
* අනුග්‍රහය කාර්ය සාධක බළකායෙන්
* වතුර ලීටරයක් රුපියල් දෙකයි තුනයි
* තුන් හතර දෙනෙක් ඉන්න ගෙදරට වතුර ලීටර් 100 ඕනෑ
මේ කොට්ඨාසය හරිම දුෂ්කරයි. නියඟය තදයි. ළිංවල ජලයත් කිවුලයි. ජලය පානය කිරීමට නම් පිරිසිදු කළ යුතුමයි. සෞඛ්‍ය අංශයේ වකුගඩු රෝග සායනවලින් මේ කොට්ඨාසය තමයි වැඩිපුරම වකුගඩු රෝගීන් හඳුනාගෙන තිබෙන්නෙ. ඒ නිසා ආරොප්ලාන්ට් වැඩි ප්‍රමාණයක් අපිට ලැබුණා. තව තවත් ඉල්ලීම් තිබෙනවා. එම ඉල්ලීම් ද සලකා බලා ජනතා අවශ්‍යතා ඉටුකර ජනතාව වකුගඩු රෝගවලින් මුදවා ගන්න හැකිවෙයි. ඒ අනුව ජනාධිපතිතුමාගේ වගේම අපේත් සිහිනය නිරෝගී ජනතාවක්.
මිනිස්සු ජීවත් වීම සඳහා අපමණ දුක් විදිති. අහසින් වැටෙන ජලය තෙරක් නැති මුහුදට ගලා යද්දි ජල බිඳක් නොමැතිව අසරණ වූවෝ බොහෝය. ඇතැම් විට ගම්බිම් පසුකර ගොස් රැගෙන එන ජලය ද අපිරිසිදුය. අපිරිසිදු ජලය පානය කිරීම නිසා අද ජනතාව දරුණු ලෙඩ වකුගඩු ආබාධයට ලක් වී ඇත. ඈත ගම්බිම් වල බීඹට පිරිසිදු ජල පොදක් නැතිව දුක් විදින ජනතාවගේ පානිය ජල ප්‍රශ්නයට විසඳුමක් ලෙස ජනාධිපති කාර්ය සාධක බළකාය මගින් ප්‍රති ආශ්‍රැති කරණ ජල පද්ධති බිහිකිරීම ආරම්භ විය. ඒ අනුව හඳුනාගත් අවධානම් කලාපවල ජනතාවට නොමිලේ පිරිසිදු පානිය ජලය ලබාදීමේ ව්‍යාපෘතිය පසුගිය දිනවල ආරම්භ කරන ලදි.
මේ වන විට ප්‍රති ආශ්‍රැති කරණ ජල පද්ධති 599 ක් ඉදිකර ඇති අතර 600 වන ජල පද්ධතිය මාර්තු මස 20 දින අනුරාධපුර ඉසුරුමුණි විහාරය ආශ්‍රිතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනතා අයිතියට පත් කරනු ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රමදායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදෙයි. එක් ප්‍රති ආශ්‍රැති කරණ ජල පද්ධතියක් වෙනුවෙන් වැය කරන මුදල රුපියල් මිලියන 1.5කි. ගෙවුණු කාලයේ ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටි මවක තමන් ලැබූ කටුක අත්දැකීම් පිළිබඳ පැවැසුවේ මෙසේය. ඇය අතරගල්ල බී. එම්. ඥානවතීය. බීමට ජලය ගෙන ඒම සඳහා ඇය දිනකට කිලෝ මීටර ගණනාවක් දුර යන්නීය.
“අපි ඉස්සර කුඹුරු වැඩට ගිහින් ලියැද්දෙ වක්කඩෙන් තමයි වතුර ටික බිව්වේ. ඒ කාලේ අපට ඉහෙන් බහින ලෙඩක් තිබුණේ නෑ. ඒත් අද මේ පොඩි දරුවන්ට පවා වකුගඩු ආබාධ. ඒ තරමට පරිසරය දූෂණය වෙලා. සමහර කාලවලට හොඳ වතුර තියා නරක වතුර ටිකක්වත් මේ ප්‍රදේශවල හොයාගන්ඩ නෑ. ඒ තරමට නියඟය. ඉතින් එහෙව් එකේ කොහොමද අපි බොන්ඩ හොඳ වතුර ටිකක් හොයාගන්නෙ. දැන් ඉතින් අපට නොමිලේම බොන්ඩ හොඳ වතුර ටික ලැබුණා. මේ වතුරටික දෙන්ඩ උදව් කරපු හැමෝටම පින් සිද්ද වෙනවා.
