
එප්පාවල ඇඳගල හන්දියේ සිට නල්ලමුදාව හරහා තිරප්පනේට යන ප්‍රධාන පාරේ කිලෝමීටරයක් දුරින් පැරණී යෝධ ඇළේ නටඹුන් දැකිය හැකිය. එහි යෝධ ඇළේ බැම්ම වසා වැටවල් ගසා වෙන්කර ගෙන ඇත්තේ යාබදව පදිංචිව සිටින රජරට වැසියන්ය. සමහරු කෙසෙල් වවා තිබේ. සමහරු කුඹුරු සකසාගෙන තිබේ. තවත් සමහරු අබලි ගොඩනැගිලි ද්‍රව්‍ය හා පස් ආදිය පුරවා යෝධ ඇළ ඉඩකඩ ගොඩ කරමින් තම ඉඩමේ වපසරිය පුළුල් කොටගෙන තිබේ. පැරණි යෝධ ඇළට ඔච්චම් කරමින් සරුසාරයට ගලන නව ජයගඟේ පාලම හමුවන්නේ එතැන් සිට තවත් මීටර දෙසීයක් පමණ ගිය තැනය.
එම පාලමෙන් එගොඩ වූ තැනම නව ජයගඟට මායිම්ව ඇත්තේ රාජු අයියාගේ තේ කඩයයි. තේ කඩයට අමතරව රාජු අයියා නැවුම් කිරි රැස් කිරීමේ මධ්‍යස්ථානයක්ද පවත්වාගෙන යයි.
“මහඉලුප්පල්ලම ගල්මඩුව, අලුත්වැව, මැදගම, ඇඳගල, කෝන්වැව හරියේ තමයි කිරිගව පාලනය සහ මී ගව පාලනය සිද්ධ වෙන්නේ. මමත් පෞද්ගලික සමාගමක කිරි එකතු කරන නියෝජිතයෙක්. දැනට අපි හොඳම කිරි ලීටරයකට රුපියල් හැත්තෑවක් ගෙවනවා. දවසකට කිරි ලීටර් හත් අටසියයක් එකතු වෙනවා ඒ කිරි උදේ දහය වෙනකොට ලොරිය ඇවිත් අරගෙන යනවා.”
යෝධ ඇළ නැති කරලා අවුරුදු 40ක්
යෝධ ඇළ රක්ෂිතය යනු එප්පාවල පොස්පේට් නිධිය පිහිටි වන ගොමුවයි. එය ඇරැඹෙන්නේ මේ ඉසව්වෙනි. ඒ නිසා කිරි ගව පාලනයටත්, මී ගව පාලනයටත් අවශ්‍ය ආහාර සපයාගැනීම මේ ඉසව්වේදී දුෂ්කර වන්නේ නැත. නව ජයගඟෙන් යෝධ ඇළ වෙනස් වෙන ඉසව් ගැනත්, යෝධ ඇළට අත්වී ඇති ඉරණම ගැනත් අපි රාජු අයියාගෙන් විමසුවෙමු.
“යෝධ ඇළ මරලා දාලා දැන් අවුරුදු හතළිහක්. මිනින්දෝරුවො ඇවිත් මැනල මායිම් ලකුණු කරලා තිබ්බත් වටපිටාවේ මිනිස්සු යෝධ ඇළට අයිති ඉඩම් අල්ලගෙන ඉන්නවා කියන එක රහසක් නොවෙයි. බැම්මත්, ඇළට අඩි විස්සකුත් රිසවේෂන් විදිහට වෙන්කරලා තියෙන්නේ. ඒත් මහවැලියේ මහත්තයෙක් නිකමට බලල යන්න එන්නේ නෑ. ප්‍රාදේශීය ලේකම් එන්නෙත් නෑ. ඉතින් මිනිස්සු බැම්ම කපලා, ඇළේ ඉඩ අයිති කරගෙන තමන්ට වුවමනා වැඩ කරගන්නවා”
ඉංග්‍රිසි එස් අකුරේ හැඩයට නැළවිල්ලේ ගලා ගිය යෝධ ඇළේ බැමි කපා දමමින් තනි කෙළින් ඉදිවූ නව ජයගඟේ බැම්ම දිගේ යන විට විමසිල්ලෙන් බැලුවහොත් පැරණි යෝධ ඇළේ ඉතුරු බිතුරු බලාගත හැකිය. අපි එවන් ස්ථාන කිහිපයක් දැක ඒ දිගේ හැකි තරම් දුරක් ගමන් කළෙමු. එසේ ගමන් කරමින් ඉදිරියට ගිය අප ඊළඟට ළඟාවූයේ කිරිඅමුණුකොළේ ගමටය.
