
විටෙක නිල් කැට ද, තවත් විටෙක රතු කැට ද මතු වන සබරගමු බිම උස්-නූස් කඳු යායෙන් ද, ගලා හැලෙන නිල් දිය කඳුරෙන් ද අලංකෘත වාසනාවන්ත බිමෙකි. මේ බිම සිසාරා විසිර පවතින සංස්කෘතික වටිනාකම් ද බොහෝය. උපන් මහ පොළොවේ සැඟව තමන්ට උරුමව පවතින මිණි කැට සොයන්නට වෙහෙසෙන්නා වූ එහි වෙසෙන බහුතරයක් මිනිසුන්ද තමන් උපන් බිම කෙරෙහි බොහෝ ආඩම්බරය. මෙබිම බොහෝ තැන්වලට දිස්වෙන කේතු ආකාර ගිරි ශිඛරයක් පවතින අතර නොදන්නා අතීතයක සිට එහි වෙසෙන මිනිසුන් එකිනෙකා හා සහ සම්බන්ධව, එකිනෙකාට නොදෙවැනිව මේ ගිරි ශිඛරයත්, ඒ හා බැඳුණු අතීතයටත් පෙම් බඳිමින් ඒ වටා එක්රොක් වන්නේ මී වදයකට රොද බඳින මීමැස්සන් සේ එකමුතුකමිනි.
වසරේ මාස දොළහෙන් මාස පහක් පමණක් ජනී ජනයාගේ වන්දනාවට පාත්‍ර වන සමනොළ ශ්‍රීපාද රක්ෂිතයේ පිහිටි සිරිපා කඳු මුදුන විද්‍යාත්මක ගණනය කිරීම් අනුව නම් මෙරට උසම කන්ද නොවේ. එහෙත් ලක්දිව අගමික හා සංස්කෘතික වටිනාකම් ද, ඓතිහාසික වැදගත් සිදුවීම්වල ශේෂයන් ද සඟවාගත් මේ කඳු ශිඛරය පිදුරුතලාගල ද පරදා දෙස් විදෙස් ගවේශකයන්ගේ නිබඳ අවධානයට පාත්රවන මහා ගිරිකුළකි.
මහවැලි කැලණි කළු වළවේ යන ගංඟා - සමනොළ කන්ද මුදුනේසිට පැන නැංඟා
කඳුහෙල්තැනිතලා ගල්අතරින්රිංගා - මේවා ගලයි මිණිකැට දියයට හංඟා
කොළඹ යුගයේ කවියෙකු වූ පී.බී. අල්විස් පෙරේරා විසින් 1947 දී රචිත “මගේ රට” කවි පන්තියේ එන එම කවිය මා අසා ඇත්තේ නින්දට යන්නට උත්ප්‍රේරකයක් ලෙස මගේ මව විසින් තාලයට ගායනා කළ අතරවාරයකදීය. ඒ මගේ ජීවිතයේ දී සිරිපා අඩවිය ගැන ඇසූ මුල්ම අවස්ථාවයි.
එතැන් පටන් විවිධ අවස්ථාවල “සමනොළ කන්දත්” ඒ සමඟ බැඳුණු ඓතිහාසික, සාමාජීය, සංස්කෘතික, ආගමික, පාරිසරික වටිනාකම් ගැන මගේ ජීවිතය තුළ අැසූ දුටු දේත්, පසුව කියවා අවබෝධ කරගත් දේත්, කුතුහලය නිසාම සිරිපා බිම ගැන දැනමුත්තන්ගෙන් ඇසු දේත්, උකහාගෙන ලබාගත් දැනුමත්- ඌණපූරණයන් ලෙස තව තවත් සොයා බලා ඉදිරියේදී එකතු පහදු කරන දේත් රැස් කොට සමනොළ සිරිපා වරුණ ගැන ගවේෂණාත්මක ලිපි පෙළක් ඉදිරියේ දී සිළුමිණසිත්මල්යාය පිටු අතර පළ කිරීමට නියමිතය.
