
වතිකානු මාලිග අංගණයේ හස්තියකුගේ ඇටකටු මිහිදන්ව තිබීම ප්‍රශ්නාර්ථයක්ව වසර ගණනක් තිස්සේ යටපත්ව පැවතිණි. අවසානයේ එහි රහස සොයා ගනු ලැබුවේ සුප්‍රකට ‘ස්මිත්සෝනියන්’ සඟරාවේ ඉතිහාසඥයකු වූ සිල්වියෝ බෙඩිනි විසිනි. වතිකානු මාලිගා පරිශ්‍රයට හස්ති ඇටකටු ලැබීමේ අතීත පුරාවෘත්තය සොයාගැනීමේ ගෞරවය හිමි වන්නේ ඔහුටය. එසේම එම සොයා ගැනීම පාප් වහන්සේගේ ඉතිහාසයේ සුවිශේෂ පරිච්ජේදයක තොරතුරු හෙළි කරගැනීමක් හා සමාන විය. පසුකාලීනව ග්රන්ථයක් ලෙසද එළි දැක්වුණු මේ කතාව ලොව පුරා ප්‍රචලිත වූයේය.
රෝමයේ වතිකානු මාලිගයේ සේවක පිරිසක් දිනක් මාලිගා පරිශ්‍රයේ පොළොව හාරමින් සිටියේ මාලිගාවට අලුතින් එක් කෙරෙන උණුසුම් හා සිසිල් කිරීමේ පද්ධතියක් සඳහා නළ එළීමේ කටයුත්තක් වෙනුවෙනි.
ඒ 1962 වසරේ පෙබරවාරි මාසයේය. එලෙස හාරාගෙන යද්දී ඔවුන්ට පොළොව යට තිබී විශේෂිත යමක් හමුවිය. ඒ විශාල ඇට කටු සමූහයකි. ෆොසිල නොවූ එම ඇටකටු සොයාගැනීමත් සමඟින් සැවොම මවිතයට පත්වූයේ ඒවා ඩයිනසෝරයකුගේ ඇට කටු යැයි සිතමිනි. එහෙත් ඇට කටු මතුවූයේ එතරම් යටකින් නොව අඩි කීපයක් නොදුරෙනි. වතිකානු පුස්තකාලයේ භාරකාර මණ්ඩලය මේ පිළිබඳ කළ විද්‍යාත්මක පරීක්ෂණවල දී තහවුරු වූයේ එම ඇට කටු ඩයිනසෝර් ඇට කටු නොවන බවය. දිගු දළ යුගලක් හා දැවැන්ත හකුපාඩා කැබලි සමඟ එතැන වූයේ හස්තියකුගේ ඇටකටුය.
වතිකානු මාලිගය මැද්දේ පිහිටි අංගණයකට හස්තියකුගේ ඇටකටු පැමිණියේ කෙසේද? කවුරුත් විමතියට පත්වූහ. ලෝකයේ සැඟවුණු රහස් හා කුතුහලය දනවන තොරතුරු හෙළි කරන ‘Atlas Obscura’ සඟරාවට ඒ පිළිබඳ තොරතුරු ප්‍රථමයෙන්ම වාර්තා කළේ සාරා ලස්කොව් ලේඛිකාවය.
රෝමයට මුලින්ම හස්තීන් පැමිණ ඇත්තේ ක්‍රිස්තු පූර්ව 280 වැනි ශත වර්ෂයේය. එකල හස්තීන් හැඳින්වීමට නමක් නොදත් රෝමවරුන් උන් හඳුන්වා ඇත්තේ ‘ලුසානියන් ගවයන්’ලෙසය.
රෝම අධිරාජ්‍යය පැවැති අවදියේ යුද්ධ කටයුතු සඳහාත් සිය සශ්‍රීකත්වය පෙන්වීම සඳහාත් රෝමන්වරුන් හස්තීන් තබා ගත්තද රෝම අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු ඉතාලියේ අහල ගම් හතකටවත් හස්තියකු ළඟා වී නැත.
