මඟ රැක සිට අලින්ට තඩි­බාන පොල්ලෙ­බැද්දෙ මහ­තුන්ලා | සිළුමිණ

මඟ රැක සිට අලින්ට තඩි­බාන පොල්ලෙ­බැද්දෙ මහ­තුන්ලා

තව නම් බලා ඉන්න බෑ... මේක අදි­න්නයි යන්නෙ. ඔක්කොම ප්ලෑන් අප්සෙට් වෙනවා” මගේ ජංගම දුර­ක­ථ­නය ඔස්සේ තනු­රගේ හඬ ඇසෙන්නේ හෙණ හඬක් මෙනි.

“මල්ලි ඉක්මන් කරල යං...බස්එක පිට­ත්වෙ­න්නලු යන්නෙ” මං සද්දය දැම්මේ ටුක්-ටුක් රියැ­දු­රාට ය. ඒ වන­විට පිට­කො­ටු­වට ඉතා කිට්ටු­වෙන් සිටිය ද, තවත් තත්ප­ර­යක් හෝ ඉක්මන් කිරීම වටී.

‘කරාස්...’ අනු­ක­ර­ණ­යෙන් ටුක්-ටුක් රිය නැව­තුණේ හැර වූ විල­සින් පැත්තක් ද ඇල කර­ගෙන ය. මම බිමට පැන ගතිමි. ඒත් මගේ ‘පිට මල්ල’ ඒ සා පහ­සු­වෙන් ඇද ගත නොහැකි වූයෙන් තවත් මොහො­තක් පමා විය. ඒ වන විටත් අම්පාර බසය පාරට බැස ඇත. පා පුව­රු­වෙන් පැන­ගත් තනුර මගේ ගමන් මල්ලත්, අනෙ­කුත් ආම්ප­න්නත් පටවා ගැනී­මට සහාය වූවේ ය.

“මේක ඇතු­ළට දාන්න බෑ මහ­ත්තයා. ඩිකි­යට දාමු.” මගේ පිට­මල්ලේ විශා­ල­ත්වය මැන ගත් කොන්දො­ස්තර තැන යෝජනා කළේ ය. “හරි හරි ඒක හොඳයි” මම ද කීවේ, ඒ වන විටත් සෙනඟ පිරී සිටි බසයේ මලු පැට­වීම සැබ­වින්ම කර­ද­ර­යක් බැවිනි.

කොළ­ඹින් පිටත් වෙද්දීම, බසයේ අතුරු සිදුරු නැති තර­මට සෙනඟ ය. මිතු­රන් විසින් මට ද අසු­නක් වෙන් කර­ගනු ලැබ තිබීම මහත් අස්වැ­සි­ල්ලකි. බසය ගමන් ඇරැ­ඹූයේ මැදි­යම් රැය ආස­න්නයේ ය. “එළි­වෙන්න කලින් අපි­ට­බැ­හැ­ගන්න පුළු­වන්” තනු­රගේ අනු­මා­නය ගැන මට සැක සිතුණේ, දුර­ග­මන් බස­ය­කට තරම් නොවන සේ එය ‘කොට­න්නට’ ගත් නිසා ය. කොරේ පිටට මරේ කිව්වා සේ, මහ­නු­වර පසු කොට මහි­යං­ගන පාරේ ටික දුරක් යන විට ම එය හිටි අඩියේ නතර විය.

“බ්රේක් බයින්ඩ් වෙලා” කවුදෝ කිය­නවා ඇසුණි. “මේක දුර දුවන බස් එකක් නොවේ. අද බස් අඩු නිසා අපි මේ ටෙම්ප­රි­යක් ආවේ.” කොන්දො­ස්තර තැන නිද­හ­සට කරුණු පව­සයි. “කට්ටි­යම බැහැල පොඩි සහ­යෝ­ග­යක් දෙමු” තවත් කිසි­වෙ­කුගේ යෝජ­නා­වෙන්, කාන්තා­වන් සහ ළම­යින් පම­ණක් ඉතිරි කර අන් සිය­ල්ලෝම පාහේ බස­යෙන් බැස, එයට තල්ලු­වක් දෙන්නට දායක වූහ. අඩ හෝරා­වක පමණ ඇවෑ­මෙන්, යළි එය පණ ගැන්විණි.

