
දෑස් නොපෙනීම ජීවිතය හැරයැමට හෝ ජීවිතය ගැන කලකිරීමට, ජීවිතය අත්හැරීමට කිසිසේත් හේතුවක් නොවේ. අපට ඒ බව කියා දෙන්නේ හරින් නමින් කවුරුත් හඳුන්වන දෑස් නොපෙනෙන තරුණයෙකි. සුළු ආබාධයක් ඇති විට අනුන්ට අතපා ජීවත්වන මිනිසුන් සිටින සමාජයක මේ තරුණයා කාටත් ආදර්ශයකි.
ඔහු නමින් වේලුසාමි රවිචන්ද්රන්ය. නමුදු කවුරුත් ඔහු හඳුන්වන්නේ විශේෂයෙන්ම බොරලැස්ගමුවේ පිහිටි ශරීර සුවතා මංතීරුවේ ප්‍රසිද්ධව සිටින්නේ ‘හරීන්’ නමිනි.
හරීන් මීට අමතරව, මහරගම, නුගේගොඩ, පිළියන්දල ඇතුළු කොළඹ නගරය අවට ප්‍රදේශවල ප්‍රසිද්ධ වෙද මහතෙකි.
බදුල්ල නගරය ආශ්‍රිතව ජීවත් වූ හරීන් පිරිමි ළමයි සිව් දෙනෙකුගෙන් යුත් පවුලක දරුවෙකි. පාසල් අධ්‍යාපනය ඉතා උසස් මට්ටමකින් අවසන් කළ ඔහු 34 වියැතිය. උසස් පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු අකුරු කළේ බදුල්ල සරස්වතී විද්‍යාලයේය. නමුත් හරීන්ගේ ජීවිතය කණපිට හැරෙන්නේ ඔහුගේ දෑස් නොපෙනීමත් සමඟය. ඇතැමුන් උපතින් අන්ධ වුව ද රවිචන්ද්‍රන් අන්ධභාවයට පත් වන්නේ නොසිතූ රෝගයක් හේතුවෙනි. එතැන් පටන් ඔහුට සිදු වන්නේ දෛවයේ සරදම සමඟ සටන් කරන්නටය. දෑස සුවපත් කර ගැනීම සඳහා හරින්ගේ පවුලේ උදවිය විශාල උත්සාහයක් දැරුවද ඉන් ඵලක් නොවූ බැවින් හරීන් අන්ධකාරය තම මිතුරා බවට පත් කර ගත්තේය.
හරින් දෑස් නොපෙනෙන්නට පටන් ගෙන දැන් වසර අටකි. නමුදු ඔහු සියල්ලට හුරු වීමට පටන් ගත්තේය. දෑස් නොපෙනීම අමතක කළ ඔහු මේ වන විට සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස එදිනෙදා තමන්ගේ වැඩ කටයුතු සිදු කර ගන්නට හුරු වී සිටී. ඔහු කලක් කරගෙන ආ ගුරු වෘත්තියට සමුදෙමින් වෙනත්ම වෘත්තියක් තෝරා ගන්නට සිතුවේය. තම චිත්ත ශක්තිය හොඳින් වර්ධනය කර ගත් ඔහු කෙසේ හෝ ජීවිත ගමන ජයග්‍රහණය කිරීමට අධිෂ්ඨාන කර ගත්තේය.
තමන් දන්නා කියන කිහිප දෙනෙකුගෙම උදව් උපකාර ලබාගෙන සමාජ සේවා දෙපාර්තමේන්තුවේ දෘශ්‍යාබාධිත පුද්ගලයන් යටතේ විධිමත් පුහුණුවක් ආරම්භ කළේය. මෙහිදී හරින් ජපානයට ආවේණික ‘ශියට්සු’ නම් චිකිත්සා ක්‍රමය මනාව ප්‍රගුණ කළ අතර අනෙක් ශිෂ්‍යයන්ට වඩා ඒ සඳහා සුවිශේෂි දක්ෂතාවයක් දැක්වූ බව ඔහුගේ ගුරුවරයා පැවසීය.
මෙම ක්‍රමය අප රටේ ප්‍රචලිතව ඇත්තේ ඇඟිලි තුඩු තෙරපීම් චිකිත්සාව නමිනි. ලෝකයේ රටවල් රැසකම චිකිත්සා ක්‍රම මගින් රෝග සුව කරන අතර ජපානයට ආවේණිකව ‘ශියට්සු’ ක්‍රමය ඉතා කෙටි කලකින් වඩාත් ප්‍රතිඵල ගෙන දෙන චිකිත්සා ක්‍රමයක් වශයෙන් හැඳින්වේ. ශියට්සු ක්‍රමය සඳහා ජපානය යොදා ගන්නේ අන්ධ පුද්ගලයන් වීම විශේෂත්වයකි. විශේෂයෙන් ම ඇඟිලි තුඩු මගින් සිදු කරන තෙරපුම ඉතා සාර්ථකව සිදු කළ හැක්කේ අන්ධ පුද්ගලයන්ට බව මෙම ක්‍රමය පිළිබඳව ලියවී ඇති පොත්පත්වල සඳහන්ය.
ඇඟිලි තුඩුවලින් නිසි ආකාරව අදාළ මාංශ පේෂී මෙන්ම නිල ඇල්ලීම ඉතා සංවේදීව සිදු කළ යුතු බවත් එය සඳහා සුදුසුම පුද්ගලයන් වන්නේ අන්ධ පුද්ගලයන් බවත් කියැවේ. හරීන්ගේ ප්‍රතිකාර ස්ථානයට විවිධ තරාතිරමේ පුද්ගලයෝ නිරන්තරයෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙති. හරින් විසින් කරගෙන යනු ලබන තෙරපි ක්රමයේ සාර්ථකත්වය තහවුරු කරන්නේ ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගත් පුද්ගලයන්ය.
