
* මෙය මගෙන් සමාජයට වියයුතු සේවයක්...
* කොහේවුණත් කමක් නෑ නයා මරන්න එපා අල්ලා කැලේට මුදාහරින්න මං එන්නම්
විසකුරු සර්පයකු දුටු කල ඕනෑම අයෙකු තැති ගන්නෙ නිරායාසයෙනි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයෙහි නියුතු හපුතලේ වෙසෙන රංගන ද ඉකුත් දිනවල සිය නිවෙස අවට සැරිසැරු නාගයෙකු නිසා මහත් පීඩාවකට පත්ව සිටියේය. ඔහු එම විසකුරු සර්ප පීඩනයෙන් මිදීමට නොයෙක් නොයෙක් ක්‍රම සහ විධි සෙවීය. ඒ කිසිවකින්වත් පලක් නොවෙද්දී ඔහු සිළුමිණ ඇමතූයේ මීට පෙර අප පුවත්පතෙන් දුන් හෝඩුවාවක් සිහිපත් වීමෙනි.
“පසුගිය දිනවල එක්වරම ගෙදරට විශාල නාගයෙක් එන්න ගත්තා.
ඌ කිසිම කෙනෙකුට බයත් නෑ. කොච්චර සෙනඟ ගැවසුණත් එනවා. බොහෝ දවස්වල දෙතුන් සැරේ දකිනවා. මගේ බබත් තවම පොඩියි. අවුරුදු පහයි. වත්තෙපිටියෙ දුවන වයසනේ. ඌව දැක්කොත් එයා අල්ලන්නත් යයි. බිරියයි මායි වැඩට ගියාම දරුවා ආච්චියි සීයයි එක්ක ඉන්නෙ. ඒක නිසා අපි ලොකු ප්‍රශ්නෙකට මුහුණ දීලා හිටියේ මේ සතා නිසා. හැමෝම කිව්වා ගහලා මරලා දාන්න කියලා. ඒත් මං කිසිසේත්ම කැමැති වුණේ නෑ ඌ මරනවට. ඒත් ඉතින් නයෙක්නේ. පෑගුණොත්හරි ගෙයි අස්සකට රිංගුවොත් හරි හිතාගන්න පුළුවන්නේ වෙන දේ. පස්සෙ මට ‘සිළුමිණ’ පුවත්පතේ පළවුණු නයෙක්නම් අමතන්න ලිපිය මතක් වුණා. ඒ ලිපිය කියවනකොට මං හිතුවේ නෑ කවදාකවත් මේ වගේ ප්‍රශ්නෙකට අපටත් මුහුණ දෙන්න වෙයි කියලා. අන්තිමට මං අන්තර්ජාලයෙන් ලිපිය ආයෙත් කියෙව්වා.”
ඒ අනුව රංගනගේ නයි කරදරේට විසඳුම් සෙවීමට ඉදිරිපත් වූයේ අප 2017 මාර්තු 12 වැනිදා සිළුමිණ පුවත්පතින් හෙළි කළ 'නයෙක්නම් අමතන්න' ලිපියේ කතා නායක වූ පොල්ගස්ඕවිට වෙසෙන ලෙස්ලි පෙරේරා මහතා ය.
“මම හපුතලේ ඉඳන් කිලෝමීටර් සීය ගාණක් දුර පොල්ගස්ඕවිටට ගිහින් ලෙස්ලි මහත්මයා එක්කගෙන ආවා... පැය තුන හතරක් ඒ මහත්මයා නයා හෙව්වා... හම්බ වුණේ නෑ. අන්තිමට නැවතත් ලෙස්ලි මහත්මයා පොල්ගස්ඕවිටට ගිහින් බස්සන්න ගියා. මං මේ නයි කරදරේ නිසාම ගෙදරට සීසීටීවී කැමරාත් සවි කරලා තිබුණේ. පස්සෙ ඔය දවසේ හවස පහට විතර කැමරාවකට නයාගේ දසුන් හසුවෙලා තිබුණා... එතකොට මම ලෙස්ලි මහත්තයා සමඟ රත්නපුරේ හරියේ යමින් හිටියේ.. ලෙස්ලි මහත්මයා ‘යං යං හරවගෙන යමු... කොහොමහරි එදා රෑ ඌව අල්ලගන්න බැරිවුණා. පහුවෙනිදා මෙන්න උදේ ඉඳන්ම නයා සෝදිසි කළා. කොහේද අස්සක ඉඳලා ලෙස්ලි මහත්තයා නයා අල්ලගෙන ආවා. දැක්කම බය හිතෙනවා අඩි පහහමාරක් විතර ඇති. මං අදටත් සතුටු වෙනවා නයා මරන්නෙ නැතිව අල්ලලා කැලේට ගිහින් දාන්න ලැබිච්ච එක ගැන... ඒ සියලුම දේ කරගන්න ලැබුණේ ලෙස්ලි මහත්තයා වගේම සිළුමිණ පුවත්පත නිසා... හැමෝටම පින්.”
