
* අවුරුද්දටම සාමාන්‍ය මිනිස්සුන්ට දොර ඇරෙන්නෙ දවස් දෙකයි
* මංගල්‍යයට සියලුම පහසුකම් නාවික හමුදාවෙන්
* බැතිමතුන් වැඩි පිරිසක් ඉන්දියාවෙන්
* කාලයක් කල්ලතෝනි රජදහනක්
කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනී දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යයට යෑමට බොහෝ දෙනා මේ දිනවල ලකලැහැස්ති වෙති. මෙවර වාර්ෂික මංගල්ලය පැවැත්වෙන්නේ මාර්තු මස 15 හා 16 යන දිනවලය.
යාපනය දිස්ත්‍රික්කයට අයත් කච්චතිව් දූපත අතිශයින්ම සුන්දරය. ලවණ ශාක, කඩොලාන ශාක මෙන්ම උතුරට හුරු පුරුදු කටු සහිත කඨෝර ගහකොළ පිරි කච්චතිව් දූපතේ වපසරිය වර්ග අක්කරවලින් කිවහොත් 285 කි. නවීන මිණුම් ක්‍රමවලට එය හරවා ප්‍රකාශ කරන්නේ නම් වර්ග කිලෝ මීටර 1.15 කි.
1605 දී ඉන්දියාවේ රාමනාදන්පුර පාලනය කළ සේතුපති අධිරාජයා විසින් මුලින්ම කච්චතිව් දූපත සොයාගැනීමෙන් පසුව එය ඉන්දීය පාලනය යටතේ පැවතිණි. කල්යත්ම මේ කච්චතිව් දූපත ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් මහත් හිසරදයක් විය.
කච්චතිව් දූපත ලංකාවට හිමි වීමට පෙර ඉන්දියාවේ සිට එම දූපතට පැමිණි ධීවරයෝ මසුන් මැරීමේ කටයුතුවල නිරත වී කරවල වේලීම සඳහාත් විවේක ගැනීම සඳහාත් මේ දූපත භාවිත කළහ. කල්යත්ම ලංකාවත් ඉන්දියාවත් අතර සිදුවන නීති විරෝධී ජාවාරම් සියල්ලම සිදුවූයේ මේ දූපත හරහාය.
ගංජා, අබින් ඇතුළු සියලු මත්ද්‍රව්‍යයද, සරොම්, සාරි සුවඳ විලවුන් වැනි දේද ඉන්දියානු චිත්රපටද මේ රටට හොර රහසින් ගොඩ බැස්‌සේ කච්චතිව් දූපත හරහාය. මේ නිසා ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් ලැබිය යුතු විශාල බදු මුදලක් දෙරටටම අහිමි විණි.
කච්චතිව් දූපත නිසා මීළඟට සිදුවූ බරපතළම හානිය වූයේ ඉන්දියාවේ සිට හොර රහසේ අනවසරයෙන් මේ රටට එන කල්ලතෝනින්ගේ සංඛ්‍යාව ඉහළ යෑමය.
දෙමළ භාෂාවෙන් ‘කල්ල’යනු හොරුයි. ‘තෝනි’යනු ‘ඔරුවයි’. ඔරු හා බෝට්‌ටු ආධාරයෙන් ශ්‍රී ලංකාවට හොර රහසේ පැමිණෙන පිරිස් ‘කල්ලතෝනින්’ වූයේ එලෙසිනි. මේ කල්ලතෝනි ප්‍රශ්නය එදා ශ්‍රී ලංකාවට මහත් පිළිලයක් විය. වීසා හෝ කිසිදු අවසර පත්‍රයකින් තොරව ඉන්දියාවේ සිට කල්ලතෝනි මෙහි පැමිණ විවිධ වෘත්තීන්වල නිරත වූහ.
කච්චතිව් දූපතේ සිට පැමිණෙන කල්ලතෝනින්ට අමතරව තලෙයිමන්නාරම හා මන්නාරම මුහුදු මාර්ග ඔස්‌සේද ශ්‍රී ලංකාවට කල්ලතෝනි පැමිණියහ. එහෙත් එම ප්‍රදේශවල ආගමන විගමන නිලධාරීන් විශාල පිරිසක් සේවයේ නිරතව සිටීම නිසා ඔවුනට නිදහස ලංකාවට පැමිණීමට නොහැකි විය.
