තුට්ටුවක් නොවටින හක්බෙලි කටු විකුණලා කෝටි ගණන් හම්බ කළ ජාවාරමා කොටු වූ හැටි | සිළුමිණ

තුට්ටුවක් නොවටින හක්බෙලි කටු විකුණලා කෝටි ගණන් හම්බ කළ ජාවාරමා කොටු වූ හැටි

මේ රටේ මිනිසුන් සැදී පැහැදී ඉන්නේ සොරුන්, තක්කඩින් මෙන්ම මිථ්‍යා විශ්වාස පතුරන්නන්ට රැවටෙන්නට බලාගෙනය. යන්තම් රෙදි කෑල්ලක් දුටු විට අතේ වියදමින් හැඩ කපා, මල් ගෙත්තම් ගොතා, මහගෙනම ඇඳගැනීමට මේ ඇත්තන් දක්වන්නේ පුදුමාකාර කැමැත්තකි. මේ රටේ මිනිසුන්ව කරමුලින් සිය ග්‍රහණයට ගෙන අන්ධ විශ්වාස පතුරුවමින් මිථ්‍යාව වැපිරූ එවන් එක්තරා කූට ජාවාරම් කාරයෙක් පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුණේය.

සිය ගල් පැලෙන බේගල් වැපිරීම සඳහා මේ තැනැත්තා විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය අවකාශයද තම මුදල් බලයට නතු කරගර ගත්තේය. ඔහු සමාජයේ හැසිරුණේ ප්‍රභූවරයෙක් ලෙසය. හෙතෙම සමාජයේ ඉහළම ස්ථරය ඇසුරු කළේය. අමුතුම තාලේ ජාවාරමක යෙදුණු මේ තැනැත්තා නමින් කීර්ති දිසානායකය. පසුගිය 7 වැනිදා මිරිහාන පොලිසිය විසින් කීර්ති අත්අඩංගුවට ගත්තේය.

ධනය, බලය, වාසනාව, නිරෝගීකම මෙන්ම ග්‍රහ දෝෂ, වාස්තු දෝෂ, භූමි දෝෂ සේම රැකියා ජයග්‍රහණ, පවුලේ දියුණුව, සමඟි සම්පන්න බව, අධ්‍යාපනයේ ඉහළ ජයග්‍රහණ, වාසනාවන්ත විවාහ, පින් කළ දරුවන් ආදි මෙකී නොකී සිතූ පැතු සම්පත් ලබා දෙන බව කියූ වාලම්පුරි ලෙස හඳුන්වන හක්බෙල්ලන් අධික මිල ගණන්වලට විකිණීම ඔහු කාලයක් තිස්සේ කරගෙන ගියේය. මිය ගිය බෙල්ලෙකුගේ බෙලි කටුවකට කළ හැකි කෙමණක් නැති බව වටහා ගත නොහැකි අවිචාරවත් මිනිසුන් මේ පුද්ගලයාට රැවටුණේ හිතන්නටවත් බැරි ආකාරයටය.

බොහෝ දෙනෙකුට බුද්ධිය පහළ වන්නේ දරාගත නොහැකි පාඩුවක් සිදුවන විටය. ඔහුගේ ජාවාරමට හසුවූ පිරිසක් පසුගිය දින කීපයේ මිරිහාන පොලීසියට පැමිණියහ. ඔවුහු තමන්ට මේ පුද්ගලයා කළ වංචාව සම්බන්ධව පොලිසියට පැමිණි කළහ.

මුල්ම පැමිණිල්ල

මුල්ම පැමිණිල්ල එන්නේ බෙලිඅත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙනි. ඒ පසුගිය 07 වැනිදාය. වාලම්පුරි මුදලාලි රුපියල් හාරලක්ෂ තිස්හත් දහසකට එවන් සිතු පැතුම් සම්පත් දෙන වාලම්පුරියක් මේ ව්‍යාපාරිකයාට විකුණා තිබිණි. පැමිණිල්ලෙන් කියැවුණේ, පසුගිය මාර්තු මාසයේ දිනෙක අංක 94, තලවතුගොඩ පාර, ‍පිටකෝට්ටේ පිහිටි නමෝ නාරායනාය මධ්‍යස්ථානයෙන් වාලම්පුරියක් මිලදී ගත් බවත්, එම වාලම්පුරිය ව්‍යාජ එකක් බවට පෙනී ගිය හෙයින් පොලිසියට පැමිණිලි කරන බවයි. ව්‍යාජ ජාවාරමට හසුවූ පැමිණිලිකාර පුද්ගලයා ඉල්ලා තිබුණේ තම මුදල් නැවතත් කීර්ති දිසානායකගෙන් ගෙන තමාට ලබා දෙන ලෙසය.