සංවේදීව ස්පර්ශ කරමින් නිල සොයා ගැනීමේ විශේෂ හැකියාවක් අන්ධ පුද්ගයන්ට ඇති බව පර්යේෂණයන් කිහිප දෙනෙකු සිදු කළ පර්යේෂණවලින් හෙළි වී තිබේ.
“මේ නිල තෙරපුම් ක්‍රමයෙන් බොහෝ රෝගවලට සුවය ලැබෙනවා. ශීර්ෂ සත්කාරය මා කරන පළමු වැන්නයි. ඒ යටතේ හිසරුදා, ඉරුවාදය, නින්ද නොයාම, අපැහැදිලි දෘෂ්ටිය යනාදියට සුවයක් ලැබෙනවා. ගෙල සහ උරහිස සත්කාරය මඟින් ගෙලෙහි වේදනාව, උරහිසෙන් වේදනවා, සහ මාංශ පේශි තද වීම වැනි අපහසුතා තුරන් කෙරෙනවා.” හරීන් පවසයි.
අත සහ අත්ල සත්කාරය මඟින් අත් හිරිවැටීම, ඇඟිලි තුඩු වේදනාව ආදියට ප්‍රතිකාර ලබා දෙයි. කොන්ද සහ ඉන් පහළ කොටස් සත්කාරය මඟින් කොන්දේ වේදනාව හා තුනටිය අමාරුවට සහනයක් සැලසේ.
සම්පූර්ණ සිරුරු සත්කාරය - විශාල වූ උදරය අඩු වීමට, මාංශපේශි ලිහිල් කිරීම, රුධිරය, ස්නායු පද්ධතියෙහි ක්‍රියාකාරිත්වය විධිමත්වීමට අධික බර අඩු කිරීමට මේ යටතේ සත්කාර කරනු ලබයි.
“දැනට මා මෙම තෙරපුම් සත්කාර ක්‍රම කිහිපයකින් කරනවා. බොහෝ පුද්ගලයින් පෞද්ගලිකව මා නිවෙස් වෙත ගෙන්වා ගෙන ප්‍රතිකාර සිදු කරගන්නවා. මුදලට එහා ගිය දෙයක් මා ඔවුන් වෙනුවෙන් සිදු කරනවා යැයි” හරින් පවසන්නේය.
හරින් තම කාර්යාලය පවත්වාගෙන යනු ලබන්නේ බෙල්ලන්විල ශරීර සුවතා මං තීරුවේය.
“මම මේ ප්‍රතිකාර ක්‍රමය බොහෝම ආසාවෙන් දැඩි කැපවීමකින් තමයි සිදු කරන්නේ. මේ මගින් මට මගේ මනසට විශාල සහනයක් ලැබෙනවා. බොහෝ දෙනා මට පිං ලබාදෙනවා. ඔවුන්ට ප්‍රතිකාර ලබා දීමෙන් පසුව. මේ සඳහා මං අය කරන්නේ පොඩි මුදලක්. එ්ත් සමහර අය මට ගොඩක් මුදල් දී යනවා.
ගොඩක් අය හිතාගෙන ඉන්නේ අන්ධ උනාම එහෙමත් නැත්නම් තමන්ට යම් ආබාධිත තත්වයක් ඇත්නම් එය ගැටලුවක් අසරණකමක් කියලා සිතනවා. කවුරුත් එහෙම හිතන්න හොඳ නැහැ. අපි අසරණයි කියලා කිසිම වෙලාවක කවුරුත් සිතිය යුතු නැහැ. හැම කෙනාටම තමන්ට ආවේණික වූ දක්ෂතාවක් තිබෙනවා. ඒ දක්ෂතාව සොයා ගත යුතුයි. ඒ ගැන මම අත්දැකීමෙන් දන්නවා.” හරීන් පවසන්නේය.
හරින් හමුවීමට ගිය ගමනේදී අපට ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටි ටෙනිසන් ගුණතිලක මහතා මුණගැසිණි.
“මගේ ශරීරයේ දිගින් දිගටම වේදනාකාරි තත්ත්වයක් තිබුණා. නමුත් මේ ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කළ පසු මගේ ඒ වේදනාකාරි තත්ත්වය අඩු වුණා. මගේ සිරුරට දැන් හොඳ සහනයක් ලැබෙනවා.” ටෙනිසන් මහතා පැවසීය.
කටුවාවල දීපාල් මාකලන්ද මෙතැනට පැමිණියේ දණහිස්වල සහ කොන්දේ දැඩි වේදනාකාරී තත්ත්වය හේතුවෙනි.
“මේ වේදනාවට මං විවිධ ප්‍රතිකාර කෙරුවා. මේ සම්භාහන ක්‍රමය පටන් ගත් පසු එම වේදනාව සම්පූර්ණයෙන්ම සුවයි.”
ජීවිතයේ හැලහැප්පීම්වලදී පසුබට නොවී තමන්ට කළ හැකි කාර්යක් තෝරා ගත් මේ තරුණයා අනුන්ටත් සහනයක් දෙමින් තවත් කෙනකුට බරක් නොවී දිවි ගෙවීම කාටත් ආදර්ශයකි.
භක්ති මෙන්ඩිස්