වතිකානු මාලිග අංගණයේ හස්තියකුගේ ඇටකටු මිහිදන්ව තිබීම ප්‍රශ්නාර්ථයක්ව වසර ගණනක් තිස්සේ යටපත්ව පැවතිණි. අවසානයේ එහි රහස සොයා ගනු ලැබුවේ සුප්‍රකට ‘ස්මිත්සෝනියන්’ සඟරාවේ ඉතිහාසඥයකු වූ සිල්වියෝ බෙඩිනි විසිනි. වතිකානු මාලිගා පරිශ්‍රයට හස්ති ඇටකටු ලැබීමේ අතීත පුරාවෘත්තය සොයාගැනීමේ ගෞරවය හිමි වන්නේ ඔහුටය. ‘පාප් වහන්සේගේ හස්තියා’ නමින් බෙඩිනි හෙළි කළ තොරතුරු ඉතා අංග සම්පූර්ණ පර්යේෂණයක ප්‍රතිඵලයක් විය. එසේම එම සොයා ගැනීම පාප් වහන්සේගේ ඉතිහාසයේ සුවිශේෂ පරිච්ජේදයක තොරතුරු හෙළි කරගැනීමක් හා සමාන විය. පසුකාලීනව ග්රන්ථයක් ලෙසද එළි දැක්වුණු මේ කතාව ලොව පුරා ප්‍රචලිත වූයේය.
පාප් වහන්සේ ගේ හස්තියා පිළිබඳ කතාව 15 වැනි ශත වර්ෂයේ මුල් අවදිය තෙක් විහිදෙන්නකි. අපේ රට ද මේ කතාවට ඈදෙන්නේ ඒ සමඟය.
තෑගි ලෙස පණ ඇති සත්තු
එකල ලොව බලවත් රටවල ක්‍රිස්තියානු පාලකයෝ සිය රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී වතිකානුවේ සුවිශේෂ අනුග්‍රහය ලබා ගැනීම සඳහා ධුරය දැරූ පාප් වහන්සේ වෙත විවිධාකාර වූ තාන්න මාන්න පිළිගැන්වීම සිරිතක් ලෙස සිදු කළහ.
මේ අවධිය පෘතුගාලය දේශාටනයේ යෙදෙමින් සිය මුහුදු මාර්ග පුළුල් කරගැනීමේ ප්රයත්නයේ යෙදී සිටි මුල් කාල වකවානුවයි. එකල පෘතුගාලයේ රජ කළ පළමු වැනි මැනුවෙල් රජු ඉතා බලසම්පන්නව රාජ්‍ය විචාරමින් සිටියේය. ඉන්දියාව කරා වැටී ඇති මුහුදු මාර්ගයන්හි පාලනය සිය ප්‍රතිවාදීන් අබිබවා සියතට ගැනීම ඔහුගේ ඒකායන පරමාර්ථය වූයේය. ඒ වෙද්දී ලෝකයේ කුළුබඩු වෙළෙඳාමේ ඒකාධිකාරය පැවතියේ ඊජිප්තු වෙළෙඳුන් අතය. ඉන්දියාව හා නැගෙනහිර ඉන්දියානු දූපත් හා ගනුදෙනු කරමින් කුළුබඩු වෙළෙඳාමේ ආධිපත්‍යය සියතට ගැනීම සඳහා මැනුවෙල් රජු ප්රයත්න දරමින් සිටියේය.
1513 දී ජියොවානි මෙඩිසි, දසවැනි ලියෝ ලෙස පාප් තනතුරට පත්වූයේ මේ අතරවාරයේය. සිය දේශපාලන බලාධිකාරය පතුරුවා ගැනීමට කල්යල් බලමින් සිටි මැනුවෙල් රජු නව පාප් වහන්සේගේ සිත දිනාගැනීම සඳහා අමුතුම උපක්‍රමයක් යෙදීය. ඔහු පාප් වහන්සේ වෙත පෙරදිග රටවලින් එක් කරගත් මුතු මැණික් සේද රෙදිපිළි රන් ආභරණ සුවඳ ද්‍රව්‍ය හා කුළුබඩු සමඟ ත්‍යාග ලෙසින් පණ පිටින් සතුන් කීප දෙනකු ද එවීය. චීටෙක්, අඳුන් දිවියෙක්, කතා කරන ගිරවෙක්, අමුතු වර්ගයක සුනඛයෙක්, පර්සියානු අශ්වයෙක් හා පුහුණු කරන ලද වඳුරෙක් ද ඒ අතර වූහ. එහෙත් ඒ සියල්ලටම වඩා වැදගත් වූයේ ඒ සතුන් සමඟින් මැනුවෙල් රජු පාප් වහන්සේට යැවූ හස්තියාය. එම හස්තියා ගෙන ගොස් ඇත්තේ අපේ රටෙනි.