කිරිඅමුණුකොළේ ගම්මානයේ අතීතයේ වැව් දෙකක් තිබී ඇත. ඒ කුඩා අමුණුකොළේ වැව සහ මහ අමුණුකොළේ වැව ලෙසටය. එහෙත් නව ජයගඟ ඉදිකරද්දී මෙම වැව් දෙකම කැපී ගොස් නව අමුණුකොළේ වැව නිර්මාණය වී තිබේ. කලා වැවේ සිට නව ජයගග දිගේ එන ජලයෙන් නාච්චදූව වැවට මුදාහරින ජලය නව අමුණුකොළේ වැවට ඉහළින් ගලන ඇළකින් හරවා යවයි.
කිරිඅමුණුකුලේ ගම්මානයේ ඉතිහාසය ධාතුසේන රජ සමය දක්වාම දිවයයි. ඒ කතාව අපට කීවේ රජරට ජනශ්රැති පර්යේෂක එප්පාවල රත්න බී.ඒකනායක මහතාය.
අයියනායක දෙවියන්ගෙන් ඉල්ලීම්
“අනුරාධපුරේ රටේ අගනුවර වෙච්ච සමයෙක, අනුරාධපුරේ කුඹුරු අස්වද්දන්න අවශ්‍ය ජලය ගන්න තමයි, මහානාම හාමුදුරුවන්ගේ උපදෙස් පිට කලාවැව හැදුවේ. කලාවැව හදල අනුරාධපුරේට වතුර ගේන්න තමයි යෝධ ඇළ හදන්න තිරණය කළේ. හොයල බලපුවාහම අනුරාධපුරේ කලාවැවට වැඩිය උසයි. ඊට පස්සේ රජතුමා කිරිඅමුණුකොළේ තිබුණු අයියනායක දේවාලෙට ඇවිත් බාරයක් වුණා මේ වැඩේ සාර්ථක කරගන්න අවස්ථාව ලබාදෙන්න කියලා.”
මේ බාරයෙන් අනතුරුව ප්‍රාදේශීය මාලිගයක විසූ රජතුමාට එක් රාත්‍රියක සිහිනෙන් පෙනුණු අයියනායක දෙවියන් යෝධ ඇළ තැනීමට සුදුසු මඟ පෙන්වා දී ඇත. මේ මාර්ගය සොයා පසුදින උදෑසන වනගොමුවට ගිය රජුට අතු කඩා දමා සලකුණූ කොට තිබූ යෝධ ඇළ කැණිය යුතු මාර්ගය හඳුනාගන්නට ලැබිණි. පසුව ඒ මඟ අනුව යෝධ ඇළ ඉදිකිරීම අරඹා තිබෙන බව ජනප්රවාදයේ කියැවේ.
“අන්තිමේ ඒ පෙන්නුව පාරදිගේ යෝධ ඇළ කපාගෙන එනකොට, අයියනායක දේවාලෙත් ඇළට යටවෙන්න නියමිතව තිබිලා තියෙන්නේ. පස්සේ දෙවියන්ගෙන් ඉල්ලීමක් කරලා තමයි දේවාලේ දැන් තියෙන තැනට මාරු කරලා තියෙන්නේ. දැන් දේවාලේ හුදකලා තැනක තිබුණට, එදා දේවාලේ ගෙනිච්චේ කුඩා අමුණුකොළේ වැව් බැම්මට. ඒත් මහවැලියෙන් නව ජයගඟ කපද්දි ඒ වැව කැපිලා ගියා.” කිරි අමුණුකොළේ අයියනායක දේවාලයේ ප්‍රධාන කපු මහතා වන පුංචිබණ්ඩා දිසානායක මහතා අප සමඟ පැවසීය.
ව්‍යාපාරිකයන් අතට ගිය යෝධ ඇළ ඉඩම්
මහවැලිය පාරම්පරික ගැමියන්ගේ යහපතට හේතු වීද, නැතහොත් අයහපතට හේතු වීද යන්න සංසන්දනයට තවමත් කල් මදිය. වසර දහස් ගණනක අතීත කතාවට ඌන පූරණයක් ලෙස මහවැලි ව්‍යාපාරය සැලකිය හැකිද යන්න තීරණය කළ හැක්කේ තවත් වසර ගණනාවකට පසුවය.