විසකුරු සර්පයකු දුටු කල තැති ගන්නා මෙරට වෙසෙන ඕනෑම අයකු වෙනුවෙන් එලෙස කැප වනුයේ මහජන බැංකු සේවයෙන් පසුව විශ්‍රාම සුවයෙන් පසුවන 73 හැවිරිදි ලෙස්ලි මහතාය. අප පුවත්පත් ලිපියත් සමඟින් ගෙවී ගිය කාලය තුළදී සිය ගණනක් දෙනා ඔහු අමතා ඔහුගේ සේවය ලබා ගෙන ඇත්තාහ.
“ඇත්තටම සිළුමිණ ලිපියෙන් පස්සෙ බොහෝ දෙනෙක් මට කතා කළා. මං ඒ ගැන ගොඩක් සතුටු වෙනවා... මිනිස්සු සර්පයෝ මරන්නෙ නැතිව මට කතා කරන එක ගැන මට තියෙන්නේ සතුටක්. ඒ වගේම ඒ හැම දෙනාගේම පාහේ සර්ප කරදරවලට පිළියම් දෙන්නත් මට හැකිවුණා. හැතැප්ම සිය ගණන් දුර ගෙවාගෙන සමහරු ආවා මාව රැගෙන යන්න. මං කියන්නෙ සර්පයන්ගේ චර්යා රටාව සහ උන්ගෙන් හිරිහැරයක් නොවන ආකාරයට හැසිරෙන අන්දම ගැන මහජනයා දැනුවත්ව සිටිනවා නම් කරදර අඩුයි.”
ඔහු විසින්ම නිර්මාණය කරගත් උපකරණ කට්ටලයක් ඇසුරෙන් සර්පයන් අල්ලා කැලෑවලට මුදාහරින හෙතෙම ඉන් හුදෙක් ආත්ම තෘප්තියක් මිස කිසිම ලාබ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකරයි. සර්ප පීඩාවලට ලක්ව සිටින අය වෙනුවෙන් ඔහු කැපව සිටින්නේ දිවා රාත්‍රී නොබලාය.
නාගයන් හා වෙනත් සර්පයන් බොහෝවිට අපට දකින්නට ලැබෙන්නේ ගම්බද හා ජනාකීර්ණ පරිසරයෙන් බැහැරව යැයි අප සිතුවත් බොරැල්ලෙ වෙසෙන 59 හැවිරිදි සුසිලා මහත්මියට මෑතදී නාගයකු නිසා අත්විඳින්නට වූයේ සැබෑම හිරිහැරයකි.
“අපට ලෙස්ලි මහත්තයා සම්බන්ධ කරගන්න ලැබුණේ සිළුමිණ පුවත්පත නිසා. අපි ඉන්න මේ නාගරික පැත්තේ සර්පයෝ ඉන්නවා කිව්වට කිසිදු කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ. ඒත් මීට මාස දෙකකට විතර කලින් මිදුල අතුගානකොට තමයි උග්‍ර විෂ සහිත තිත් පොළඟව දැක්කෙ. අපි වගකිව යුතු ආයතන කීපයකටම කතා කළා. ඒ කිසිම තැනකින් ස්ථිර පිළිතුරක් ලැබුණේ නෑ. පස්සෙ මට මතක් වුණා සිළුමිණේ ලිපිය ගැන. අනේ මං ලෙස්ලි මහත්තයා ඇමැතුව විගස අපේ ගේ හොයාගෙන ආවා. ඔහු දැක්ක ගමන් කිව්වෙ, මේ උග්‍ර විෂ සහිත තිත් පොළඟෙක් කියලා. බලනකොට අඩි තුනහමාරක් විතර දිගයි. ඔහු සතා අල්ලලා කැලේට ගිහින් අතහැරලා දැම්මා. ඇත්තටම ඒ මහත්තයා හම්බ නොවුණානම් අපි තවමත් ලොකු කරදරේක ඉන්නෙ. ඒ වගේම එතුමා නිසා සර්පයන්ටත් කරදරයක් වෙන්නෙ නෑ. ඒක තමයි වැදගත්ම දේ.”
