
ගුණ සුවඳ
ඈත ගම්මුන් බඩුමුට්ටු ගන්නට එන එක්තරා කඩයක් නගරයේ විය.
ගම්මු එහි පැමිණ සතියකට හෝ දෙකකට සෑහෙන බඩු ප්‍රමාණයක් මිල දී ගෙන යෑමට පුරුදු වී සිටියහ.
සිය පාරිභෝගිකයන් අතරින් මුදලාලිගේ හිත සොරා ගත් එක්තරා අප්පුහාමි කෙනෙක් සිටියේ ය. වෙනත් පාරිභෝගිකයන් මෙන් නොව අප්පුහාම් මිල දි ගත්තේ බඩු ටිකකි. දින දකෙන් තුනෙන් ආපසු කඩේ ඒම ඔහු ගේ පුරුද්දක් බවට පත් වී තිබිණ.
අප්පුහාමි අහිංසක ගුණගරුක මිනිහෙකු විය යුතු යැයි මුදලාලි සිතුවේ ය. ඔහු කුලියක් මලියක් කර ගෙන දරු පවුල රකිනවා විය යුතු ය.
දිනක් මුදලාලි අප්පුහාමි සමඟ කතාවට වැටුණේ ය. තමන් සිතා සිටි සියල්ල හරි බව මුදලාලිට වැටහුණේ ඉන් පසු ය.
ඊ ළඟ දවසේ මුදලාලි අප්පුහාමිට මෙබඳු යෝජනාවක් කළේ ය.
“අප්පුහාමි, මෙහෙම බඩු ඩිංග ඩිංග ගෙනියන එක මහ කරදරයක්නෙ. අනිත් එක ගමේ ඉඳං ටවුමට එන එකත් ලේසි වැඩක් නෙමේනෙ. මාසෙට සෑහෙන්ඩ බඩු ටික එක සැරේ ගෙනිච්චම ඉවරයිනෙ. සල්ලි ගැන හිතන්ඩ ඕනැ නෑ. තියන වෙලාවක ටික ටික ගෙවල දාන්ඩ බලමුකො”
අප්පුහාමි කට ඇරගෙන බලා සිටියා මිස මොකුත් නොකීවේ ය.
“ඇයි මොකද?”
“මං මේ කල්පනා කෙරුවෙ මුදලාලි එහෙම බඩු අරගෙන ගිහිං කොහොමද කියල. එච්චර ණය වෙලා කොහෙමද?”
“එච්චර හිතන්ඩ ඕන්නෑ. මමනෙ බඩු දෙන්නෙ. තමුසෙ අරං යනවකො. අතට කීයක් හරි එකතු උණාම ගෙවල දානවකො”
“මං ගෙදරිනුත් අහල එඤ්ඤංකො මුදලාලි”
“හොඳයි එහෙම කරමු”
එතැන් සිට අප්පුහාමි මුදලාලි ගෙන් මාසෙකට සෑහෙන බඩු ණයට ගෙන යෑමටත්, මුදලක් එකතු කර ගත් විට ගෙවා දැමීමටත් පුරුදු උණේ ය. කෙසේ වුව ද ඔහු ණය ගෙවා දැමීමේ ප්‍රතිපත්තිය හරියට ම රැක්කේ ය.
කලක් ගත විය. අප්පුහාමි මිය ගියේ ය. හත් දවසේ දානය අවසන් වූ පසු අප්පුහාමි ගේ වැන්දඹු බිරිය සිය පුතු ඇමතුවා ය.
“පුතේ, අර මුදලාලිගෙ ණය ටික ගෙවල දාන්ඩ තියෙනව නේද?”
පසු දා අප්පුහාමි ගේ පුතා මුදලාලි සොයාගෙන කඩයට ගියේ ය.
“ළමයො, මොකද තාත්ත මේ පැත්තෙ නාවෙ?” මුදලාලි ඇසුවේ ය.
පුතා සිය පියාට වූ දේ කීවේ ය.
“ඇයි ළමයො ඔය වගක් මට මතක් නොකළෙ? තුන්මාසෙ දානෙ නං මට සහසුද්දෙන්ම මතක් කරන්ඩ ඕනැ. හරිද?”
“හරි මුදලාලි. තාත්තගෙ ණය ... ” “තාත්තගෙ ණය තුරුස් ඉවරයි. ඒව ගැන ඔය ළමයි කරදර වෙන්ඩ ඕනැ නෑ. තාත්ත ගෙනිච්ච වගේම ඔය ළමයිනුත් බඩු කළමනා ඕනැ දෙයක් අරගෙන යන්ඩ! ආයෙ තාත්ත නෑ කියල මගෙ වෙනසක් නෑ”
පුතු ආපසු යන්නට ඇත්තේ මහා සැනසිල්ලකින් විය යුතු ය.
