සේනා දළ­ඹුවා කජු­වත්තේ මිනි­සුන්ගේ ජීවිත හප කර පාරට ඇද දැමූ හැටි | Page 2 | සිළුමිණ

සේනා දළ­ඹුවා කජු­වත්තේ මිනි­සුන්ගේ ජීවිත හප කර පාරට ඇද දැමූ හැටි

* මහ­වැලි වතුර නෑ... වගා කරන්නේ අහස් ජල­යෙන්...
* ඉරිඟු වගා කරලා තියෙන්නෙ මුදල් පොලි­යට අර­ගෙන...
* රසා­යන ද්‍රව්‍ය­ව­ලට නිර­ප­රා­දයේ විය­ද­මක්...
* ගමෙන් වැඩි පිරි­සක් ණය­කා­ර­යන් වෙලා...

දිඹු­ලා­ගල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ කජු­වත්තෙ පදිංචි වෙලා ඉන්න හැමෝම ගොඩ ගොවි­තැන් කරන මිනිස්සු. අපට මහ­වැලි වතුර ලැබෙන්නෙ නැහැ. වැස්ස නැතුව අපේ වගාව කන්න තුනක් පාළු වුණා. යහ­මින් වැහි වැටුණ මේ මාස් කන්නෙ සේනා දළ­ඹුවා අපිව මහ පාරට ඇදලා දැම්මා... අර­ල­ගං­විල, කජු­වත්ත පදිංචි පී.ජී.ඩේවිඩ් බඩ­ඉ­රිගු වගා­වට සිදුවූ දළඹු හානිය ගැන දුක්මුසු ස්වර­යෙන් කතා කරයි.

මෙවර යහ­මින් වැටණු වර්ෂා­වත් සමඟ කජු­වත්තේ වැඩි පිරි­සක් බඩ ඉරිඟු වගා­වට යොමු වූහ. ගොවි සිත් සතුටු කර­මින් සරු­වට වැඩුණු බඩ­ඉ­රිඟු වගා­වට සේනා දළ­ඹු­වාගේ හානි­යත් සමඟ ගොවියෝ කබ­ලෙන් ළිපට වැටු­ණෝය.

“මම මේ කන්නයේ ඉරිගු කිලෝ 20ක් හැදුවා. සිය­යට පනහේ දාය­ක­ත්වය මත මහ­වැ­ලි­යෙන් බීජ ලබා­ගෙ­නයි මේ වගාව ආරම්භ කළේ. ඉරිඟු වගාව ආරක්ෂා කර­ගන්න යූරියා යෙදුවා. වගා­වට දැන් මාස දෙක­කට ආස­න්නයි. වගාවේ ආදා­යම ලබා­ගන්න සූදා­න­මින් ඉන්න අව­ස්ථාවේ තමයි පණු­වෙක් වගේ සතෙක් ඇවිත් ඉරිඟු වගාව විනාශ කළේ. මේ නිසා මට රුපි­යල් ලක්ෂ දෙකක විතර පාඩු­වක් වුණා. ඉරිඟු වගාව විනාශ කරන්න ආව පණුවා සේනා දළ­ඹුවා කියලා මහ­වැ­ලියේ මහ­ත්වරු අපිට දැනුම් දෙන විට අපි මහ පාරට වැටිලා ඉව­රයි.”

මහ­වැලි සී කලා­පයේ කජු­වත්ත ගම්මා­නයේ ජන­තා­වට පානීය ජලය ලැබී නැත. වගා කට­යුතු සඳහා වාරි පද්ධ­ති­ය­කින් ජලය ලැබෙන්නේ ද නැත. ඔවුහු අති­දු­ෂ්කර ජීවි­ත­යක් ගෙව­මින් අඹු දරු­වන් පෝෂ­ණය කරති. මාස් කන්නයේ ලැබෙන වර්ෂාව ඔවුන්ගේ ජීවන තත්ත්වය තීර­ණය කරයි. නමුත් මේ වසරේ මාස් කන්නය ඔවුන්ගේ ජීවි­ත­ව­ලට කණ­කොකා හඬා ඇත.

එම්.එස් දයා­වතී අංක 351 කජු­වත්ත පදිං­චිව සිටියි. සේනා දළ­ඹුවා තම බඩ ඉරිඟු කර­ලත් එක්ක තමන්ගේ අනා­ග­ත­යම ගොදු­රු­ක­ර­ගත් බව කියන්නේ හැඬූ කදු­ළෙනි.

