
බොල්ගොඩ ජලාශය සහ ජලාශය ආශ්‍රිත ප්‍රදේශය සම්පූර්ණ වශයෙන්ම ජාතික පාරිසරික පනතේ 204 (ඇ) වගන්තිය යටතේ පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස 2010 සිට නම් කර තිබෙනවා. යම්කිසි කෙනෙක් මේ ඉඩම් ගොඩ කිරීමක් හෝ ආරක්ෂණ ප්‍රදේශය තුළ ඉදිරිකිරීමක් කරනවා නම් අනිවාර්යයෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ අවසර ගත යුතුයි. එසේ අවසර නොගෙන එවන් කටයුත්තක් සිදු කර තිබෙනවා නම් ජාතික පාරිසරික පනත අනුව රජයේ ආයතනයක් කළත්, පෞද්ගලික ආයතනයක් කළත්, විශ්වවිද්‍යාලයක් කළත් සම්පූර්ණයෙන් නීති විරෝධීයි.
- ජගත් ගුණවර්ධන
* නැවත වගාවට අයවැයෙන් රුපියල් මිලියන 50ක්
* විශ්වවිද්‍යාල අබලි ද්‍රව්‍ය යොදා බිම් ගොඩ කරලා
* සියල්ල කරන්නේ පිහිනුම් තටාකයක් හදන්නයි
මුල් කාලයේ කඩොලාන හඳුනාගෙන තිබුණේ මාළු අස්වැන්න වැඩි කරමින් රටේ ධීවර කර්මාන්තය නඟා සිටුවීමට ඉතාම වැදගත් සංවේදී පරිසර කලාපයක් ලෙසිනි. එසේම ගංවතුර, සුනාමි වැනි ස්වාභාවික විපත් පාලනයටද කඩොලාන ශාක වනාන්තරයට අත්‍යවශ්‍යම පරිසර සාධකයකි. සුනාමි ව්‍යසනයේදී කඩොලාන ආශ්‍රිත පරිසර කලාපවලට වූ හානිය අවම වීමෙන්ම ඒ බව සනාථ විය. නවතම සමීක්ෂණවලින් හෙළි වන්නේ කඩොලාන ශාක ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය කිරීමට මහඟු දායකත්වයක් සපයන බවටයි.
අති සංවේදී පරිසර පද්ධතියක් වන සිංහරාජ වනාන්තරයේ හෙක්ටයාරයක් හා සසඳන කල කඩොලාන ශාක වනාන්තර හෙක්ටයාරයකින් කාබන් රඳවා ගැනීමේ හැකියාව හතර ගුණයකින් පමණ ඉහළ බවට නවතම සමීක්ෂණවලින් හෙළි කර ගෙන ඇති බව පරිසර අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
පරිසරයට හිතැති ජනපතිවරයාද මූලිකත්වය ගෙන කඩොලාන සංරක්ෂණයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරමින් සිටින්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර කඩොලාන සංරක්ෂණයට මූලිකත්වය ගෙන ඇති රටක් ලෙසිනි. ඒ අනුව කඩොලාන රටේ තෙත්බිම් ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙවර අයවැයෙන්ද නැවත වගාව පිණිස පැළ තවාන් ඇති කිරීමට රුපියල් මිලියන 50ක් වෙන්කළ බවද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ වන විට හෙක්ටයාර පහළොස් දහසක් පමණ වන කඩොලාන ශාක පද්ධතිය තවත් දසදහසකින් ඉහළ දැමීමට පරිසර අමාත්‍යාංශය හා එක්ව සැලැසුම් සකස් කෙරේ.
එසේ තිබියදී පසුගියදා අපට වාර්තා වූයේ කොළඹට නුදුරු අති සංවේදී කඩොලාන ශාක වනාන්තර පද්ධතියක් විනාශ කරමින් සිදුකරන අත්තනෝමතික ව්‍යාපෘතියක් ගැනය. එම ව්‍යාපෘතිය සිදු කරන්නෙ රටට උගතුන්, බුද්ධිමතුන් බිහි කරන විශ්වවිද්‍යාලයකින් වීම මෙහි තිබෙන අභාග්යයයි. මෙලෙස විනාශ මුඛයට ලක්වන්නේ මොරටු විශ්වවිද්‍යාලයේ මායිමට වන්නට පිහිටි බොල්ගොඩ ගඟ ආශ්‍රිත කඩොලාන ශාක පද්ධතියයි. විශ්වවිද්‍යාල බලධාරීන් විසින් විශ්වවිද්‍යාලයට පිහිනුම් තටාකයක් ඉදිකිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර බිම් සකස් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. මීට දෙමසකට පමණ පෙර ආරම්භ වූ එම ව්‍යාපෘතිය සඳහා අක්කර දෙකක පමණ කඩොලාන ශාක වනාන්තර ප්‍රදේශයක් විශ්වවිද්‍යාලයේ අබලි ද්‍රව්‍ය යොදා ගොඩකරමින් තිබෙන බවද සැලවේ. විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ හිතුමනාපෙට සිදුකරන බව පැවෙසන එම ව්‍යාපෘතිය ගැන අප මුලින්ම විමසීමක් කළේ එහි උපකුලපති කපිල පෙරේරා මහතාගෙනි.
