
නවසීලන්තයේ බොහෝ නගර සාමකාමී හා නිදහස් පරිසරයකින් යුක්තයි. නගරයේ උත්සව සැමරුමකදී හැර වෙඩි හඬක් ඇසෙන්නේ නැතිතරම්. එපමණක් නොවෙයි කොයියම්ම තැනක හෝ පුංචි හෝ ගිනිගොඩක් ගැසීමත් නීතියෙන් තහනම්. රටේ ජනතාව විවිධ ජනවර්ගවලින් යුක්තයි. ඒ වගේම මිනිසුන්ගේ ආරක්ෂාව නිදහස හා පෞද්ගලිකත්වය ඉතා ඉහළින්ම සුරකින රටක්. ක්‍රයිස්ට්චර්ච් කියන්නේ නිතර භූමිකම්පාවලට මුහුණදෙන ප්‍රදේශයක්. එලෙස වරින්වර හටගත් භූමිකම්පාවලින් හානිවූ ගොඩනැගිලි නැවත පිළිසකර කරමින් ගොඩනැගීගෙන එද්දී පසුගියදා සිදුවූ ඛේදවාචකය දරාගන්න බැරිතරම්.
සෙයිඩ්ගේ පවුලේ උදවිය සිරියාවේ සිදුවන ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සරණාගතයින් ලෙස නවසීලන්තයට පැමිණ වසරක්වත් ගතවූයේ නැහැ. එසේ තිබියදී ක්‍රයිස්ට්චර්ච් නුවර ඒ දවසේ සිදුවූ දේ සෙයිඩ්ට තවමත් හීනයක් වගෙයි. සෑම සිකුරාදාකම පියාත් වැඩිමල් සහෝදරයාත් සමඟ දේවස්ථානයට යෑම ඔහුගේ සිරිතක්. පසුගිය සිකුරාදාත් ඔවුන් අල් නූර් දේවස්ථානයට ගියේ බැතිසිතින් කරන ඒ යාඥා මෙහෙය සඳහායි. ඒත් ඒ දවස සයිඩ්ට ජීවිතයේ කවදත් අමතක කළ නොහැකි දිනයක් වේයැයි ඔහු සිහිනෙකින්වත් නොසිතන්නට ඇති. එදා සිට ගෙවුණු දින කීපය සෙයිඩ් ගත කළේ සැබෑවත් සිහිනයත් අතර මංමුළාවූවකු ලෙසින්.
ක්‍රයිස්ට්චර්ච් නගරයේ මුස්ලිම් දේවස්ථානයේ සිදු වූ මිනිස් සංහාරයෙන් මියගිය අය අතරින් පළමුවෙන්ම මිහිදන් කෙරුණේ සෙයිඩ්ගේ පියා කාලිඩ් හා වැඩිමල් සහෝදර හම්සායි. ඔවුන්ට සමුදෙන්න සෙයිඩ් සොහොන් පිටියට පැමිණියේ රෝද පුටුවෙන්. නිල් පැහැති ගන රෙද්දකින් ඔහුගේ දෙපා වැසී තිබුණේ ප්‍රහාරයෙන් ඒ දෙපා දැඩිසේ තුවාලවී තිබීම නිසයි. ඔහුගේ මුහුණෙන් පළවූ තැතිගන්ම හා බියපත්බව වසන් කළ නොහැකි තරම්. සිය සමීපතමයන් මිහිදන් කෙරෙද්දී ඒ දුක වාවාගත නොහැකිව සෙයිඩ් තවමත් සුවපත් නොවූ දෑත් එසවූයේ ඔවුන් වෙනුවෙන් කෙරෙන අවසන් යාඥාව කිරීමටයි. අවසන් ගෞරව දක්වමින් දෙපයින් නැගී සිටීමට ඔහු උත්සාහ දැරුවත් නොහැකි වුණා. වේදනාව දරාගත නොහැකි සෙයිඩ්ට තමන් අවට කොතෙක් දෙනා සිටියත් ඒතැන ඉන්න නොහැකි බවක් දැනුණා.
තමාට මෙතැන සිටිය නොහැකි අන්දමේ මහා තනිකමක් දැනෙන බවක් සියල්ල දෙස හිස් බැල්මෙන් බලා සිටි සෙයිඩ් කෙඳිරිලි හඬින් පවසද්දී ඥාතියෙක් සෙයිඩ් රැගත් රෝද පුටුව සෙමෙන් තල්ලු කරගෙන ඔහු ඉවතට රැගෙන ගියා.
