භාෂා විෂ­යක ‘සිළු­මිණ’ කළ මෙහෙය | සිළුමිණ

භාෂා විෂ­යක ‘සිළු­මිණ’ කළ මෙහෙය

සිළුමිණ පුවත්පත අසූ නවවන වියට එළඹ ඇත. එම ගෙවුණු කාලපරිච්ඡේදය, මෙරට සමාජ - දේශපාලන අංශවල මෙන්ම සිංහල භාෂාවේ ද වෙනස්කම් රැසක් සිදු වූ අවධියකි. සිංහල භාෂාවේ සමකාලීන මුහුණුවර සකස් වූයේත්, භාෂා විෂයක මතවාද හා ගැටලු මධ්‍යයේ වුවද, පුවත්පත් සඳහා යෝග්‍ය භාෂා ව්‍යවහාරයක් තනා ගැනීමට නූතන පත්‍රකලාවේදීන්ට හැකි වූයේත් ඒ අවධියේ දී ය. මේ කාලය තුළ සිංහල භාෂා ව්‍යවහාරයේ සිදු වී ඇති පරිණාමය වටහා ගැනීමට ද සිළුමිණ පුවත්පත උපකාරී වෙයි. සිංහල භාෂා විෂයක ‘සිළුමිණ’ සිදු කළ මෙහෙය ලුහුඬින් විමසා බැලීම මේ ලිපියේ අරමුණ යි.

නූතන සිංහල සාහිත්‍යයේ මෙන්ම භාෂා ව්‍යවහාරයේ වර්තමාන මුහුණුවර සකස් වීමට බල පෑ වැදගත් ම සාධකය ලෙස දැක්විය හැක්කේ ඉංග්‍රීසි පාලන සමයේ දී සිංහල පුවත්පත් සඟරා බිහිවීම යි. සිංහල මුද්‍රණ ශිල්පයේ පැතිරීමත් සමඟ නොයෙක් වර්ගයේ පත්‍ර සඟරා පළ වීම නිසා සිංහල භාෂා සාහිත්‍යය කෙරෙහි මහජනයාගේ උනන්දුව ද වැඩි වූයේ ය. දහනව වන සියවසේ තෙවන දශකයේ පමණ සිට සිංහල සඟරා පළ වීම සිදු වූ අතර, විසිවන සියවස ආරම්භ වන විට සිංහල පුවත්පත් සඟරා ක්ෂේත්‍රයේ සැලකිය යුතු වර්ධනයක් සිදු වී තිබිණි.

විසිවන සියවසේ ආරම්භ වන විට පුවත්පත් කියැවීමේ පුරුද්දක් සිංහල ජනයා අතර පැතිරී තිබුණු අතර, දිනපතා ප්‍රවෘත්ති පළ කිරීමට තරම් දියුණු පාඨක සමාජයක් ලංකාවේ ඇති වීම ද වැදගත් කරුණකි. විසිවන සියවසේ මුල් දශකවල දී සිංහල පාඨක ලෝකයේ ප්‍රචලිත ව පැවැති ‘සිංහල බෞද්ධයා’ (1906), දිනමිණ (1909), ‘සිංහල ජාතිය’ (1910), ‘ලක්මිණ’ වැනි පුවත්පත් සිංහල භාෂා විෂය කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කෙළේ ය. ‘දිනමිණ’ ප්‍රථම කර්තෘ එච්. එස්. පෙරේරාගේ අභාවයෙන් පසුව, 1914 දී ‘දිනමිණ’ පත්‍රය මිලයට ගනිමින් සිංහල පුවත්පත් පළ කිරීමේ කාර්යයට පිවිසි සී. ආර්. විජයවර්ධන (1880 - 1950) මහතා, පසුව කොළඹ ලේක්හවුස් ආයතනය පිහිටුවීම සිංහල පුවත්පත් කලාවේ අභිවර්ධනයට හේතු වූ සිද්ධියකි.