ඇත් පැටවා පිටුපස ජන පෙරහරක්
මේ හස්තියා පිළිබඳ කතාව ද අපූරුය. 1505 දී පෘතුගීසි ජාතික දොන් ලොරෙන්සෝ ද අල්මේදා සෙනෙවියා කොළම්තොටට ගොඩබට පසු එකල කෝට්ටේ රජු හොඳහිත පළ කිරීමක් වශයෙන් ඔහුට කුරුඳු හා හස්තියකු ත්‍යාග කළ බව සඳහන්ය. ත්‍යාග දී පිටත් කර හැරීමේ අදහසින් දුන්නද පෘතුගීසිහු අප රටේ පැළපදියම් වූහ.
පෘතුගීසීන් මේ හස්තියා පසුව ගෝවට ගෙන ගොස් එතැනින් ලිස්බන් නගරයට නැව් ගත කර තිබේ. ඉන්පසුද අපේ රටෙන් වරින් වර හස්තීන් නැව්ගත කළ බව ඉතිහාසයේ සඳහන් වේ.
පෘතුගාලයේ ආසියානු පාලනය ගැන ලියූ ප්‍රකට ලේඛකයකු හා පෘතුගීසි ඉතිහාසඥයකු වූ ගැස්පර් කොරෙයා පසුව අපේ රටෙන් රැගෙන ගිය හස්තියකු ගැන මෙසේ ලියා ඇත.
“දොන් ලෙරෙන්සෝ ලංකාවෙන් රැගෙන ආ කුඩා ඇත් පැටවකු ගෝවේ ප්රතිරාජයා විසින් පෘතුගාලයට එවනු ලැබ ඇත. පෘතුගාලයට එවැනි ඇත් පැටවකු රැගෙන ආ පළමු අවස්ථාව මෙයයි.” පාප් වහන්සේගේ හොඳ හිත සඳහා මැනුවෙල් රජු ත්‍යාග කර ඇත්තේ මේ ඇත් පැටවාය. පෘතුගාලයේදී මේ ඇත් පැටවා නම් කර තිබුණේ ‘ඇනෝන්’ ලෙසය.
පෘතුගාලයේ හර්කියුලස් වරායේ සිට රෝමය දක්වා සැතපුම් 70ක දුරක් ‘ඇනෝන්’ කැටුව ආ ගමන ගැන ස්මිත්සෝනියම් ඉතිහාසඥ බෙඩිනි මෙසේ පවසයි.
“ඇත් පැටවා ඉතාලියට පැමිණියේ 1514 ශීත කාලයේ. ඌ ලොකු සතෙක් නොවෙයි. උස යන්තම් අඩි හතරක් පමණ ඇති. ගමන හරිම හෙමින්. ඉතාලියේ රළු පාරවල් දිගේ වතිකානුවට එන අතරමඟදී ඒ පා වේදනා දුන්නා. එහෙත් හස්තියා යන්නේ කොතැනද එතැන මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගියා. හස්තියා රෝමයට කැටුව එන ගමනේ මඟදිගට ඌ පසුපස පැමිණි ජනතාව පෙරහරක් මෙන් දිගු වුණා. මිනිසුන්ට මේ සතා දැකගැනීමටත් ඌ සමඟ පැමිණි අමුතු භාෂාවක් වහරන අමුත්තන් දැක ගැනීමටත් තිබුණේ පුදුමාකාර නොඉවසිල්ලක් හා කුතුහලයක්.”
ඇත් පැටවා වතිකානු මාලිගයට පැමිණියේ පෙරහරකිනි. නිල වශයෙන් පාප් වහන්සේ ඉදිරිපිටට පමුණුවද්දී මේ සතා අපූරු දෙයක් කළේ ය. පාප් වහන්සේ ඉදිරියේ නතරවී ඉදිරි දණ ඔබා නැවී හිස පහත් කර ආචාර කිරීමය. ඉන් නොනැවතුණු මේ ඇත් පැටවා ආපසු හැරීමට පෙර හොඬ ඉහළට ඔසවා තෙවරක් කුංචනාද කර තිබේ. අනතුරුව අසල වූ දිය බඳුනකින් හොඬයට දිය ගෙන වතුර මලක් මෙන් ඉහළට දිය විදා හැරියේය. මේ දසුනෙන් අමන්දානන්දයට පත් පාප් වහන්සේ එතැන් පටන් ඇත් පැටවාට වශී විය. මින් ඉමහත් ප්‍රීතියට පත් පාප් වහන්සේ පළමුවැනි මැනුවෙල් රජුට ස්තුතිය පළ කරමින් සියතින්ම ලියූ ලිපියක් යැවුවේය.