ගම්මුන් තමන්ට සැලසුන සහනය ගැන කතා කරන්නේ ප්රශංසාත්මකවය.
හේරත් බී. එරියාව මහතා තම හඬ අවදිකළේ මෙලෙසිනි.
“ඉස්සර අපේ ළිංවල බොන්ඩ හොඳ වතුර තිබුණා. දැන් හැම ළිඳකම වතුර කිවුලයි. දැඩි නියං කාලයට ළිංවල වතුර බිංදුවක්වත් නැති තරමට ළිං හිදෙනවා. ඒනිසා හැමෝටම වතුර සල්ලිවලට තමයි අරගන්න සිදුවෙලා තියෙන්නෙ. වතුර ලීටරයක් රුපියල් දෙකයි, තුනයි. දවසකට තුන් හතර දෙනෙක් ඉන්න ගෙදරකට රුපියල් සියයක විතර වතුර ඕනෑ. මාසයකට බොන වතුර ටිකට විතරක් රුපියල් තුන් දහසක් වැඩිය වැය වෙනවා. ආදායමක් නැතුව වතුරට ඒ තරම් මුදලක් වියදම් කරන්නෙ කොහොමද? ඉතින් එහෙම වෙලාවක මේ වතුර ෆිල්ටරය සවිකර නොමිලේ වතුර ටික ලබාදීම උතුම්ම කාර්යයක්. මේ උතුම් පිංකමට දායක වූ හැමෝටම බොහෝම පිං.“
කලක් ජලය නිසා දුක් විඳි ගැමියෝ දැන් සතුටු වන්නාහ. ගම්මුන් විඳි දුක හොඳින්ම දන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝය.
නාකොලගනේ පුරාණ රජමහ විහාරස්ථානයේ විහාරාධිපති නියෝජ්‍ය විදුහල්පති පුජ්‍ය වලත්තෑවේ රාහුල හිමිපාණන් වහන්සේ ප්‍රති ආශ්‍රැති කරණ ජල පද්ධති මගින් ලැබෙන පිටුවහල මෙසේ අගය කළේය.
“සතර පේරුවේ දායක දායිකාවන්ට ආහාර සපයා ගැනීම වගේම අසිරු කාර්යයක් තමයි පානයට සුදුසු ජලය සපයා ගැනීම. අපිරිසිදු ජලය නිසා මේ ප්‍රදේශවල වයස් භේදයකින් තොරව කාන්තා පිරිමි හැමෝම වකුගඩු රෝගවලට ගොදුරුවෙලා මියයන්ට පටන් ගත්තා. මේ නිසා සමහර දරු පවුල් අසරණ වුණා. මේ සඳහා මුලින්ම යෙදිය යුත්තේ පිරිසිදු වතුර ටිකක් දෙන එකයි. සමහර ස්ථානවල මුදලට ෆිල්ටර් කළ ජලය තිබුණට ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳ ජනතාවට විශ්වාසයක් නෑ. හැබැයි ජනාධිපති කාර්ය සාධක බළකාය නාවික හමුදාව හරහා මේ ලබා දෙන ජලය පානයට ඉතාම සුදුසුයි කියන විශ්වාසය අපට තිබෙනවා. දැන්වන් අපේ දායකයින්ට හිතට එකඟව විශ්වාසයෙන් වතුර උගුරක් බොන්ඩ පුළුවන්කම ලැබුන එක ගැන හරිම සතුටුයි. “
කුරුණෑගල දිස්ක්‍රික්කයේ වැඩිම ප්‍රති ආශැති කරණ ජල පද්ධති වැඩිම සංඛ්‍යාවක් ස්ථාපිත කර තිබෙන්නේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙයි. එහි ප්‍රාදේශීය ලේකම් ඩබ්.ආර්.ඩබ්.ආර්. වැලිපිටිය මහතා අදහස් දැක්වූවේ මෙලෙසිනි.
“මේ කොට්ඨාසය හරිම දුෂ්කරයි. නියඟය තදයි. ළිංවල ජලයත් කිවුලයි. ජලය පානය කිරීමට නම් පිරිසිදු කළ යුතුමයි. සෞඛ්‍ය අංශයේ වකුගඩු රෝග සායනවලින් මේ කොට්ඨාසය තමයි වැඩිපුරම වකුගඩු රෝගීන් හඳුනාගෙන තිබෙන්නෙ. ඒ නිසා ආරොප්ලාන්ට් වැඩි ප්‍රමාණයක් අපිට ලැබුණා. තව තවත් ඉල්ලීම් තිබෙනවා. එම ඉල්ලීම් ද සලකා බලා ජනතා අවශ්‍යතා ඉටුකර ජනතාව වකුගඩු රෝගවලින් මුදවා ගන්න හැකිවෙයි. ඒ අනුව ජනාධිපතිතුමාගේ වගේම අපේත් සිහිනය නිරෝගී ජනතාවක්. එය සැබෑ කරගන්න මේ තුළින් හැකියාව ලැබෙයි.”