ඉන්දීය හා ශ්‍රී ලාංකික උතුරු ධීවරයෝ එකම භාෂාව කතා කළහ. එමනිසා කච්චතිව් දූපතේදී මේ මිනිස් ජාවාරම ඉතා සරුවට බොහෝ කාලයක්ම සිදුවිණි.
ඉන්දියාවට අයත්ව තිබූ කව්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලැබෙන්නේ 1974 අත්සන් කළ සිරිමා ශාස්‌ත්‍රී ගිවිසුම අනුවය. 1974.07.23 වෙනි දින සිට කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාව වෙත පැවරුණු නමුත් ඉන්දීය භාරත ජනතා පක්‍ෂය (BJP) ඇතුළු කණ්ඩායම් ගණනාවක් ආපසු කච්චතිව් දූපත ඉන්දියාව යටතට ගතයුතු බවට හඬ නගයි. ඒ සටන මේ වනතුරුත් ක්‍රියාත්මකය.
වර්ෂ 1974 ට පෙර ඉන්දියාවට කච්චතිව් දූපත අයත්ව තිබූ කාලයේදී කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ වාර්ෂික මංගල්ලයට පැමිණියේ ඉන්දියානුවන් පමණි. එසේ පැමිණි බැතිමතුන්ගේ බහුතරය ධීවරයෝ වූහ. ධීවර ප්‍රජාව අතර ශාන්ත අන්තෝනි මුනිඳුන් කෙරෙහි භක්තියත්, ශ්රද්ධාවත්, අචල විශ්වාසයත් පැවැත්වීමට විශේෂ හේතුවක් තිබිණ. ශාන්ත අන්තෝනි මුනිඳුන් ධීවරයන්ට ආරක්ෂාව සපයා දෙන මුරදේවතාවා ලෙස ධීවරයෝ විශ්වාස කරති.
ධීවර ප්‍රජාවේ ආර්ථිකය සමෘද්ධිමත් කරන්නේත්, වැඩිපුර මාළු ලබාදී ධීවරයා සතුටට පත් කරන්නේත් ශාන්ත අන්තෝනි මුනිඳුන් බව ඔවුන්ගේ විශ්වාසයයි. විවිධ ප්රාතිහාර්ය පෑමට සමත් බවට විශ්වාස කරන ශාන්ත අන්තෝනි මුනිඳුන් මුහුද මැද හා ඒ අවට ප්රාතිහාර්ය රැසක් පෑ බවට ඉතිහාස කතාද අප්‍රමාණය.
ඒ කතාවලට අනුව වරෙක ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේශනාවක් ඇසීමට අකැමැති වූ ධීවර පිරිසක් උන්වහන්සේ සිටි තැනින් නික්‌ම ගියහ. ඉන්පසු ශාන්ත අන්තෝනි මුනිතුමා සිය දේශනය මාළුන්ට පැවැත්වූහ. ඒ අවස්ථාවේදී ලක්‍ෂ සංඛ්‍යාත මාළු රෑන් උන්වහන්සේගේ දේශනය ශ්‍රවණය කළ බව ඉන් එක් කතාවකි.
මෙම දසුන දුටු, ශාන්ත අන්තෝනි මුනිඳුන් හැරගිය ධීවරයෝ යළි ආපසු පැමිණයහ. මුනිඳුන්ගෙන් සමාව ගෙන උන්වහන්සේගේ පිහිට පැතූහ. ඒ නිසා ධීවර කර්මාන්තයෙන් ඔවුනට විශාල ලාභයක් ලැබීමට හැකිවූ බව කියැවිණි.