මේ ලියවෙන්නේ එහි පූර්විකා සටහනයි.
මහාවංශය මූලික කරගත් පරණවිතාන - කොඩ්රින්ටන් ඉතිහාසය විශ්වාස කරන අප, දඹදිව් පුරයේ බුදුරදුන් වැඩසිටියේ ක්‍රි.පූ. 623-542 සමයේ බවට පිළිගන්නෙමු. ඓතිහාසික සිද්ධීන්ට දින වකවානු සැලසුම් කිරීම වර්තමානයේ ජීවත්වන අප විසින් සිදු කිරීම මඟින් කිසියම් ගැටලුකාරී තත්වයක් මතු කරන අතර එනිසාම මේ කාලවකවානු ගැන විද්වතුන් අතර විවිධ මත සහ ගැටීම් හඳුනාගත හැකිය. එසමයෙහි භාවිතා කළ මාගධී භාෂාවේ දී සංවාදයන් හැර, ලිඛිත ලේඛවයන් භාවිතා නොකළ නිසාත් ඓතිහාසික සිද්ධි පිළිබඳ ප්‍රවාද සහ ජනකතා පමණක් පරපුරෙන් පරපුරට ඉතිරිව විකාශනය වී ඇති නිසාත් මේ කාලවකවානු අනුමානයන් පමණක් බව විශ්වාස කළ යුතුය.
බුදුන් දවස ලංකාවේ සිවු ගෝත්රයනට අයත් වැසියන් වෙන වෙනම වූ උප රාජ්‍යවල වාසය කොට ඇත. රක්කුසයන් ලෙස හැඳින්වූ ගොවිතැන මූලික කොටගත් කර්මාන්ත කළ පිරිසත්, යක්ෂයන් ලෙස හැඳින්වූ යකඩ සහ ලෝහ ආශ්රිත කර්මාන්ත වල නියැළුණු පිරිසත්, නාගයන් ලෙස හැඳින්වූ නාවික සහ ප්‍රවාහන කටයුතුවල යෙදුණු පිරිසත් දේව නමින් හැඳින්වුණු ප්‍රාදේශීය සහ රාෂ්ඨ පාලකයොත් ඒ අතර වූහ.
දේව නමින් සුවිශේෂ ගෝත්‍රයක් නොවූ බවත්, රාක්ෂ, නාග, යක්ෂ ගෝත්‍රිකයන්ගේ දක්ෂයන් ලෙස සම්භාවනාවට පාත්‍ර වූවන් පාලකයන් ලෙස තෝරාගත් බවත්, එම ගෝත්‍ර සියල්ලේම පාලකයන්ගේ එකමුතුව දේව නමින් හැඳින්වූ බවත් විවිධ ලේඛන පරිශීලනයේ දී පෙනී යන කරුණකි.
කළු ගඟෙන් ද, මහවැලි නදියෙන් ද සීමා වී තිබූ ලක්දිව දක්ඛිණ දේශය බුදුන් දවස පාලනය කර ඇත්තේ පණිත නම් රජ කෙනෙකු බව ඉතිහාස ප්රවාදවල සඳහන්ය. ඒ පණිත රජු යක්ෂ ගෝත්‍රිකයන්ගේ පාලකයා ලෙස කටයුතු කර ඇත. ඔහුගේ භාණ්ඩාගාරික ධූරය හොබවා ඇත්තේ දක්ඛිණ දේශයේ සබරගමුවේ- උප රජු ලෙස කටයුතු කළ “මහා සුමන” නම් අයෙකි. ඔහුගේ ඥාතීන් වාසය කර ඇත්තේ මහියංගණය ප්‍රදේශයේ යැයි විශ්වාස කෙරේ.
