අප එහි යද්දී කිරලෝගම වැවෙන් යෝධ ඇළට දියවර මුදාහරින සොරොව්වේ දොරවල් ප්‍රතිස්ථාපනය කරමින් තිබිණි. මහැවැලි අධිකාරිය විසින් මේ කටයුතු පවරනු ලැබ තිබුණේ කොන්ත්‍රාත් ආයතනයකටය.
මේවා කරන්න ඕන වතුර වහපු කාලෙට. මේ දොරවල් ගලවලා මාරු කරනකම් කොච්චර වතුරක් වැඩිපුර පහළට ගලනවද? කොන්ත්‍රාත් දුන්න නම් මේ ගැන හොයන්න බලන්න, නිරීක්ෂණය කරන්න අධිකාරියේ නිලධාරීන් එන්න ඕන. බ්ලොක් ඔෆිස් එකෙන්වත් ඇළ බැම්මට ගොඩවෙන නිලධාරියෙක් නැති එකේ කොළඹින් මහත්වරු මෙහෙ එයිද?”
- ගොවීන් පවසන්නේ එලෙසය
අතීතයේ යෝධ ඇළ ගලාගොස් ඇත්තේ ඉහළගම හන්දියෙනි. අද ඉහළගම හන්දියේ යෝධ ඇළක් නැත. අද වන විට ඉහළ ගම හන්දියේ වෙළඳසැල් ඉදිව ඇත්තේ පැරණි යෝධ ඇළ බැම්ම ආශ්‍රිතවය. එප්පාවල තලාව පාරේ ඉහළගම හන්දියෙන් වමට හැරුණොත් හමුවන්නේ මහවැලි නව ගම්මාන කිහිපයකි. මේවායේ ඇත්තේ රටේ කඳුකරයේ ඇති ප්‍රසිද්ධ ගම් සහ නගරවල නම්ය. රත්තොටගම, මාතලේ කොළණිය, මාතලේගම, තිස්පනේපුර, දඹුලුපුර ආදිය ඉන් කිහිපයකි.
“1970-1980දි මහවැලි මහ ජලාශ හදනකොට මහනුවර, මාතලේ දිස්ත්‍රික්කවල ගම්මාන යටවෙන්න ගත්තා. එතකොට, ඒ පැතිවල පදිංචි වෙලා හිටපු මිනිස්සුන්ට අලුත් ජනපද හැදුවේ රජරට මහවැලි කලාපවල. අන්න ඒ විදියට, එක එක මැතිවරණ කොට්ඨාශ වලින් ගේ දොර අහිමි වෙලා, මෙහාට ආව අය පදිංචිකෙරුව අලුත් ගම් අදටත් හැඳින්වෙන්නේ පරණ මැතිවරණ කොට්ඨාශෙ නම් වලින්. ටිකක් එපිටහට වෙන්න, අලුත් හඟුරන්කෙත, නවතෙල්දෙණිය වගේ ගම්මානත් තියෙනවා.” මේ අපූරු ග්‍රාම නාම වල පසුබිම අපට පැහැදිලි කලේ රත්න බී. ඒකනායක මහතාය.
ඉහළගම හන්දියේ සිට ජයගඟ බැම්මට යායුත්තේ රත්තොටගම, මාතලේගම හරහා තඹුත්තේගම ඉසව්වට දිය ගෙනියන වාරි ඇළක බැම්ම දිගේය. අපි එහි ගොස් ජයගඟ බැම්මට ගොඩවී තරමක් දුර ආපසු ගමන් කළේ නව ජයගඟ මගහැර ආ එප්පාවල කොටසේදී පැරණි යෝධ ඇළේ අවශේෂ දැකගත හැකි දැයි විමසන්නටය.