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට හිමි වීමෙන් පසුව රටේ නන්දෙසින් පැමිණෙන බැතිමත්හු කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට සහභාගි වෙති. මේ නිසා කච්චතිව් දේවස්ථාන මංගල්ලයේදී ඉන්දියානුවෝ හා ශ්‍රී ලාංකිකයෝ යන දෙකොට්ඨාසයම එකට එක් වී වාර්ෂික මංගල්ලයට සහභාගි වෙති. ශාන්ත අන්තෝනි මුනිඳුන්ට වන්දනාමාන කරන පිරිස මේ රටවල් දෙකට පමණක් සීමා නොවන නිසා වර්තමානයේදී යුරෝපා රටවල පිරිස්‌ද කච්චතිව් මංගල්ලය සමයේදී මෙම අපූරු දූපතට පැමිණෙන්නට පටන් ගෙන තිබේ.
කච්චතිව් දූපත එදා සිටම ජනාවාසවලින් තොර දූපතකි. එම දූපත ජනාවාස කිරීම, සංචාරක හෝ ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීම අපහසු වී ඇත්තේ දූපතේ පිරිසිදු පානිය ජලය නොමැතිකමය. තවද කිසිදු අයෙකුට හිතුමතේ තමන්ට අභිමත අවස්ථාවක හෝ කාලයක කච්චතිව් දූපතට යා නොහැකිය. වසරකට එක් වරක් පමණක් දින තුනක කාලයකට පැවැත්වෙන ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ මංගල්‍යය සමයේදී පමණක් කච්චතිව් දූපතට යෑමට අවසර ලැබේ. ඉන් බාහිරව කච්චතිව් දූපතට යන අයෙකු වේ නම් ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යංශයෙන් හා නාවික හමුදාවෙන් අවසර ලබාගත යුතුය. එම තීන්දුව ගෙන ඇත්තේ දෙරට අතර කරන හොර ජාවාරම් නැවැත්වීම සඳහාය.
එම ගමන අවාරයේ ශ්‍රී පාදයේ කරුණා කිරීම වැනි ගමනකි. කච්චතිව් දූපතේ ඇත්තේ ගොඩනැගිලි දෙකක් පමණි. ඉන් එකක් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයයි. අනෙක් ගොඩනැගිල්ල වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යයන් වෙනුවෙන් ඉදිකොට ඇති ගොඩනැගිල්ලයි. ශාන්ත අන්තෝනි මුනිඳුන් නිසාම ලොව ප්රකටව ඇති මේ මනරම් හුදකලා දූපත රටේ සංවර්ධනයට යොදාගත නොහැකිව තවමත් දින තුනක් සඳහා ලෝකයට නිරාවරණය කර ඇත.
කච්චතිව් දූපත කොතරම් සුන්දර වුවත් එහි යෑම ලෙහෙසි නැත. යාපනයත් ඉන්දියාවත් අතර මුහුද සීමාවේ ඉන්දියාව දෙසට වන්නට පිහිටි කච්චතිව් දූපතට යාපනයේ සිට දුර කිලෝමීටර් 46 ක් පමණ වෙයි. ඉන්දියාවේ සිට මෙම දූපතට ඇති දුර ප්‍රමාණය ඊටත් අඩුය.
මේ ගමන සඳහා සාමාන්‍ය බෝට්ටුවකට පැය තුනහමාරක් හතරක් අතර කාලයක් ගතවෙයි. යාපනය අර්ධද්වීපයේ සමුපකාර සමිති හා ප්‍රාදේශීය සභා මගින් පවත්වාගෙන යන බෝට්‌ටු සේවාවේදී එක් මගියෙකුගෙන් තනි ගමනට රුපියල් 300 ක් අය කෙරේ. එනම් කච්චතිව් දූපතට යාපනයේ සිට ගොස් ආපසු ඒමට රුපියල් 600 ක මුදලක් වැයවෙයි.