“මහා සුමන” පණිත රජුගේ ද ආසන්න ඥාතියෙකු හෝ හිතවතෙකු ලෙස සැලකිය හැක්කේ පණිත රජුගේ ඇවෑමෙන් එහි රජවන්නේ “මහා සුමන”ගේ මුනුපුරු වූ දමරක බවට වන ප්‍රවාදයක් සමාජයේ පවතින නිසාය. මේ මතය තහවුරු කරන සෙල්ලිපියක් පානම බෝවත්තාහෙල ගල්ගේ අසලින් හමු වී තිබේ.
කෙසේ හෝ බුද්ධත්වයෙන් නව වන මස දුරුතු පොහෝ දා බුදුන් වහන්සේ සිය පළමු ලංකා ගමන ලෙස වත්මන් මහියංගණය මහවැලි ගඟ අසබඩ ස්ථානයකට වැඩ වදාළහ. පළමු සියවසේ ලියැවුණු දිව්‍යදානය නම් මහායාන සංස්කෘත ග්‍රන්ථයේ දැක්වෙන්නේ මෙරට අග්නිදිග ඉසව්වේ පිහිටි සක්කරසොබ්බ නම් වරායකට මුහුදු යාත්‍රාවකින් බුදුරදුන් වැඩම කොට ඇති බවය. එහෙත් එතැන් සිට මහියංගණයට බුදුන් වැඩම කළ ආකාරය ගැන කිසිදු සඳහනක් සපයාගත නොහැකිය. එකල මහියංගණය ප්‍රදේශය හඳුන්වා ඇත්තේ “මහ-මේඝ-වනය” ලෙසිනි. මෙහි විසූ යක්ෂ ගෝත්‍රිකයන් විසින් ආගන්තුක බුදු රජාණන් වහන්සේ සමඟ මතවාදී ගැටුමකට හෝ සමාන අභියෝගාත්මක හැසිරීමකට එළැඹෙන්නට ඇතැයි සිතිය හැකිය.
කෙසේ හෝ අවසානයේ යක්ෂ ගෝත්‍රිකයන් දමනය කර තමනට අවනත කරගැනීමට බුදුරදුන්ට හැකි වන අතර ඔවුන්ගේ ගෝත්‍රයේ නායකයෙකු වූ සමනොළ කඳු මුදුනේ සිට පැමිණි “මහා සුමන”ද සෝවාන් ඵලයට පත් විය. අද දවසේ සුමන සමන් දෙවියන් ලෙස පුද පෙත් ලබන්නේ එදින සෝවාන් වූ “මහා සුමන” බවට විශ්වාස කෙරේ.
සෝවාන් වූ “මහා සුමන”තම අතවැසි ජනතාවට බුදු රදුන් සිහි වීම පිණිසත් වන්දනාමාන කිරීම පිණිසත් කිසියම් මතක සටහනක් ලබාදෙන මෙන් බුදුරදුන්ගෙන් ඉල්ලූ විට, සිය හිස පිරිමැද ලබාගත් කේෂ ධාතු මිටක් සමන් දෙවියන්ට පිරිනැමූ බව ජනප්රවාදයේ සඳහන්ය. ඉන් පසු එම කේෂ ධාතු රන් කරඬුවක බහා තැන්පත් කර සත්රියන් උසට මැණික් දාගැබක් කොට පුද පූජා පවත්වන්නට “මහා සුමන” විසින් කටයුතු කළ බව ද, අද එම චෛත්‍යය මහියංගණ මහ සෑය බව ද විශ්වාස කෙරේ. මහියංගණ සෑය ලක්දිව පළමු චෛත්‍යය බවට පත් වන්නේ එනිසාය.
