
පියා ද දියණිය ද අතර උද්ගතව වන දබර හෝ ගැටලුවකට මින්මනත මැදිහත් නොවන බවට ගිවිසගෙන හුන් සුනන්දා “එපා එපා” යි මුර ගෑවාය. ඇය වෙනදා මෙන් ම ඔවුන් අතරට පැන්නාය. එහෙත් වෙනදා මෙන් සිරිමාන්න සිය දියණිය අත් නොහළේය. ඔහුෙග් අතුල් පහර ඉවසීම පහසු නැතත් අමාලි විලාප දෙන්නට මුව විවර නොකළාය.
ඒමලානික හා කෘත්‍රිම ආලෝක දහරාවෙන් නැහැවෙමින් ඇය ඍජුව හා නිර්භයව හිටගෙන සිටියාය. ඇගේ දෙනෙත කොතරම් පැහැදිලි වී දැයි කිවහොත් ඇගේ ම පියා පවා මඳක් පැකිළුණේය. සැහැල්ලු ටීෂර්ටය ද කොට කලිසම ද ඇය වෙත එක් කළ ඉලන්දාරි පෙනුමට බාධා කරමින් කෙටි කෙස් කලඹ දෙවුරේ ගැටිණ. ඇගෙන් ප්‍රශ්න කොට දඬුවම් දෙන්නට නොව ඇය ඇකයේ හොවා ගනිමින් සිප සනහාලන්නට සිත් දෙන තරමට ඇය හුරුබුහුටි වූවාය. ළාබාල බවක් ඉසිළුවාය.
“දැං වෙලාව කීයද?”
සිරිමාන්න දාරක ස්නේහයට නොව කෝපයට ඉඩ හැරියේය.
“මම ඔර්ලෝසුවක් දාන්නෙ නෑනේ තාත්තා...”
අමාලි ගණනකට නොගෙන ලබාදෙන උත්තරය ඔහුගේ කෝපය දෙගුණ තෙගුණ කරවයි.
“දැං ඉන්න අය වෙලාව බලන්නෙ ඔරලෝසුවෙන්ද...? ඔය ෆෝන් මඟුලෙන් කරන්න බැරි ඉටි ගෙඩියක් නෑනේ...”
රාත්‍රී ආහාරය සඳහා ඉඳිආප්ප තැම්බූ බව දැනුම් දෙන්නට පැමිණි සුනන්දා විපිළිසර වූවාය. නඩු විභාගයක් ආරම්භ කොට තිබෙන බව බැලූ බැල්මට පෙනී ගියෙන් ඇය ගොළුව ගියාය.
“හරි.. වෙලාව පැත්තකින් තියමු. දැං මොකක්ද ඔය ඇඳගෙන ඉන්නෙ?”
සිය නැගණිය දෙස ද නොපහන් බැල්මක් හෙළූ සිරිමාන්න නැවතත් ප්‍රශ්න කළේය.
“ඇඳුමක්..”
අමාලි නොපැකිළව උත්තර දුන්නාය.
“ඇඳුමක් බව නං ඉතිං ඇස් පේන ඕන මෝඩයෙකුට පේනවනේ..” යි කී ඔහු සාවඥ සිනාවක් පෑවේය.
“ඒ කියන්නෙ ඇස් පේන්නැති අය නුවණක්කාරයි කියන එකද?”
කුහුල්බර නොවැටහෙන්නියගේ භූමිකාවට අවතීර්ණ වීම අමාලිට කජු කන්නා වාගේ පහසුය.
“අමා..” යි සුනන්දා හඬ ගෑවේ ඒ රංගනය වහාම හැඳිනගත් බැවිනි.
‘ඇයි පොඩි නැන්දේ?”
අමාලිගේ බැල්මේ ද ස්වරයේද ගැබ්වූ අවිහිංසකත්වය අපමණය.
“ඕක ඇඳගෙනද අමා ඔයා එළියට ගියේ?” යි සුනන්දා මහත් සංවේගයෙන් ඇසුවාය.
“ඇයි? මොකක්ද මේකෙ තියෙන වරද..?”
