නෙඵම් විල | Page 2 | සිළුමිණ

නෙඵම් විල

උප­න්දින සැම­රුම

කොළඹ හදිසි අන­තුරු අංශයේ වාට්ටු­වල දහ­වල රෝගීන් බලන වේලාව එළ­ඹියේ ය.

එක්තරා මවක් සිය දූව­රුන් දෙදෙනා සමඟ වාට්ටුවේ හෙදි­යන් සිටින කාම­ර­යට පිවි­සුණා ය. ලොකු දිය­ණිය අත කිහි­ලි­කරු දෙකක් තිබිණ.

‘මිස්, මේ මගෙ දූල දෙන්න. ලොකු දූගෙ උපන් දිනේ වෙනු­වෙන් එයාට ඕනැ­වෙලා තියෙ­න­වමේ කිහි­ලි­කරු දෙක ලෙඩෙ­කුට දෙන්ඩ. ඒක එයාගෙ සතුට. මිස්ට පුළු­වන් නේද සුදුසු ලෙඩෙක් බලල ඒක දෙන්ඩ?‘

හෙදිය පහන් සිතින් තිදෙනා දෙස බලා කිහි­ලි­කරු ජෝඩුව දෙසද බැලු­වාය.

‘ඔහොම වාට්ටුව ඇතු­ළට යන්ඩ. ඔය කාටත් කිහි­ලි­කරු ඕනැ. ගිහිං බලල හොඳයි කියල හිතෙන කෙනෙ­කුට ඔයා­ලම දෙන්ඩකො‘

මව පෙර­ටු­කොට ගෙන දිය­ණියෝ දෙදෙන වාට්ටු­වට ඇතුළු වූහ. එක­වර ම ඔවුන්ගේ ඇස ගැටුණේ ඇඳක ඇලවි සිටි පිරිමි ළම­යෙකි. ඔහුගේ පයක් වෙළා තිබිණ.

ලොකු දූ පා බිඳුණු ළමයා දෙස බලා සිය මව දෙස බැලුවේ මේක දෙන්න මෙයා හොඳයි නේද කිය­න්නාක් මෙනි. මව ද හොඳයි එයාට දෙමු වැනි හැඟී­මක් පළ­කර අත්වාරු දෙක රැගත් දිය­ණිය සමඟ පා බිඳුණු ළමායා වෙත සමිප වූවා ය.

‘පුතේ‘

‘ඒ ඇම­තු­මෙන් හැරී බැලූ පිරිමි ළමයා නැඟිට ඇඳෙහි හිඳ ගත්තේ ය.

‘පුතේ, අපි ආවෙ මේ දුවගෙ උප­න්දි­නේට හොඳ කෙනෙක් බලල මේ කිහි­ලි­කරු දෙක දෙන්ඩ. මේක ඔයාට දෙන්ඩද? ඔයා මේක ගන්ඩ කැම­තිද? ‘

‘හොඳයි දෙන්ඩ‘ පිරිමි ළමයා සිනාසී දෑත පැවේ ය.

දැරිය ඒ කිහි­ලි­කරු දෙක ඔහුට පිරි­නැ­මුවා ය.

‘බොහොම ස්තුතියි. සුබ උප­න්දි­න­යක්!‘

නන්නා­ඳු­නන ඔවුහු ඒ මොහොතේ හඳු­නන මිනිස් බැම්මෙන් බැඳී සැනැහී ගියහ.

‘එහෙනං අපි යන්නං පුතේ. ඔයා ඉක්ම­නට සනිප වෙන්ඩ!‘

පිරිමි ළමයා පහන් හිනා­වක් පෑවේ ය. මවත් දිය­ණි­යන් දෙදෙ­නාත් එබඳු ම පහන් හැඟු­ම­කින් වාට්ටු­වෙන් පිට­තට ආහ.

මහ­වැව, කොස්වා­ඩියේ, ගාමිණී සේනා­ධීර මහතා විසින් යොමු­ක­රන ලද ලිපි­යක් ඇසු­රෙනි.


පමාවට හේතුව

මොකද ඔය ළමය ඉස්කෝලෙ එන්ඩ පරක්කු වුණේ?‘

පමාවී පන්ති­යට පැමිණි සිසු­වා­ගෙන් පන්ති බාර ගුරු­ව­රිය ඇසුවා ය.

‘පරක්කු වුණා මිස්‘ සිසුවා බිම බලා ගත්තේ ය.

‘පරක්කු වුණේ මොකද කිය­ලයි මං ඇහුවෙ. පරක්කු වෙන්ඩ හේතුව මොකක්ද?‘

‘පරක්කු වුණා මිස්‘

‘අල්ල­නව අත‘

සිසුවා අත පෑවේ ය. කිස් හඬින් වේවැල් පහ­රක් අත්ලට වැදිණ. ඒ සමඟ ම සිසු­වාගේ මුව ඇද විය. ඔහු අත්ල පොඩි­ක­ර­මින් ආපසු ගොස් හිඳ ගත්තේ ය.

දඬු­වම් විඳී­මෙන් පසු­වද සිසු­වාගේ පමා වී පාසැල් ඒම නතර නොවී ය. එහෙ­යින් ඔහු එනු දුටු හැටියේ ගුරු­ව­රිය කෝප­යට පත්වීම ද, සිසුවා ගේ අත පෑම හා ගුරු­ව­රිය කිස් හඬින් වේවැල් පාර දීම ද නතර වූයේ නැත.