වතිකානුවට පැමිණි නොබෝ දිනකින්ම ඇනොන් පාප් වහන්සේ විසින් බවුතීස්ම කරන ලදුව ‘හැනෝ’ ලෙසින් නම් ලැබීය. දිනෙන් දින පාප් වහන්සේ හා හැනෝ අතර බැඳීම වැඩෙද්දී උන්වහන්සේ විවිධ සුරතල් නාමයන්ගෙන් හැනෝ ඇමතූහ. සිල්ක් සහ රන් නූලෙන් කරවූ ඇඳුම්වලින් හැනෝ හැඩ කළහ. හැනෝ එසේ මෙසේ හස්තියෙක් නොවීය. එකල පෘතුගීසි බලාධිකාරය ව්‍යාප්ත කිරීමට මෙන්ම ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණ සඳහාත් හැනෝ කිසියම් වූ බලපෑමක් කළේය. ඒ සියල්ලටත් වඩා හැනෝ යනු එකල රෝමයට ආශ්චර්යක් හා පුදුමයක් විය. රෝම අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු හස්තියකු නොදුටු ඉතාලි ජනතාව හැනෝ ගේ දර්ශන මාත්‍රයක් සඳහා මහා පෙරැළියක් කළහ.
පාප් වහන්සේගේ ආදරය හා කරුණාව
දසවැනි ලියෝ පාප් වහන්සේ හැනෝ සඳහා වතිකානු මාලිගා අංගණයේම විශේෂ නිවහනක් තැනවූ අතර රෝම ජනතාවට සති අන්තවලදී හැනෝ නැරැඹීමට ද ඉඩකඩ සලසා දුන්හ.
හැනෝ සහ පාප්වහන්සේ අතර වූ මේ අධිකතර වූ සෙනෙහස හා බැඳීම එකල කතෝලික පල්ලියේ නොසතුටට ද හේතු වූ බව බෙඩිනි සඳහන් කරයි.
පාප් වහන්සේ කෙතරම් ආදරයක් හා කරුණාවක් දක්වමින් රැක බලාගත්තද හැනෝගේ වතිකානු ජීවිතය එතරම් කාලයක් නොපැවතියේය. වයස අවුරුදු හතරක පැටවකු ලෙස වතිකානුවට පැමිණි හැනෝ දෙවසරකට පමණ පසු සෞඛ්‍යයෙන් පිරිහෙන්නට වූයේය. වහා කැඳවනු ලැබූ වෛද්‍යවරුන් ප්‍රතිකාර ඇරැඹුවද හැනෝගේ ජීවිතය බේරා ගත නොහැකි විය.
හැනෝගේ මරණයට හේතුව ගැනද නොයෙකුත් මතවාද පවතී. ඇතැම් තැනක සඳහන් වන්නේ හැනෝ මිය ගියේ නිව්මෝනියාවෙන් බවය. තවත් පුවතකින් කියැවෙන්නේ හැනෝ ගංගාවක ගිලී මියගිය බවකි. කෙසේ වෙතත් පාප් වහන්සේ හැනෝගේ දිවි රැකගැනීම සඳහා රන් කැබලි 5000කට වඩා වැය කළ බව බෙඩිනි සඳහන් කරයි.
හැනෝ වෙනුවෙන් ශෝක කාලයක්
හැනෝගේ මරණයෙන් පාප්වහන්සේ දැඩි කම්පනයට පත්වූ බවත් ඒ දුක තුනී කරගනු පිණිස කාව්‍ය පටබැඳි බවත් සඳහන් වේ. උන්වහන්සේ හැනෝ වෙනුවෙන් ශෝක කාලයක් ද ගත කළහ. ඉතාලි පුනරුද සමයේ මහා සිත්තරකු හා ගෘහ නිර්මාණ ශිල්පියකු වූ රෆාෙයල් සන්සියෝ මේ අවදියේ වතිකානුවේ චිත්‍ර නිර්මාණයේ යෙදී සිටියේය. පාප් වහන්සේ රෆාෙයල් ලවා වතිකානු මාලිගා කොරිඩෝවේ බිතුසිතුවමක් ද කරවීය. එහි මුල් කෘතිය දැන් නැතත් රෆාෙයල්ගේ සිසුවකු විසින් කරන ලද ආකෘතියක් බර්ලින් කෞතුකාගාරයක ඇත.
