අපි දෙන්නා යාළු පණේ කටුයි මසුයි වාගේ සෙනේ | Page 2 | සිළුමිණ

අපි දෙන්නා යාළු පණේ කටුයි මසුයි වාගේ සෙනේ

මන­සින් උසස්ම සත්ත්වයා මිනිසා යැයි කීවද බොහෝ අව­ස්ථා­වල මිනි­සාට පාඩම් ඉගෙන ගැනී­මට සිදු­වන්නේ සතුන් ගෙනි. උගත් බුද්ධි­මත් මිනි­සාට ඉතා හොඳ වැද­ගත් පාඩම් කියා දෙන්නේ තිරි­ස­නුන් නම් මිනි­සාගේ බුද්ධිය තරා­ති­රම හා මනු­ස්ස­කම ගැන යළි යළිත් සිතා බැලිය යුතු වෙයි.

වවු­නි­යාවේ වෙප්ප­න්කු­ලම ගම්මා­න­යට බොහෝ දෙනෙක් මේ දින­වල ඇදී යන්නේ සතුන් දෙදෙ­නෙ­කු­ගෙන් පාඩම් ඉගෙන ගැනී­ම­ටය. බොහෝ මිනි­සුන් මේ සතුන් දෙදෙ­නාගේ ක්‍රියා­කා­ර­කම් හා හෙයි­ය­ම්මාරු දැක කොක් හඬලා සිනා­සෙ­නවා මිස එතැ­නින් ද පාඩ­මක් ඉගෙන ගන්නා බවක් පෙනෙ­න්නට නැත.

වෙප්ප­න්කු­ලමේ සුන්ද­ර­ම්පි­ල්ලේගේ නිවෙස මේ දින­වල පොඩි­ත්ත­න්ගෙන් පිරී ඉතිරී ගොසිනි.ඒ ආද­රය දයාව කරු­ණාව හා එකි­නෙ­කාට ගරු­ක­රන අන්දම කියා දෙන සතුන් දෙදෙ­නෙ­කුගේ හුර­ත­ලය බැලී­ම­ටය.

‘බෝරා’ නමින් හදු­න්වන්නේ බල්ලෙකි. විවිධ වර්ග­වල සුවි‍ශේෂ බල්ලන් සිටි­යත් මේ බෝරා නිකම්ම නිකන් ‘වල්ටේ­ෂන්’ බල්ලෙකි. ඒත් බෝරා ක්‍රියා­වෙන් පෙන්වන්නේ ‘බලු වැඩ­ව­ලට’වඩා ඉතා හොඳ ගති ගුණය. ‘කන්නන්’ යනු දෙමළ පිරිමි නමක් වුව වෙප්ප­න්කු­ලමේ සුන්ද­ර­ම්පි­ල්ලේගේ නිවෙසේ සිටින කන්නන් පුංචිම පුංචි රිලා පැටි­යෙකි.

සත්ත්ව ලෝකයේ හැසි­රීම් ගැන කියන මිනිසා විස්තර කරන්නේ බල්ලාත් රිල­වාත් එකි­නෙ­කාට විරුද්ධ වූ සතුරු සතුන් දෙදෙ­නෙකු බවයි. මේ කතාවේ සත්‍ය­තාව වන්නි­යේදී දක්නට ලැබෙයි. වන්නියේ හේන් ගොවි­යන් තම හේන රිල­වු­න්ගෙන් ආරක්ෂා කර­ගැ­නීම සදහා යොදා ගන්නේ බල්ලෙකි. මුළු හේනේම අස්වැන්න ගෙට ගන්නා තාක් හේනේ ප්‍රබල ආර­ක්ෂ­කයා බල්ලාය.

බල්ලෙකු සිටින හේන­කට රිල­වුන් එන්නේ කලා­තු­ර­කිනි. රිලා රංචුව දුටු විගස බල්ලා ඔවුන් පසු­පස ලුහු බදියි. රිලා රැළ දුව­න්නට පටන් ගන්නේ පණ එපා කිය­මිනි. මේ යුද්ධ­යේදී රිල­වුන්ට බල්ලා­ගෙන් ගැල­වී­මට ඇති එකම අව­ස්ථාව වන්නේ ගස­කට නැඟ ගැනීම පමණි. බල්ලා­ගේත් රිල­වා­ගේත් ජීවි­ත­වල හතු­රු­කම මේ තරම් ඈතට දිව ගියත් වවු­නි­යාවේ වෙප්ප­න්කු­ලමේ සිටින බල්ලාත් රිල­වාත් අතර ඇත්තේ අපූරු මිතු­ද­මකි. පුදුම සෙන­හ­සකි.