බිම හෙළන තේක්ක කඳන්
එවිට දැකගන්නට ලැබුණේ, විශාල යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් ඇළෙන් එගොඩ පිහිටි යෝධ ඇළ රක්ෂිතයේ තේක්ක වගා කපා හෙළන ආකාරයයි. මේ ගැන විමසිලිමත්ව දකින්නට නම් අලි වැටෙන් රිංගා නව ජයගඟෙන් එතෙර වන්නට සිදුවේ. දෙගොඩ තලා යන යෝධ ඇළෙන් පහසුවෙන් එගොඩ විය නොහැකි නිසා හැකි අයුරෙන් ඡායාරූපයක් පමණක් ගන්නට සිදුවිය.
යළි ටික දුරක් ඉදිරියට ගිය අපට හුමුවූයේ නව ජයගඟ බැම්මේ තණකොළ කපා දමන පුද්ගලයෙකි. ඔහු මහවැලි අධිකාරියේ අනියම් සේවකයෙකි. අපි ඔහු සමඟින් ආසන්නයේ සිදුවන ගස් කැපීම පිළිබඳව විමසුවෙමු.
“වන සංරක්ෂණෙන් තේක්ක ගස් කප්පවනවා… අලුතෙන් හිටවන්න…” තේක්ක වගාව සිදු කරන්නේ වාණිජ අරමුණු පදනම් කරගෙන නිසා ඒවා නිසි කලදී කපා දැව වෙනුවෙන් භාවිතා කරයි. යළි නැවැත වගාකරයි. එම තත්ත්වය වන විනාශයක් ලෙස අර්ථ දැක්විය නොහැකි වුවද, එවැනි බිමක ස්ථීර ප්‍රාථමික වනාන්තරයක් ගොඩනැඟෙන්නට හැකියාවක් කිසිදිනෙක ලැබෙන්නේ නැත.
පැරැණි ඇළ බැම්මේ තල් වැට
මේ ඉසව්වේදී නව ජයගග බැම්ම පාළුය. ජයගඟ ගලන්නේ යෝධ ඇළ රක්ෂිතය මැදිනි. අතරින් පතර තැනකදී පමණක් නිවසක් දෙකක් හමුවේ. ඒ පැරණි යෝධ ඇළ බැම්ම නව ජයගඟෙන් දෙකඩ වන ස්ථානයන් අසලය. නව ජයගඟේ බැම්ම දිගේ යන අප පැරණි යෝධ ඇළේ බැම්ම සොයා ගන්නට අපූරු උපක්‍රමයක් හඳුනාගත්තේ මහඉලුප්පල්ලමේ සිට මේ දක්වා සිදුකළ විමසුමේ ප්‍රතිඵලයක් ලෙසය. පැරණි යෝධ ඇළ බැම්මේ රටාවකට තල්ගස් සිටවා තිබූ නිසා, වන වැදී ගිය බැම්ම හඳුනාගැනීමට අපට උපකාරී වූයේ තල් ගස් පෙළය. යෝධ ඇළ ගලන්නේ නැති නිසා, ආරක්ෂාවක් රැකවරණයක් නොමැතිව වුවද තල්ගස් පෙළේ තල්ගස් අතරින් බොහෝමයක් තවමත් නිරුපද්‍රැතව හඳුනා ගත හැකිය. නමුත් සමහර තල්ගස් අවට පදිංචිකරුවන් විසින් කපා දමා තිබේ. ගිනිතබා තිබූ තල් ගස් ගණනාවක්ද මේ ඉසව්වේදී අපට දැකගත හැකිවිය.