දෙවැනි වතා­වට තේ බොන්නට නතර කරන විට, වටින් ගොඩින් එළිය වැටෙ­මින් තිබිණි. දහ­අට වංගුව පසු කරත්දී, ඈතින් පෙනෙන වැව් තලය මත හිරු රැස් පතිත වී, එය කැඩ­ප­තක් මෙන් දිලිසේ. අප සිටියේ සැල­සුම් කළ වේලා­වට වඩා හෝරා ගණ­නක් පිටු­ප­සින් වුව ද, වංගු­වක් වංගු­වක් පසා මතු වී පෙනෙන, ක්ෂිති­ජය දක්වා දිවෙන කඳු වළල්ලේ දසුන දකින විට­නම් සිතට දැනෙන්නේ සැන­සු­මකි.

අපි පදි­ය­ත­ලා­වෙන් බැස­ග­ත්තෙමු. කොන්දො­ස්තර තැන පැමිණ ඩිකි­යට දැමූ ගමන් මලු, එකින් එක එළි­යට ඇද දැමුවේ ය. ඒවා හඳුනා ගැනී­ම­ටත් උග­හට තර­මට, කුණු තැවරී අව­පැ­හැ­ගැන්වී තිබිණි. සැබ­වින් ම මෙය දුර දුවන බස­යක් නොවේ යැයි මට සපථ වූයේ ඒ වෙලාවේ ය. එකම බසයේ කොළඹ සිට ගමන් ගත්ත ද අපගේ අනෙක් ගමන් සග­යන් දෙදෙනා වූ, මයුර සහ දුලාන් හරි­හැටි දැක ගැනී­මට හැකි වූයේ ඒ මොහොතේ ය. අල්ලාප සල්ලා­පයේ යෙදී­මට වෙලා­වක් නැත. ඊ ළඟ බස­යට නැග ගත යුතු ය.

මද්ද­හ­නට හෝරා­වක් දෙකක් තිබිය දී අපි මහ­ඔය හංදි­යෙන් බැස ගතිමු. පෙරදා රැයේ සිටම හරි­හ­මන් කෑමක් නැති නිසා, සිය­ල්ලන්ට ම වුව­මනා වූයේ, කුමක් හෝ යමක් සප්පා­යම් වීමට ය. ළඟම තිබූ තේ කඩ­යට රිංගා බඩ­කඩ පුරවා ගතිමු. ඒ අතර වාරයේ අප ගමනේ මඟ පෙන්වන්නා පැමිණ සිටියේ ය. ඔහු කුඩා සිරු­රක් සහිත ප්‍රිය­ම­නාප තරු­ණ­යෙකි. කවු­රුත් ඔහු හඳු­න්වන්නේ ‘චාමර’ යනු­වෙනි.

“දැන­ටම ටිකක් පරක්කු වැඩියි”

ඔහු කීවේ සිනා­සෙ­මිනි.

“මේ ඔක්කොම බඩු උස්ස­ගෙන යන්න ඕන නෑ. මේවා අපේ ගෙදර තියල වුව­ම­නාම ටික විත­රක් අරන් යමු” බර පොදි­වල විශා­ල­ත්වය දුටු චාමර පැව­සුවේ ය. අප සූදා­නම් වී පැමි­ණියේ දින ගණ­නා­වක සංචා­ර­යක් සඳහා ය. එබැ­විනි, මෙත­රම් අඩු­ම­කු­ඩුම රැගෙන ඒමට සිදු වූයේ. චාම­රගේ කුඩා යතු­රු­පැ­දියේ එකෙකු නැඟ­ගත් අතර සෙස්සෝ ටුක්-ටුක් රිය­කට ගොඩ වූහ. මහ­ඔය සිට පොල්ලෙ­බැද්ද ගම්මා­නය අතර මඟ පිහිටි චාම­රගේ නිවෙසේ, අම­තර කළ­මනා තැබූ අපි පොල්ලෙ­බැද්ද දක්වා පිටත් වීමු. එහි වූ කුඩා කඩ­යක් අසල අප රැඳවූ හෙතෙම යළි පිටත්ව ගියේ, කලින් කතිකා කර­ගත් පරිදි වන ගම­න්වල හසල අත්දැ­කීම් ඇති ආදි­වාසී ඇත්තෙකු ද ගමන සඳහා එක් කර ගැනී­මට ය.