මේ විපතට පත් තවත් අයකුගේ කතාවක්. ඔහු ෆරීඩ්. එදින අවසන් කටයුතුවලට සහභාගිවන්න ෆරීඩ් පැමිණියේ සුපුරුදු රෝද පුටුවෙන්. ඔහු ආබාධිතයකු බවට පත්කළ හදිසි අනතුරවෙලා දැන් වසර හතක්.
ඒ අවාසනාවන්ත දිනයේ ෆරීඩ් අල් නූර් පල්ලියට පැමිණියේ බිරිය හුස්නා සමඟයි. ඇවිදීමට නොහැකි නිසා ඔහු සෑම තැනම ආවේ ගියේ රෝද පුටුවෙන්. ෆරීඩ් මේ ප්‍රහාරය සිදුවන මොහොතේ යාඥා කරමින් සිටියේ පල්ලියේ ඇතුළත කාමරයකයි. තුවක්කකරු වෙඩි තියාගෙන පල්ලියට කඩා වැදෙන අන්දම දුටු හුස්නා බියෙන් මුසපත් වුවත් මුළුගැන්වී නොසිට පල්ලියේ කොටසක සිටි කාන්තාවන් හා දරුවන් පිටතට අරන් යන්න උත්සාහ දැරුවා.
“දරුවත් උස්සගෙන මේ පැත්තෙන් එන්න.” ඇය කාන්තාවන්ට කෑ ගැසුවේ පල්ලියේ පිටුපසින් තිබූ දොරක් පෙන්වමින්. ඒ විදිහට කාන්තාවන් හා දරුවන් පිරිසක් පිටතට යැවූ හුස්නා මීළඟට දිව ආවේ කාමරයක සිටින සිය ආබාධිත සැමියා පිටතට කැඳවා ගැනීමටයි. එහෙත් ඇයට ඔහු සිටින කාමරයට එන්න ලැබුණේ නැහැ තුවක්කුකරු දිවයන පිරිසට පිටුපසින් වෙඩි තබද්දී සැමියා ෆරීඩ් සිටි කාමරය ඉදිරියේම ඇය වෙඩි වැදී වැටුණා.
ෆරීඩ් හා බිරිය පලස්තීනයේ සිට නවසීලන්තයට පැමිණියේ මින් වසර තිහකට පමණ පෙරයි.
“මට මුකුත් පෙනුණේ නැහැ. ඒත් වෙඬි හඬ ඇහෙද්දි විපතක් බව දැනුණා. මා නිහඬවම සිට වෙඩි හඬ නෑසී යද්දී පිටතට පැමිණ මගේ මෝටර් රථය පිටුපසට ගොස් හැංගුණා. රෝද පුටුවෙන් යද්දී මගේ ළඟම හිතවතුන් මිතුරන් දිවි බේරා ගන්න මා පසුකර දුව යනවා මං දැක්කා. සැඟවී සිටිද්දි මගේ දුරකථනයට කතා කළ මිතුරෙක් මට උදව් කිරීමට නොහැකිවූ අන්දම කියමින් හඬා වැටුණා. මට හැමෝගේම මානසික තත්ත්වය තේරුම් ගත හැකියි. ඒ හැමටම පමණක් නොවෙයි මේ අවාසනාවන්ත දේ සිදුකළ කෙනාටත් මං සමාව දෙනවා.
සැඟවී සිටි තැනින් පැමිණ බලද්දී සෑම තැනම මියගිය අය හා තුවාලකරුවන් වැටී සිටියා. මරණාසන්න උදවිය ජීවිතය ඉල්ලා හඬා වැටෙද්දී මං අසරණව එහෙත් වචනයෙන් ඔවුන් සැනසුවා. සැබැවින්ම මියයන්න තිබුණේ දුවන්න බැරි මමයි. ඒත් මං බේරුණා.
බිරිය මියගොස් ඇතිබව දැන ගනිද්දී මට සිහිපත් වුණේ නිවෙසේ සිටි දියණියයි.