මේ මුදල ගෙවා ගමන් කරන යාත්‍රා ඉතා පැරැණි ඒවාය. බෝට්‌ටුවේ එන්ජිම පණගන්වන විට ඇසෙන ‘ලඩ ලඩ’ ශබ්දය හදවත පසාරු කරගෙන යන තරම්ය. කච්චතිව් යාමට පෙර මහමුහුද මැද මේ බෝට්‌ටුව කඩා වැටෙනු ඇතැයි යන සාධාරණ බියක් ඇතිවීම නොවැළැක්විය හැකිය. මේ බෝට්ටුවල භාවිත කරනු ලබන උපකරණ හා මෙවලම්ද යල්පැන ගිය ඒවාය. උතුරේ දූපත්වාසීන්ගේ ජීවිත එසේය. යාපනයේ නාගදීපය, ඩෙල්ෆ්ට්, අනලතිව් වැනි දූපත් කරා ගමන් කරන ජනතාවද මෙවන් පීඩා අත්විඳිති. මන්ද කච්චතිව්වලට මෙන් නොව ඩෙල්ෆ් හා නාගදීපය යන දූපත්වලට දිනපතාම වැසියන් ගමන් කරන්නේ සිය දහස් ගණනෙනි.
සාමාන්‍ය වැසියන්ට කිසිදාක නොලැබෙන වරප්‍රසාදයක් මෙම වාර්ෂික මංගල්‍යය සමයේදී විශේෂ ප්‍රභූ පුද්ගලයන්ට හා මාධ්‍යවේදීන්ට ලැබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් විශේෂිත යාත්‍රා මගින් ඔවුන් වෙනුවෙන් ප්‍රවාහන සේවා සපයයි. එවැනි යාත්‍රාවකින් මේ ගමන යෑමට ගත වන්නේ පැයක් වැනි කෙටි කාලයකි.
කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන්නේ දින දෙකකදී වුවත් ශ්‍රී ලංකා නාවික හමුදාවට සෑහෙන කලක පටන් වැඩ අරඹන්නට සිදුවෙයි.
මේ මංගල්ලයට සහභාගි වන සියලුම බැතිමතුන් වෙනුවෙන්ද ප්‍රභූන් වෙනුවෙන්ද ආහාරපාන, පානීය ජලය, වැසිකිළි කැසිකිළි පහසුකම් මෙන්ම වෛද්‍ය ආධාර පහසුකම්ද සපයා දෙනු ලබන්නේ නාවික හමුදාව මගිනි. ඒ කාලයට නාවික හමුදාවේ යාත්‍රා පිටකොටුවේ ත්‍රීරෝද රථ මෙන් කඩිසරය.
නාවික හමුදාවේ ඉහළ, පහළ, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කර්මාන්ත ශාලාවක කම්කරුවන් ගණනට වැඩය. මේ කාර්යය නාවික හමුදාවට අයත් රාජකාරියක් නොවුවත් ඔවුන් මේ කාලයේදී ක්රියාකරනුයේ තමන්ගේ ගෙදර උත්සවයක් පරිද්දෙනි.
මිනිසුන්ට කෑම ටික සපයා දෙන්නට බෝට්‌ටුවේ සිට අල, ලූනු, එළවළු ගෝනි කරතබාගෙන යන නාවික හමුදා භට පිරිසක් එක් පසෙකින් දිස් වෙද්දී විශාල බැරල්වලට ජලය සපයන තවත් පිරිසක් තවත් පසෙකින් දක්‌නට ලැබේ.
දූපතට විදුලිය ලබා දෙන්නට තවත් පිරිසක් උත්සාහ දරද්දී පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව හා ඔවුනට සෙසු පහසුකම් සපයාදීමට තවත් පිරිසක් වෙහෙසෙති. කච්චතිව් දූපතට වැටෙන දැඩි හිරු රශ්මිය කරවල පැයකින් වේලා ගැනීමට තරම් දරුණුය. එහෙත් ඔවුනට එහි වගේ වගක් නැත. නාවික හමුදා භට පිරිස් කඩි රැළක් මෙන් කඩිසරය.
‘කච්චිය පිච්චියට ගියත් බල්ලන් ඇඳුම් අඳින්නේ නැතැයි’ කීවා සේ ඉන්දියාවේ සිට කච්චතිව් දූපතට පැමිණෙන බැතිමතුන් ඔවුන්ගේ සාමාජයීය හා සංස්කෘතික ගති පැවතුම් වෙනස් නොකිරීම නිසා කච්චතිව් දූපතට යන සියලුම දෙනාට දැඩි දුෂ්කරතාවකට මුහුණදීමට සිදුවෙයි.