ජනාධිපති ලේකම් කාර්යාලයේ වකුගඩු රෝග නිවාරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක ජගත් නයනප්රිය මහතා සතුටු සිතින් යුත්තව මෙසේ පැහැදුවේය.
“ජනාධිපතිතුමාගේ සංකල්පයක් තමයි අපි මේ කැපකිරීමෙන් ක්‍රියාවට නගන්නෙ. අද මේ සඳහා රුපියල් මිලියන 400 කට වැඩි මුදලක් යොදාගත හැකිව තිබෙනවා. නිරෝගී ජනතාවක් රටපුරා බිහිකිරීමේ අරමුණින් වකුගඩු රෝගය උග්‍ර කොට්ඨාසවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ජනතා ඉල්ලීම්වලට අනුව ජල පද්ධති ගම් නියම්ගම් පුරා ඉදිකර ජනාධිපතිතුමාගේ අපේක්ෂාව මල්ඵල ගන්වනවා.”
ව්‍යාපෘති අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා පැවසුවේ මෙවැන්නකි.
“ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමති විදිහට කටයුතු කළ කාලයේ වකුගඩු රෝග නිවාරණ පිළිබඳ පැවති අදහසක් තමයි අද මෙලෙස ක්‍රියාත්මක කරන්නේ. ජනාධිපති කාර්ය සාධක බළකායේ සෘජු අධික්ෂණය යටතේ ජාතික වකුගඩු අරමුදල පිහිටෙව්වා. එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට පෝස්ටර් මුද්‍රණයට ලබා දුන් රුපියල් ලක්ෂ දෙකක මුදලින් තමයි ආරම්භ කළේ . අද වන විට ජාතික වකුගඩු අරමුදලට ශත 50, රුපියල්, රුපියල් දහය, සියය, දහස, දස දහස, ලක්ෂය වගේ මුදලුත් ලැබෙනවා. නිරෝගා ලොතරැයිය මාස්පතා මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙනවා. අද වන විට රුපියල් මිලියන 400 කට වැඩි අරමුදලක් මේ ජල පද්ධතිවල විදුලි බිල පවා ගෙවන්නේ මේ අරමුදලෙන්. එහෙම කරලා ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම තමයි අපේ එකම අරමුණ.”
අද වන විට වකුගඩු රෝගය අවදානම් කලාප ලෙස කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, බදුල්ල, මොනරාගල, ත්‍රිකුණාමලය, මුලතිව්, වව්නියාව සහ
හම්බන්තොට දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇත. පසුකාලීනව මෙයට පුත්තලම දිස්ත්‍රික්කයද ඇතුළත් විනි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රති ආශ්‍රැති කරන ජල පද්ධති 184 ක් ඉදිකර ඇති අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 35කි. මාතලේ දිස්ත්‍රික්කයේ 34ක් බදුල්ල දිස්ත්‍රික්කයේ 40, මොනරාගල දිස්ත්‍රික්කයේ 47 ක් ත්‍රීකුණාමලයේ 31ක් අම්පාර දෙකකි. (02) මුලතිව් හයක් (06), වව්නියාව 42ක්, හම්බන්තොට අටක් (08) යාපනය දෙකක් (02) පුත්තලම 16 ක් මන්නාරම තුනක් (03) සහ මඩකලපුව ප්‍රති ආශ්‍රැති කරණ ජල පද්ධති දෙකක් (02) ලෙස මෙම ජල පද්ධති ඉදිකර ඇත.
මෙම ව්‍යාපෘති ඉදිරියේදි තව තවත් ව්‍යාප්ත වෙනු ඇත. කොහොම වුණත් ජල පොදක් නැතිව දහදුක් විදි මෙන්ම නිරන්තරයෙන්ම තමන් ද වකුගඩු රෝගයට ගොදුරු වේයැයි බියෙන් දිවි ගෙවු ජනතාව දැන් පිරිසිදු ජලය ලැබීමෙන් සැනසුම් සුසුමක් හෙළන්නාහ.
අනිල් ගාමිණී විජේරත්න
ජායාරූප - අඹන්පොළ සමූහ