යම්තම් දෙදණ වැසෙන කොට කලිසමේ පහත වාටියෙන් අල්ලාගත් යුවතිය නිරූපිකාවක් පරිද්දෙන් වටයක් කැරකුණාය.
“අමා..?”
ඒ සුන්දර චලනය නොඉවසූ සුනන්දා පෙර පරිද්දෙන් ම හඬ ගෑවාය.
“ඇඳගෙන ගියේ මොකක්ද... එළියට ගියේ කා එක්කද මොකේද කියන එක නංගි දැනගන්න එපායැ. දැං මෙතන නිකං බොරුවට කෑගහලා වැඩක් නෑනේ..”
සිරිමාන්න ඇයට ද චෝදනා කළේය. ඇගේ හිස පහතට නැමිණ.
“නංගි ඉන්න හින්දානේ මම ඉස්කෝලෙට වෙලා හිත නිදහසේ ඉන්නේ. ඒත් ඉතිං ගෙදර ඇවිත් බලනකොට මෙයා නෑ.. කවදාවත් නෑ... කොයි ලෝකෙ යනවද මොකා එක්ක යනවද කියලා නංගි දන්නෙත් නෑනේ. ඉතිං මං අහන්නෙ නංගි මෙතන ඉන්න එකෙන් වැඩක් තියෙනවද...?”
තමාට පල නොකියා පලා බෙදන බවක් හැඟී ගියෙන් සුනන්දා බලවත් සිත් තැවුලෙන් මුව විවර කළාය.
“මට ඉතිං හැම තිස්සෙම මෙයාව මුර කරගෙන ඉන්න පුළුවන්ද අයියෙ? පුංචි දරුවෙක් නම් වඩාගෙන හරි ඉන්න තිබ්බා. මේ ගෑනු ළමිස්සියක් මම කොහොම පරෙස්සම් කරන්නද.. හිටි හැටියෙ මං යනවෝ කියනවා... අර පච්චයාගෙ බයික් එකට නඟිනවා යනවා.. මං ඉතිං පස්සෙං දුවන්නද...?”
ඇගේ නිදහසට කරුණු ගෙනහැර පෑම පිළිබඳව සිරිමාන්න සෑහීමකට පත්වූ බවක් නොපෙනිණ.
“තමුන්ගෙ වගකීම ඉෂ්ට නොකර මොන මොන හේතු කිව්වත් වැඩක් නෑ නංගියේ..”
ඔහු කලකිරීමෙන් පැවසුවේය.
අතකින් මුව වසාගත් සුනන්දා පුටුවක් මත ඇද වැටුණාය. දෙවසරක් මුළුල්ලේ තමා සිදු කළ කාර්යභාරය ඇගයීමට තබා අවධානයට හෝ ලක් නොවීම පිළිබඳ ඇය බෙහෙවින් ළතැවූවාය.
“තමා ඔය කොහෙද යන්නෙ? ඔහොම ඉන්නවා..” යි සිරිමාන්න තරවටු කළේ හෙමින් සීරුවේ මඟහැර යෑමට තැත් කළ යුවතිය දෙස බලා ගත් වනමය. හැරී බැලූ අමාලි ළගන්නා සිනාවක් පෑවාය. එකෙනෙහි එබඳුම හසරැල්ලක මතකයෙන් ඔහුගේ අඳුරු හෘදය දැවී ගියේය.
“අයියටයි නංගිටයි රණ්ඩු කරන්න ඇරලා මං පැත්තකට වෙන්න හැදුවෙ.. මට ඉතිං ඔය දෙන්නගෙන් කාගෙවත් පැත්තක් ගන්න බෑනේ.. ඔයා තාත්තා.. එයා නැන්දා.. මං පව් තාත්තා..”
සිරිමාන්න යටිතොල විකා ගත්තේය. විවිධ වයස් මට්ටම්වලට අයත් විවිධ තරාතිරම්වල දරුවන් සමඟ කටයුතු කිරීමේදී පවා ඔහු මේ සා අපහසුතාවට පත් නොවෙයි. එහෙත් මේ මායාකාරී හා සිතැඟි සඟවා ගනිමින් වෙනකක්ම පිටතට දමන යුවතිය පාලනය කර ගන්නට තමා අපොහොසත් බව පිළිගනිමින් ඔහු මඳක් කල්පනා කළේය.