“මහ­වැලි වාරි පද්ධ­ති­යෙන් ජලය ලබා ගත නොහැකි කජු­වත්ත ගම්මා­නයේ ජන­තාව ජීවි­තය ගැට ගසා ගන්නේ ගොඩ ගොවි­තැ­නෙන්. කජු­වත්ත ගම්මා­නයේ තිබෙන්නේ අක්කර හත හමාරේ ඉඩම්. මේවා රජ­යෙන් ලබා දුන්නේ කජු වගා­ව­ටයි. කජු වගාව අසා­ර්ථක වූ නිසා අපි මාස් කන්නයේ ඉරිඟු කුර­ක්කන් සහ එළ­වළු වගා කර­නවා. මාස් කන්නයේ ලැබෙන ආදා­යම අපිට අවු­රු­ද්දක් ජීවත් වෙන්නත් මදි. ජීවත් වෙන්න අපි පුදුම විදි­හට දුක් විඳි­නවා. අපේ වාසා­නා­වට මේ කන්නයේ වර්ෂාව ලැබුණු නිසා හොඳ ආදා­ය­මක් ලබා ගන්න හිතා­ගෙන ඉරිඟු වගාව ආරම්භ කළා. අපි කබ­ලෙන් ළිපට වැටුණා. සේනා දළ­ඹුවා මගේ ඉරිගු වගාව අක්කර පහම විනාශ කරලා ඉව­රයි. වගා­වට සල්ලි පොලි­යට ගත්තා .රත්ත­රන් බඩු උකස් කළා. සේනා දළ­ඹුවා විනාශ කරන්න රසා­ය­නික ද්‍රව්‍ය­ව­ල­ටත් විශාල මුද­ලක් යෙදුවා. දැන් කිසිම ආදා­ය­මක් නැතුව අපි අනාථ වී ඉන්නවා. ”

මහ­වැලි සී කලා­පයේ වෙහෙ­ර­ගල කොට්ඨා­ස­යට අයත් කජු­වත්ත ගම්මා­නයේ වැඩි පිරි­ස­කගේ වගා­වට දළඹු හානිය සිදු වී ඇති බව මහ­වැලි අධි­කා­රියේ නිල­ධා­රීහු පව­සති. විශේෂ දැනු­වත් කිරීම් වැඩ සට­හන් ආදිය පව­ත්ව­මින් දළඹු මර්ද­න­යට මේ අය ගොවීන් සමඟ වෙහෙ­සෙනු දැක ගත් හැකිය. හානි වූ වගාව පෙන්ව­මින් අර­ල­ගං­විල කජු­වත්ත පදිංචි ආර්.එම්.සෝමා­වතී කතා කළේ බොඳ­වන දෙනෙත් රත් පැහැ වෙද්දී ය.

“අපිට ජීවත් වීම සදහා කිසිදු පහ­සු­ක­මක් නැහැ. අති දුෂ්කර ගම්මා­න­යක් විදි­හට තමයි කජු­වත්ත හඳු­න්වන්නේ. නියම වේලා­වට වර්ෂාව නොලැ­බු­ණොත් කන්න බොන්න නැතුව බඩ­ගින්නේ මැරෙන්න සිද්ද වෙනවා. කන්න තුන­කින් වර්ෂාව නැතිව හිටිය අපිට කීයක් හරි හොයා­ගන්න පුළු­වන් කියලා හිතා­ගෙන රත්ත­රන් බඩු උකස් කරලා බැංකු­ව­ලට ණය වෙලා පට­න්ගත්ත ඉරිඟු වගාව විනාශ වෙලා ඉව­රයි. අපිට වෙනත් භෝග­යක් වගා කරන්න කාල­යක් නැහැ. ඒ සල්ලිත් නැහැ. අපට වල් අලි­න්ගෙන් නිර­න්තර හානි සිද්ද වෙනවා. මේ දුක් කර­දර මැද ඉරිඟු වගාව කළත් සේනා දළ­ඹුවා හෙන­හු­රෙක් වගේ ඇවිත් අපේ ඉරිඟු වගාව එහෙම පිටින්ම විනාශ කළා.

සේනා දළ­ඹු­වාගේ හානිය ගැන වෙහෙ­ර­ගල මහ­වැල් කොට්ඨා­සයේ කළ­ම­නා­කා­ර­ව­රිය වන ආර්.එම්.එස් රත්නා­ය­කගේ හඬ මෙසේ අවදි විය.

