
පෙම් සුළඟ
ඈත එපිට සුන්දර ගම්මානයකි.
එහි විසූ හුදී ජනයා අබිබවා නැගී සිටි වැදගත් යැයි සම්මත පවුලකි. ඔවුහු ධනයෙන්ද බලයෙන්ද හෙබියහ.
ඇය ද ඒ පවුලේ දියණියක ව උපන්නා ය. ඇය ලොකු මහත් වී නිසි කල ආ කල මාපියෝ ඇයට ගැළපෙන පුරුෂයකු සොයා කරකාර බැඳ දුන්හ.
ඔහු ඇය කැන්දාගෙන ගියේ ය.
නව යුවළ සැපෙන් සතුටින් විසූහ. ඔවුනට දරුවෝ දෙදෙනෙක් ද උපන්හ.
මේ තාක් කල් කිසිදු හැලහොල්මනකින් තොර වගලා ගිය මේ ළමාතැනී ගේ ජීවිතය ඇය නොසිතූ දිසාවකට යොමු වූයේ ඉන් පසු ය.
ප්‍රේමය මඳ පවනැල්ලක් සේ ය. එහි පහස විඳිනු හැර එය එන්නේ කොහි සිට ද යන්නේ කොතැනක ද සොයන්නෝ කවරහු ද? ඉතින් එබඳු ප්‍රේමයක් ඇය සොයා ද ආවේ ය. ඇය ද එහි එතුණා ය.
මේ රහස දැනගත් දා ඈ සැමියා තද තීන්දුවක් ගත්තේ ය. ඔහු ඇය පලවා හළේ ය.
ශක්තිමත් ආත්මයක් තිබූ ඇය ඔහු ඉදිරියේ හඬා නොවැටුණා ය. ‘ඔහේට මා එපා නම් මටත් ඔහේ එපා‘යැයි කියන්නාක් මෙන් ඇය දරුවන් ද කැටුව පාරට බැස්සා ය.
ඇය මහගෙදර සොයා ගියා ය. ඇය ගෙට ගොඩවෙන්නටත් පෙර ම එහි දොර වැසී ගියේ ය. ආපසු හැරුණු ඇය සොයුරු සොයුරියන් ගේ ගෙවල් බලා ගියා ය. ඒවායේ ද දොරවල් වැසිණ. ඇය නෑ සියන් ගේ ගෙවල් දෙස හැරුණා ය. ඒවායේ දොරකවුළු ද වැසී ගියේ ය. ‘උඹලටත් මා එපා නම්, මටත් උඹල එපා‘ කියන්නාක් මෙන් ඇය ඔවුනට පිටුපා දරුවන් ද සමඟ දන්නාකියන පුංචි ගෙදරකට ගියා ය.
එහි දොර නම් ඇයට වැසී නොගියේ ය. එහෙත් ඒ පුංචි ගෙදර තවත් පවුලකට ඉඩක් නොවී ය.
ගෙට අල්ලා ගේ පිටුපසින් යාලත්තක් බැඳිණ. එය පොල්අතුවලින් වට කැරිණ.
එතැන් පටන් ඇගේත් දරුවන්ගේත් නිවහන වූයේ එය ය. ඇය කුලීමලී කොට දරුවන් රැක්කා ය. ඔවුනට ඉගැන්නුවා ය.
දරුවන් ලොකුමහත් වී විවාහ වූ කල ඇය අතුපැලෙන් සමුගෙන ඔවුන් ගේ ගෙවල විසුවා ය.
මෙකල අර පරණ පෙම් සුවඳ යළිත් ඇය සොයා හැමුවේ ය. ඇය ද ඒ සුවඳ දිගේ ඔහු සොයා ගියා ය. එහෙත් ඔවුනට වැඩි දවසක් විසිය හැකි නොවී ය.
ඇය ආපසු හැරුණා ය. යළි දරුවන් සොයා ආවා ය.
කලක් ගත විය. බෙහෙවින් වියපතක් වූ ඇය ඒ වන විට සිටියේ වැඩිහිටි නිවස්නයක ය.
දිනක් ඇය මරුවා සමඟ හිනැහුණා ය. ඇගේ නිසල වතට එබී බැලූ අයට එහි ළතැවිල්ලක සේයාවක්වත් සොයා ගත නොහැකි විය.