“හානේ..”
අමාලි නැංවූ විස්මිත රාවයෙන් ඔහු තිගැස්සුණේය. ඇගේ දෙනෙත යොමු වී තිබුණේ හඬා වැටෙන සුනන්දා වෙතය.
“අන්න ඔයාගේ නංගි බබා අඬනවා...”
සැබැවින්ම සුනන්දා හඬමින් සිටියාය. සැලෙන දෙවුර ඇගේ සිත් වේදනාවේ තරම කියා පෑවේය.
“අඬලා ප්‍රශ්න විසඳාගන්න පුළුවන් නම් මටත් බැරියැයි පැත්තකට වෙලා අඬන්න.” යි නොසැලකිල්ලෙන් කී සිරිමාන්න දියණිය වෙත ළංවිය.
“පුතේ...”
ඒ හැඟීම්බර හඬ ද බැල්ම ද ප්‍රිය නොකළ යුවතිය “මට බඩගිනියි” යි කෙඳිරි ගෑවාය.
“මට ඇත්තම කියන්ඩ අමා.. මොකක්ද ඒ රස්තියාදුකාරයාගෙයි ඔයාගෙයි තියෙන ගනුදෙනුව...?”
ඇගේ දෙඇස පවා හිනැහෙන්නාක් බඳු ය.
තමාගේ හොඳම මිතුරා පිළිබඳව පියා හා නැන්දණිය තුළ පැසවන සැකය දන්නා හඳුනන යුවතිය සිනාව වළකා ගන්නට වෑයම් නොකළාය.
හඬ නඟා හිනැහෙන දියණිය ද නිහඬව වැලපෙන නැගණිය ද අතරේ මංමුළාවූ මිනිසා හදිසියේ ම බෙරිහන් දුන්නේය.
“නවත්තනවා.. නවත්තනවා.. දෙන්නම. දෙන්නම ඔය ඇඬිල්ලයි හිනාවයි නවත්තනවා.”
ඒ බිහිසුණු ගෙරවිල්ල මුළුමනින් ම නොවුණ ද යම් තරමකින් හෝ සඵල විය. අමාලි කෙසේ වෙතත් සුනන්දා වහා නැඟී සිටියේ ඉකිය මැඬගනිමිනි. කඳුළු සැලූ වගට සාක්ෂි දරමින් ඇගේ දෙඇස රත් පැහැ ගැන්වී තිබිණ.
සිය ව්‍යාජ සිනාව නවතා ගත් අමාලි තවදුරටත් ඔහු දෙස බලා සිටියාය.
“හිනාවෙන එකේවත් අඬන එකේවත් තියෙන වැරැද්ද මොකක්ද තාත්තා...?” යි ඇය කුතුහලයෙන් වෙළී ගිය බාලිකාවගේ වෙස ඉසිළුවාය.
“හිනාවෙවී හරි අඬ අඬා හරි ප්‍රශ්නයක් විසඳාගන්න බෑනේ..”
“මොකක්ද ප්‍රශ්නෙ?”
ඇය නොපැකිළව ප්‍රශ්න කළාය. බියෙන් චකිතයෙන් හේබා ගිය සිසු සිසුවියන් කිසි විටෙකත් ප්‍රශ්න කරන්නට තබා හිස නඟා බලන්නටවත් තැත් නොදරති.
“කිසි දෙයක් දන්නෙ නෑ වගේ අහන ලස්සන...”
ඔහු ඇය දෙස රවා බැලුවේය. ඒ රැවුම ගණනකට නොගත් ඇය දෙවුර හැකිළුවාය. අතිශයින් සුවිනීත ගැහැනියකට මේ සා හිතුවක්කාර දියණියක ලැබුණේ කෙසේදැයි සිතමින් ඔහු උගුර පාදා ගත්තේය.
“මං අහපු ප්‍රශ්නයට උත්තරයක් ලැබුණෙ නෑ අමා.. ප්‍රශ්නෙට උත්තර හිනාවක් හරි ඇඬිල්ලක් හරි නෙමෙයි..”