එදා තිබූ අද නොමැති ගම්මැද්ද
“රජරට කියන්නේ අපූරු උප සංස්කෘතියක් තිබුණූ ප්‍රදේශයක්… ඒ කාලේ මේ නුවර කලාවියේ මිනිස්සු ජීවත් වුණේ ගම්මැද්දක… ලොකු ගෙමිදුලක් වට කරගෙන, පොඩි පොඩි ගෙවල් ගොඩකින් තමයි ගම්මැද්ද හැදෙන්නේ. ගෙදරක තිබුණේ පිලත්, එක කාමරේකුත් විතරයි. උයාගෙන කෑවේ පොදු මඩුවක… ඒකට කිව්වේ යාලත්ත කියලා. කැලෑ මද්දෑවේ හුදකලාව ඉන්නවා වෙනුවට සුහදත්වය වැඩි කරන්නත්, පිරිමි අය රෑට හේන් රකින්න ගියාම ආරක්ෂාවටත් තමයි එහෙම ජීවත් වුණේ. මේ ක්‍රමය මුලින්ම වෙනස් වුණේ 1818 කැරැල්ලෙන් පස්සේ, ඊළඟට මැලේරියා වසංගතේදි, ඊටත් පස්සේ මහවැලි ජනාවාසකරණයේදී. දැන් දකින්නම නෑ..” ඒ රජරට ගැන පර්යේෂණ කරන රත්න බී. ඒකනායක මහතාගේ අදහසයි.
අද නම් රජරටට කියා උප සංස්කෘතියක් නැත. තිබේ නම් ඒ භාෂාවේ ඇති සියුම් වෙනස්කම් කිහිපයකුත්, කෘෂිකර්මය හා බැඳුණු වත්පිළිවෙත් කිහිපයකුත් පමණි. දහසින් බැඳි පියලි පිරිනමමින් තරගයට ශ්‍රවණය කරවන කොළඹින් විසුරුවා හැරෙන ගුවන්විදුලි නාලිකාත්, රූපවාහිනී නාලිකාත් විසින් රජරට උප සංස්කෘතියක අංග බිඳ දමමින් රටම තනි යායක් කරමින් සිටී. ලෝකයම තනි යායක් වෙත්දී එය එසේ නොවිය යුතුයැයි ප්‍රාර්ථනා කරන්නට අපට නොහැක. ඒත් රසඥතාවයත්, සංස්කෘතික අක්මුලුත් සිඳී ගිය ජාතියක් යදම් බිඳ දමා ලෝකය සමග මුහුවූ කල සිදුවන්නේ විනාශ වීම පමණක් බැවින් ඒ ගැන වරක් දෙවරක් නොව කිහිපවරක්ම විමසිය යුතුය.
ඉහළගම දෙස සිට නව ජයගඟ දිගේ යද්දී ඊළගට හමුවන්නේ කිරලෝගම ගම්මානයයි. ඒ අතරින් පතර විල්ලු වැනි ජලය රැඳුණු ඉසව් කිහිපයක් හමුවන අතර ඒ පුරාණ යෝධ ඇළේ අවශේෂයන්ය. ඒවාද දැක බලාගත් අපි කිරලෝගම වැව් බැම්මට පිවිසුණෙමු.
හඳුනාගත් පරිදි පැරණි යෝධ ඇළ කිරලෝගම වැව ආසන්නයෙන් ඉදිරියට ගලාගොස් ඇති අතර නව ජයගඟේ ජලය ගමන් කරන්නේ කිරලෝගම වැව හරහාය. කිරලෝගම වැව සාපේක්ෂව විශාල වැවකි. සවස් වරුවේ එහි දිය සැනහෙන්නට ආ ගම් වැසියන් අතරින් වෑබැම්ම දිගේ ඉදිරියට ගිය අපි යළි නව ජයගඟේ බැම්මට පිවිසියෙමු.
සොරොව් පිළිසකර පෞද්ගලික අංශයට
අප එහි පිවිසෙන විට, කිරලෝගම වැවෙන්, යෝධ ඇළට දියවර මුදාහරින සොරොව්වේ මහ කලබලයකි. දස දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් ලොරියකින් පැමිණ සොරොව් දොරවල් ප්‍රතිස්ථාපනය කිරීමක් එහි සිදුවේ. මහැවැලි අධිකාරිය විසින් මේ කටයුතු සිදුකිරීමට පවරන්නේ කොන්ත්‍රාත් ආයතනවලටය.මේ පැමිණ සිටින්නේ එම ආයතනයේ සේවකයින්ය. ඒ ආසන්නයේ නාන තොටුපොළකට නාන්නට ආ වැඩිහිටියෙකුගෙන් අප මේ ගැන විමසුවේ වැඩි විස්තරයක් දැනගැනීමටය.