1930 පමණ වන විට මුද්‍රිත ජනමාධ්‍යයක් වශයෙන් සිංහල පුවත්පත සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන තිබිණ. ඒ අවධියේ වුසූ සුප්‍රකට සිංහල ලේඛකයන් කීප දෙනෙක් ම ‘සිංහල බෞද්ධයා’ , ‘සිංහල ජාතිය’ , ‘දිනමිණ’ , ‘ලක්මිණ’ ආදී පුවත්පත්වල කර්තෘ මණ්ඩලයන්හි සේවය කළහ. පියදාස සිරිසේන, සී. ඩබ්ලිව්. වික්‍රමාරච්චි, ඇලෙක්සැන්ඩර්, වැලිවිට පියසේන නිශ්ශංක, මාර්ටින් වික්‍රමසිංහ, හේමපාල මුනිදාස ආදීහු ඔවුන් අතර කැපී පෙනුණහ. මොවුන් අතර ජ්‍යෙෂ්ඨ පත්‍ර කලාවේදියකු වූ ඩී. ඩබ්ලිව්. වික්‍රමාරච්චි මහතා, 1924 දී ‘දිනමිණ’ පත්‍රයෙන් අස් වී ‘ස්වදේශ මිත්‍රයා’ නමින් අලුත් ඉරිදාා පත්‍රයක් ආරම්භ කෙළේය.

විශාල පිටු අටකින් යුක්ත ව නොයෙක් විශේෂාංග සහිත ව පළ කෙරුණු මේ පුවත්පත ඉතා කෙටි කලකින් ජනප්‍රිය විය. 1930 ගණන් වන විට ‘ස්වදේශ මිත්‍රයා’ පුවත්පත ලබා තුබූ ජනප්‍රියත්වයට විකල්පයක් වශයෙන් සී. ආර්. විජයවර්ධන මහතා ලේක්හවුස් ආයතනය මගින් 1930 මාර්තු 23 වනදා අලුත් ඉරිදා පත්‍රයක් ‘සිළුමිණ’ නමින් ආරම්භ කෙළේය. ‘සිළුමිණ’ පත්‍රය ආරම්භ කිරීමේ දී පැවති අරමුණු එහි මුල්ම කතුවැකියේ මෙසේ සඳහන් වේ.

ජාත්‍යුන්නතිය, ශාස්ත්‍රොද්දීප්තිය, සදාචාරය, මහජන සේවය, මහජන අථි සංරක්ෂණය යන ආදියට රුකුල් දීමෙන් ජනතාභිවෘද්ධිය සැලසීම අපේ එක් වන් අධිෂ්ඨානයයි. ‘දිනමිණ’ පත්‍රය මෙන්ම ‘සිළුමිණ’ පත්‍රය ද කිසියම් දේශපාලන පක්ෂයකට රැඳී බැඳී නැත්තේයි. දෘෂ්ටිභේද, කුලභේද, පන්තිභේද යන ආදියෙන් තුරන් ව සකල ජනතාවගේ ම ශුභ සිද්ධිය සඳහා ක්‍රියා කිරීම මේ අභිනව ප්‍රවෘත්ති පත්‍රයේ ප්‍රතිපත්තිය වන්නේ ය. (සිළුමිණ, 1930-3-23).

‘සිළුමිණ’ ආරම්භක කර්තෘවරයා වූයේ පියසේන නිශ්ශංක මහතා ය (1890 - 1970). 1918 දී භාෂා පරිවර්තකයකු ලෙස ලේක්හවුස් ආයතනයට බැඳුණු නිශ්ශංක මහතා, පසුව වාර්තාකරුවකු, උපකතුවරයකු හා ‘දිනමිණ’ කර්තෘ වශයෙන් ද සේවය කෙළේ ය. පොදු ජන රුචිය හා ආකල්ප පිළිබඳ ව මනා වැටහීමක් තිබූ කතුවරයෙකු වශයෙන් නිශ්ශංක මහතා ‘සිළුමිණ’ පත්‍රයට නොයෙක් විශේෂාංග එක් කෙළේ ය.

කලක් ‘දිනමිණ’ උපකර්තෘවරයකු ලෙස සේවය කරමින් සිට 1927 දී ‘ලක්මිණ’ පුවත්පතේ කර්තෘ ලෙස පත් වූ මාර්ටින් වික්‍රමසිංහ මහතා, නැවතත් ඩී. ආර්. විජයවර්ධන මහතාගේ ආරාධනය පරිදි 1931 දී ලේක්හවුසියට බැඳුණේ ය. ඒ අනුව 1931 දී ‘සිළුමිණ’ කර්තෘ ධූරය වික්‍රමසිංහ මහතාට පිරිනැමුණි. 1932 දී නැවතත් ‘දිනමිණ’ කර්තෘ ධූරය වික්‍රමසිංහ මහතාට පැවරීමත් සමග, නිශ්ශංක මහතා ‘සිළුමිණ’ කර්තෘ ලෙස වැඩ බාරගත්තේ ය.