නමෝනාරායනා අත්අඩංගුවට

පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ මිරිහාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කරමින් පැමිණිලිකරු සතුව තිබූ වාලම්පුරිය පොලිස් භාරයට ගෙන මට්ටක්කුලියේ පිහිටි ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා නියෝජිත ආයතනය (නාරා) වෙත යොමු කළේය. ඔවුන් කළ පරීක්ෂාවෙන් අනාවරණය වූයේ එය වාලම්පුරියක් නොව නිකම්ම නිකම් මුහුදු බෙල්ලෙකුගේ අජීවි කටුවක් පමණක් බවත්ය. එම පැමිණිල්ල කළ පුද්ගලයා ද පැමිණිල්ලට පෙර නාරා ආයතනයට ගොස් එම හක්බෙලි කටුව ගැන පරීක්ෂාකොට වාර්තාවක් ලබාගෙන තිබිණි. එහිදී සඳහන් වී තිබුණේ එය අජීවි හක්බෙලි කටුවක් පමණක් බවය.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය නමෝ නාරායනාය මධ්‍යස්ථානය නමින් පවත්වාගෙන ගිය ව්‍යාජ වාලම්පුරි ජාවාරම් මධ්‍යස්ථානය වැටලුවේය. අනතුරුව ව්‍යාජ මහාචාර්යකමක් සඳහන් කරගෙන එම ජාවාරමේ නිරතවූ එහි හිමිකරුවා වන 61 හැවිරිදි කීර්ති බන්දුල දිසානායක නමැත්තා සහ එම ආයතනයේ සහායකයකු ලෙස සේවය කළ තලවතුගොඩ, හෝකන්දර පාරේ, අංක 288/30 නිවෙසේ වෙසෙන 26 හැවිරිදි කාවින්ද ෂෙමාල් ඩයස් නමැත්තා අත්අඩංගුවට ගත්තේය. මේ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණේ සාපරාධි විශ්වාසය කඩකිරීම නමැති දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් චෝදනාවන්ට මෙන්ම සාවද්‍ය පරිහරණය චෝදනා යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර කීවේය.

පසුව ගංගොඩවිල මහේස්ත්‍රාත් වසන්ත කුමාර වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත ඔවුන් දෙදෙනා නිදහස් කෙරුණේ ලබන ජුනි මස 10 දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනි.

ජාවාරමට අවුරුදු අටක්

ලක්ෂ ගණනින් මුදල් වියදම් කරමින් විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය අවකාශයන්හිද ඉඩහසර වෙන්කරවාගෙන වසර අටක පමණ කලෙක සිටම මෙම හක්බෙලි ජාවාරම සිදුකළ කීර්ති දිසානායක මේ වනවිට රැපියල් කෝටි ගණනක ධනස්කන්ධයක් උපයාගෙන ඇති බවට වාර්තා වේ. රුපියල් දසදහසේ සිට ලක්ෂ පහ දක්වා වූ විවිධ මිල ගණන් යටතේ ඔහු මේ හක්බෙල්ලන් අලෙවි කර තිබිණි. ඒ අතරේ වී ඇටයක තරමේ සිට අඩියක පමණ විශාල බෙලි කටු ඔහු විසින් විකුණා තිබුණ බව පොලිසිය අනාවරණය කරගත්තේය. එසේම හක්බෙලි කටුවලට අමතරව ව්‍යාජ ලෙස විදේශවල නිර්මාණය කරන ලද හක්බෙලි අනුරූ ද එම මධ්‍යස්ථානයේ සිතු පැතු සම්පත් දෙන වාලම්පුරි ලෙස සඳහන් කොට විකුණා ඇතැයි පොලිසිය හෙළි කරගත්තේය.

ජාවාරම්කරුගේ අතීතය

මුල් කාලයේ චිත්‍රපට නළුවෙකු ලෙස කුඩා චරිත කිහිපයක් නිරූපණය කර ඇති කීර්ති බන්දුල පසුව විදේශගත වී ඇතැයි පැවසේ. අනතුරුව 2011 දී පමණ මෙරටට පැමිණීමෙන් පසු ඔහු මේ ජාවාරම ආරම්භ කර තිබිණි. තනි ව්‍යාපාරයක් ලෙස මුලින්ම ඔහු එය ආරම්භකර තිබුණේ මිරිහාන පොලිස් හදිසි ඇමැතුම් ඒකකය ආසන්නයේ පිහිටි පොලිස් උද්‍යාන පටුමගේ ය.