ඇගේ දේහය අවසන් ගෞරවය පිණිස තැන්පත් කර තිබුණේ මල් ශාලාවක ය.
හිටිහැටියේ ම මල්ශාලා දොරකඩ රිය පෙළක් තැවතිණ. ඒවායින් බට ඇත්තෝ මල්හලට පැමිණ ඇය අවසන් වරට දැක හැරී ආපසු ගියහ. ඒ ඈ පාරට වැටුණු කල දොර කවුළු වසාගත් නෑයෝ මිස අන් කවරහු ද?
මේ කතාව මට කීවේ මගේ දුර මිතුරෙකි.
‘මං මේ ඔයාට කතා කරන්නෙ මළගෙදරක ගිහිං ආ හැටියෙමයි. මේ කතාව මං ඔයාට කියන්නෙ මට ඒක හිතේ දරාගෙන ඉන්න අමාරු හින්දයි. මිනිස්සු මේ ගෑනු මනුස්සයට ජීවිත කාලයක් තිස්සෙ මේ තරම් දරුණු දඬුවමක් දුන්නේ එයා මොන අපරාධයක් කෙරුවට ද? මිනී මැරුවට ද? ආදරේ කෙරුවට නේද? ආදරේ කරන එක ඒ තරම්ම අපරාධයක් ද?‘ ඔහු මගෙන් ඇසුවේ ය.
මම ගොළු වීමි.
අනන්‍යතාව හෙළිකිරීමට අකැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
හරි දැක්ම
නිහඬ පවුලකි.
සැමියාත්, බිරියත්, දරුවෝ දෙදෙනාත්, බිරිය ගේ මවත් එහි වෙසෙති.
බතක් හා එළවළුවක් හෝ දෙකක් ඔවුන් ගේ දිනපතා අහර වේ. ඒ එළවළුව ද වවා ගන්නේ ඔවුන් ම ය.
දිනක් ඔවුන්ට මුහුදු මාළුවක රස විඳීමේ ආසාවක් ඇති විය.
උදේ දහයට පමණ මාළු වෙළෙන්දා කෑ ගසාගෙන පාරේ එනු ඇසිණ. සැමියා මැටිබඳුනක් ද රැගෙන පාරට ආවේ ය. ඔහු දුටු මාළු වෙළෙන්දා නැවතුණේ ය.
‘මොනවද තියෙන්නෙ?‘
‘සාලයො තියෙනනව. කළවම් මාළු තියෙනව... ‘
‘මං අතේ එකසිය පනහක් තියෙනව. පුළුවං විදිහට සාලයො ටිකක් දෙන්ඩකො‘
මාළු ටික කිරූ වෙළෙන්දා එය බඳුනෙහි තබා මුදල අතට ගත්තේ ය. සැමියා මාළු බඳුන ද රැගෙන ගෙදර ගියේ ය.
ඒ සමඟ ම මාළු ගන්නට ආ තව කෙනෙකුත්, මාළු වෙළෙන්දාත් අතර
මෙබඳු දෙබසක් ඇති විය.
‘ඒ මනුස්සෙයගෙ ඔළුව හොඳ මදි නේද?‘
‘ඇයි එහෙම කියන්නෙ?‘
‘ඔළුව හොඳ නං මාළු ගන්ඩ වළඳක් ගෙනෙයියැ‘
‘වළඳක් හරි වෙනින් භාජනයක් හරි නොගෙනාව නං මට මාළු දෙන්ඩ වෙන්නෙ මේ පොලිතින් බෑග් එකක දාල. කවුරුත් ගෙදර ගියාම ඒක විසිකරල දානව. ඔය විදිහට පොලිතින් බෑග් විසිකළා ම වත්ත පිටිය පාර හැඩි වෙනව. ඕවයෙ පෝර රසේකුත් නෑ. ඕව ටික ටික එකතුවෙච්ච ම කුණු ගොඩවල් හැදෙනව‘
‘ඒක නං එහෙම තමයි‘
‘හිතට එකඟව වැඩ කරන කෙනාට හම්බවෙන නම්බුනාමෙ තමයි ඕක. ඔළුව හොඳ නෑ කියයි. පිස්සු හැදිල කියයි. එහෙම නේද?‘
‘...!‘
හලාවත,
එම්. ඩබ්ලිව්. අනුර ශාන්ත පීරිස් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.