මේ ආකාරයෙන් ‘සිළුමිණ’ පුවත්පත ආරම්භයේ දී ම එහි භාෂා රීතිය සකස් වූයේ වික්‍රමසිංහ, නිශ්ශංක ආදී කෘතහස්ත පත්‍ර කලාවේදීන්ගේ මඟපෙන්වීම යටතේ ය. විශේෂයෙන් ම, භාෂා ව්‍යවහාරය පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කළ ලේඛකයකු වූ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ භාෂා ප්‍රතිපත්තිය ‘සිළුමිණ’ කතු පදවිය හෙබවූ මාර්ටින් වික්‍රමසිංහ මහතා ද භාෂා විෂයක ‘සිළුමිණ’ දැරූ ප්‍රතිපත්තිය මෙන්ම එවකට ‘සිළුමිණ’ කතු පදවිය හෙබවූ මාර්ටින් වික්‍රමසිංහ මහතා ද භාෂා විෂයක දැරූ ආකල්ප පෙන්නුම් කරන්නකි. එම කතුවැකිය ඇරඹෙන්නේ මෙසේය.

“සිංහල ජීව භාෂාවකි. එහෙයින් එය කලින් කල වෙනස් වීම නොවැළැක්විය හැකිය. ඒ ස්වභාව රීතිය හරහා කටුවැටක් බැඳීම අපේ රීතිය නොවේ”

ජීව භාෂාවක් ලෙෂ සිංහලයේ ප්‍රකාශන ශක්තිය වර්ධනය කිරීමේ අවශ්‍යතාව එකල ‘සිළුමිණ’ සංස්කාරකවරුන් අවබෝධ කර ගෙන සිටි බව මෙයින් පැහැදිලි වේ. එකල සිංහල භාෂා ව්‍යවහාරය පිළිබඳ ව අවධානය යොමු කළ ‘සිළුමිණ’ සංස්කාරකවරු ඉහත කතුවැකියේ මෙසේ ද පැවසූහ.

“අපි දැනට විසිවන ශත වර්ෂයෙහි වාසය කරමු. නමුත් මෙකල ප්‍රවෘත්ති පත්‍රවලටත්, ග්‍රන්ථවලටත් ලියුම් සපයන සමහරු පුරාණ ගල් සන්නස් කාලයේ භාෂාවෙන් ලියත්. සමහරෙක් ඉන් මෑත දඹදෙණි කාලයේ භාෂාව ගනිති. ඇතැමුන්ගේ ලියුම් මේ සියල්ලන්ගේ සම්මිශ්‍රණයකි ඔවුනොවුන් හා වාද කරමින් තම පාණ්ඩිත්‍යයේ තරම ලොවට පෙන්වා ගැනීමට උපකාර වන බැවින් මෙය පණ්ඩිතයන්ට නම් හොඳ විය හැකියි.

කෙසේ වුව ද වර්තමාන ව්‍යවහාර විෂමතා ඉක්මනින් දුරු වී සමතාවකට පැමිණීම ස්වභාෂාවේ වර්ධනයටත් සාමාන්‍ය ජනතාව වර්තමානයෙහි විඳින බලවත් හිරිහැරය පහව යෑමටත් උපකාරී වනවා ඇත.”

(සිළුමිණ, 1931-2-22).

භාෂාව පැරණි ස්වරූපයෙන් ම තබා ගැනීමට සමකාලීන ව ඇතැම් පඬිවරුන් විසින් ගනු ලැබූ උත්සාහය ‘සිළුමිණ’ අනුමත නොකළ බව මෙයින් පැහැදිලි වේ. සිංහල භාෂාවේ සමකාලීන ව්‍යවහාරය පිළිබඳ අවධානය යොමු කිරීමේ වැදගත්කම මෙන්ම භාෂා විෂයක සම්මතයක් ඇති කර ගැනීමේ වැදගත්කම ඉහත කතුවැකියෙන් ඉස්මතු වෙයි.