කීර්ති එම ජාවාරම පොලීසිය ආසන්නයේ ආරම්භ කර තිබුණේද එහි තිබෙන විශ්වසනීයත්වය තව තවත් ජනතාවට ඒත්තු ගැන්වීමට බවටද සැලවේ. එලෙස රට තුළ අමුතුම ආකාරයේ ජාවාරමක් ආරම්භ කළ කීර්තිට ඇතැම් මාධ්‍ය පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නේය. ඔහුට පැය ගණන් සිය මාධ්‍ය අවකාශයේ ඉඩහසර අලෙවි කළේය. අනතුරුව වැඩසටහන්වලට සම්බන්ධ කරගනිමින් නොමිලයේම ප්‍රචාරයක් ලබා දුන්නේය. එලෙස මාධ්‍ය අවකාශය ලබාගත් ඇතැම් මාධ්‍ය ආයතනවලටද ඔහු වංචාක කර ඇති ආකාරය පිළිබඳව වාර්තාවේ.

එහෙත් නෙත් එෆ්.එම්. මාධ්‍ය නාලිකාව කීර්තිගේ ජාවාරම ගැන 2011 වර්ෂයේ සිටම දිගින් දිගටම 'බැලුම්ගල' වැඩසටහන මඟින් අනාවරණය කරමින් ජනතාව දැනුවත් කළේය. එහෙත් පසුව මුදල් සහ දේශපාලන බලය යහමින් ලැබු කීර්ති ඇතැම් ප්‍රබල දේශපාලනඥයන් සමඟ ඍජු සම්බන්ධතා පවත්වා තිබුණේ සිය බලය සහ ව්‍යාජ ගෞරවයක් ලබා මහජනයා රවටා ගැනීමේ අටියෙනි. එසේම එලෙස ඇතැම් දේශපාලනඥයන්ද ඔහුට තනතුරු, වරදාන ලබාදුන්නේ සිදුකරන ජාවාරම ගැන කිසිදු ලෙසකින් සොයා බැලීමක් නොකරමිනි. ඒ සියලු බල පරාක්‍රම නිසා සිය දහස් ගණනක් දෙනා ඔහු වෙත ඇදී ආවේද මිථ්‍යා මතවල එල්බගෙන කිසිදු ලෙසකින් ජාවාරම ගැන සොයා බැලීමකින් තොරවයි.

හක්බෙල්ලන් විකිණූ හැටි

කෙනෙකු වාලම්පුරියක් අවශ්‍ය යැයි කී විට එය මිලදී ගැනීමට කැමති පුද්ගලයා මුලින් උපන් දිනය සහ උපන් වේලාව කීර්තිගේ ආයතනයට දැනුම් දී දිනයක් හා වෙලාවක් වෙන් කර ගත යුතුය. ඒ දිනය වෙන් කරගන්නේ වාලම්පුරිය බලගැන්වීම සඳහාය. ‘‘ඇත්තටම ඔහු අපිට මවපු සිහින ලොකේ කිසිම දෙයක් නොලැබෙන නිසායි අපිට මේ ගැන සැකයක් ආවේ. ඒ ගැන ඔහුගෙන් විමසුවාම එක එක විකාර කතා තමයි අපට කිව්වෙ. අපේ වැරැදි තමයි කියන්නෙ. අපි හරියට වත්පිළිවෙත් නොකරන බවට චෝදනා කළා. අන්තිමට අපි කොහොමහරි ලක්ෂ ගාණකට හසුවුණා. මෙවැනි පුද්ගලයන්ට මාධ්‍යවලින්ද ඉඩකඩ ලබාදීම හරිම කනගාටුයි. මුදල් ‍ලැබුණා කියා මෙවැනි හොර තක්කඩින්ට මාධ්‍යයට රිංගා බොරු ප්‍රචාර කිරීමට ඉඩ නොදෙන ලෙස අපි සෑම මාධ්‍යයකින්ම ඉල්ලා සිටිනවා‘‘ වාලම්පුරි ජාවාරමට හසුවූ අයෙක් අප සමග පැවසුවේ දැඩි ආවේගයෙනි.

වර්ෂ 2015 දී පමණ මිරිහාන පොලිසිය අවටින් ඉවත්ව වත්මනෙහි නමෝ නාරායනාය මධ්‍යස්ථානය පවත්වාගෙන යන ස්ථානයට පැමිණ තිබුණේ කෝටි ගණනක් වැයකොට ඉඩමක්ද මිලදී ගනිමිනි. අනතුරුව එහි වත්මනෙහි දක්නට ලැබෙන මහා මන්දිරයක් ‍ගොඩනැඟු ඔහු එම මන්දිරය ගොඩනැඟූ කොන්ත්‍රාත් ආයතනයටද කෝටි ගණනක පොල්ලක් තියා තිබුණේ තම සටකපටකම පාවිච්චිකොටයි. අනතුරුව එම මධ්‍යස්ථානයට යන-එන ජනයාට පවසා තිබුණේ එම මන්දිරය දෙවියන් දුන් මන්දිරයක් බවත්, වාලම්පුරි ධනලක්ෂ්මි යෝගය නිසා ලැබුණු සම්පතක් බවටයි.