“අපි මෙතැන ඔය කියන පිහිනුම් තටාකයක් කිසිසේත්ම හදන්නෙ නැහැ. පිහිනුම් තටාකයක් විශ්වවිද්‍යාල මාස්ටර් ප්ලෑන් එකට තියෙනවා. නමුත් ඔතැන නෙමේ. එසේම ඔය කියන තරම් අක්කර ගණන් ගොඩ කරලා නැහැ. හරියටම ගොඩකිරීමක් සිදුවෙලා තියෙන්නෙ දිග මීටර් අසූවක් සහ පළල මීටර් පනහක වගේ ප්‍රදේශයක. ඒක වුණේ ආපදාවට ඔරොත්තු දෙන ගොඩනැඟිලි ගැන අධ්‍යයනය කිරීමට 20යි 40 තාවකාලිකව ඉදිකරන ලද ගොඩනැඟිලි හතරක් හැදීමට. එම ගොඩනැඟිලි දැන් කඩාබිඳ දමා ඒවා සමතලා කිරීමකුයි සිදුවුණේ. අපි දැන් මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ අනුමත සිතියම් ගෙනැවිත් රක්ෂිතයේ මායිම සලකුණු කිරීමට කටයුතු කරමින් සිටින්නෙ. එහිදී යම්කිසි වරදක් අපේ පැත්තෙන් සිදුවී තිබේනම් එය කඩිනම්ව නිවැරැදි කිරීමට වග බලා ගන්නවා.”
කුලපතිවරයා එසේ කීවත් මේ වන විට යම් ආකාරයකින් සිදුවී තිබෙන විනාශයෙන් කඩොලාන ශාක පද්ධතියට දැඩි හානියක් වී ඇති බවට සැලවේ.
ආසියාවේ හොඳම කඩොලාන තෙත්බිම ලෙසටද සැලැකෙන කොළඹ සහ ඒ අවට කලාපයට අයත් ඉතාම සංවේදී පරිසර කලාපයක් වන බොල්ගොඩ ගංතීරය ආශ්‍රිතව විශ්වවිද්‍යාලය සිදුකළ එම ගොඩ කිරීම් වපසරිය තුළ කුඹුක් වගාවක්ද රෝපණය කර ඇති බව වාර්තා විය. එහෙත් කුඹුක් යනු කඩොලාන ශාක හා සසඳන කල අහසට පොළොව මෙන්ය. එසේම මේ ව්‍යාපෘතියට ඍජුවම සම්බන්ධ වූ මහාචාර්යවරයෙක් පවසන්නෙ විශ්වවිද්‍යාල ආශ්‍රිත පරිසරය තුළ කඩොලාන ශාක නොමැති බවත් තිබෙන්නෙ පට්ටා නමැති ශාකය බවයි. එහෙත් අතිසංවේදී පරිසර කලාපයක පිහිටි කිසිදු ශාකයක් හිතුමනාපෙට විනාශ කළ නොහැකි බව එම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයාට කිසිසේත්ම නොතේරෙන බවට අපට හැඟේ.
සියලු ක්‍රියාමාර්ග ගන්නවා
කුමන ආකාරයක වුව කඩොලාන ආශ්‍රිත තෙත්බිම් කලාපයක් ගොඩ කිරීමකට අවසර නැත. එහි පූර්ණ වගකීම පවතින්නෙ මධ්‍යම පරිසර අධිකාරියටයි. අප මේ පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියෙන් විමසූ විට බොල්ගොඩ ගඟ ආශ්‍රිත තෙත්බිම් කලාපය බාර වගකිවයුතු නිලධාරිනිය කීවේ මෙවන් කතාවකි.