පසුව ප්‍රාතිහාර්යයෙන් යක්ෂයන් දමනය කරන බුදුන් වහන්සේ මහියංගණයේ සිට විහිදෙන “ගෝතම ඇළ” නම් ඇළක් දිගේ නාගභවනය නම් ස්ථානයකට ජල යාත්‍රාවකින් වැඩම කොට පණිත රජු මුණ ගැසුණු බැවි විශ්වාස කෙරේ. ඒ ගැන ද ”දිව්‍යදානය” ග්‍රන්ථයේ සඳහන්ව ඇතැයි ආචාර්ය සූරිය ගුණසේකරයන් සිය ලිපි වල දක්වා ඇත. මෙම සිදු වීමට අදාළ සිතුවමක් පොලොන්නරුව තිවංක පිළිම ගෙයි ඇත. එහි පිටපතක් කොළඹ කෞතුකාගාරයේ ද සංරක්ෂණය කොට ඇත. හිස වටා රැස්වළල්ලඇති මුඩුහිස හා සිවුර ඇති අයෙකු අතින් භූමි ස්පර්ශ මුද්‍රාව දක්වමින් ඉදිරියේ සිටින අයට දහම් දෙසමින් ජල යාත්‍රාවක ගමන් කරනු එම චිත්රයේ දැකිය හැකිය.
බුද්ධත්වයෙන් පස් වැනි වසරේ දී සිදු වන බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනේ දී ද “මහා සුමන” හෙවත් සමන් දෙවියන් ලාංකීය ප්‍රභූන් නියෝජනය කරමින් සහභාගි වී තිබේ. චූලෝදර - මහෝදර නා රජුන් අතර සිදු වන සටන දකිමින් සෘද්ධියෙන් වැඩසිටින බුදුරදුන්ට, උදුරාගත් කිරිපලු ගසක් ඡත්රයක් සේ ඉහලා සෙවණ සලසා ඇත්තේ ද සමන් දෙවියන් බව දීපවංශයේ සඳහන්ව ඇත. ප්‍රාදේශීය නාග රාජ්‍යයක් වූ කැළණියට බුද්ධත්වයෙන් අටවෙනි වසරේ වැඩම කරවන බුදුරදුන් හමුවටද, ”මහා සුමන” පැමිණ තිබේ.
එහිදී “සමන්ත කූඨයෙහි” පිහිටි සිය වාසභවනයට පැමිණ සිරිපා සටහන තබන මෙන් “මහා සුමන” විසින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිට ඇත. එය පිළිගත් බුදු රජාණන් වහන්සේ, මහා සුමන සමඟ දඬුමොනරයකින් ශ්රිපාදස්ථානයට වැඩම කොට සිය පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කොට තිබේ. එලෙස මහා සුමන සමඟ බුදුරදුන් සිරිපා මුදුනට පැමිණි දඬුමොනරය අද ද බොල්තුඹේ සමන් දේවාලයෙහි තැන්පත්ව ඇති බව විශ්වාස කෙරේ.
මහා සුමන” මරණින් පසු ලක්වාසීන් විසින් දේවත්වයට නංවා අද සුමන සමන් දෙවියන් ලෙස පුද ලබන අතර, ප්‍රාදේශීය ගෝත්‍රවලින් උත්කර්ෂයට පැමිණ දේව අධ්‍යාපනය ලැබූ අවසන් ලාංකීය දේව සෘෂිවරයා සුමන සමන්ය. දෙවියන් සහ සෘෂිවරුවරුන් බිහි වීම සුමන ගෙන් අවසන් වූයේ ඔවුන්ගේ ලෞකික විද්‍යාවන් අධ්‍යාපනය වෙනුවට බුදුදහමේ ලෝකෝත්තර සුවය වඩා වැදගත් යැයි සිතූ නිසා බව සූරිය ගුණසේකරයන් සිය ලේඛනවල දී විශ්වාසයෙන් සටහන් තබා තිබේ.
“මහා සුමන” ප්රමුඛ යක්ෂ ගෝත්‍රිකයන්ට සමනොළ ගිරට ඇති අයිතිය මොනවට පැහැදිලි කරමින් අදත් ශ්‍රීපාද වාරය අරඹමින් පෙර දින ගල්පොත්තාවල කීර්ති ශ්‍රී රාජසිංහ විහාරයේදී සිදු කෙරෙන පුද පූජා ආරම්භ වන්නේ ආදිවාසී නායකයාගේ මූලිකත්වයෙනි.
