නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

නාඳු­නන මිතුරා

පිට­ර­ටක වෙසෙන මා මිතු­රෙක් මා අමතා කලක පටන් මා සොය­මින් සිටින පොතක් තමාට හමු වූ බවත්, එය අද හෙට මෙර­ටට එන තමා ගේ මිතු­රකු අත මවෙත එවන බවත් කීවේ ය.

මම ඒ ආරං­චි­යෙන් පිනා ගියෙමි.

නමුත් ඊළඟ සතියේ ඔහු මා අමතා කීයේ පොරොන්දු වූ පරිදි සිය මිතුරා අත පොත එවූ නමුත් හදි­සියේ ඔහුට ආපසු එන්නට සිදු වූ බැවින් පොත මට ලබා දෙන ලෙස දන්වා ඔහු ගේ තවත් මිතු­ර­කුට එය බාර දී ඇති බව ය.

දෙස­ති­ය­කට පමණ පසු මා දුර ගම­නක් ගොස් ආපසු ගෙදර ආ විට අර පොත මගේ මේසය මත තිබෙනු දැක මම පුදුම වීමි.

‘අර එනව කියපු යාළුව ආව පුතේ!’ අම්මා හිනැ­හී­ගෙන මවෙත ආවා ය.

‘ අප­රාදෙ! එයා කලින් මට කෝල් එකක් දීල තිබුණ නං මට ඉන්ඩ තිබු­ණනෙ’ මට කියැ­විණ.

ඈ කී ආකා­ර­යට අමුත්තා අපේ ගෙදර එන විට අම්මා පොල් අර්බු­ද­ය­කට මුහුණ දී සිටියා ය. පසු දින පන්සලේ පේරු දානය ද යෙදී තිබුණු බැවින් කඩෙන් මිල දී ‍නොගෙන වත්තේ ගස­කින් ම පොල් කඩා ගැනී­මට අම්මාට වුව­මනා වී තිබිණ.

අම්මා ගේ තේ පැන් සංග්‍ර­හය ද බුක්ති විඳ සිය රියට නැග නොපෙනී ගිය අමුත්තා විනාඩි කිහි­ප­ය­කින් ආපසු පැමිණ තිබුණේ පොල් කඩන කෙනෙකු ද සොයා ගෙන ය. ඔහු ලවා ගස­කින් පොල් කැඩ වූ අමුත්තා ඒවා කුස්සිය ළඟට ම ඇද දී ඔහු ද නංවා ගෙන ආපසු ගොස් තිබිණ.

මේ සිද්ධිය මගේ හිතේ කොප­මණ ගැඹු­රින් කෙටුණේ ද යත් මා බොහෝ කල­කට පෙර කියවා ඇති නස්රු­දීන් ගේ කතා­වක් ද මට සිහි­පත් විය.

නස්රු­දීන් යනු මුස­ල්මානු සන්නා­සි­යෙකි. උග­තෙකි.

දිනක් ඔහු බෝට්ටු­ව­කින් ගඟක් තර­ණය කරද්දී බෝට්ටුව පැදවූ මිනිසා සමඟ කතා­වට වැටුණේ ය.

‘ඔබ ලියන්න කියන්න දන්න­වද?’ නස්රු­දීන් බෝට්ටු­කරු ගෙන් ඇසුවේ ය.

‘මම කතා කරන්න දන්නව. එත් ලියන්න දන්නෙ නෑ’ බෝට්ටු­කරු කීවේ ය.

‘ඔබේ ජීවිතේ හත­රෙන් එකක් ම වැඩක් නැති විදි­හ­ටයි ගෙවිල තියෙන්නෙ! ඔබට ලියන්න බැරි නං කොහො­මද ජීවි­තේට දැනුම ලබා ගන්නෙ?’ නස්රු­දීන් ඇසුවේ ය. එහෙත් බෝට්ටු­කරු කිසිත් නොදොඩා සිනා­වක් පෑවේ ය.

තව ටික දුරක් යන විට නස්රු­දීන් තවත් ප්‍රශ්න­යක් ඇසුවේ ය.

‘ඔබ ගණිත ශාස්ත්‍රය ගැන යමක් දන්න­වද?’

‘අනේ නෑ. මං ඇඟිලි ගැණල තමයි ගණන් කරන්නෙ’ බෝට්ටු­කරු කීවේ ය.

‘එක­තු­කි­රීම අඩු­කි­රී­ම­වත් දන්නෙ නැත්නම් කොහො­මද ඔබ ජීවත් වෙන්නෙ? හම්බ කරන්න නම් ගණන් දැන ගත යුතුයි. නමුත් මොන­වද ඔබ හම්බ කරල තියෙන්නෙ? ජීවිතේ නිර­ප­රාදෙ ගෙවිල ගිහිං!‘ නස්රු­දීන් මෙසේ කියන විට ම හදි­ස්සියේ හැමූ චණ්ඩ මාරු­ත­ය­කට හසු­වුණු බෝට්ටුව පෙරළී ගියේ ය. එවිට දෙදෙනා ම බෝට්ටුවේ එල්ලු­ණහ.

බෝට්ටු­කරු නස්රු­දීන් ගෙන් මෙසේ ඇසුවේ ය.

‘ඔබට පීනන්න පුළු­වන්ද?’

‘මට පීනන්න බෑ’ නස්රු­දීන් කීවේ ය.