‘දුවේ, අම්මා දැන් නැහැ. මීට පස්සේ ඔයාට අම්මා වෙන්නෙත් මායි’ කියා මං දුවට කියද්දී ඇය හඬා වැලපුණා.”
මේ සඳහන් කළේ එදා සිදුවීමෙන් විපතට පත් 50දෙනාගෙන් දෙදෙනකු ගැන පමණයි.
මුස්ලිම් ජනතාවට එල්ලවූ මේ ප්‍රහාරයෙන් පසු ශෝකය පළකරමින් උදව් කිරීමට නවසීලන්ත වැසියන් ඉදිරිපත් වූයේ කිසිම ජාතිබේදයකින් තොරවයි. නවසීලන්ත ආදිවාසීන් වන ‘මවුරි’ ජනතාව රටේ ප්‍රධාන ස්ථානයන්හිදී ඔවුන් සම්ප්‍රදායිකව රණබිමකදී හෝ රග්බි ක්‍රීඩා පිටියේදී පවත්වන චාරිත්‍රානුකූල ‘හුකා’ රංගනය ඉදිරිපත් කළේ මියගියවුන් වෙනුවෙන් සිය ආචාරය පුදකරමින්. රටපුරා සෑම නගරයකම පාහේ වැදගත් ස්ථානවල මල් කළඹ තබා ඉටිපන්දම් දල්වමින් ක්‍රීඩා පිටිවලට එක්වී සමූහ වශයෙන් ද ශෝකය පළකළේ තමන් මුස්ලිම් ජනතාව සමඟ සිටින බව ලෝකයාට පෙන්වමින්. නවසීලන්ත පාසල් සිසුන්ද වෙන්වෙන් වශයෙන් මේ සඳහා එක්ව සිටියා.
විපතට පත් ජනතාවගේ නෑසියන් වෙනුවෙන් මානුෂීය වශයෙන් මෙන්ම මූල්‍යමය වශයෙන්ද උදව් උපකාර කරන්න බොහෝ දෙනා ඉදිරිපත් වෙලා. එහෙත් මුස්ලිම් ජාතිකයන් වශයෙන් ඔවුනට ආධාර උපකාර කළයුතු අන්දම ගැන එරට මුස්ලිම් ප්‍රජාව ජනතාව දැනුවත් කර තිබෙනවා. බොහෝවිට නවසීලන්ත වැසියන් සිය ආදරය කරුණාව හා සතුට බෙදා හදා ගන්නේ එකිනෙකා වැලඳ ගැනීමෙන්. එහෙත් මුස්ලිම් ජනතාවගේ ආචාර සමාචාර වෙනස්. විශේෂයෙන්ම කාන්තාවන් වැලඳ ගැනීම ආගමෙන් තහනම්.
මේ ඛේදවාචකය සිදුවූ පසුදා අපරාධකරු උසාවියට ඉදිරපත් කළා. එදින උසාවිය මහජනයාට තහනම් කර පිළිගත් මාධ්‍ය ආවරණයට අවසර දී තිබුණේ පිළිගත් මාධ්‍ය ආයතන තුනකට පමණයි. නඩු විභාගය ආරම්භයට පෙර විනිසකරු එම මාධ්‍ය අමතා දේශනයක් පැවැත්වූවා. විපත සිදුකළ අපරාධකරු සිද්ධිය පටිගත කර සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් කර තිබුණා. එහෙත් නවසීලන්ත අන්තර්ජාල සපයන ආයතන ඒ සියලු දර්ශන සිද්ධියෙන් පැයක් ගතවීමටත් මත්තෙන් ඉවත් කර තිබීම බොහෝ රටවලට ආදර්ශයක් වුණා. ජනතාව අතර වෛරී හැඟීම් පැතිර යෑම මර්දනය කරමින් එම බිහිසුණු දර්ශන නැවත හුවමාරු කරගන්නා පුද්ගලයන් නීතිය ඉදිරියටත් පමුණුවා තිබුණා.
දැන් ඒ රට උත්සාහ දරන්නේ යළි මෙවැනි සිදුවීම් නොවීමට වගබලා ගනිමින් විපතට පත්වූවන්ට උපරිම සහන සලසන්නයි. ඒ සඳහා ජාති බේදයකින් තොරව වැඩිදෙනා එක්ව සිටීම කාටත් ආදර්ශයක්.
සේමාලි කැල්ලපත