
ලෝකයේ ඇති මහා සංගීත සම්ප්‍රදාය අතුරින් ඉන්දීය සංගීත සම්ප්‍රදායට හිමි වනුයේ විශේෂ ස්ථානයකි. මන්ද යත්: ඉන්දීය සංගීත සම්ප්‍රදාය මහා සංගීත සම්ප්‍රදායක් වීමට අවැසි සියලු දේ සපුරා ඇති බැවිනි. ඒ අතර ආවේණික ස්වරමාලාවක් සහ තාලපද්ධතියක් තිබීම, ගායන ශිල්පක්‍රම හා විවිධ ගායනශෛලීන් භාවිතය, ආවේණික වූ ස්වර වාද්‍යභාණ්ඩ හා තාල වාද්‍යභාණ්ඩ භාවිත වීම, ඒ ස්වර වාද්‍යභාණ්ඩ හා තාල වාද්‍යභාණ්ඩ සම්මත ක්‍රමයකට සුසර කළ හැකි වීම මෙන්ම පිළිගත් වාදන ශිල්පක්‍රම භාවිතය ආදි කරුණු ප්‍රධාන වශයෙන් දැක්විය හැකිය.
වාද්‍යභාණ්ඩ භාවිතයේදී ඉන්දියාවට ආවේණික මෙන්ම ලොව වෙනත් සංගීත සම්ප්‍රදායවල භාවිත සංගීත භාණ්ඩ ඉන්දීය සංගීතයට අනුගත වන ලෙස යොදාගෙන ඇත. උදාහරණයක් ලෙස: වයලීනය බටහිර සම්භවයක් සහිත වාද්‍යභාණ්ඩයක් ලෙස සැලකෙන නමුත් ඉන්දීය රාගධාරි සංගීතය වාදනයේ ප්‍රධාන වාද්‍යභාණ්ඩයක් ලෙස එය භාවිත කෙරේ. මේ ආකාරයට විවිධ සම්ප්‍රදායවල සංගීතභාණ්ඩ යොදාගෙන තිබේ.
ගිටාරයද බටහිර සම්භවයක් සහිත වාද්‍යභාණ්ඩයක් වන නමුත් ඉන්දීය රාගධාරි සංගීතය වාදනයේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩයක් ලෙස වර්තමානය වන විට භාවිත කෙරේ. මේ සඳහා එය ව්‍යූහමය වශයෙන් සහ ප්‍රායෝගික භාවිතයේ ශිල්පක්‍රම ආදියෙහි සැලකිය යුතු වෙනසකට ලක් කර ඇත.
බටහිර සම්භවයක් සහිත ගිටාරය ඉන්දීය ශාස්ත්‍රීය සංගීත පද්ධතියට එක් කර, ඉන් ශාස්ත්‍රීය රාගධාරි වාදන ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමි වනුයේ පණ්ඩිත් 'බ්‍රිජ් භූෂන් කාබ්රා' නම් මහා සංගීතඥයාටය. ශාස්ත්‍රීය සංගීතය වෙනත් මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට අදහස් කළ මොහු සාමාන්‍ය බටහිර ගිටාරය ඒ සඳහා තෝරාගත්තේය. මොහුගේ විශේෂත්වය වූයේ ගිටාරය රඳවා තබාගන්නා සාමාන්‍ය ආකෘතියෙන් බැහැරව ආසන ක්‍රමයට බිම හිඳගත් ඉරියව්වේ සිට උකුළ මත තිරස් ආකාරයට රඳවා තබාගැනීමය. මෙය බොහෝ සෙයින් බටහිර (Lap Guitar) වාදනය කරන ඉරියවුවට සමානකම් දැක්වීය. ඔහු ගිටාරයේ කැපීපෙනෙන ව්‍යූහාත්මක වෙනසක් සිදු කළ අතර, සාමාන්‍ය ගිටාරයක තත් පිහිටන ස්වරූපයෙන් මිදී ස්වර පුවරුවට වඩා ඉහළින් තත් ස්ථානගත කර ඇත. ඒ සඳහා 'පාලම' හෙවත් (Bridge) යන කොටස සහ 'තාර්ගහන්' හෙවත් (Nut) යන කොටස් යොදාගෙන ඇත.
තත් යොදාගැනීමේදී ප්‍රධාන තත් තුනක් සහ චිකාරි තත් තුනක් ලෙස භාවිත වූ අතර ඉන් ප්‍රධාන තත් ත්‍රිත්වය මධ්‍ය ෂඩ්ජය, මන්ද්‍ර පංචමය හා මන්ද්‍ර ෂඩ්ජය යන ස්වරයන්ටද චිකාරි තත් ත්‍රිත්වය මධ්‍ය ෂඩ්ජය, මන්ද්‍ර පංචමය හා උච්ච ෂඩ්ජය සඳහා සුසර කර ඇත.