මේ අනුව බලන කල සිරිපාදය යනු හුදකලා පුදබිමක් නොවේ. දක්ඛිණ දේශයේ බොහෝ ප්‍රදේශවල පිහිටි සංස්කෘතික හා ආගමික ස්ථාන ශ්රීපාදයත්,එහි පුදපූජා සංස්කෘතියත් සමඟ බැඳී තිබේ. මහියංගණ සෑ රදුන්, රත්නපුර මහා සමන්දේවාලය, බොල්තුඹේ සමන් දේවාලය, මහියංගණ සමන්දේවාලය, අලවතුගොඩ සමන් දේවාලය ද ඒවාගේ පුදපෙත් විධි ද ඒ අතරින් ප්‍රධානය. ගල්පොත්තාවෙල රජමහා විහාරය, පැල්මඩුලු රජමහා විහාරය, පලාබද්දල පිරිවෙන ශ්‍රීපාදය වටා පිහිටි තවත් පූජනීය ස්ථාන ගණනාවක් ද මේ පුද සිරිත් සමඟ බැඳී පවතී. එසේම ශ්‍රීපාදය හැර බුදු හිමියන්ගේ පාදස්පර්ශය සිදු වූයේ යැයි සැලකෙන වෙනත් ස්ථාන හතරක් ගැන ද බොදු ඉතිහාසයේ දැක්වේ. එනම් නර්මදා නදී තෙර, සච්ච බද්ධ පර්වතය,යෝනක පුරය සහ අනුරාධපුරයයි. ශ්‍රීපාදය ගැන විමසන්නේ නම් ඒ හා බැඳුණු මේ පුදබිම් ගැන තතු සොයා යන්නටද සිදු වනු ඇත.
මෙවරත් ශ්‍රීපාද වන්දනා වාරය පසුගිය උඳුවප් පුන් පොහෝ දිනයෙන් ඇරඹුණු අතර එය ඉදිරි පස් මාසය පුරාවට පවතිනු ඇත. ඉන් පසුව එළැඹෙන වෙසක් පුර පසළොස්වක පොහොයෙන් සිරිපා වාරය නිමා වේ. එම කාලය පුරාවට සබරගමුවේත්, සමන් දෙවි ඔද තෙද පැතිරෙන දක්ඛිණ දේශයේ ගම් නියම් ගම්වලත් සැරිසරමින් සිරිපා බිමත්, සමන් දෙවි අනුහසත් ගැන බොහෝ තොරතුරු සොයා යන්නට අප බලාපොරොත්තු වන්නෙමු.
අතීතයේ සිරිපා වන්දනාවේ ගිය බැතිමතුන් පුරාණ හිමගත වර්ණනාවේදී
සාසනබාරවූවිෂ්ණුදෙවියනේ - මේහිමබාරවූසමන්දෙවියනේ
දොසක් තිබුණමුත්දුරලාහරිනේ - වඳින්ටයන්නටඅවසරලැබෙනේ
යනුවෙන් කළ අවසර ගැනීමම සිදු කරමින් පුවත්පත් පිටු අතර අකුරු කරමින් සමනොළ සිරිපා වරුණේ සටහන් තබන්නට සැරසෙන අපට ඔබ දන්නා ආශ්රිත කරුණු සහ සැඟවුණු චමත්කාරයන් වේ නම් [email protected] ලිපිනයට දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
(මෙම ගවේෂණය සඳහා අවසර ඉඩහසර ලබාදුන් ශ්රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන්ට සහ සියලු පහසුකම් සපයා දුන් ශ්‍රීපාදස්ථානයේ සම්බන්ධිකරණ ලේකම් උපාලි උදයකුමාර මහතාට)