
* 2017 අම්පාරෙ මාළු අස්වැන්නේ වටිනාකම රුපියල් කෝටි 140යි
* පිටරටවලිනුත් මේ ආදර්ශය බලන්න එනවා
* ධීවරයන්ට තොටුපළේදීම ඉතුරුම් හා අස්වැන්න වටිනාකම අඩංගු ඩිජිටල් බිලක්
* හැම දෙන කුම ආර්ථිකව ශක්තිමත්...
වැව් දියෙන් දිවි සරි කරගන්නා අම්පාරේ ධීවරයන්ට මීට වසර ගණනාවකට පෙර අත්ව තිබුණේ ඉතා දුක්ඛිත ඉරණමකි. නිසි කළමනාකරණයක් නැතිව තම තමන්ට හිතුමතේ කොට ඔරුවක නැඟී ධීවර කටයුතු කරගෙන ගිය අම්පාරේ ධීවරයන්ට එදා රුපියල් දෙතුන් සියයක් තබා කෑමට මාළුවකු අල්ලාගැනීම ද පහසු වූයේ නැත.
ඇතැම් මාළු විකුණන්නෝ මාළු විකුණන්නට රැගෙන ආහ. එක මාළු වැළක අඟල් තුන හතරක් පමණ දිගැති තිලාපියන් පහළොවක විස්සක් අමුණා තිබෙනු පෙනිණි. මිරිදිය ධීවර කටයුතු කළ ධීවරයෝ වැව්වලට තහනම් දැල් දැමූහ. තමන්ට රිසි සේ කුඩා මාළු පැටවුන් පවා ඇල්ලූහ. මත්ස්‍ය සම්පත කළමණාකරණය සම්බන්ධව කිසිම අවබෝධයක් ඒ මිනිසුන්ට නොතිබිණි. අඟල් දෙක තුනේ දැල් දමමින් මුළු මත්ස්‍ය සම්පතම ඔවුහු හූරා ගත්හ.
එවකට පැවති එල්.ටී.ටී.ඊ තර්ජන නිසා ද ඇතැම් වැව්වල ධීවර කර්මාන්තය අත්හරින්නට ධීවරයන්ට සිදු විය.
වර්ෂ 1990 වන විට ලංකාවේ මිරිදිය ජලාශවලින් ධීවරයන්ට ටොන් 12,000ක් පමණ මත්ස්‍ය අස්වැන්නක් වසරකට ලබාගැනීමට හැකි විණි. එම සමයේ අම්පාර වැව්වලින් ද ලැබුණේ වසරකට මත්ස්‍ය ටොන් හය සියකි. එසේ නැති නම් ටොන් හත්සියයකි. එවකට පැවති රජය ද මිරිදිය ධීවර කටයුතු සඳහා රජයේ සහයෝගය නොදිය යුතු බවට වූ ඔළ මොට්ටළ තීන්දුවක් ගත්තේය. මත්ස්‍ය පැටව් වැව්වල තැන්පත් කිරීම ඇනහිටිණි. ලංකාවේම ධීවර කටයුතු මන්දගාමි ස්වභාවයකින් යුක්ත විය. කළමණාකාරණ කටයුතු මන්දගාමී විය. තම තමන්ට අභිමත පරිදි තහනම් කර තිබු කුඩා ප්‍රමාණයේ කොටු ඇති දැල් භාවිතයෙන් ධීවරයෝ වැඩි වැඩියෙන් මාළු අල්ලන්ට උත්සාහ කළහ. අවසානයේ වැව්වල මත්ස්‍ය සම්පත බෝවීම නැවතිණි. ධීවරයන්ට හොද්දකටවත් මාළුවෙකු අල්ලා ගැනීමට නොහැකි විය.