බෝරාත් කන්න­නුත් එකි­නෙකා කෙරෙහි දක්වන්නේ අසී­මිත භක්ති­යකි. ඔවුන් දෙදෙනා එකි­නෙ­කාට ගරු කරන්නේ මිනි­සුන් තුළ නොමැති ඒ ගුණ­ධ­ර්මය සියලු දෙනා­ටම ප්‍රායෝ­ගි­කව කියා දීමෙනි.

නිවෙ­සට යන කව­රකු හෝ මේ දින­වල බෝරා කියා කතා කළත් කන්නන් කියා කතා කළත් දෙදෙනා පැමි­ණෙන්නේ එක­ව­රය.

කවු­රුන් හෝ කුමක් හෝ දීමට දෙදෙ­නා­ගෙන් එක් අයෙ­කුට කතා කළ සැණින් රිලා පැංචා බල්ලාගේ කරට ගොඩ වෙයි. බල්ලාගේ කරෙන් ඉතා තදින් අල්ලා ගන්නා රිලා පුංචා අශ්ව රේස් පදි­න්නාක් මෙන් ගම­නට සැර­සෙයි. ‘කීක්’හඬින් රිලා පුංචා දමන ශබ්ද­යෙන් කියන්නේ ඔහු සූදා­නම් බවයි. දැන් ගමන කොත­රම් හදිසි වුවත් ඔවුන් දෙදෙ­නාම යන්නේ මේ විදි­හ­ටය.

වෙප්ප­න්කු­ලමේ සුන්ද­ර­පි­ල්ලේගේ නිවෙ­සට එන පොඩි­ත්තන්ට මේ රංග­නය පෙන්වා බෝරා­ටත් කන්න­න්ටත් දැන් හොඳ­ටම හති වැටි­ලාය. මේ කතාව සිය දහ­ස්වා­ර­යක් යන එන මිනි­ස්සුන්ට තොර­තෝං­චි­යක් නැතුව පවසා සුන්ද­ර­පි­ල්ලෙ­ටද නිව­නක් නොමැත.

"මේ බලු­පැ­ටියා අපි ගෙදර හැදුවා. එයා සැර නෑ. ගෙද­රට කවු­රු­වත් ආවට බුර­න්නේ­වත් නෑ. මගේ දුවගේ පුතාගේ පොඩි ළමයි ඉන්නවා. ඒ අය ඉස්කෝලේ ඇරිලා ආව ගමන්ම මේ බල්ලා අල්ල­ගෙන අස්සයා පිටේ යනවා කියලා පිටේ නගි­නවා. බල්ලට මොන අස්ස ගමන්ද ඌ කම්මැ­ලියා නිදා ගන්නවා. එත­කොට පොඩි අය ඌට ගහ­නවා. ඒත් සද්ද­යක් නෑ ඔහේ ඉන්නවා. මේ ළම­යින්ම තමයි ඌට බෝරා කියලා නම දැම්මේ. බෝරාත් ළම­යින්ට ආද­රෙයි ළම­යි­නුත් බෝරාට ආද­රෙයි.

දැන් මාසෙ­කට විතර උඩදි අපේ ලොකු පුතා කැලේට ගියා කුකුල් කූඩු­ව­කට කෝටු කපන්න. කූඩුව හදලා තිබුණේ කෝටු ටිකක් මදි කියලා ඒක කප­න්නයි එයා ගියේ.

එයා එන­කොට කෝටුත් එක්ක මේ පුංචි රිලා­පැ­ටියා අරන් ආවා. එයා කිව්වේ ගහ­කින් වැටිලා හිටියා හරි­යට ඇවි­ද­ග­න්න­වත් බෑ ඒක හන්දා අරන් ආවයි කිය­ලයි. මම බැන්නා උඹට මොළේ නැද්ද මේ බල්ලෙක් ඉන්න තැන කොහො­මද රිල­වෙක් හදන්නේ බෝරා ඕකාව එක කටට ගිලියි කියලා.

පුතා මොකද කළේ කුකුල්ලු දාන්න හදපු කූඩු­වට තවත් කෝටු ටිකක් ගහලා රිලා පැටියා ඒකට දැම්මා. අපේ ළම­යි­න්ටත් ගමේ ළම­යි­න්ටත් දැන් හැම වෙලා­වෙම වැඩේ මේ කූඩුවේ ඉන්න රිල­වට එක එක දේවල් ගෙනැත් කවන එකයි සෙල්ලම් කරන දිහා බලා­ගෙන ඉන්න එකයි තමයි.