කිරිඅමුණුකොළේ සිට ඉදිරියට යෝධ ඇළ බැම්ම දිගේ ඇත්තේ විදුලියෙන් ක්‍රියාත්මක වන අලි වැටකි. ඒ යෝධ ඇළ රක්ෂිතයේ සිටින වනඅලීන් ගම්වැදීම වැළැක්වීමටය. යෝධ ඇළ රක්ෂිතය එප්පාවල, මහඉලුප්පල්ලම, තිරප්පනේ, තුරුවිල වැනි ප්‍රදේශ මායිම් වෙමින් හෙක්ටයාර ගණනාවක් පුරා පැතිරී තිබේ. මේ රක්ෂිතය මැද රොටවැව වැනි පුරාණ ගම්ද, නව දේශපාලන අධිකාරීන් හරහා මෑතකදී ඇරඹුණු ජනාවාසද, අතයට ගනුදෙනු හරහා ව්‍යාපාරිකයින් විසින් අත්පත් කරගත් විශාල පරිමාණයේ වගා ඉඩම්ද පවතී. එප්පාවල නඟරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුම මේ ක්‍රමය යටතේ යෝධ ඇළ රක්ෂිත වනාන්තරයේ ඉඩම් අක්කර සිය ගණනක් අත්පත් කරගෙන ඇති බව අපිට කීවේ කෝන්වැවදී හමුවුණු ගැමියෙකි.
කිරිඅමුණුකොළේ සිට තවත් කිලෝමීටරයක් පමණ ඉදිරියට එද්දී හමුවන්නේ කෝන්වැව සහ ගම්මානයයි. එප්පාවල සිට යෝධ ඇළරක්ෂිතය මැදින් අනුරාධපුරයට යන කෙටිම පාර විහිදෙන්නේ කෝන්වැව හරහාය. නව ජයගඟෙන් එගොඩ වී එහි දකුණු ඉවුරෙන් විහිදෙන අතුරු මාර්ගයේ ඉදිරියට ගියහොත් හමුවන්නේ එප්පාවල පොස්පේට් නිධිය සහ වැඩබිමයි. එය දැකගන්නට සිතා අපි නව ජයගඟෙන් එගොඩට ගියෙමු.
එප්පාවල පොස්පේට් නිධිය
දේශීය කර්මාන්ත ඇතිකරලීම ගැන දේශපාලකයින් තුළ උනන්දුවක් පැවැති හැටේ දශකයේදී, එවකට කලාවැව පාර්ලිමේන්තු මන්ත්රීවශයෙන් සිටි එප්පාවල ආර්. බී. රත්නමලල මහතා විසින් එප්පාවල පොස්පේට් නිධිය හඳුනාගෙන පළමුවෙන් එප්පාවල සමුපකාර සමිතියේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරනු ලැබ, පසුව රජයට බාර දී තිබේ. ඉන්පසුව එහි වූ පොස්පේට් කෘෂිකර්මයට අවශ්‍ය රසායනික පොහොරක් ලෙස සලකා පොස්පේට් ගල් කුඩුකර, බහුජාතික සමාගම්වලට විකිණීමේ වැඩපිළිවෙළ රජය විසින් සිදුකර ඇත. 1992 දී ආරම්භ කර ඇති මෙම සමාගම ඉන් ඉදිරියට ගොස් අවසාන නිෂ්පාදනයක් කිරීමට පෙළැඹි ඇත්තේ වසර 2005දී පමණය. දැනට රජයට අයත් පොදු සමාගමක් වන මෙම ආයතනයට අවසරයකින් තොරව ඇතුළුවිය නොහැකි නිසා ඒ අසලට ගොස් පිටතින් ඡායාරූපයක් ගෙන ආපසු එන්නට අපට සිදුවිය.
කෝන්වැව ගම්මානයේ පිහිටි ජයගංගාරාමය අතීතයේදී පිහිටා තිබී ඇත්තේ යෝධ ඇළ බැම්මට පහළින්ය. නමුත් දැන් ජයගංගාරාමයට ඉහළින් යෝධ ඇළක් නැත.අපි ඒ ආසන්නයේ පැරණි ඇළ බැම්මේ අවශේෂ දැකගත්තෙමු. දැන් යෝධ ඇළේ ඇත්තේ ඉරිඟු වගා බිම්ය. කුඹුරුය. නැතහොත් අලුතෙන් ඉදිවූ නිවෙස්ය. යෝධ ඇළ බැම්ම කපා ඉදිකර පවත්වාගෙන යන වී මෝලක්ද ඒ ආසන්නයේ දැකගත හැකි විය.