ඒ අකෘතියේ ලක්ෂණ අනුව ද හැනෝ ආසියානු හස්තියකුගේ ස්වභාවය පෙන්නුම් කරයි. එපමණක් නොව හැනෝ හා දසවැනි ලියෝ පාප් වහන්සේ අතර වූ බැඳීම ශුද්ධ වූ නගරයට කෙතරම් බලපෑම් කළේද යත් මරණයෙන් වසර ගණනක් ගත වන තුරුත් හැනෝගේ රුව රැගත් ආකෘති ප්‍රතිමා හා බිතු සිතුවම් නගරයේ දිය මල්, දොරටු හා පවුරු අලංකාරය සඳහා යොදාගනු දක්නට ලැබිණි.
පියෙට්‍රෝ ආර්ටිනෝ යනු එකල ඉතාලියේ ඉතා ප්‍රසිද්ධ පුද්ගලයෙකි. ගත්කතුවරයකු, නාට්‍ය රචකයකු, කවියකු මෙන්ම රටේ බලවත් පුද්ගලයනට බලපෑම් එල්ල කළ හැකි පුද්ගලයෙක් විය. හැනෝ මියගිය පසු අන්තිම කැමැති පත්‍රය සකස් කළේ පියෙට්රෝය. එසේම එකල රෝමයේ යම් ධූරාවලි දැරූවන්ගේ අවසන් තෙස්තමේන්තුව සකස් කළේ ද ඔහුය.
සාන්තුවරුන් ස්වර්ගස්ථ වූ පසු සිරුරු අස්ථි කොටස් පාර්සල් කර යුරෝපයේ ප්‍රධාන පල්ලිවලට බෙදා හැරීම සිදුවිය. ඉතිහාසඥ බෙඩිනිට අනුව පියෙට්‍රෝ සැකසූ හැනෝගේ අවසන් තෙස්තමේන්තුවට අනුව සාන්තුවරුන්ගේ සිරුරුවලට සලකන ආකාරයෙන් හැනෝගේ ද හම, දළ, දණහිස්, දිව හා වෘෂණ කොටස් ද කාදිනල්වරුන් අතර බෙදා හැර තිබේ. නමුත්, හැනෝගේ සිරුරේ වැඩි ප්‍රමාණයක් තැන්පත් කරනු ලැබ ඇත්තේ වතිකානු මාලිගා අංගණයේය. දළ පමණක් ඉවත් කර වෙන තැනක තැන්පත් කර ඇතැයි ද බෙඩිනි ලියා ඇත. ඒ ඇටකටු තවමත් වතිකානු අංගණයේ තැන්පත්ව ඇතැයි පැවසේ.
වතිකානු මාලිගා කෞතුකාගාරයේ සිතුවම් ඵලක තැන්පත් කර ඇති කලාගාරය ලෝක ප්‍රසිද්ධව ඇත්තේ එම සිතුවම් අතර ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිත කතා අඩංගු සිතුවම්ද ඇති බැවිනි. මෙහි විශේෂිත තැනක ඇති සිතුවමක් ගැන ඉතිහාසඥ සිල්වියෝ බෙඩිනි සඳහන් කරයි.
‘මේ සිතුවමේ ඇති හස්තියා චිත්‍ර ශිල්පියා විසින් සිතුවම් කරනු ලැබ ඇත්තේ ඌ පණපිටින් දැකීමෙන් බවට සැක නැත. එම හස්තියා පසුබිමේ සිටින චිත්‍රය සිතුවමට නැඟීමට දශකයකට හෝ ඊට පෙර හැනෝ නමින් වන හස්තියකු වතිකානුවේ සිට ඇත. එම හස්තියා ලංකාවෙන් ගෙනගිය බවද වාර්තාවේ.’ එම සිතුවමට යටින් හැනෝ ගැන මෙසේද කරුණු පෙළ ගස්වා තිබේ.
‘ඔහු අවුරුදු හතක් ජීවත්ව සිටියේය., ඔහු මියගියේ ශ්වසන අපහසුතා හේතුවෙනි., උසින් වියත් දොළහකි.’
තොරතුරු සටහන් කළේ,
ජියොවානි බැටිස්ටා බ්රැන්කෝනියෝ ඩෙල් ඇක්විලා, පාප්වහන්සේගේ පෞද්ගලික සහකාර හා හස්තියාගේ බාරකාර මණ්ඩලයේ ප්‍රධානී.