නැවතත් 1994න් පසු ලංකාවේ මිරිදිය ධිවර කර්මාන්තය සදහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට තීන්දු විය. වර්ෂ 1994 දී අම්පාරට මිරිදිය ධීවර පරීක්ෂකයෙකු ලෙස රෝහිත ප්‍රනාන්දූ පැමිණෙද්දී අම්පාරේ ධීවර තත්ත්වය පැවතියේ එලෙසය. මෙකල රාජ්‍ය අනුග්‍රහය ද නො අඩුව ලැබීම නිසා මත්ස්‍ය පැටව් වැව්වල තැන්පත් කිරීම, දැල් ආම්පන්න ලබාදීම, යාත්‍රා ලබා දීම සහ ධීවර ගම්මාන ඇති කිරීම ඇතුළු විවිධ වැඩ සටහන් මිරිදිය ධීවර කර්මාන්තය ඉලක්ක කරගෙන දිගින් දිගටම සිදු විය.
ඒ සමඟම තමන්ට ඇවසි පරිදි තහනම් දැල් භාවිත කළ ධීවරයන් දැනුවත් කරමින්, අම්පාර දිසාවේ සතර දිග් භාගයේ තිබුණු වැව් සොයා ගිය ධිවර පරීක්ෂක රෝහිත ප්‍රනාන්දු දිගින් දිගටම ධීවරයන් නිසි කළමනාකරණයකට ලක් කරන්නට පටන් ගත්තේය. ඇතැම් විට රැය පුරා ඔරුවල නැඟී මහ සීතලේ වැව් පුරා සරමින් තහනම් දැල් භාවිතා කළ අය අත්අඩංගුවට ගනු ලැබූහ. අම්පාර පුරා ධීවර සංගම් ඇති කරමින් ටිකෙන් ටික ධිවරයන් නිසි කළමනාකරණයකට ලක් කරමින් එම ජලාශවල මිරිදිය ධීවර කටයුතු නිවැරැදි දිශානතියකට යොමු කෙරිණි. ඒ කටයුතුවලට සමහර අය දැඩි විරෝධයක් දැක්වුව ද පසුව නව වැඩපිළිවෙළ හා එක්වන්නට වූහ.
අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ජලාශය ඉඟිනියාගල සේනානයක සමුද්‍රය ය. එම ජලාශය සහ තවත් ජලාශ 07ක ද, මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 14ක ද, කුඩා නොසිඳෙන ජලාශ 60ක සහ කාලීන ජලාශ 50ක ද මේ වන විට මිරිදිය ධීවර කර්මාන්තය ඉතා සාර්ථකව සිදූ වෙමින් පවති. ඒ අනුව ගත් කළ අම්බලන්ඔය, පල්ලන්ඔය, පන්නල්ගම, නාමල්ඔය, ආදි වැව් සමඟින් මේ වන විට දිගාමඬුල්ලේ හෙක්ටයාර් 26,000ක පමණ ජල ධාරිතාවක් තුළ ධීවර ව්‍යාපෘති ක්‍රියාත්මකව තිබේ. එම නිසා ධීවරයන්ගේ ආදායම ද මේ වන විටත් ඉහළ නැංවී ඇත.
එදා බිළී පිත්තකින් හෝ මාළු ඇල්ලූ ධීවරයා අතට අද වැවෙන් ගොඩට එද්දි තොටුපොළේ දීම එම අවස්ථාවේ ඇල්ලූ මාළු ප්‍රමාණය පිළිබඳ සහ මාසික ඉතිරි කිරීම් ඇතුළු සියලු තොරතුරු සමඟින් පරිගණක ඇසුරෙන් බිල්පතක් ලැබේ.
අම්පාරේ විශාලතම මත්ස්‍ය නිෂ්පාදනයක් සිදු වන සහ අක්කර 1, 20, 000ක් පමණ අස්වැද්දීමට දියවර සපයන ඉඟිනියාගල සේනානායක සමුදුරෙහි මිරිදිය ධීවර සමිතියේ කළමනාකරු ඩබ්. නන්දලාල් මෙසේ අදහස් දැක්විය.