ගිනි රස්නය දැනෙන හිරු රැසින් පෙදෙ­සම නැහැවේ. හෙව­ණ­කට මුවා නොවූයේ නම්, දැවී යන තරමේ කාෂ්ටක අව්වකි එය. ටික වේලා­වක් කඩය ඉදි­රි­පිට වූ අඹ සෙවණේ සිටි අප, කටු­මැටි මුවා කඩ­පි­ලට ගොඩ වූයේ පවස නිවා ගැනී­මට කහට කෝප්ප­යක් බීමේ අටි­යෙනි. සැල­කිය යුතු වේලා­ව­කට පසු චාමර යළි පැමි­ණියේ ය. කෙටේ­රිය කර මත රඳවා ගත්, කොණ්ඩ රැවුළු වවා ගත්, හැඩි-දැඩි සිරු­ර­කින් හෙබි පුරු­ෂ­යෙ­කුගේ රූප­යකි, ආදි­වා­සි­යකු කී විට මා සිතේ වූයේ. එහෙත්, ඒ සා රුවක් සතු කිසි­වෙ­කුත් ඔහු සමඟ නම් පැමි­ණියේ නැත. අප මෙන්ම ඇඳු­මෙන් පැල­ඳු­මෙන් සැර­සුණු තරු­ණ­යින් කිහිප දෙනෙකු විනා ඔහු කී ආදි­වා­සියා හෙවත් ‘දානි­ගල ගුණ­බ­ණ්ඩියා මාමා’ නම් ඔහු සමඟ පැමිණ නැති බව පැහැ­දිලි ය.

“ගුණ­බ­ණ්ඩියා මාමගෙ කකුල තුවාල වෙලා, හොඳ­ටම අමා­රුයි. අද අපිත් එක්ක යන්න ඉන්නෙ එයාගෙ පුතාල දෙන්නෙක්” හීන්දෑරි තරු­ණ­යන් දෙදෙ­නෙකු පෙන්ව­මින් චාමර පැවසී ය. ඉන් වැඩි­මලා ගුණ­බ­ණ්ඩි­යාගේ ලොකු පුතා ය. හෙතෙම කලි­ස­ම­කින් සහ අත්දිග කමි­ස­ය­කින් සැරසී සිටියේ ය. බාලයා කොට­ක­ලි­ස­මක් හා කහ පැහැති ටීෂ­ර්ට­යක් හැඳ සිටියේ ය.

“ගුණ­බ­ණ්ඩියා මාමා වගේම නොවු­ණට මේ මහ­තුන් අපිව එක්කන් යයි” වැඩි­ම­හලු තරු­ණයා පෙන්ව­මින් චාමර පැවසී ය. චාම­රගේ මිතු­රෙකු වූ විකුම් ද, මහ­තුන්ගේ මිතු­රන් දෙදෙ­නෙකු ද ආදී වශ­යෙන්, දැන් දස දෙනෙ­කුගේ කණ්ඩා­ය­මකි.

එක් පසෙක වෙල් යාය ද, අනෙක් පස ලඳු කැලෑ­වක් ද වූ ගුරු­පාර ඔස්සේ අපි ඇවිද ගියෙමු. වෙල්යාය වට කොට කණු සිටුවා ඇත.

“මොකට ද මේ කණු හිට­වල තියෙන්නෙ” මම විම­සු­වෙමි.

“අලි­වැට හද­න්නයි මේ කණු හිට­වල තියෙන්නෙ. ගොයම් පැහෙන කාලෙට මේ හරි­යට අලි එන්නෙ පෝලිමේ” චාම­රගේ පිළි­තුර විය.

ඊළ­ඟට අප අව­තීර්ණ වූයේ කැලෑ මංඩිය දෙසට වැටී තිබූ අඩි පාර­කට ය. වැඩි දුරක් යෑමට මත්තෙන් ඇළ­කින් එගොඩ වීමට සිදු වූයෙන් සපත්තු පැලැඳ සිටි මටත්, දුලා­න්ටත් ඒවා ගලවා ඔස­වා­ගෙන යෑමට සිදු විය. ඉණ අද්ද­රට ම ජලයේ බැස එගොඩ වූ අපි, නැව­තත් සපත්තු පැලඳ ගමන් කර­න්නට වීමු. දැන් අපේ ගමන් මඟ කැලය මැද්දෙනි. එහෙත් එය පැහැ­දි­ලිව සල­කුණු වූ පුළුල් මඟකි.