“මේවා කරන්න ඕන වතුර වහපු කාලෙට. මේ දොරවල් ගලවලා මාරු කරනකම් කොච්චර වතුරක් වැඩිපුර පහළට ගලනවද? කොන්ත්‍රාත් දුන්න නම් මේ ගැන හොයන්න බලන්න, නිරීක්ෂණය කරන්න අධිකාරියේ නිලධාරීන් එන්න ඕන. බ්ලොක් ඔෆිස් එකෙන්වත් ඇළ බැම්මට ගොඩවෙන නිලධාරියෙක් නැති එකේ කොළඹින් මහත්වරු මෙහෙ එයිද?”
කිරලෝගමින් නව ජයගඟට ඔබ්බෙන් ගම්මාන කිහිපයක්ම වෙයි. ඒවා යෝධ ඇළ රක්ෂිතය තුළ පිහිටා තිබේ. රක්ෂිතය තුළ පිහිටා ඇති මේ ගම්මානවලට සවස් වන විට වන අලි තර්ජන එල්ල වේ. ඒ නිසා මේ ගම්වැසියන්ගේ බොහෝ දෛනික කටයුතු ඉරු බැස ගොස් නොබෝ වේලාවකින් මතුවන අඳුරත් සමඟම අවසන් වේ. නව ජයගඟ මායිමේ තේකක කැලයට යාබදව කෙසෙල් වගාවක් පවත්වාගෙන යන ගාමිණී මාමා ද ඇඳිරි වැටෙන්නට කලියෙන් සිය කෙසෙල් හේනට පාපැදියෙන් යන අතරතුර අපට හමුවූයේ බටුවත්තත්, කිරලෝගමත් මායිමේදීය.
“මගේ ගම දිවුලපිටිය. අපි තරුණ කාලේ ලොකු හාහෝවක් ගියා, තඹුත්තේගම පැත්තේ මහවැලි වතුරෙන් සරුවෙලා වගාකරලා, යහතින් ජීවත් වෙන්න පුළුවන් කියලා. පුංචි කාලේ ඉඳන් කැත්ත උදැල්ලට හුරු අතපය තිබ්බ නිසා, නාහෙට නාහන වයසෙදි වෙනසක් හොයාගෙන මෙහාට ආවා. වැරදුණේ නෑ. අක්කර දෙක තුනක කුඹුරුත්, අක්කර දෙක තුනක ගොඩ ඉඩමත් බලාගෙන, පවුල් පන්සල් වෙලා, දරු මල්ලොත් හදාගෙන හොඳ ජීවිතයක් ගෙනිච්චා.”
ඔහු එදා වෙහෙස මහන්සි වී ජීවිතය ජයගන්නට රජරටට ආවාට අද දවසේ ඔහුගේ දරුවන් පහසුවෙන් ජීවිතය ජයගන්නට උපන්බිම හැරදා කොළොම්තොටටත්, සියනෑවටත් ගොසිනි. එහෙත් ඔහුගේ ජවය ඉතිරිව තිබෙන තුරු ගොවිතැනින් ජීවිතය දිනන්නට ඔහු අධිෂ්ඨාන කරගෙන සිටින බව කතාවෙන් පැහැදිලි විය. ඔහුට ආශිර්වාද කරමින්, වන අලි එළි බසින්නට පෙර වගාව වෙත යන්නට අවසර දෙමින් අපි ඔහුගෙන් සමුගතිමු.
රජ සමයේ ඉදිකළ යෝධ ඇළ
නව ජයගඟ දිගේ තවදුරටත් ඉදිරියට යන අපට ගාමිණී මාමා පැවැසූ මං සලකුණු අනුව එහා ඉවුරේ පිහිටි ඔහුගේ කෙසෙල් වගාව දැකගන්නට පුළුවන් විය. එයත් දැකගනිමින් තව තවත් ඉදිරියට ගිය අපි ඊළඟට ළගාවූයේ ජයගඟ හන්දියටය.