“හිනාවේ ඇඬිල්ලේ විතරක් නෙමේ තාත්තා නිශ්ශබ්දතාවයේත් උත්තර තියෙනවා. තාත්තලා ගුරුවරු නිසා ඉතිං ප්‍රශ්නෙට උත්තරේ වචනවලින් ම ඉල්ලනවා.”
වියැකී ගිය කෝපය දලුලා වැඩිණ.
“මෙතෙන්ට මගේ වෘත්තිය ඇදලා ගන්න ඕන නෑ අමා.. තේරුණාද..? මට දැනගන්න ඕන මෙච්චරයි. අර රස්තියාදුකාරයා එක්ක තියෙන සම්බන්ධෙ මොකක්ද? එච්චරයි. ඇයි ඒකට කෙළින් උත්තරයක් දෙන්න බැරි?”
ඇයද කෝපයට පත්වූවාය. නොඑසේ නම් තවත් රංගනයකින් ඔහු කලඹාලන්නට ඉඩ තිබිණ.
“බ්‍රයන් රස්තියාදුකාරයෙක් නෙමේ. එයාට ලස්සනට සින්දු කියන්න පුළුවන්. කවදා හරි එයා මේ රටේ සුපිරි සිංගර් කෙනෙක් වෙන එකක් නම් නෑ. මොකද දැං ඉතිං සල්ලි තියෙනව නම් ඕන ගොළුවෙකුට සිංදු කියන්න පුළුවන්නෙ... පට්ට විෂුවල් එකකුත් එක්කම.”
ඔහු ඇගේ දෙවුරින් අල්ලා සෙලෙව්වේ ඉවසුම් නොදෙන කෝපයෙනි.
“මට උගේ පැටිකිරියෙන් වැඩක් නෑ අමාලි.. මං අහන්නෙ උඹෙයි උගෙයි සම්බන්ධෙ ගැන.. ඌ මේ රටේ තියා මුළු ලෝකෙ ම ප්‍රසිද්ධ ගායකයෙක් වුණත් මං ඌට උඹව දෙන්නෙ නෑ.. අන්න ඒක හොඳට මතක තියාගනිං...”
පියාගේ සවිමත් අතැඟිලි ඇගේ සියුමැලි උරහිස් රිදවාලයි. වේදනාව යටපත් කරගන්නට වෙර දරමින් ඇය “බ්‍රයන් මාව ඉල්ලුවද තාත්තෙ..? මොනාද මේ කියන පිස්සු කතා...?” යි කෑගෑවාය.
“කොල්ලෙක් එක්ක කොයි වෙලාවෙත් රවුම් ගහන්නෙ එතකොට කිසිම සම්බන්ධයක් නැතුව..? ඒක යකාගේ කතාවක්නෙ... උඹ ඔය කතාව කියපං ගිහිං අමු මෝඩයෙකුට.. මාව රවට්ටන්න උඹ ඉගෙන ගත්තා මදි අමාලි..”
“ඔව්... තියෙනවා... සම්බන්ධයක් තියෙනවා... සම්බන්ධයක් තියෙනවා...”
පියා ද දියණිය ද අතර උද්ගතව වන දබර හෝ ගැටලුවකට මින්මනත මැදිහත් නොවන බවට ගිවිසගෙන හුන් සුනන්දා “එපා එපා” යි මුර ගෑවාය. ඇය වෙනදා මෙන් ම ඔවුන් අතරට පැන්නාය. එහෙත් වෙනදා මෙන් සිරිමාන්න සිය දියණිය අත්නොහළේය. ඔහුෙග් අතුල් පහර ඉවසීම පහසු නැතත් අමාලි විලාප දෙන්නට මුවර විවර නොකළාය.
“එපා... එපා ගහන්න.. අනේ ගහන්න එපා... අයියේ අතාරින්න අයියේ... අනේ මගේ කෙල්ල අතාරින්න...”
සුනන්දා හද කම්පා කරවන හඬින් විලාප දුන්නාය.
ලබන සතියට...