“මොකද මේ පාර හොඳට පෑදිලා තියෙන්නෙ” මා විම­සූයේ, මිනිස් වාස­යක් නැති මේ වනා­න්තරේ මෙත­රම් පැහැ­දිලි අඩි­පා­රක් කෙසේ සෑදුණේ දැයි කුහුල් සිතිනි.

“සත්තුයි, මිනි­ස්සුයි, ඔක්කොම යන්නෙ මේ පාරෙන්නෙ” විරා­ම­ය­කින් පසු “දඩ­යං­කා­ර­යොත්...” යැයි මහ­තුන් සෙමෙන් කීවේ ය.

“ගම්මා­නෙට අලි එන්නෙත් මේ පාරෙන් තමා”

“උන් රංචු පිටින් ඇවිල්ල වගා පාළු­ක­රල යනවා”

“සම­හර කාලෙට අපි රැකල ඉඳල තඩි­බෑ­වො­ත්ආයෙ මතක තියෙ­න­කල් එන්නෙ නෑ”

එය අරුම පුදුම කතා­වකි. අලින් එක්ක එසේ කෙළි­න්නට හැකි ද? මම වික්ෂිප්ත වීමි.

“පුදුම වෙන්න දෙයක් නෑ. ඔහොම ඉස්ස­ර­හට යන කොට මං පෙන්න­න්නම්. ඉස්ස­රහ තියෙ­නවා උස ගල් දෙබො­ක්කා­වක්. කොහෙන් ආවත් මේ ගම්මාන මංඩි­යට අලි බහින්නෙ ඔත­නින් තමයි. ගමේ කීප­දෙ­නෙක් එකතු වෙලා දිග ලී දඬු කපා­ගෙන, කරු­වෙල වෙන්න කලින් ඔය දෙබො­ක්කාවෙ ගල් උඩට නැඟ ගන්නවා”

“ඕං මේ තියෙන්නෙ තැන..”

ඔහු කියූ තැනට අපි සේන්දු වී සිටිමු. සැබවි, දෙප­සින් අඩි දහ­යක් පහ­ළො­වක් උසට නැඟුණු ගල් කුළු ය. ඒ මැදින් අලි­යෙ­කුට ඉතා පහ­සු­වෙන් ගමන් කළ හැකි ය. රංචු­වක් පැමි­ණෙන්නේ නම් එකා පසු­පස එකා යා යුතු ය.

“උන්ට මේ මැද්දෙන් එන්න ඇරල දිග රිටි­ව­ලින් තඩි­බා­න්නයි, අනි­න්නයි පටන් ගන්නවා. එත­කොට කාල­යක් යන­කන් ආයෙත් මේ පැත්තට එන්නෙ නෑ.”

මේ ත්‍රාස­ජ­නක ක්‍රියාව විශ්වාස කිරී­ම­ටත් උග­හට ය. එහෙත්, එහි ගල්කුළු හා භූමියේ පිහි­ටීම අනුව, එය‍ ­අ­ස­ම්භාව්‍ය යැයි නොපෙනේ. අවැසි වන්නේ අත්දැ­කීම් සහිත නිර්භීත මිනි­සුන් කිහිප දෙනෙකි.

උස් ගස් පිහිටි එම කැලෑව පසු කිරී­මෙන් අප අව­තීර්ණ වූයේ තේක්ක කැල­ය­කට ය. තැනින් තැන උස්ව වැඩුණු තේක්ක ගස් ය. යටි­රෝ­ප­ණය සෑදී ඇත්තේ තෘණ යාය­කිනි. ඇතැම් තැනෙක ඒවා මිනි­සෙ­කුගේ උස මට්ට­මට වැවී ඇත. අත­රින් පතර කටු පඳුරු සහිත ලැහැබ ය. අඩි පාරේ සම­හර තැන්වල දිය පිරි වළ ය. තවත් තැනෙක මඩ වගු­රකි.

“මෙච්චර රස්නෙට පායන කොට මෙහෙම වතුර හිටින්නෙ කොහොම ද?”