බහුතරයක් දන්නා ජයගග හන්දිය හමුවන්නේ පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ තඹුත්තේගමත්, තලාවත් අතරය. එහෙත් එප්පාවල සිට තලාවට දිවෙන මාර්ගයේත් ජයගඟ හන්දියක් හමුවේ. ඒ නව ජයගඟ එප්පාවල සිට තලාවට දිවෙන මාර්ගය හරහා යන ස්ථානයේදීය. නමුත් මෙම හන්දියේ නියම නම බටුවත්ත හන්දියයි.
අතීතයේ ජයගඟ හන්දිය කඩ මණ්ඩිය තිබී ඇත්තේ පැරණි යෝධ ඇළ බැම්මේ මෙපිටින්ය. එහෙත් දැන් එහි යෝධ ඇළක් තිබූ බවට හඳුනාගන්නට කිසිදු සලකුණක් නැත. නව ජයගඟ පසෙකින් අනෙක් ඉවුරේ ඇත්තේ මහවැලි අධිකාරියේ ජල පාලන කාර්යාලයයි. ඒ අසලින්ම ඇරඹෙන්නේ නව ජයගඟෙන් විහිදෙන අතුරු ඇළකි. ඒ අප මේ ගමනේදී සොයා ආ සුවිශේෂී මං සලකුණකි. ඒ මං සලකුණෙන් විහිදෙන අතුරු ඇළ තවත් නොබෝ දුරක් ගලා ගිය පසු ඉපැරණි යෝධ ඇළට සම්බන්ධ වේ. එතැන් සිට යළිත් රජ සමයේ ඉදිකළ යෝධ ඇළ දැකගන්නට අපට වරම් ලැබෙනු ඇත.
දැන් අප නව ජයගඟ දිගේ ආ ගමන අහවරය. මෙතැනින් ඔබ්බේ අපට හමුවන්නේ මහවැලි කලාපයක් නොවේ. මහවැලි කලාප සරු කරන්නට ඉදිවුණු නව ජයගඟ තලාවෙන් ඔබ්බට රාජංගනයටත්, කලාඔයටත් ජලය රැගෙන යද්දී එය මඟහැර අපේ අරමුණ වන ඉපැරණි යෝධ ඇළේ බැම්ම දිගේ නිදහසේ යන්නට අපට පුළුවන.
එහෙත් එක පිම්මේ ඒ ගමන අරඹන්නට අපට නොහැක්කේ මද ඉසිඹුවක් අවශ්‍ය නිසාය. වෙහෙසටත් වඩා දැනෙන්නේ මේ ඉසව්වේදී යෝධ ඇළ ගලා ගිය ආකාරය හඳුනාගැනීමේ අවශ්‍යතාවයි. අපි ජයගඟ හන්දියේ ඇති කුඩා වෙළඳසලකට ගොඩවී අපේ අවශ්‍යතාව පැහැදිලි කෙරුවෙමු.
“ඔය ජලපාලන කාර්යාලේ ගාවින් යන්න. වම් පැත්තේ හමුවෙන පළමු ගෙදර ඉන්නේ ස්ටීවන් මාමා. එයාගෙන් ඔක්කොම විස්තර අහගත හැකියි.”
අපි ඒ මං සලකුණු දිගේ ස්ටීවන් මාමා සොයා ගියෙමු.
යෝධ ඇළ දිගේ යන අපේ ගමනට එක් කළ යුතු යමක් ඔබටත් ඇත්නම් [email protected]
ලිපිනයෙන් අපට ලියන්න.
(සංචාරය සඳහා අවශ්‍ය පාපැදි සම්බන්ධීකරණය කළ එප්පාවල සුනිල් විල්සන් මහතාටත්, සම්බන්ධීකරණ කටයුතු කල තලාව ප්‍රදේශිය සභා උප සභාපතිතුමා ඇතුළු අදහස් දැක්වූ ගම්වැසියන්ටත් ස්තූතියි!)
[email protected]
ඡායාරූප - චතුර හේමාල්