
නාඳුනන මිතුරා
පිටරටක වෙසෙන මා මිතුරෙක් මා අමතා කලක පටන් මා සොයමින් සිටින පොතක් තමාට හමු වූ බවත්, එය අද හෙට මෙරටට එන තමා ගේ මිතුරකු අත මවෙත එවන බවත් කීවේ ය.
මම ඒ ආරංචියෙන් පිනා ගියෙමි.
නමුත් ඊළඟ සතියේ ඔහු මා අමතා කීයේ පොරොන්දු වූ පරිදි සිය මිතුරා අත පොත එවූ නමුත් හදිසියේ ඔහුට ආපසු එන්නට සිදු වූ බැවින් පොත මට ලබා දෙන ලෙස දන්වා ඔහු ගේ තවත් මිතුරකුට එය බාර දී ඇති බව ය.
දෙසතියකට පමණ පසු මා දුර ගමනක් ගොස් ආපසු ගෙදර ආ විට අර පොත මගේ මේසය මත තිබෙනු දැක මම පුදුම වීමි.
‘අර එනව කියපු යාළුව ආව පුතේ!’ අම්මා හිනැහීගෙන මවෙත ආවා ය.
‘ අපරාදෙ! එයා කලින් මට කෝල් එකක් දීල තිබුණ නං මට ඉන්ඩ තිබුණනෙ’ මට කියැවිණ.
ඈ කී ආකාරයට අමුත්තා අපේ ගෙදර එන විට අම්මා පොල් අර්බුදයකට මුහුණ දී සිටියා ය. පසු දින පන්සලේ පේරු දානය ද යෙදී තිබුණු බැවින් කඩෙන් මිල දී නොගෙන වත්තේ ගසකින් ම පොල් කඩා ගැනීමට අම්මාට වුවමනා වී තිබිණ.
අම්මා ගේ තේ පැන් සංග්‍රහය ද බුක්ති විඳ සිය රියට නැග නොපෙනී ගිය අමුත්තා විනාඩි කිහිපයකින් ආපසු පැමිණ තිබුණේ පොල් කඩන කෙනෙකු ද සොයා ගෙන ය. ඔහු ලවා ගසකින් පොල් කැඩ වූ අමුත්තා ඒවා කුස්සිය ළඟට ම ඇද දී ඔහු ද නංවා ගෙන ආපසු ගොස් තිබිණ.
මේ සිද්ධිය මගේ හිතේ කොපමණ ගැඹුරින් කෙටුණේ ද යත් මා බොහෝ කලකට පෙර කියවා ඇති නස්රුදීන් ගේ කතාවක් ද මට සිහිපත් විය.
නස්රුදීන් යනු මුසල්මානු සන්නාසියෙකි. උගතෙකි.
දිනක් ඔහු බෝට්ටුවකින් ගඟක් තරණය කරද්දී බෝට්ටුව පැදවූ මිනිසා සමඟ කතාවට වැටුණේ ය.
‘ඔබ ලියන්න කියන්න දන්නවද?’ නස්රුදීන් බෝට්ටුකරු ගෙන් ඇසුවේ ය.
‘මම කතා කරන්න දන්නව. එත් ලියන්න දන්නෙ නෑ’ බෝට්ටුකරු කීවේ ය.
‘ඔබේ ජීවිතේ හතරෙන් එකක් ම වැඩක් නැති විදිහටයි ගෙවිල තියෙන්නෙ! ඔබට ලියන්න බැරි නං කොහොමද ජීවිතේට දැනුම ලබා ගන්නෙ?’ නස්රුදීන් ඇසුවේ ය. එහෙත් බෝට්ටුකරු කිසිත් නොදොඩා සිනාවක් පෑවේ ය.
තව ටික දුරක් යන විට නස්රුදීන් තවත් ප්‍රශ්නයක් ඇසුවේ ය.
‘ඔබ ගණිත ශාස්ත්‍රය ගැන යමක් දන්නවද?’
‘අනේ නෑ. මං ඇඟිලි ගැණල තමයි ගණන් කරන්නෙ’ බෝට්ටුකරු කීවේ ය.
‘එකතුකිරීම අඩුකිරීමවත් දන්නෙ නැත්නම් කොහොමද ඔබ ජීවත් වෙන්නෙ? හම්බ කරන්න නම් ගණන් දැන ගත යුතුයි. නමුත් මොනවද ඔබ හම්බ කරල තියෙන්නෙ? ජීවිතේ නිරපරාදෙ ගෙවිල ගිහිං!‘ නස්රුදීන් මෙසේ කියන විට ම හදිස්සියේ හැමූ චණ්ඩ මාරුතයකට හසුවුණු බෝට්ටුව පෙරළී ගියේ ය. එවිට දෙදෙනා ම බෝට්ටුවේ එල්ලුණහ.
බෝට්ටුකරු නස්රුදීන් ගෙන් මෙසේ ඇසුවේ ය.
‘ඔබට පීනන්න පුළුවන්ද?’
‘මට පීනන්න බෑ’ නස්රුදීන් කීවේ ය.