2015 සිට වර්තමානය දක්වා තලවතුගොඩ සිවුමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන නමෝ නාරායන නමැති හක්බෙලි මගඩිය සිදුකරන ආයතනයට හසුවූ රටේ විවිධ පළාත්වල අය සිටීනම් වහා පැමිණිලි කරන ලෙස පොලිසිය මහජනයාගෙන් ඉල්ලීමක් කරයි. අධිකරණය ඉදිරියේ ඇප මත නිදහස්ව සිටින කීර්ති දිසානායක නමැති හොර ජාවාරම්කරුවා නැවතත් නැවතත් මේ හොර ජාවාරම්කාර ව්‍යාපාරය කරගෙන යන්නේ ද යන්න ගැන පොලිසිය අවධානයෙන් පසුවේ.

සමාජයේ සබුද්ධික මිනිසුන්ට මෙතෙක් තිබුණු බරපතළ ප්‍රශ්නය අහිංසක ජනයා මිත්‍යාෙවෙන් මුළාකර කූට ජාවාරම් කරන සොරුන්ට මෙරට දේශපාලනඥයන් තනතුරු වරදාන ලබාදෙන්නෙ කෙසේද යන්නය.

වාලම්පුරියක් ළඟ තබාගත් පමණින් සිතු පැතූ සම්පත් ලබා දෙනවානම් එවන් වාලම්පුරි සිය දහස් ගණනක් වටේ තබාගෙන සිටි කීර්තිගේ ජීවිතය මේ ලෙස අවමානයට ලක්වන්නට කොහෙත්ම ඉඩක් නැත. තමන්ට ප්‍රචාරය දෙන මාධ්‍ය ආයතනවලට බොරු කළ, දෙවියන් දුන්නා යැයි කී තමන්ගේ මන්දිරය තැනූ කොන්ත්‍රාත්කරුටත් වංචාකළ මේ පුද්ගලයාගේ ජීවිත ඇතුළාන්තය විමසීම මේ රටේ මිනිසුන්ට වැදගත්ය.

එම නිසා කෙනෙකු දෙයක් ගැන කී පමණින් හෝ මාධ්‍ය ඉදිරියේ හුවා දැක්වූ පමණින් ළදරුවන් සේ එවැනි දේ තම ජීවිතයට ළංකර නොගන්නා ලෙසත්... නවීන තාක්ෂණ දියුණුවේ හිණිපෙත්තටම යන මෙවන් යුගයක මිථ්‍යා මතවලට එල්බ අමාරුවේ නොවැටෙන තරමට විචාර බුද්ධිය ගොනු කරගැනීමත් මේ රටේ මිනිසුන් කළ යුතුව ඇත.

වමට හැරුණු හක්බෙලි කටු සිතු පැතු සම්පත් දෙන ඉතා දුර්ලභ වාලම්පුරි ලෙස විශ්වාස කරන මෙරට ඇතැම් ජනයා නොදත් යථාර්ථයක් තිබේ. මෙවැනි වමට හැරුණු හක්බෙලි කටු ආසියාකරයේ දුලබ බව සැබෑය. නමුත් අත්ලාන්තික් සාගරයට මුහුණලා පිහිටි උතුරු ඇමෙරිකා කලාපයේ මෙවැනි බෙලිකටු සුලභය. මේ හක්බෙල්ලන් ඒ මුහුදු කලාපයේ වැසියන්ගේ රසවත් අාහාරයකි. ඔවුන් විසින් මරාගෙන කන හක්බෙල්ලන්ගේ කටු සිතූ පැතූ සම්පත් දෙන අද්භූත ධන මැවුම් යන්ත්‍රවන ආකාරය සම්බන්ධව හිතෙන විටත් සිනා යන්නේය. මේ හක්බෙලි කටු ආසියාකරයට, විශේෂයෙන්ම ඉන්දියාවට රැගෙන එන්නේ ‍ටොන් ගණනිනි. ඒ මේ කලාපයේ තිබෙන මිථ්‍යාවෙහි ප්‍රමාණය එම ජාවාරම් කරුවන් දන්නා නිසාය. මේ හක්බෙලි කටු මෙරටට එන්නේ ඉන්දියාව හරහා ය.

 

Comments