අපේම නෑයෙක් හිටියා කන්නන් කියලා . දැන් එයා මෙහෙ නෑ. එයා ඉන්නේ මාතලේ .පොඩි අය කිව්වේ මේ රිලා පැටි­යගේ මූණත් කන්නන් මාමා ගේ වගේ­මයි කිය­ලයි කොහොම හරි පොඩි අයම තමයි මෙයාට කන්නන් කියලා නම දාලා තියෙන්නේ.

දව­සක් පොඩි ළමයි අතින් කූඩුව ඇරිලා රිලවා පැන­ගෙන එළි­යට ආවා.ළමයි කෑ ගැහුවා රිලවා පැන්නා රිලවා පැන්නා කියලා.හොඳ වෙලා­වට මම ගෙදර හිටියා. මම එක පාර­ටම පැනලා බල්ල­ගෙන් අල්ල­ගෙන ළම­යින්ට කිව්වා රිලවා කූඩු­වට දාන්න කියලා.

රිලවා ළමයි අල්ල ගත්තා. බල්ලා රිලවා දිහා බලා­ගෙන කෙළ ගිලි­නවා. මට ලොකූ බයක් ඇති වුණා. දැන් මේකා පැනලා අල්ල­ගෙන කයි කියලා. මම ළම­යින්ට සැර කළා. ඔය රිලවා කූඩු­වට දාන්න කියලා. ළමයි එහෙම කළේ නෑ. මම ඕනේ එකක් කියලා බෝරාව අත ඇරියා. අනේ ඌත් රිලා පැටියා දිහා බලාන උන්නා නික­ම­ට­වත් බිරුවේ නෑ.

බෝරා නගුට වන වනා රිලවා දිහා බල­නවා. රිලා පැටියා ගුලි වෙලා බයේ ඉන්නවා. ඔහොම ඉන්න­කොට ළමයි තමයි රිලා පැටි­යව බෝරා ළගට කිට්ටු කළේ වෙන­සක් නෑ දෙන්නම හිටියා. ළමයි මේ දෙන්නම එක ළගට තිය­නවා ගන්නවා. ඔහොම සෙල්ලම් කළා. අනේ එදාම මේ දෙන්නා යාළු වුණා.

දැන් මේ දෙන්නා ගමන් යන්නේ එකට. දෙන්නම කන්නේ එක පිඟානේ. රිලව් නාවන රටක් නෑනේ මහ­ත්තයෝ දැන් බෝරාව නාව­න­කොට කන්නන් රිලා පුංච­වත් නාවන්න ඕනේ.

දැන් මම­වත් පුතා­වත් මේ දෙන්නා ගැන බලන්නේ නෑ. ඒකට දැන් මුළු ගමේම ළමයි ටික ඉන්නවා. ඉස්කෝලේ ඇරුණු ගමන් එයා­ලගේ වැඩේ මේ දෙන්නගේ හුර­තල් බලන එක.

මේ අය ඉස්කෝලේ ගිහින් මේ කතාව කියලා. දැන් කට්ටිය එනවා මේ දෙන්නව බලන්න. හැබැයි ඉස්ස­ර­වෙලා බලන්න ආව අය නිකන්ම ආවත් දෙවනි සැරේ එන­කොට මේ දෙන්නට කන්න මොනව හරි අරන්ම තමයි එන්නේ.

බිස්කට් බනිස් කියන දෙවල් මේ දෙන්නට පෙන්න­න්නම බෑ. දෙන්නම එකතු වෙලා තමයි කන්නේ. බෝරාට එව්වා බිම දාගෙන කන්න කන්නා ඉඩ දෙන්නේ නෑ. කන්නා අතින් තමයි බෝරාට කවන්නේ. මේක මහා පුදුම බැඳී­මක්. ඉස්සර ආත්මෙක මේ දෙන්නම මිනිස්සු වෙලා ඉන්න ඇති කිය­ලයි හැමෝම කියන්නේ.”

කවු­රුන් කුමක් කීවත් අපට මේ දෙදෙ­නාගේ බැඳීම අව­බෝධ කර­ගත නොහැ­කිය.

දෙදෙනා එකට එක්ව හැසි­රෙති. නමුත් මිනි­සුන් තුළ නොමැති බොහෝ ගුණ ධර්ම අපට කියා දෙති.

රසුල දිල්හාර ගමගේ

Comments