
පළාතටම ඇති එකම ස්වාභාවික කෝමාරිකා කැලෑව විනාශ මුඛයේ
නාවල අන්නාසි….කෝට්ටේ දොඩම් රස..යන පැරණි ගීතය මතක් වනනේ අපේ රටේ පළාතෙන් පළාතට නගරයෙන් නගරයට ඊටම ආවේණික වූ පලතුරු එළවළු හා ශාක දකින විටය. කාලාන්තරයක් තිස්සේ අපේ රටේ වැවෙන ස්වභාවික දේ පිළිබඳ සඳහන් වූවත් ස්වභාවිකව වසර ගණනාවක් තිස්සේ මන්නාරමේ වැඩෙමින් පවතින කෝමාරිකා වන ගහනය පිළිබඳ කිසිම තැනක දී අපට කියවන්නට තොරතුරු නොලැබෙයි. ඒ කෝමාරිකා වනය බැලීමට හැකිවන්නේ ඒ පළාතට යෑමෙන්ම පමණකි. මේ ස්වභාවික කෝමාරිකා වනය මන්නාරමේ වංකාලෙයි, නානාට්ටන් ඇතුළු පළාත් ගණනාවක් පුරා විසිරී පැතිරී පවතියි.
මන්නාරමේ ස්වභාවික කෝමාරිකා ගහනයට ස්වභාවිකවම තුරු වියනින් ආරක්ෂාව ලැබුණද ඒ කෝමාරිකා ගහනයට මිනිසුන්ගෙන් කිසිදු ආරක්ෂාවක් නැත්තේය. රුපියල් සතවලට ලොල් මිනිසා පරිසරයට කිසිදා ඇලුම් නොකරයි. ස්වභාවිකත්වයේ අපූර්වත්වය නොදකියි. මේ නිසාම ඔවුන් ස්වභාවිකත්වය විනාශ කරන්නේ හිත් පිත් නොමැතිවය.
මන්නාරමේ ස්වභාවික කෝමාරිකා ගහනයටද දැන් කණකොකා හඬන්නට පටන් ගෙන තිබේ.
නමුත් පරිසරයට ආදරය කරන මිනිසුන් ඉඳහිට කොතැනකදී හෝ එකෙකු දෙන්නෙකු හෝ අපට හමුවෙයි. ඔවුන් කළුගලේ මැණික් කැට බඳුය.
මන්නාරමේ 'එවර් ග්‍රීන්' පරිසර සංවිධානයේ සභාපති එස්. කීර්තිකන් මහතා පවසන්නේ මන්නාරමේ කෝමාරිකා සම්පත මෙලෙසින් දිගින් දිගටම විනාශ වුවහොත් එය විශාල අපරාධයක් බවයි.
“මන්නාරමේ ස්වභාවික කෝමාරිකා ගහනය පළාතටම විශාල සම්පතක්. ඒක නිසා මෙය ආරක්ෂා කරගැනීම සඳහා ගන්නට පුළුවන් හැම උත්සාහයක්ම අපි ගන්නවා.
මේ පළාතේ වෙද මහත්තුරු කෝමාරිකා පඳුරු ගලවගෙන යනවා. ඒ අය මාස තුනකට හතරකට එක සැරයක් තමයි ඒවා ගලවගෙන යන්නේ. එහෙම ගලවගෙන ගියත් එක්කෝ ගස් දෙකක් නැත්නම් තුනක් තමයි ගලවගෙන යන්නේ. ඉන් වගාවට විශාල හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම වෙද මහත්තුරු කෝමාරිකා අරන් යන්නේ බෙහෙත් හදන්න. කාන්තාවෝ කෝමාරිකා අරගෙන යන්නේ රුපලාවණ්යය කටයුතු සඳහා. මේ අය මාස දෙක තුනකට සැරයක් තමයි කෝමාරිකා අරගෙන යන්නේ. ඒකෙන් ලොකු හානියක් කෝමාරිකා වනයට සිදු වන්නේ නැහැ. සමහරු ගෙදර සිටවන්නත් පැළ ගලවගෙන යනවා. ඒකෙන් වෙන්නේ මේ වගාව තවත් ව්‍යාප්ත වෙන එක. ඒත් අද වෙනකොට මේ සම්පත විනාශ වෙලා යන්නේ දකුණේ සිට මන්නාරමට ඇවිත් කෝමාරිකා ලොරි පිටින් ගලවගෙන යන සංවිධානාත්මක පිරිස නිසයි. ඔවුන් අද මේ කරන්නේ ලොකු විනාශයක්. ” කීර්තිකන් මහතා පවසන්නේ හිතේ අමාරුවෙනි.