“පවුල් 475ක් කජු­වත්ත ගම්මා­නයේ පදිං­චිව ඉන්නවා. මේ අයට අක්කර හත හමාර බැගින් ඉඩම් මහ­වැලි අධි­කා­රිය විසින් කජු වගා­වට ලබා දුන්නා. නමුත් එය සාර්ථක වුණේ නැහැ. එම නිසා අති­රේක භෝග වගා කිරීම සඳහා අපි උප­දෙස් ලබා දුන්නා. කජු­වත්ත ගොවීන් හරිම දක්ෂ පිරි­සක්. මාස් කන්නයේ සාර්ථ­කව වගා කට­යුතු කර­නවා. මේ කන්න­යේත් සාර්ථ­කව වගාව පටන් ගත්තා. නොසිතූ ලෙස සේනා දළ­ඹුවා වගාව ආක්‍ර­ම­ණය කළා. නමුත් දළ­ඹුවා පරදා ජීවි­තය ජය­ගන්න මහ­වැලි අධි­කා­රීය උප­දෙස් ලබා දෙනවා.”

දළඹු හානිය මර්ද­නය කිරී­මට ගන්නා ක්‍රියා­මාර්ග මොනවා දැයි මහ­වැලි සී කලා­පයේ නේවා­සික ව්‍යාපාර කළ­ම­නා­කාර විමල් කුමාර කත්‍රී­ආ­ර­ච්චි­ගෙන් විම­සු­වෙමු. ගොවි ජන­තාව වෙනු­වෙන් ඒ මහ­තාගේ හඬ මෙසේ විය.

“ මහ­වැලි සී කලා­පයේ අක්කර 3500කට ආසන්න ප්‍රමා­ණ­යක් මෙවර මාස් කන්නයේ බඩ ඉරිඟු වගා කළා. ගම්මා­න­යක් ලෙස වැඩිම ප්‍රමා­ණ­යක් වගා කළේ කජු­වත්තේ. සේනා දළඹු හානි­යත් එක්කම කජු­වත්ත ජන­තා­වගේ අක්කර 2500ක පමණ බඩ ඉරිඟු වගාවේ විශාල ප්‍රමා­ණ­ය­කට හානි සිදු වුණා. කෘෂි රසා­ය­නික සඳහා මුදල් විශාල ලෙස වැය කිරීම හරිම අප­රා­ධ­යක් වී තිබෙ­නවා. දළ­ඹුවා මර්ද­නය කිරී­මට රසා­ය­නික ද්‍රව්‍ය­ව­ලට යොද­වන මුදල් නතර කරලා ස්වභා­වික පරි­ස­ර­යෙන් සපයා ගන්නා කෘමි­නා­ශ­කම යෙදිය යුතුයි. සිය­ලුම ගොවි මහ­තු­න්ගෙන් ඉල්ලා සිටින්නේ හිතු­ම­තේට රසා­ය­නික යොදන්න එපා. හැකි තරම් නිර්දේ­ශීත රසා­ය­නික ද්‍රව්‍යම වගා­වට යෙදිය යුතුයි.

මෙම සතාගේ හානිය පිළි­බඳ වෙහෙ­ර­ගල, මහ­ව­නා­වෙල , සඳු­න්පුර සහ ගිරා­දු­රු­කෝට්ටේ යන මහ­වැලි කොට්ඨා­ස­වල ජන­තාව දැනු­වත් කළා. සේනා දළ­ඹු­වාගේ හානිය පාල­නය කිරීම අසී­රු­වෙන් කළා. නමුත් තවම අව­දා­නම අඩු වී නැහැ. වගා­වට නිර්දේ­ශීත රසා­ය­නි­කම යොදන්න කියා ඉල්ලා සිටි­නවා.”

මාස් කන්නයේ වැටෙන වැහි බින්දු­වෙන් ජීවි­තය ගැට ගසා­ගන්නා කජු­වත්තේ අස­රණ මිනි­සුන්ට හෙට දවස ගැන බලා­පො­රො­ත්තු­වක් නැත. සේනාට ඔවුන්ගේ අනා­ග­තය විනාශ කිරී­මට ඉඩ නොදිය යුතුය. බල­ධා­රීන් කජු­වත්තේ මිනි­සුන් ගැන විශේෂ අව­ධා­නය යොමු කළ යුතුය.

ප්‍රසන්න සිල්වා
ඡායා­රූප - දිඹු­ලා­ගල සමූහ

Comments