“අවුරුදු 20කට පෙර තිබු තත්ත්වය සහ අද මේ වන විට තිබෙන ධීවර තත්ත්වය සලකා බැලිමේ දී අහසට පොළොව වගේ විශාල වෙනසක් සිදු වෙලා තිබෙනවා. එදා කොට ඔරුවලින් වැවේ ගිය ධීවරයන් සියලු දෙනාටම අද ෆයිබර් ඔරු ලැබිලා තිබෙනවා. ලංකාවේ ප්‍රථම වතාවට අම්පාරේ මිරිදිය ධීවර කටයුතුවලට නව ප්‍රවණතාවක් එක් කළ අපේ ධීවර පරික්ෂක රෝහිත ප්‍රනාන්දූ මහතා විසින් තොටුපළේදීම ධීවරයාට තමන් එදිනෙදා ඇල්ලූ මාළු ප්‍රමාණය පිළිබඳව සහ මේ වන තෙක් එම ධීවරයා කර ඇති ඉතිරි කිරීම් පිළිබඳව සවිස්තර බිල් පතක් දෙනවා. එම නිසා ධීවරයාට ධීවර සමිති හරහා කරන කටයුතු පිළිබඳව විධිමත් බවක් ලැබී තිබෙනවා. ඒ නිසා විශාල පැහැදීමක් සහ ලොකු විශ්වාසයක් ඇතිව තිබෙනවා.
ධීවරයින් එදිනෙදා අල්ලා ගන්නා ලද සියලුම මාළු අස්වැන්න අපි ධීවර සමිතිය හරහා මිල දී ගන්නවා. එම ධීවරයන්ට අපි එම අවස්ථාවේම අදාළ මුදල් ගෙවනවා. සමහර අය දින කිහිපයක් එම මුදල් එකතු කර ලබාගන්නවා.” නන්දලාල් මහතා පැවුසුවේය.
ඉඟිනියාඟල ධීවර සමිතියේ සභාපති ජෝයි ෆ්රැන්සිස් ඩයස් මහතාය. ඔහු අප හා සංවාදයට එක්වන්නේ මෙසේය.
“වැව්වල ධීවර කටයුතු ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව අපි එදිනෙදා ධිවරයා ලබන ආදායමින් සියයට දහයක් සමිතියට ලබාගෙන කොටසක් ධීවරයාට ඉතිරි කිරීම් වශයෙන් බැංකු ගිණුමක තැන්පත් කරනවා. කොටසකින් වැවට නැවතත් මාළු පැටවුන් දමනවා. එක වැවක එක තොටුපළක් යන සංකල්පය නිසා මෙම වැව්වල කටයුතු දියුණු වෙන්න හේතුවක් වුණා.
සේනානායක සමුද්‍රයේ මත්ස්‍ය අභිජනනය සිදුවන ප්‍රදේශයක තවත් තොටුපළක් ආරම්භ කරන්න මොනරාගල ප්‍රදේශයේ දේශපාලකයෙක් සහ තවත් නිලධාරියෙක් දැඩි උත්සාහයක් ගන්නවා. එහෙම වුණොත් දියුණු වු සේනානායක සමුද්‍රයේ ධීවර කටයුතු කඩා වැටෙනවා. මත්ස්‍ය අභිජනන කටයුතුවලට හානි වෙනවා. ධීවර ඇමැතිතුමාගෙන් ඒ කටයුත්ත නවතා දමන ලෙස ඉල්ලා සිටිනවා. මේ අයුරින් මෙම වැව් ක්‍රමවත් කිරිමේ පුර්ණ ගෞරවය හිමි වන්නේ ජලජීවි ව්‍යාප්ත සහකාර අධ්යක්ෂ රෝහිත ප්‍රනාන්දුට.” යැයි ජෝයි ඩයස් පැවසුවේය.
