
පිරිමි කරන හැම දේම ගැහැනුන්ට කරන්න බැහැ” ඇතැම් රැකියාවන් ගැන කතා කරද්දි සමාජයේ තියෙන්නේ එවන් මතයක්. නමුත් අද සමාජයේ නම් පිරිමින් සමඟ කරට කර වැඩ කරන ගැහැනුන් ද නැතිවා නොවේ. මේ කතාවේ එන ගැහැනිය ද තම සිතේ ශක්තියෙන් දෑතේ හයියෙන් කාටවත් අතනොපා ජීවත් වන්නියකි. වෙනත් කෙනෙක් කර දෙන තුරු නොසිට අනුන්ට අතනොපා ජීවත් වන මේ දිරිය ගැහැනිය අපට හමුවූයේ නිකවැරටිය උඩහේනේගම රස්නායකපුර ගම්මානයේදි.
කේ . එම්. ආරියවති නම් වූ ඇය ගැන ලද තොරතුරු අනුව පසුගිය දිනෙක අප ඇය සොයා ගියෙමු. ඒ අගේ ගොවිපළටය. ඒ උදෑසනත් පරිසරය බොහෝ රස්නෙය. පවතින වියළි කාලගුණික තත්ත්වය තුළ මේ ප්‍රදේශයට රස්සනය නම් සාමාන්‍ය දෙයකි. එ්ත් ආරියවති දැනට කරන්නේ ගොඩ ගොවිතැනය.
පෑවිල්ල කාලයේ එතරම්ම සරු වගාවක් දැකිය නොහැකි බව එතැනට යන තුරුම අපේ විශ්වාසය විය. එහෙත් අපේ සිතුවිලි වැරැදි බව තේරුණේ ආරියවතීගේ ගොවිපළ දුටු විටය.
එක් පසෙක ඇත්තේ වට්ටක්කාය. තවත් තැනෙක ඇත්තේ සරුවට වැඩුණ බෝංචි පාත්තියකි. තවත් තැනෙක මෑකරල් වගාවකි. ඒ හැරුණු විට ඇගේ ගොවිපළේ කව්පි, මුං ඇට, කුරක්කන්, රටකජු, බඩඉරිඟු, දඹල, කැරට් බෝංචි ආදි එළවළු වර්ග ද ඉතා සාර්ථක ලෙස වගා කර ඇත.
ආරියවති උත්සාහවන්තියකි. ඇයට අවශ්‍ය වූයේ තම ශක්තියෙන් නැඟී සිටීමටය. බාල වියේ සිටම ගොවිතැනට ඇල්ම දැක්වූ ඇය අවසානයේ තම ජීවන වෘත්තිය වශයෙන් ගොවිතැන තෝරා ගත්තීය.
“මම අවුරුදු දාහතක් තරම් වයසේ ඉදලා ගමේ පැවැත් වුණ ආහාර හා පෝෂණ වැඩසටහන්වලදී, ගෙවතු වගා තරගවලදී ජයග්‍රහණය කරලා තියෙනවා. ඇතැම් තරගවලින් පළමු තැන දිනලත් තියෙනවා. ඒ වගේම ගොවිතැනින් කුරුණැගල දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයා වෙලා තියෙනවා. මම පදිංචි වෙලා ඉන්නේ උඩහේනේ ගම. එතැන ඉදලා කුරුණැගල පුත්තලම් පාරේ නිකවැරටිය රස්නායක පුර තියෙන ඉඩමට කිලෝ මීටර දෙකක් එන්න ඕන.
ඒ ඉසව්වේ අලි ඉන්නවා. අලියාගෙන් වගාව ආරක්ෂා කර ගන්න අමාරුයි. ඉඩම අයිති මහත්තයා ඉන්නේ කොළඹ. ඔහු අපට මේ ඉඩම දුන්නා වගා කරගන්න කියලා. මම කවදාවත් මේ වගා බිමට තෙල් කෘෂි රසායනික ද්‍රව්‍ය යොදන්නේ නැහැ.”
වගාබිම වෙනුවෙන් ජීවිය කැප කර ඇති ආරියවති එක්දහස් නවසිය අනූතුන වසරේදි රැකියාවක් සොයා කුවේට් රටට යයි. ඒ කරකියා ගන්නට තැනක් නැති තැනය. එරට වසර තුනක් පමණ ගෘහ සේවිකා වෘත්තියේ සිටි ඇය ලංකාවට එන්නේ දෑතේ හයියෙන් කුමක් හෝ කර ජීවත් වනවා මිස නැවත විදෙස් ගතවන්නේ නැතැයි යන අධිෂ්ඨානය ඇතිවය.
“ලංකාවට ආවාට පස්සේ මම කල්පනා කළ මොකද කරන්නේ කියලා. අපිට ජීවත් වෙන්න ආදායමක් ඕන . මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ වෙන කොට දුව විවාහ වෙලා ඉන්නේ. පුතා තවම ඉගෙන ගන්නවා. මගේ සැමියා පුංචි බණ්ඩා. ඔහුත් වෙනම කුඹුරක් කරනවා. අපේ මේ වගාවට පවුලේ අය උදව් කරනවා. මේ පැත්තට විදුලිය නැහැ. බැටරිය තමයි තියාගෙන ඉන්නේ. රෑට ගිනිමැල ගහනවා. පලදාව තියෙන කාලෙට මම ඉන්නේ ගොවිපළේ පැලේ. දවසක් රෑ අලියා ආවා. ඒ වට්ක්කා වැල්වල ගෙඩි හැදුණු කාලේ. අලි ඇවිල්ලා වැලේ ගෙඩි කඩන බව තේරුණා. මම පැලේ ඉඳන් කෑ ගහලා කිව්වා. අනේ දරුවනේ කඩා ගත්ත එක විතරක් ගෙනියන්න. අපිත් දුක් මහන්සියෙන් වවලා තියෙන්නේ කියලා. කොහොම වූණත් උන් කඩා ගත්ත ගෙඩියත් දාලා ගිහින් තිබුණා. වගාවට යොමු වීමත් සමඟ ගහට කොළට වගේ සතා සිවුපාවාටත් ආදරය කරන්නට මට පුළුවන් වුණා.”
කෘමිනාශක භාවිතයෙන් තොර ආරියවතිගේ වගාවට ඇත්තේ ඔවුන් විසින් කරනු ලබන කෙම්පහන් ක්‍රම හා කාබනික පොහොර භාවිතය පමණි. කම්මැළිකම පසෙක ලා වගා කටයුතු වල නියැළෙන තම ගොවිපළේ පලදාව උදැසනට ඒ අසල පාර අයිනේ තබා විකුණති.
“මිනිස්සු හරි කැමැත්තෙන් මගේ එළවළු මිලට ගන්නවා. එළවළු විකුණලා ඉවර වුණාට පස්සේ තමයි මම ගොවිතැන් වැඩවලට යන්නේ.” ආරියවතී පවසන්නේ හිතේ සතුටෙනි.
එච්. එම් . නන්දාවතී පතිරාජ
ඡායාරූප - වාරියපොළ මධ්‍ය සමුහ.