එක යායට පැතිර ඇති රටේ බහුතරයක් නොදන්නා මන්නාරමේ කෝමාරිකා වනය අද ක්‍රමයෙන් වැනසී යමින් පවතින්නේය.
කම්කරුවන් කිහිපදෙනෙකු සමඟ ගෝනිද රැගෙන ලොරියකින් පැමිණෙන ජාවාරම්කරුවෝ කෝමාරිකා සහමුලින් කපාගෙන යන්නෝය. එහි මුල් කොටස් ද ඔවුන්ම රැගෙන යන්නේය. මේ සිදුවන ව්‍යසනය පිළිබඳ සොයා බලන්නට කෙනෙක් ද නැත. පසුගිය දිනෙක එවර් ග්‍රීන් සංවිධානය මේ ගැන පොලිසියට පැමිණිලි කළේය.
“මන්නාරමේ කෝමාරිකා ගලවපු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඒ අය පොලීසියට ලියවිලි වගයක් ඉදිරිපත් කරලා කියා සිටියේ ඔවුන් පාරම්පරික වෙද මහත්තුරු කියලා. සමහරු පාරම්පරික වෙද්දු කියලා ඇවිත් කෝමාරිකා ගලවගෙන ලොරි පිටින් අරගන යනවා. මේ ස්වාභාවික කෝමාරිකා වනය ඒ විදිහට විනාශ කරන එක වැරදියි. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වනය ආරක්ෂා කරලා දෙන්න කියලයි.”
එවර් ග්‍රින් සංවිධානය පවසන්නේ.
“කෝමාරිකා ශාකය වැඩෙන්නේ උෂ්ණ කලාපීය පරිසරවලය. මන්නාරමේ ස්වභාවික කෝමාරිකා ගහනයක් දක්නට ලැබෙන්නේ මේ නිසාය. ශ්‍රී ලංකාවේ පමණක් නොව ඇමෙරිකාව අප්‍රිකාව ඉන්දියාව පකිස්තානය වැනි රටවලද උෂ්ණාධික පරිසරවල කෝමාරිකා ශාකය වැඩෙයි. ලිලියාසේ (LILIACEAE) කුලයට අයත් ඇලෝ ඉන්ඩිකා(ALOE INDICA) යන උද්භිත විද්‍යාත්මක නමින් හැදින් හැඳින්වෙන කෝමාරිකා ශාකය කාන්තා රෝග විශාල සංඛ්‍යාවක් සුවකිරීමට යොදාගන්නා ඖෂධයක් බැවින් කුමාරි, ගෘහ කන්‍යා, කන්‍යා, සෘතු කුමාරි, කුමාරිකා ආදි විවිධ නම්වලින් හැඳින්වේ. එහි ඇති ඖෂධීය ගුණය දෙස බලන විට මිනිස් සිරුරට අවශ්‍ය ඇමයිනෝ අම්ල විසි දෙකකින් විස්සක්ම අඩංගුය. ශරීරයට නිපදවා ගත නොහැකි අත්‍යාවශ්‍ය (ESSENTIAL PROTEIN) ඇමයිනෝ අම්ල වර්ග හතක්ම ඵහි අඩංගුය. අධික ප්‍රෝටීන ප්‍රමාණයකින් සමන්විත වේ. මෙහි විටමින් ඵ්, විටමින් ඊ, විටමින් සි, සහ විටමින් බි, අඩංගුය. රෝග ගණනාවක් සඳහා භාවිතා කෙරෙන වටිනා ඖෂධීය ගුණයෙන් යුතු කෝමාරිකා වනයක්ම අපට තිබියදි එයින් නිසි ප්‍රයෝජන ගනු විනා එය විනාශ වන්නට ඉඩහැරීම අපරාධයකි. අදාළ බලධාරින්ගේ මෙන්ම පරිසරවේදීන්ගේද යුතුකම මන්නාරමේ කෝමාරිකා වනය රැක ගැනීමට කටයුතු කිරිම වන්නේය.
රසුල දිල්හාර ගමගේ