1920 - 30 දශකවල දී පුවත්පත් සඳහා යෝග්‍ය වූ ව්‍යවහාරෝචිත බස් වහරක් ගොඩනැංවීමට කටයුතු කළ මාර්ටින් වික්‍රමසිංහ මහතා, 1934 සිට ‘සිළුමිණ’ පුවත්පතට ‘මයුර පාද’ නමින් ලිපි සැපයීය. සමකාලීනව වැදගත් වූ විවිධ මාතෘකා අනුව ලියැවුණු එම ලිපි සිංහල පුවත්පත් බස සකස් වීමට ද මහත් බලපෑමක් ඇති කෙළේය. ඒ ලිපි නිසා සිංහල භාෂා ව්‍යවහාරයට එක් වූ නව යෙදුම් හා විශේෂ උක්ති බොහෝ ය.

සිංහල භාෂා ව්‍යවහාරය අරබයා ලේඛකයන් අතර විවිධ මතවාද, යෝජනා හා මතභේද පැතිර ගිය අවදියක් ලෙස 1930 - 40 දශක දැක්විය හැකිය. එක් අතකින්, සංස්කෘත පද බහුල භාෂා රීතියත්, අනෙක් අතින් හෙළ බස් වහරත් අනුගමනය කළ වියතුන් පිරිසකගේ ශාස්ත්‍රීය කටයුතු නිසා භාෂා ව්‍යවහාරය පිළිබඳ ගැටලු සිංහල පුවත්පත්වල සාකච්ඡා විය. සකුවමුසු බස් වහරටත්, හෙළ බස් වහරටත් ගැති නොවී සමකාලීන ව්‍යවහාරය ඇසුරින් පුවත්පත් සකසා ගැනීමට ‘සිළුමිණ’ පුවත්පතට හැකියාව ලැබුණේ එහි කතුකම් කළ පියසේන නිශ්ශංක, මාර්ටින් වික්‍රමසිංහ ආදී ලේඛකයන් බස් වහර සම්බන්ධයෙන් දැක්වූ ජන සම්මතවාදී අදහස් නිසාය.

1944 දී ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රාජ්‍ය භාෂා යෝජනාව සම්මත වීමත් සමග, සිංහල භාෂාව නව අවශ්‍යතා සඳහා යොදා ගැනීමේ පිළිබඳ ව විද්වතුන් අතර සාකච්ඡා ඇති විය. 1944 ජූනි මස 25 වන දා ‘සිළුමිණ’ පුවත්පතේ ‘සිංහල භාෂාව ලිහිල් කිරීම’ මැයෙන් පළ වූ කතුවැකිය සහ ‘ලිහිල් සිංහලයක් ’ පිළිබඳව 1944 ජූනි - ජූලි මාසවල ‘සිළුමිණ’ පත්‍රයේ පළ වූ ලිපිවලින් පැහැදිලි වන්නේ සමකාලීන භාෂා ප්‍රශ්න සම්බන්ධයෙන් ‘සිළුමිණ’ සංස්කාරකවරුන් දැක්වූ උනන්දුවයි.

සිංහල භාෂා විෂයක ‘සිළුමිණ’ ඉටු කළ මෙහෙය විමසීමේ දී වඩාත් කැපී පෙනෙන්නේ ‘සිළුමිණ’ ආරම්භක අවදියේ පටන් ම පළ වූ ‘ග්‍රන්ථ විවරණ’ නමැති පොත්පත් විවේචන තීරුව සහ ‘ශාස්ත්‍රීය අතිරේකයයි’ සමකාලීන භාෂා සාහිත්‍යය පිළිබඳ උගතුන්ගේ සංවාද මණ්ඩලයක් ලෙස ‘සිළුමිණ’ සංස්කාරකවරුන් දැරූ උත්සාහය නිසා ය.

සිංහල භාෂා ව්‍යවහාරයේ නිවැරදි භාෂා ප්‍රයෝග පිළිබඳව වරින්වර පළ වූ ලිපි මෙන්ම භාෂා විෂයක වාද - විවාදවලට සිළුමිණ පුවත්පත තෝතැන්නක් විය. 1969 දී ‘සම්මත සිංහල වාදයේ ’ දී ‘සිළුමිණ’ අනුගමනය කළ ස්ථාවරයෙන් ද පැහැදිලි වන්නේ සමකාලීන ව්‍යවහාරයට දැක්වූ නැඹුරුවයි. සිංහල ව්‍යාකරණඥයන්, භාෂා ගුරුවරුන් පමණක් නොව නූතන වාග්විද්‍යාව පිළිබඳ පුහුණුවක් ලැබූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් භාෂා විෂයක කරුණු මුල් කරගෙන ලියූ ශාස්ත්‍රීය ලිපි රැසක් පසුගිය දශක කීපය තුළ දී ‘සිළුමිණ’ පුවත්පතේ පළ වී ඇත.