දිනක් හිමි­දිරි උදෑ­සන ගුරු­ව­රිය ව්‍යායාම ඇඳු­මින් සැරසී මහ පාරේ ඉදි­රි­යට දුව එමින් සිටියා ය.

හදි­සියේ ම ඇය ළා අඳුරේ සුපු­රුදු ළමා මුහු­ණක් දුටුවා ය. දිවුම මද­කට නැවතූ ඇය ඒ කවු­රුන් දැයි විම­සි­ලි­මත් වූවා ය. ඇයට ඔහු හඳුනා ගත හැකි විය. ඒ ඇගෙන් දින­පතා වේවැල් පහර කෑමට පුරුදු වී සිටින සිසුවා ය.ඔහු පත්තර මිටි­යක් කර තබා­ගෙන වේග­වත් ව ගමනේ යෙදෙ­මින් පාර අයිනේ නිවෙ­ස්වල ගේට්ටු උඩින් හෝ යටින් පත්තර විසි කර­මින් යන්ත්‍ර­යක් සේ ක්‍රියා­ත්මක වෙමින් සිටියේ ය.

තමා පමා­වට හේතු විම­සන හැම දින ම ඔහු ඊට පැහැ­දිලි හේතු­වක් නොදක්වා ‘පරක්කු වුණා මිස්“ යැයි කීමට හේතුව දැන් ඈට වැටහී අව­සාන ය. ඔහු මහ මිනි­සකු සේ මේ හිමි­දිරි පාන්දර වෙහෙ­සෙන්නේ කීයක් හෝ උපයා ගන්නට නොවේ දැයි සිතූ ඇය කාරණා හරි හැටි නොසොයා තර­හක් මවා­ගෙන දිගින් දිගට ම දඬු­වම් කරන්නේ ජීවන ගැටලු හමුවේ දිරි­යෙන් නැගී සිටී­මට වෙර දරන දුප්පත් කොල්ලෙ­කුට නොවේ ද යන වේද­නා­වෙන් තැවෙ­න්නට වූවා ය. ව්‍යායා­මය ද අම­තක ව ගිය ඇය ආසු හැරුණා ය.

එදින ද පාසල පටන් ගත් මොහොතේ ගුරු­ව­රිය පන්ති­යට පාඩ­මක් කියා දෙමින් සිටිය දී අර සිසුවා සුපු­රුදු පරිදි පමා වී ආවේ ය. ඇය ඔහු දෙස නොබලා ම පාඩ­මට අව­ධා­නය යොමු­කළා ය.

‘පරක්කු වුණා මිස්‘ සිසුවා එදින ද ගුරු­ව­රිය ඉදි­රි­යට පැමිණ වේවැල් පහර අපේ­ක්ෂා­වෙන් අත්ල පෑවේ ය.

ගුරු­ව­රිය ඔහු පෑ අත්ල දෙස නොව ඔහු ගේ මුහුණ දෙස මුදු බැල්මක් හෙළුවා ය.

‘ඔයා පර­ක්කු­වෙන හේතුව මං හොයා­ගත්ත දරුවො. ඇය ඔහුගේ අත්ල දෑතින් ම අල්ලා ගත්තා ය.

තම ගුරු­තු­මිය ගේ දෑසින් කඳුළු කඩා වැටෙන හැටි දුටු පන්තියේ ළමයි ගල් වූහ.

ගුරු­ව­රි­යගේ අමුතු වෙනස් විම තේරුම් නොගත හැකි වූ පමා වී පැමි­ණෙන සිසුවා ආපසු ගත නොහැකි සේ සිය අත්ල පාගෙන ම සිටියේ ය.

වත්තල, හැඳල අ. ද. සුනිල් මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.


අමුතු දසුන

පන්සල් වත්තේ කොස්ග­හක් පාරට බර වී ඇත.

එහි අතු නමා වැටෙන පරිදි ගෙඩි ද හැදී තිබිණ.

ගෙඩි පැසී ඉදිණ. සතුන් කා දැමූ වැළ කුණු පාර පුරා විසිරී තිබිණ.

මේ නිසා වාහ­න­ය­කින් හැර පාරේ යෑම ද අප­හසු විය. ලිස්සා යෑමෙන් වාහන කිහි­ප­යක් ද අන­තු­රට පත් විය. තුවාල වූවන් රෝහ­ල්ගත කිරී­මට ද සිදු විය. දිනක් අලු­යම මම මේ පාරේ යමින් සිටි­යෙමි. හදි­සියේ දුටු දසු­නින් මඳක් නැවතී බැලු­වෙමි.

නායක හාමු­දු­රුවෝ සිය ඇබි­ත්තයා ද සමඟ පාර පිරි­සුදු කර­මින් සිටි­යහ. ඉද­ල­කින් අතුල්ලා කැත කුණු ඉවත් කරන ලද පාරට වතුර ගැසූ විට බලා සිටිය දී ම පිරි­සුදු විය. ‘තවත් මෙහෙම තිබු­ණොත් මර­ණ­යක් දෙකක් වෙලා තමයි නත­ර­වෙන්නෙ මහ­ත්තයො’ හාමු­දු­රුවෝ කීහ.

නිකැ­හැ­ටි­කන්ද ශ්‍රී විජ­යා­රාම විහා­රා­ධි­පති ධන­කි­රියේ සුසීම ස්වාමීන් වහ­න්සේට දීඝායු පතමි.

අධ්‍යා­පන සංව­ර්ධන නිල­ධාරී චන්ද්‍ර­සිරි හෙට්ටි­ආ­රච්චි මහතා විසින් යොමු­ක­රන ලද ලිපි­යක් ඇසු­රෙනි 

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

Comments