“පහු­ගිය දොහේ හොඳ­ටම වැස්සනෙ. ඒකයි තාමත් වතුර තියෙන්නෙ”

අප දැන් මේ ඉසව්වේ ගමන් කරන්නේ එකා පසු­පස එකා ආදී ලෙසිනි. ඉදි­රි­යෙන් ම මහ­තුන් ය. දෙවැන්නා ඔහුගේ මල­යණ්ඩි ය. සෙස්සෝ පස්සේ ය. පිටු­ප­සින් ම ගමන් ගත්තේ මා ය.

“බරාස්ස්....” අනු­ක­ර­ණ­යෙන් ගසක් ඇද­හැ­ලෙන හඬකි.

“ඔන්න බඩු ඉන්නවා...” කවුදෝ කිය­නවා ඇසුණි.

අන් අයට නව­ති­න්නට යයි අතින් සන් කළ මහ­තුන් සෙමෙන් ඉදි­රි­යට යන්නට විණි. තනු­රගේ මුහුණේ දැන­ට­මත් අලි භීති­යක් මතුව ඇත. එකි­නෙකා මුහු­ණට මුහුණ බලා­ගත් වනම, නිසො­ල්මනේ ය. මම හිමින් සීරුවේ කැම­රා­වත් මානා­ගෙන ඉදි­රි­යට ඇදු­ණෙමි. මහ­තුන් සිටින්නේ මට වඩා සෑහෙන දුරිනි.

ගසක් බිඳ හෙළූ සද්ද­න්තයා දැන් අප දෑස් මානයේ ය. මහ­තුන් තවත් පිය­වර කිහි­ප­යක් ඉදි­රි­යට ගොස් නැව­තිණි. හෙතෙම එක් වරම මහ හඬින් ශබ්ද­යක් නැඟුවේ ය. එය අලි භාෂා­වක් ද, නැත­හොත් වැදි භාෂා­වක් දැයි නොද­නිමි. එවි­ටය අපට ගස් අතර වහං වී සිටි අලි රංචුව දැක ගත හැකි වූයේ. මහ­තුන්ගේ හඬ­ගෑ­මෙන් අව­දිව උහු රොත්ත පිටින් පලා යන්නට වූහ. එහෙත් ගැට­ලුව වූයේ උන් දිව යන්නේ, අප යා යුතු මඟ දෙස­ටම වීම ය.

“ගුණ­බ­ණ්ඩියා මාමා ආවා නම් ඔච්චර හයි­යෙන් මොර දෙන්නෙ නෑ..” චාමර පැව­සූයේ නෝක්කා­ඩු­වට මෙනි. පුතාගේ කෙරු­වාව තාත්තාගේ කෙරු­වාව තරම් නොවන බව නොකියා කීමකි, එය.

අලි පලා යන බව තහ­වුරු කර ගත් මහ­තුන් අපට එන්නැයි සන් කළේ ය. අප හෙමින් සීරුවේ ඔහු පසු පස ගිය ද පෙර පැවැති සැහැ­ල්ලුව පහවී ගොස් මොකක් දෝ බරක් සිතට ඇතු­ළුව තිබිණි.

අප ඔහු අස­ලට පැමි­ණෙන තුරු මදක් සුනංගු වූ මහ­තුන්, “මුං ටික ගියාට රවුම් වෙලා ආයෙත් අපි යන පැත්ත­ටම එන්න පුළුවං”

“බැරි­වෙ­ලා­වත් අලි එළෙ­ව්වොත්ආං අර ගල් කන්ද පැත්තට දුවන්න” අපට වම්ප­සින් පිහිටි ගල් කන්ද පෙන්න­මින් ඔහු කීවේ එත­රම් ගණ­න­කට නො ගෙන ය.

නැව­තත් ඔහු ඉදි­රි­යට ගියේ ය. ‘කෝක­ටත් සූදා­නම් සරීරේ’ යැයි සිතා ගත් අප සෙමෙන් සෙමෙන් ගමන් කළේ ඉතා­මත් අව­ධා­න­යෙනි.

“අලියා එනවා...” ඇසුණේ එප­ම­ණකි. මහ­තුන් හැර සියල්ලෝ හිටු කියා දුවති. අලි­යෙකු නොදු­ටුව ද මම ද දුව­න්නට ගතිමි.

ගල්කුළ ට නැඟ ගන්නට මොහො­තක් තිබිය දී ය, ඒ අවා­ස­නා­වත්ත සිදු වීම වූයේ...

ලබන සති­යට...

තාරක ගමගේ
www.naturetraveller.net

Comments