සර්ප කරදරවලින් පීඩා විඳින අයට මෙන්ම සර්පයෙකු දෂ්ට කළහොත් කළ යුතු මූලිකම දේ ගැන ලෙස්ලි පෙරේරා මහතා මහජනතාව දැනුම්වත් කරන්නේය.
“මං මේ අවුරුද්දට විතරක් නිවෙස් ආශ්‍රිතව සිටි උග්‍ර විෂ සහිත සර්පයෝ 67 දෙනෙක් අල්ලලා කැලෑවලට මුදාහැරියා. වැඩිපුරම නාගයන් තමයි. මම ජනතාවගෙන් ඉල්ලන එකම දේ සර්පයෝ මරන්න එපා. උන් පරිසරයේ සමතුලිතතාවට අත්‍යවශ්‍යම කොට්ඨාසයක්. ඒක නිසා ඕනෑම අයෙක් ඕනෑම වෙලාවක ඕනෑම තැනකට මට කතා කරන්න. මම පුළුවන් ආකාරයෙන් මගේ සේවය ලබා දෙනවා. ඒ වගේම සර්පයෙක් කෑවොත් අනිවාර්යයෙන්ම කළ යුතු මූලිකම ප්‍රතිකර්ම ගැන සෑම අයෙක්ම දැනුවත්ව සිටිය යුතුමයි. ඉක්මනින්ම සර්පයා කෑ ස්ථානය ගලා යන වතුරෙන් සෝදා රෝගියා හැකිතරම් නිශ්චලව තබමින් රජයේ රෝහලකට රැගෙන යෑම තමයි කළ යුතුම දේ.”
නයෙක් ගොදුරකට පැමිණිවිට කෙසේවත් එය අත්හැර නොයයි. පලවා හැරියද ගොදුර ඩැහැ ගැනීම සඳහා යළි පැමිණීම බොහෝ නයින්ගේ සිරිතය. මෙවැනි චර්යා දැන සිටීමෙන් නයකු අල්ලා මෙල්ල කර ගැනීම පහසුවන බව ලෙස්ලි මහතා පවසයි.
සර්ප දෂ්ටන අත්දැකීමක් ඔහුට ද ඇත්තේ නාගයකු ඇල්ලීමට ගොස් සිදුවූ අතපසුවීමකින් නාගයා ඔහුගේ අත් දෙකම දැඩිව සපා කෑ නිසාය.
“මං එදා බේරුණේ මගේ දැනුවත්බව නිසා වගේම ඉක්මනින්ම රජයේ රෝහලකට ගිය නිසයි.”
සර්ප කරදරයකට කෙනෙකු මුහුණ පෑවොත් ඉන් මුදාගැනීමට ලෙස්ලි පෙරේරාගේ සේවය දිවා රෑ නොබලා ඕනෑම මොහොතක ලබා දෙන වග පසුගිය දිනෙක මාද අත්දුටුවේය. ඒ පසුගිය දිනෙක රාත්‍රියේ මාගේ නිවෙසටද පැමිණි විශාල නාගයෙකු අල්ලා ගැනීමට ඔහු කළ හපන්කම නිසායි.
විසකුරු සර්පයකුගෙන් පීඩා විඳින ඕනෑම අයකු හෝ ඔහු වෙතින් සර්පයන් ඇල්ලීමේ දැනුම ලබා ගැනීමට හෝ කැමති අයකු වෙත්නම් 0715990841 දුරකථන අංකයෙන් ලෙස්ලි පෙරේරා මහතා ඇමැතිය හැකිය.