“ඔය පිළිබඳව වාර්තා වුණා. අපි ඒ පිළිබඳ කඩිනම්ව ඉදිරියේදී කටයුතු කරනවා. ඔය කියන ගොඩකිරීම්වලට, කැපීම්වලට අපෙන් කිසිම අවසරයක්නම් ගත්තෙ නෑ. අපි ඒ භූමිය තිබුණ හැටි කොහොමද කියලනම් දන්නෙ නැහැ. නමුත් අපි හිතනවා ඒ භූමියේත් කඩොලාන ශාක තියෙන්න ඇති කියලා. කොහොම වුණත් ඒ ප්‍රදේශය බොල්ගොඩ පරිසර ආරක්ෂණ ප්‍රදේශය කියලා ගැසට් කරලා තියෙන්නෙ. ඒ නිසා බොල්ගොඩ ආශ්‍රිතව කිසියම් කටයුත්තක් කරනවානම් අනිවාර්යයෙන්ම අපෙන් අවසර ගත යුතුමයි. විශේෂයෙන්ම ගොඩකිරීම් කිසිසේත්ම කරන්න බැහැ. නමුත් අපේ නිරීක්ෂණ කණ්ඩායම්වලට අනාවරණය වෙලා තියෙනවා ඒ ප්‍රදේශයේ ගොඩකිරීමක් වෙලා තියෙනවා කියලා. එම නිසා අපි මේ පිළිබඳව ඉදිරියේදී ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නවා."
මායිම් සොයා බලනවා
මේ වනවිට කඩොලාන ශාක කලාපය සහ විශ්වවිද්‍යාලය අතර මායිම් පිළිබඳ සොයා බැලීමක් කරගෙන යනබව ද උපකුලපතිවරයා පවසයි. එහෙත් ඔවුන් එවන් පිරික්සීමක් සිදුකරන්නේ කිසියම් හෝ විනාශයක් සිදු කළ පසුවද යන්න අපට ගැටලුවකි.
අප මෙහි බිම් මායිම් ගැන ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ද විමසීමු.
“බිම් සවිය වැඩසටහන යටතේ අපි මේ වන විට මොරටුව ප්‍රදේශයේ කඩඉම් සිතියම් ලකුණු කර තිබෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉල්ලීම අනුව විශ්වවිද්‍යාලයට අදාළ කොටසේ සිතියමක් අපි ඔවුන්ට ලබා දුන්නා. සිතියම විශ්වවිද්‍යාලයට ලබා දුන්නාට ඉදිරි කටයුතු සඳහා අපෙන් කිසිදු ඉල්ලීමක් කර නැහැ. මැනීමක් කිරීමටනම් අදාළ බලධාරියා හෝ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් අපට ඉල්ලීමක් ලැබෙන්න අවශ්‍යයි. එහෙත් තවම එහෙම ඉල්ලීමක් කිසිදු කෙනෙකුගෙන් ලැබී නැහැ” යනුවෙන් මිනුම්පති පී. එම්. පී. උදයකාන්ත මහතා පැවසීය.
විශ්වවිද්‍යාලය සහ බොල්ගොඩ ගංතීරයේ කඩොලාන ශාක වනාන්තර කලාපය අතර මායිම කෙසේ පිහිටිය ද කිසිදු අයෙකුට කඩොලාන ශාක විනාශ කිරීමට අයිතියක් නොමැත. “විශ්වවිද්‍යාලයේ සිසුන්ට හරිහැටි කෑමක්-බීමක් ගැනීමට ආපන ශාලාවක්, නිසි පරිදි විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට පිවිසුමක් නැහැ. සිසු අවශ්‍යතා හා පහසුකම් ගැන සොයා බලන්නේ නැතිව ඇතැම් බලධාරීන්ගේ ඕනෑ එපාකම් මත කරන මෙවැනි ව්‍යාපෘතිවලින් වෙන්නේ මහජන මුදල් විනාශ වීමයි.” මේ පිළිබඳ අදහස් පළ කරන නම සඳහන් කිරීමට අකැමැති විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්ය මහාචාර්යවරු පවසති.සිසුන්ට අවශ්‍ය පහසුකම් සපයන්නේ නැතිව පිහිනුම් තටාක තැනීමට පරිසරය විනාශ කිරීම ගැන සිසුන් ද සිටිනුයේ අවධානයෙනි.
කෙසේවුවද, රටට උගතුන්, බුද්ධිමතුන් බිහිකරන විශ්වවිද්‍යාලයකින් යම් ආකාරයක ව්‍යාපෘතියක් සිදුකරන විටදී නිසි අධ්‍යයනයක් කරමින් පරිසරයට හිතකාමීව, රටට වැඩදායි ව්‍යාපෘතියක් ලෙස සිදුකරන්නේනම් එවන් ඕනෑම ව්‍යාපෘතියක් කිසිදු ලෙසකින් අයහපත් ව්‍යාපෘතියක් ලෙස අපි නොදකිමු. එම නිසා බොල්ගොඩ ගඟ ආශ්‍රිත සංවේදී පරිසර කලාපයේ සිදුවන මේ ව්‍යාපෘතිය ගැන වගකිවයුතු මාධ්‍යයක් ලෙස අප අවධානයෙන් සිටින අතර වගකිවයුත්තන්ගේ ද කඩිනම් අවධානය යොමුකළ යුතු බව අවධාරණය කරමු.