නාවික හමුදාව කොතරම් වැසිකිළි සාදා ජලය සපයා තිබුණද ඉන්දියානුවන්ගේ පුරුද්ද තමන්ට අවශ්‍ය වූ ඕනෑම මොහොතක ඕනෑම තැනක සිය ශරීර කෘත්‍යය ඉටුකර ගැනීමය. දවල්ද රෑද ගැහැනුද පිරිමිද යන්නෙහි කිසිදු තැකීමක් ඔවුනට නැත. ලැජ්ජාවකින් බියකින් හෝ චකිතයකින් තොරව කච්චතිව් භූමියේ තැනින් තැන වැල්ලේ විවිධ රටා මවමින් කෙරෙන මලපහ කිරීම් නිසා ඇතිවන්නේ අප්‍රසන්න භාවයකි. පිළිකුලකි. දුර්ගන්ධයකි. කච්චතිව් දූපතට යන උදවිය සියල්ල ඉවසිය යුතුවේ.
කච්චතිව් දූපතේ මංගල්‍යය අවසන් වන දිනය වන විට මුළු භූමියේම පය ගැසිය නොහැකි තරමට අපවිත්‍ර වේ. මහමුහුදේ සිට බෝට්‌ටු කච්චතිව් දූපතට ළඟා වන විටම දුපතට ළඟා වීමටත් පෙර දුර්ගන්ධය මහමුහුදට හමා එන තරමට මේ වැඩේ ඉන්දියානුවෝ ගජරාමෙට කරති.
ක්‍රිස්තු වර්ෂ 1605 දී රාමනාදන්පුරම් පාලකයෙකු වූ සේතුපති රජු කච්චතිව් දූපත සොයාගෙන එය වන්දනාමාන කටයුතු සඳහා විවර කළ කාල වකවානුවේ සිට මේ දක්‌වාම ඉන්දියානුවන්ගේ මේ අප්‍රසන්න පුරුද්ද පවතී.
මේ අන්දමට හැසිරෙන ඉන්දියානුවන් නිතර නිතර කෑකෝ ගසන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුනට පහර දෙන බව කියමිනි. එහෙත් කච්චතිව් මංගල්‍යයට පැමිණෙන සියලු ඉන්දියානුවන්ට සියලු දේ සැපයෙන්නේ නාවික හමුදාවෙනි. බෝට්ටුවෙන් බැසීමට මුලින්ම අත දිගු කරන්නේද නාවික හමුදා භටයෝය. එතැන් සිට සියලු දේ නාවික හමුදාව විසින් සොයා බලයි. ඉන්දියානුවන් කුමක් පැවසුවද කච්චතිව් දූපතේදී දෙපිරිසටම සියලු තරහ මරහ අමතක වේ.
දේව භක්‌තිය උදෙසාම ඉන්දියානුවන් හා ශ්‍රී ලාංකිකයින් කච්චතිව් දූපතට පැමිණියත් එය සෑම වර්ෂයකම දේශපාලන වේදිකාවක් බවට පත්වේ. දෙරටේ ධීවරයින් අතර ගැටලු සාකච්ඡා කිරීමට මෙම කච්චතිව් දූපතේ මංගල්‍යය සිදු කෙරෙන දිනය තෝරාගෙන තිබේ.
මංගල්‍යය පැවැත්වෙන දිනයේ සවස මංගල්‍යයෙන් පසුව ඇරැඹෙන ඒ මහා සභාව පසුදා අලුයම පූජාව පැවැත්වෙනෙතෙක්ම පැවැත්වෙයි. එහිදී කතා බහ කරන්නේ දෙරටේම ධීවර ප්‍රශ්න වූවත් ඒවාට විසඳුමක් නොමැත. පසුදා සිටම සියල්ල පරණ පුරුදු ක්‍රමයටම සිදුවේ.
රසුල දිල්හාර ගමගේ