මේ වන විට ඉඟිනියාගල ජලාශයේ ධීවරයෝ 450 දෙනක් ඔරු 89කින් රැකියාවේ යෙදි සිටිති. නිසි කළමනාකරණයකින් එම ජලාශයේ ධීවර කටයුතු සිදු කරන බැවින් වසර පුරාම මෙම ධීවරයන්ට හොඳ ආදායමක් ලබා ගැනීමට හැකිව තිබේ. මේ වන විට අම්පාරේ මිරිදිය කර්මාන්තයේ අසිරිය බැලීම සඳහා නොකඩවා ජනයා ඇදී එති. එයට හේතුව මනා කළමනාකරණයෙන් යුතු ක්‍රමවත් වැඩ පිළිවෙළක් ඔස්සේ අම්පාර ධිවර කර්මාන්තය ගොඩ නැඟී ඇති ආකාරයයි.
එදා ධිවර පරීක්ෂකයකු වශයෙන් අම්පාර ධීවර කර්මාන්තය උඩු යටිකරු කළ වත්මන් ජලජීවී ව්‍යාප්ති සහකාර අධ්‍යක්ෂක රෝහිත ප්‍රනාන්දු මෙසේ සිළුමිණත් සමඟ සිය අදහස් බෙදා ගත්තේය.
“මේ වන විට අම්පාරේ ඔරු 1020කින් ධීවරයන් 4000කට ආසන්න පිරිසක් ධීවර කටයුතුවල යෙදෙනවා. තවත් 2000ක පමණ පිරිසක් අර්ධ වශයෙන් ධීවර කර්මාන්තයේ යෙදනවා. මේ වන විට වාර්ෂිකව ටොන් 12000ක් පමණ අම්පාරෙන් මාළු නිෂ්පාදනය සිදූ කරනවා. ඇතැම් දිනවල ඉඟිනියාගල සේනානායක සමුදුරෙන් පමණක් මාළු ටොන් 1000ක් පමණ අල්ලනවා. එලෙස ධීවර කර්මාන්තය දියුණු කිරීමට මට හැකි වුණේ අම්පාරේ ධීවරයන්ගේ කැපවීම නිසයි. මේ සඳහා හිටපු ධීවර ඇමැතිවරුන්ගේ, ජාතික ජලජීවි අධිකාරියේ හිටපු සභාපතිවරුන් සහ වත්මන් සභාපති නුවන් මදවන්ආරච්චි මහතා, අධ්‍යක්ෂක ජනරාල් නිමල් චන්දරත්න මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂිකා කේ. බි. සි. පුෂ්පලතා මහත්මිය ඇතුළු නිලධාරින් මතු වන සෑම ගැටලුවකදීම මට උදව් උපකාර කරමින් සහයෝගය දැක්වුවා. අම්පාර හිටපු මහ දිසාපතිවරු මෙන්ම වත්මන් මහා දිසාපතිතුමන් ද මේ දියුණුවට විශාල උදව්වක් වුණා.
මේ වන විට අම්පාරේ ධීවරයන්ගේ කටයුතු ඉහළ නැංවී ඔවුන් හොඳ නිවාස සාදාගෙන තිබෙනවා. ක්‍රමවත් ලෙස ඉතිරි කිරිම්වල යෙදනවා. මුල දී කිලෝවකින් රුපියලක් තමයි අපි සමිතියට ගත්තේ. දැන් කිලෝවකින් රුපියල් 20ක් සමිතියට ගන්නවා. මේ වන විට අම්පාරේ ධීවර සමිති ඉතා හොඳ ශක්තිමත් මට්මකට ඇවිල්ලා තියෙන්නේ.
අම්පාර දිසත්රික්කයට වසරකට මත්ස්‍ය ඇගිල්ලන් ලක්ෂ 120ක් පමණ අවශ්‍යයි. මේ වන විට මත්ස්‍ය ඇගිල්ලන් ලක්ෂ 100ක් පමණ අම්පාරේ ජනතාව විසින් නිපදවනු ලබනවා. 2017 වසරේ පමණක් අම්පාරෙන් නිපදවූ මත්ස්‍ය නිෂ්පාදනයේ වටිනාකම රුපියල් මිලියන 1400කට ආසන්නයි. මෙම මුදල තනිකරම බැර වුණේ ග්‍රාමිය ආර්ථිකයටයි. විශ්වවිද්‍යාල සහ විදේශ රටවලින් පවා මේ අයුරින් අම්පාරේ ධීවර කර්මාන්තය ඉහළ නැංවීම අධ්‍යයනය කරන්න පැමිණෙනවා. රෝහිත ප්‍රනාන්දු පවසා සිටියේය.