‘අපෝයි ! ඔබේ මුළු ජීවි­යම විනා­ශයි. මම ලියන්න කියන්න දන්නෙ නෑ. ගණන් හදන්න දන්නෙත් නෑ. ඒත් මං පීනන්න දන්නව.මං දැන් පීන­ගෙන ගොඩට යනව. ඔබ ගණන් හද හදා ඉන්න!’ බෝට්ටු­කරු නස්රු­දීන් හැර දා පීන­න්නට වූයේ ය.

ඉතින් අපි හිතන්න මතන්න, ලියන්න කියන්න වගේ ම පීන­න්නත්, ගස් නගි­න්නත් පුරුදු විය යුතු නොවේ ද?

අන­න්‍ය­තාව සඟවා සිටී­මට කැමති සිළු­මිණ පාඨ­ක­යකු විසින් යොමු කර­න­ලද ලිපි­යක් ඇසු­රෙනි.


ජීව­ක­යාණෝ

‘අන්න අර කෙනා දිහෑ හොඳට බලන්ඩ!’ නග­රයේ දී මිතු­රෙක් මගේ අව­ධා­නය එක්තරා පුද්ග­ල­යෙකු වෙත යොමු කළේ ය.

මගේ නෙත ගැටුණේ එත­රම් පෙනු­මක් නැති කෙට්ටු මිනි­සෙකි. අත්දිග කමි­සක් හා ටයි පටි­යක් පැලඳ සිටි හේ රියට නැගී නොපෙනී ගියේ ය.

‘එයා ඩොක්ටර් කෙනෙක්’ කී මා මිතුරා අතිත කතා­වක් සිහි­පත් කළේ ය.

ඒ මෙසේ ය.

වසර ගණ­නා­ව­කට පෙර මමි­තුරා රෝහ­ල්ග­තව ප්‍රති­කාර ලබ­මින් සිටි ‍මො­හො­තක මේ වෛද්‍ය­ව­රයා වාට්ටු­වට පැමි­ණියේ ය. ඊට කලින් කවු­රුත් ඔහු දැක නොති­බුණු බැවින් ඒ මොහොතේ ඔහු වෛද්‍ය­ව­ර­යකු ද කියා­වත් රෝගීහු නොදැන සිටි­යහ. වෛද්‍ය­ව­රයා හෘද රෝගීන් ගේ ඇඳ පා පතෙහි වූ කව­ර­ව­ලින් ලේඛන ඇද පිරි­ක්ස­න්නට වූයේ ය.

‘කෝ මේ ලෙඩා?’ වෛද්‍ය­ව­රයා හිස් ඇඳක් පෙන්වා සෙසු රෝගීන් ගෙන් ප්‍රශ්න කළේ ය. ටික වෙලා­වක දී අදාළ රෝගියා සොයා ගැනී­මට හැකි විය.

‘ඔයාගෙ ඊ සී ජී එකේ ප්‍රශ්න­යක් තිය­නව. ඒ හින්ද ඔයාව වහාම දැඩි සත්කාර ඒක­ක­යට යවන්ඩ වෙනව’ වෛද්‍ය­ව­රයා තරයේ කියා සිටියේ ය.

‘ඩොක්ටර් මගෙ අනිත් ඊ සී ජී පටි හොඳ­යිනෙ’ තරුණ ලෙඩා හරස් විය.

‘ඒ වුණාට ඉස්සෙල්ල ගත්තු එක හොඳ නෑනෙ. ඒක ප්‍රශ්න­යක්’

ලෙඩා වහා මාරු කැරිණ. වෛද්‍ය­ව­රයා ඉන් පසු දැක ගත නොහැකි විය.

මගේ මිතුරා සනීප වී ගෙදර ගියේ ය.

මාස හය­කට පමණ පසු දිනක් හදි­සියේ ඔහුට අර තරුණ රෝගියා නග­රයේ දී මුණ ගැසිණ.

‘මත­කද?’

‘මත­කයි’

‘එදා අර ඩොක්ටර් මගෙ ඊ සී ජී එක හොඳ නෑ කියල දැඩි සත්කා­රෙට දැම්ම මත­කද?’

‘මත­කයි‘

‘ඉන් පස්සෙ මාව කොළඹ යැව්ව.එහෙදි ආයෙත් ඇටෑක් එකක් ඇවිත් වහාම බයි­පාස් එකක් කෙරුව. දැන් මට හොඳයි. එදා ඒ ඩොක්ටර් මාව දැඩි­ස­ත්කා­රෙට මාරු කරපු වෙලේ ‘‘මේ යකා නැති ලෙඩක් දැම්ම“ කියල මං හරි තර­හින් හිටියෙ. එහෙම කරපු එක ගැන මට දැං ලැජ්ජයි. ඇත්ත­ටම එයා තමයි මගෙ ජීවිතේ බේර­ගන්ඩ මුල් වුණේ. පස්සෙ දව­සක මං එයාව හොයා­ගෙන ගිහින් අත් දෙක අල්ලල ඉඹ ගත්ත‘

මේ කතාව ඇසූ මම මොහො­ත­කට පෙර මා ඉදි­රියේ පෙනී නොපෙනී ගිය අර මිනිස් රුව මවා ගැනී­මට වෙර ගතිමි.

රූපය ලස්සන දෙවි­ව­රුන් සිටින්නේ දේවා­ල­ව­ලය. අප අතර සිටින සැබෑ දෙවි­ව­රුන් ගේ හැඩ රුව ලස්සන නැත.

අන­න්‍ය­තාව සඟවා සිටී­මට කැමති සිළු­මිණ පාඨ­ක­යකු විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

Comments