‘අපෝයි ! ඔබේ මුළු ජීවියම විනාශයි. මම ලියන්න කියන්න දන්නෙ නෑ. ගණන් හදන්න දන්නෙත් නෑ. ඒත් මං පීනන්න දන්නව.මං දැන් පීනගෙන ගොඩට යනව. ඔබ ගණන් හද හදා ඉන්න!’ බෝට්ටුකරු නස්රුදීන් හැර දා පීනන්නට වූයේ ය.
ඉතින් අපි හිතන්න මතන්න, ලියන්න කියන්න වගේ ම පීනන්නත්, ගස් නගින්නත් පුරුදු විය යුතු නොවේ ද?
අනන්‍යතාව සඟවා සිටීමට කැමති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරනලද ලිපියක් ඇසුරෙනි.
ජීවකයාණෝ
‘අන්න අර කෙනා දිහෑ හොඳට බලන්ඩ!’ නගරයේ දී මිතුරෙක් මගේ අවධානය එක්තරා පුද්ගලයෙකු වෙත යොමු කළේ ය.
මගේ නෙත ගැටුණේ එතරම් පෙනුමක් නැති කෙට්ටු මිනිසෙකි. අත්දිග කමිසක් හා ටයි පටියක් පැලඳ සිටි හේ රියට නැගී නොපෙනී ගියේ ය.
‘එයා ඩොක්ටර් කෙනෙක්’ කී මා මිතුරා අතිත කතාවක් සිහිපත් කළේ ය.
ඒ මෙසේ ය.
වසර ගණනාවකට පෙර මමිතුරා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි මොහොතක මේ වෛද්‍යවරයා වාට්ටුවට පැමිණියේ ය. ඊට කලින් කවුරුත් ඔහු දැක නොතිබුණු බැවින් ඒ මොහොතේ ඔහු වෛද්‍යවරයකු ද කියාවත් රෝගීහු නොදැන සිටියහ. වෛද්‍යවරයා හෘද රෝගීන් ගේ ඇඳ පා පතෙහි වූ කවරවලින් ලේඛන ඇද පිරික්සන්නට වූයේ ය.
‘කෝ මේ ලෙඩා?’ වෛද්‍යවරයා හිස් ඇඳක් පෙන්වා සෙසු රෝගීන් ගෙන් ප්‍රශ්න කළේ ය. ටික වෙලාවක දී අදාළ රෝගියා සොයා ගැනීමට හැකි විය.
‘ඔයාගෙ ඊ සී ජී එකේ ප්‍රශ්නයක් තියනව. ඒ හින්ද ඔයාව වහාම දැඩි සත්කාර ඒකකයට යවන්ඩ වෙනව’ වෛද්‍යවරයා තරයේ කියා සිටියේ ය.
‘ඩොක්ටර් මගෙ අනිත් ඊ සී ජී පටි හොඳයිනෙ’ තරුණ ලෙඩා හරස් විය.
‘ඒ වුණාට ඉස්සෙල්ල ගත්තු එක හොඳ නෑනෙ. ඒක ප්‍රශ්නයක්’
ලෙඩා වහා මාරු කැරිණ. වෛද්‍යවරයා ඉන් පසු දැක ගත නොහැකි විය.
මගේ මිතුරා සනීප වී ගෙදර ගියේ ය.
මාස හයකට පමණ පසු දිනක් හදිසියේ ඔහුට අර තරුණ රෝගියා නගරයේ දී මුණ ගැසිණ.
‘මතකද?’
‘මතකයි’
‘එදා අර ඩොක්ටර් මගෙ ඊ සී ජී එක හොඳ නෑ කියල දැඩි සත්කාරෙට දැම්ම මතකද?’
‘මතකයි‘
‘ඉන් පස්සෙ මාව කොළඹ යැව්ව.එහෙදි ආයෙත් ඇටෑක් එකක් ඇවිත් වහාම බයිපාස් එකක් කෙරුව. දැන් මට හොඳයි. එදා ඒ ඩොක්ටර් මාව දැඩිසත්කාරෙට මාරු කරපු වෙලේ ‘‘මේ යකා නැති ලෙඩක් දැම්ම“ කියල මං හරි තරහින් හිටියෙ. එහෙම කරපු එක ගැන මට දැං ලැජ්ජයි. ඇත්තටම එයා තමයි මගෙ ජීවිතේ බේරගන්ඩ මුල් වුණේ. පස්සෙ දවසක මං එයාව හොයාගෙන ගිහින් අත් දෙක අල්ලල ඉඹ ගත්ත‘
මේ කතාව ඇසූ මම මොහොතකට පෙර මා ඉදිරියේ පෙනී නොපෙනී ගිය අර මිනිස් රුව මවා ගැනීමට වෙර ගතිමි.
රූපය ලස්සන දෙවිවරුන් සිටින්නේ දේවාලවලය. අප අතර සිටින සැබෑ දෙවිවරුන් ගේ හැඩ රුව ලස්සන නැත.
අනන්‍යතාව සඟවා සිටීමට කැමති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.