2017 වසර වන විට ලංකාවේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ටොන් 82540කි. ඉන් 12.5%ක් හෙවත් මෙට්‍රික් ටොන් 10430ක් අම්පාරෙන් ලැබී තිබිණි. එය ලංකාවේ දිස්ත්‍රික්කයකින් ලබාදෙන වැඩිම දායකත්වයයි.
මේ පල්ලංඔය ජයන්ති වැව් හිටපු සභාපති පි.ඩි. සිරිපාල ඒ ගැන කී කතාවය.
“අපේ තාත්තා තමයි වැවේ මුලින්ම මාළු ඇල්ලුවේ. ඒ කාලේ දවසට රුපියල් 200කවත් ආදායමක් ගන්න බැහැ. සමහර දවස්වල කීයක්වත් නැහැ. රෝහිත ප්‍රනාන්දු මහතා ඇවිල්ලා ධීවර සමිතියක් පිහිටුවලා විධිමත්ව වැවේ කටයුතු සිදු කරගෙන යන ක්‍රමයක් හැදුවා. වැවට මාළු පැටව් දුන්නෙ නොමිලේ. කවුරුවත් මාළු පැටව් දුන්නේ නැහැ. ඉස්සර අපි මාළු පැටව් මුලින්ම දාන්න රුපියල් 600ක් සමිතියේ සාමාජිකයන්ගෙන් එකතු කළා. සමහරු එදා රත්තරන් බඩු උකස් කරලා තමයි ඒ සල්ලි දුන්නේ. දැන් අපි අවුරුද්දකට වැවට අපේ සමිතියේ මුදල්වලින් රුපියල් ලක්ෂ 60ක මාළු පැටව් තැන්පත් කරනවා. ධීවරයෙකුගේ පවුලේ මරණයකදි රුපියල් ලක්ෂයක් ගෙවනවා.
එදා හාල් සේරු බාගයක් ණයට දුන්නෙ නැති මුදලාලිලා දැන් ධීවරයෙකුට රුපියල් 5000ක් වුණත් ණයට දෙනවා. සමිතියෙන් දෙදෙනෙකුට රැකියා දීලා තියෙනවා. මට දරුවන්ට හොඳට උගන්වන්න පුළුවන් වුණා. මට දැන් ලොරි දෙකක් තියෙනවා. වෙළඳසලක් පවත්වාගෙන යනවා. මට දියුණු වෙන්න පුළුවන් වුණේ මේ වැඩපිළිවෙළට පින් සිදුවෙන්න. දැන් අපි සමිතියෙන් අවුරුද්දට බෝනස් මුදලක් දෙනවා. සමහරු රුපියල් පනස්දහ හැට දාහ ගන්නවා. රජයේ සේවකයෙකුට රුපියල් දහ දාහක් අවුරුද්දට ණයක් විදියට දෙන්නේ. නමුත් ධීවරයන් වාර්ෂිකව එකතු කරපු මුදල් තමයි ඉතිරි කරලා දෙන්නෙ. ඒ ආකාරයට ධීවර ආර්ථීකය ශක්තිමත් වෙලා තියෙනවා. ලංකාවේ හොඳම ධීවරයා සහ හොඳම තොටුපළත් අපේ ධීවර තොටුපොළට හිමි වුණා. දැන් අපි ශක්තිමත් යැයි සිරිපාල මහතා පවසා සිටියේය.
නැති බැරිකම උර මත තබාගෙන අහස කුස දෙස බලා හූල්ලමින් සිටි අම්පාරේ ධීවරයෝ රටටම පණිවිඩයක් දෙති. ඒ උත්සාහයෙන් සහ නිසි කළමනාකරණයක් සහිතව සාමූහිකව කටයුතු කිරිමෙන් ජය ලැබිය හැකි බවය.
සුසන්ත අමර බන්දු