වාදනය කිරීම සඳහා දකුණු අතේ මුදු තුනක් පැලඳි අතර ස්වරස්ථාන ස්පර්ශ කිරීම සඳහා සිලින්ඩරාකාර ලෝහ කූරක් භාවිතයට ගෙන ඇති අතර, මොහු විසින් මේ භාණ්ඩය ඉන්දීය ශාස්ත්‍රීය ගිටාරය ලෙස හඳුන්වා ඇත.
පණ්ඩිත් බ්‍රිජ් භූෂන් කාබ්රා විසින් ආරම්භ කළ මේ සුවිශේෂ භාණ්ඩය ලෝක සංගීතය හා සම්මිශ්‍රණය කිරීමට කටයුතු කළේ පණ්ඩිත් විශ්ව මෝහන් බට් නම් මහා සංගීතඥයා විසිනි.
පණ්ඩිත් විශ්ව මෝහන් බට්
මොහු විසින් බටහිර ගිටාරයේ ආකෘතිය යම් වෙනසකට ලක් කරන ලද අතර විශේෂ අංග කිහිපයක්ද එකතු කරන ලදි. මේ සඳහා ව්‍යූහමය වශයෙන් කළ වෙනස්කම් අතර තත් භාවිතයේදී ප්‍රධාන තත් හතරක්, චිකාරි තත් පහක් සහ අනුනාද තත් දොළොසක් යොදාගෙන ඇත. මොහු හඳුන්වා දුන් ශාස්ත්‍රීය ගිටාරයේ තවත් වැදගත් අංගයක් වූයේ තුම්බාවයි. මෙයද ඉන්දීය සම්ප්‍රදායේ අනන්‍ය ලක්ෂණයකි.
තවද තත් රැඳවීම සඳහා ලෝහයෙන් නිර්මාණය කළ (Tail piece) කොටසක් එකතු කළ අතර, එය ප්‍රමාණ දෙකකින් යුක්ත විය. ප්‍රධාන තත් සහ චිකාරි තත් රැඳවීමට සාමාන්‍ය ප්‍රමාණයේ (Tail piece) කොටසක් ද අනුනාද තත් රැඳවීමට කුඩා (Tail piece) කොටසක්ද ලෙස එය සකස් විය.
එසේම තත් ඔසවා තබාගැනීම සඳහා පාළම් (Bridge) වර්ග දෙකක් භාවිත කිරීම ද මෙතුමාගේ විශේෂත්වය විය. ප්‍රධාන තත් සහ චිකාරි තත් ඔසවා තැබීමට ප්‍රධාන (Main Bridge) පාලමද අනුනාද තත් ඔසවා තැබීමට කුඩා පාලමක්ද යොදා ගන්නා ලදි. මේ කුඩා පාලම ජවාරි ලෙසද ව්‍යවහාර කරයි.
මොහු හඳුන්වා දුන් ඇඟිලි රඳවනය ශාස්ත්‍රීය ගිටාරයට එක් වූ විශේෂිත අංගයකි. මන්ද යත්: තත් කම්පනය කිරීම සඳහා දකුණු අත ගිටාරයේ බඳට වඩා ඉහළින් රඳවා තබා ගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා යෙදූ උපක්‍රමය මෙය විය.
පණ්ඩිත් විශ්ව මෝහන් බට් විසින් හඳුන්වා දුන් ශාස්ත්‍රීය ගිටාරය මෝහන් වීණා ලෙස ව්‍යවහාර වූ අතර වර්තමානයේ මෙය 'ශාස්ත්‍රීය ගිටාරය' යන නාමයට වඩා 'මෝහන් වීණා' යනුවෙන් ප්‍රසිද්ධියක් උසුලයි.
පණ්ඩිත් දෙබාශිෂ් භට්ටාචාර්ය, ආචාර්ය කමලා ශංකර්, දෙබාශිෂ් චක්‍රබෝර්ති, පණ්ඩිත් විශ්ව මෝහන් බට් සංගීතඥයාගේ පුත් සල්ලි බට්, ශ්‍රී ක්‍රිෂාන් ශර්මා, අජේ පණඩිත් ජා, ආනන්ද සුන්දරම්, දීපක් ශිසාගර්, සන්ජේ කුමාර්, මනීෂ් පිංගල්, පණ්ඩිත් සුනිල් පාවුගී යන අය මෝහන් වීණා වාදනය සම්බන්ධව ප්‍රචලිත සංගීතඥයෝ වෙති.
මේ වන විට ශ්‍රී ලංකාවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේද 'මෝහන් වීණාව' උපාධි පාඨමාලාවක් ලෙස අධ්‍යයනය කළ හැකි අතර, මේ විෂයය හඳුන්වා දීම සඳහා ආචාර්ය සුදත් වික්‍රමසිංහයන් කළ සුවිසල් මෙහෙය ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.