තඩිබෑවොත්ආයෙ මතක තියෙනකල් එන්නෙ නෑ”
එය අරුම පුදුම කතාවකි. අලින් එක්ක එසේ කෙළින්නට හැකි ද? මම වික්ෂිප්ත වීමි.
“පුදුම වෙන්න දෙයක් නෑ. ඔහොම ඉස්සරහට යන කොට මං පෙන්නන්නම්. ඉස්සරහ තියෙනවා උස ගල් දෙබොක්කාවක්. කොහෙන් ආවත් මේ ගම්මාන මංඩියට අලි බහින්නෙ ඔතනින් තමයි. ගමේ කීපදෙනෙක් එකතු වෙලා දිග ලී දඬු කපාගෙන, කරුවෙල වෙන්න කලින් ඔය දෙබොක්කාවෙ ගල් උඩට නැඟ ගන්නවා”
“ඕං මේ තියෙන්නෙ තැන..”
ඔහු කියූ තැනට අපි සේන්දු වී සිටිමු. සැබවි, දෙපසින් අඩි දහයක් පහළොවක් උසට නැඟුණු ගල් කුළු ය. ඒ මැදින් අලියෙකුට ඉතා පහසුවෙන් ගමන් කළ හැකි ය. රංචුවක් පැමිණෙන්නේ නම් එකා පසුපස එකා යා යුතු ය.
“උන්ට මේ මැද්දෙන් එන්න ඇරල දිග රිටිවලින් තඩිබාන්නයි, අනින්නයි පටන් ගන්නවා. එතකොට කාලයක් යනකන් ආයෙත් මේ පැත්තට එන්නෙ නෑ.”
මේ ත්‍රාසජනක ක්‍රියාව විශ්වාස කිරීමටත් උගහට ය. එහෙත්, එහි ගල්කුළු හා භූමියේ පිහිටීම අනුව, එය අසම්භාව්‍ය යැයි නොපෙනේ. අවැසි වන්නේ අත්දැකීම් සහිත නිර්භීත මිනිසුන් කිහිප දෙනෙකි.
උස් ගස් පිහිටි එම කැලෑව පසු කිරීමෙන් අප අවතීර්ණ වූයේ තේක්ක කැලයකට ය. තැනින් තැන උස්ව වැඩුණු තේක්ක ගස් ය. යටිරෝපණය සෑදී ඇත්තේ තෘණ යායකිනි. ඇතැම් තැනෙක ඒවා මිනිසෙකුගේ උස මට්ටමට වැවී ඇත. අතරින් පතර කටු පඳුරු සහිත ලැහැබ ය. අඩි පාරේ සමහර තැන්වල දිය පිරි වළ ය. තවත් තැනෙක මඩ වගුරකි.
“මෙච්චර රස්නෙට පායන කොට මෙහෙම වතුර හිටින්නෙ කොහොම ද?”
“පහුගිය දොහේ හොඳටම වැස්සනෙ. ඒකයි තාමත් වතුර තියෙන්නෙ”
අප දැන් මේ ඉසව්වේ ගමන් කරන්නේ එකා පසුපස එකා ආදී ලෙසිනි. ඉදිරියෙන් ම මහතුන් ය. දෙවැන්නා ඔහුගේ මලයණ්ඩි ය. සෙස්සෝ පස්සේ ය. පිටුපසින් ම ගමන් ගත්තේ මා ය.
“බරාස්ස්....” අනුකරණයෙන් ගසක් ඇදහැලෙන හඬකි.
“ඔන්න බඩු ඉන්නවා...” කවුදෝ කියනවා ඇසුණි.
අන් අයට නවතින්නට යයි අතින් සන් කළ මහතුන් සෙමෙන් ඉදිරියට යන්නට විණි. තනුරගේ මුහුණේ දැනටමත් අලි භීතියක් මතුව ඇත. එකිනෙකා මුහුණට මුහුණ බලාගත් වනම, නිසොල්මනේ ය. මම හිමින් සීරුවේ කැමරාවත් මානාගෙන ඉදිරියට ඇදුණෙමි. මහතුන් සිටින්නේ මට වඩා සෑහෙන දුරිනි.
ගසක් බිඳ හෙළූ සද්දන්තයා දැන් අප දෑස් මානයේ ය. මහතුන් තවත් පියවර කිහිපයක් ඉදිරියට ගොස් නැවතිණි. හෙතෙම එක් වරම මහ හඬින් ශබ්දයක් නැඟුවේ ය. එය අලි භාෂාවක් ද, නැතහොත් වැදි භාෂාවක් දැයි නොදනිමි. එවිටය අපට ගස් අතර වහං වී සිටි අලි රංචුව දැක ගත හැකි වූයේ. මහතුන්ගේ හඬගෑමෙන් අවදිව උහු රොත්ත පිටින් පලා යන්නට වූහ. එහෙත් ගැටලුව වූයේ උන් දිව යන්නේ, අප යා යුතු මඟ දෙසටම වීම ය.
“ගුණබණ්ඩියා මාමා ආවා නම් ඔච්චර හයියෙන් මොර දෙන්නෙ නෑ..” චාමර පැවසූයේ නෝක්කාඩුවට මෙනි. පුතාගේ කෙරුවාව තාත්තාගේ කෙරුවාව තරම් නොවන බව නොකියා කීමකි, එය.
අලි පලා යන බව තහවුරු කර ගත් මහතුන් අපට එන්නැයි සන් කළේ ය. අප හෙමින් සීරුවේ ඔහු පසු පස ගිය ද පෙර පැවැති සැහැල්ලුව පහවී ගොස් මොකක් දෝ බරක් සිතට ඇතුළුව තිබිණි.
අප ඔහු අසලට පැමිණෙන තුරු මදක් සුනංගු වූ මහතුන්, “මුං ටික ගියාට රවුම් වෙලා ආයෙත් අපි යන පැත්තටම එන්න පුළුවං”
“බැරිවෙලාවත් අලි එළෙව්වොත්ආං අර ගල් කන්ද පැත්තට දුවන්න” අපට වම්පසින් පිහිටි ගල් කන්ද පෙන්නමින් ඔහු කීවේ එතරම් ගණනකට නො ගෙන ය.
නැවතත් ඔහු ඉදිරියට ගියේ ය. ‘කෝකටත් සූදානම් සරීරේ’ යැයි සිතා ගත් අප සෙමෙන් සෙමෙන් ගමන් කළේ ඉතාමත් අවධානයෙනි.
“අලියා එනවා...” ඇසුණේ එපමණකි. මහතුන් හැර සියල්ලෝ හිටු කියා දුවති. අලියෙකු නොදුටුව ද මම ද දුවන්නට ගතිමි.
ගල්කුළ ට නැඟ ගන්නට මොහොතක් තිබිය දී ය, ඒ අවාසනාවත්ත සිදු වීම වූයේ...
ලබන සතියට...
තාරක ගමගේ
www.naturetraveller.net