සිංහල භාෂා විෂයයෙහි පසුගිය කාලය තුළ දී ඉස්මතු වූ වාද - විවාද කීපයකටම හේතු වූයේ ‘සිළුමිණ’ පුවත්පතට වියතුන් විසින් සපයන ලද ලිපි ය. 1984 දී ‘සිළුමිණ’ ශාස්ත්‍රීය අතිරේකයට මහාචාර්ය ජේ.බී. දිසානායක සැපයූ “සිංහලයේ නව මුහුණුවර” නමැති ලිපිපෙළ සමකාලීන සිංහලය හෙළි පෙහෙළි කිරීමට දැරූ වෑයමකි.

එම ලිපි පෙළේ අඩංගු වූ සමහර කරුණු ඇතැම් වියතුන්ගේ විචාරයට ලක් වූ අතර භාෂා විෂයක විවිධ ආකල්ප, මතවාද දරන වියතුන්ගේ අදහස් පළ කිරීමෙන් ‘සිළුමිණ’ පසුගිය වසර කීපය තුළ දී පවා ඉටු කළේ වැදගත් මෙහෙයකි.

‘සිළුමිණ’ පුවත්පත භාෂා විෂයක කරුණු සම්බන්ධයෙන් සංවේදී වූ බව පැහැදිලි වේ. මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය සුචරිත ගම්ලත්, ඩි. එෆ් කාරියකරවන, අ.ආ. ගුණතිලක, සිරි තිලකසිරි ආදී නොයෙක් ගුරුකුලවලට අයත් වියතුන් ‘සිළුමිණ’ ‘පුන්කලස’ අතිරේකයට සැපයූ ලිපි සිංහල භාෂාවේදීන්ගේ විශේෂ අවධානයට ලක්විය. ‘වියත් වහර සොයා’ (2001), ‘කව්ලැකිය’ (2002), නමින් මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා ලියූ ලිපි පෙළ ද ‘බස නැසෙන සැටි’ (2002), මැයෙන් ඩි. එෆ් කාරියකරවන මහතා ලියූ ලිපි පෙළ ද ‘සිළුමිණ’ භාෂා විෂයක සිදු කළ මෙහෙය විමසීමේ දී සඳහන් කළ යුතුය.

මේ ආකාරයෙන්, සිංහල භාෂා විෂයක ගැටලු පිළිබඳ ව සංවේදී වූ පුවත්පතක් වශයෙන් නොයෙක් භාෂා මතවාද, සංවාද ජනතාව අතරට ගෙන යෑමට පසුගිය අසූ වසර තුළ ‘සිළුමිණ’ ඉටුකර ඇති මෙහෙය ඉමහත් ය.

සිංහල පුවත්පතකට සුදුසු බස් වහරක් සකසා ගැනීමට අමතර ව පුවත්පත් සිරස්තල, ප්‍රවෘත්ති, විශේෂාංග, කතුවැකි, තීරු ලිපි සඳහා පූර්වාදර්ශ සැපයීමට ‘සිළුමිණට’ හැකි වූයේ එහි කතුකම් කළ වියත් ලේඛකයන්ගේ භාෂා ඥානය නිසා ය. ‘සිළුමිණ’ ආරම්භයේ පටන් ම භාෂාවේ නිරවද්‍ය ව්‍යවහාරය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වූ අතර, එම කාර්යයේ දී සමකාලීන ව්‍යවහාරය ගැන අවබෝධයකින් යුක්ත ව කටයුතු කර ඇත.

මේ අනුව, විසිවන සියවසේ තෙවන දශකයේ පමණ සිට පුවත්පතට සුදුසු භාෂා රීතියක් හා ශෛලියක් සකසා ගැනීමට මෙන්ම, කිසිදු භාෂා ගුරුකුලයකට යට නොවී ස්වාධීන මාර්ගයක කරමින් කාලීන අවශ්‍යතා අනුව බස් වහර සකසා ගැනීමට ‘සිළුමිණ’ ඉටු කළ මෙහෙය විද්‍යාර්ථීන්ගේ ශාස්ත්‍රීය ගවේෂණයට ලක්විය යුතු විෂය ක්ෂේත්‍රයක් වන්නේ ය.

Comments