මේ කතාව අපට හෙළි කළේ බළංගොඩ විදුලි උපාංග වෙළෙඳ සලක් පවත්වාගෙන යන වියපත් හිතවතෙකි. ඔහු කී හැටියට මෙය හතළිහේ දශකයේ අවසන් අවුරුද්දේ සිදු වූවකි. මිනිස්කම කාල අවකාශ විනිවිද යන බැවින් අද ද අපට එහි සුවඳ දැනේ.
බළංගොඩ අමුපිටියේ චන්ද්‍රපාල ලේකම්ගේ මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
රෝද පුටුව
මගේ මව විසින් වසරක් පමණ කාලයක් පාවිච්චි කරන ලද රෝද පුටුවක් මා ළඟ තිබේ. එය ඇඳක් ලෙස ද පාවිච්චි කළ හැකි ය. රුපියල් විසිදහසකට වැඩි වටිනාකමක් ඇති එය හොඳ තත්වයේ පවතී.
එය අවශ්‍ය සුදුසු ම කෙනාට නොමිලයේ ලබා දීමට කැමැත්තෙමි.
අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා ඇති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි. රෝද පුටුව උවමනා අයට තමා ඇමතීම සඳහා 0714940087 දරන දුරකථන අංකය ද ලියා එවා තිබේ.
දිවි විඳුම
මා බිරිය අන්‍යාගමික ය. ඇය පල්ලි යයි. මම ද ඇය සමඟ යමි.
පසුගිය ඉරු දිනක උදෑසන අපි කොච්චිකඩේ පල්ලියට ගියෙමු.
අප නාඳුනන එක්තරා වැඩිහිටි යුවළක් පල්ලිය තුළ සිටියහ. ඔවුන් එකෙකා සමඟ කතා කළේ හෙමිනි. ආදරයෙනි.
ඔවුහු ඇතුළු ගැබට වැදුණහ. එහි ලොකු පිත්තල පහනේ තිර දැල්වෙමින් තිබිණ. සැමියා ඉන් තෙල් සුඟක් තම දෑත්ලෙහි තවරා පළමු ව සිය හිසේ ගල්වා දෙවනුව සිය බිරිය ළඟට කැඳවා ඇගේ හිසෙහිද ගල්වනු මට පෙනිණ. ඉන් අනතුරු ව දෙදෙනා එකතු ව ඉටි පහන් දැල්වූහ.
ටිකකින් අපි පල්ලියෙන් පිට වීමු. ඒ යුවළ ද අප සමඟ ම පිටතට ආහ.
අපි දෙදෙනා පල්ලිය ඉදිරිපිට ඇති බස් නැවතුමෙහි නැවතීමු. අර දෙදෙනා අප සිටි තැනින් ම පාර දිගේ ඉදිරියට ගොස් නොපෙනී ගියහ.
ඔවුහු අප සිත් සුපහන් කළහ. බසයක් පැමිණ නැවැත් වූ කල අපි දෙදෙනා එහි නැඟ අසුන් ගතිමු. බසයේ අපට ඉදිරි අසුනේ සිටියේ තරුණ අඹු සැමි යුවළකි.
ඒ මවු උකුළේ කිරි දරුවෙක් නින්දට වැටී සිටියේ ය. බසයේ ගමන ඇරඹිණ.
ටික දුරක් යද්දී තරුණ මව සිය සැමියා ගේ මුහුණ දෙස බලමින් ම ඔහු ගේ උරහිසට සිය හිස හේත්තු කළා ය.
එසැණ සැමියා ඈ හිස වැරෙන් තල්ලුකොට දැම්මේ ය. පහත් හඬින් යමක් කියමින් ඈ වෙත රළු බැලුම් හෙළුවේ ය.
ඇය බයාදු ලෙස පසෙකට වී අවට මගීන් දෙස විමසුම් ඇස යොමු කළේ සිද්ධිය කිසිවකු හෝ දුටුවා දැයි දැනගැනීමට මෙන් ය. මම නොදුටු ගාණට ඉවත බලා ගතිමි. ටිකකින් යළි ඇය දෙස බැලුවෙමි. ඇගේ මුහුණ සොවින් බර වී තිබෙනු මට පෙනිණ.
මොහොතකට පෙර සුපහන් ව පැවති සිත ඉබේ ම සසල ව ගියේ ය.
මොරටුවේ, කටුබැද්දේ, ඩඩ්ලි ගෝමස් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.