පැරණි එප්පාවල නගරය නිර්මාණය වි ඇත්තේ එප්පාවල මහ වැවට පහළිනි. යෝධ ඇළ මහවැවට ඉහළින් ගොස් නගරයට උතුරෙන් එප්පාවල-තලාව පාර ආසන්නයට පැමිණේ. කෝන්වැව ජයගංගාරාමයේ සිට එප්පාවල නඟරය දක්වා වන යෝධ ඇළේ බැම්ම සහ යෝධ ඇළ දැඩි ලෙස විනාශයට පත්ව ඇත. සමහර තැනක කෝටි ගණනක් වැය කර ඉදිකළ ගොඩනැඟිලි හඳුනාගත හැකිය. සමහර තැනක යෝධ ඇළ සමතලා කර පිට්ටනි සකසා ඇත. නඟරයේ කුණු ගෙනැවිත් දමන්නේද යෝධ ඇළටය.
“2013 දි විතර පරණ යෝධ ඇළ යළි ප්‍රතිසංස්කරණය කළ යුතුයි කියල යෝජනාවක් ඇවිත් මැණීම් කටයුතු ඇරඹුණා. ඒත් තලාවත්-එප්පාවලත් අතර අවුරුදු විස්සක විතර කාලයක් අනවසරයෙන් යෝධ ඇළ භුක්ති විඳින මිනිස්සු විරෝධය පාන්න පටන්ගත්තු නිසා ඒ වැඩේ කල් ඇදුණා. ඊළඟට ඡන්ද කාලයක් ආව නිසාත්, ආණ්ඩුව කරපු පැත්ත මාරු වුණ නිසාත් ඒ සැලැස්ම යට ගියා. සවිකරපු පුවරු මායිම් පවා මිනිස්සු රහසෙම ගලවලා දැම්මා. කොච්චර බාධා ආවත් මේ කටයුත්ත කළ යුතුම වැඩක්. මම ඒ වෙනුවෙන් මගේ ශක්ති ප්‍රමාණයෙන් පෙනී ඉන්නවා.”
අප සමඟ එලෙස අදහස් දැක්වූයේ තලාව ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වන සරත් දිසානායක මහතාය. තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂය යළි රාජ්‍ය බලය ලබාගැනීම ගැන උදම්ව සිටින ඔහු යෝධ ඇළ නැවත ගලායනවා දකින්නට කැමැති බහුතරයක් රජරැටියන් අතරින් කෙනෙකි.
යෝධ ඇළ රකින්න නම්
“යෝධ ඇළ ගොඩගන්න නම් මුලින්ම කළ යුතු වන්නේ මේක මහවැලියෙන් අයින් කරලා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරන එක. ඒත් මහවැලි පනත බොහොම ප්‍රබල පනතක්. මහවැලි කලාපවලට අයත් ජල මූලාශ්‍ර සියල්ල මේ පනතින් මහවැලියට පවරලා තියෙනවා. සුද්දගෙ කාලෙන් පස්සේ වැව් ගැන රාජකාරි කරපු වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ සක්‍රීයව තිබුණු යාය වැව්, ගම් වැව්, කුළු වැව්, මහවැව් සේරම මහවැලියෙන් වල්වදින්න ඇරියා. යෝධ ඇළත් එහෙමයි. එයාලට පෙන්නන්න වුවමනාව තියෙන්නේ රජරට සරුවෙන්නේ මහවැලිය නිසා මිසෙක රජකාලේ කරපු පරණ වැව්වලින් නෙමෙයි කියලා.”
රජරටට මහවැලියෙන් වූ වින්නැහිය ගැන අපට කීවේ මහවැලි ඉඩම් ලැබ දකුණෙන් එප්පාවලට ගොස් පදිංචි වූ ජනශ්රැති පර්යේෂක රත්න බී. ඒකනායක මහතාය. රත්න බී. ඒකනායක මහතා විශ්රාමිකයෙකි. ඔහු අසූව දශකයේ මැද භාගයේදී එප්පාවල, රත්තොට ගමට පදිංචියට ගියේ මහවැලි ව්‍යාපාරයෙන් ලැබුණූ බලපත්‍ර ඉඩමක වගා කරන්නටය. එහි ගිය ඔහු තමන්ගේ පාඩුවේ වගා කරගෙන සිටිනවා වෙනුවට මහවැලියෙන් උඩු යටිකුරු වුණු රජරට ජන ජීවිතයට පෙම් බඳින්නටත්, අනුකම්පා කරන්නටත් පටන් ගත්තේය. හඬක් නැති රජරට මිනිසුන් වෙනුවෙන් ජනමාධ්‍යට කරුණු කියන්නටත්, බලධාරීන්ගේ ඇස් අරින්නටත් කටයුතු කළේය. එහි ප්රතිලාභ රජරට ජනතාවට ලැබෙන විට නිහතමානීව සතුටු වුණේය. වකුගඩු රෝගය උත්සන්න වන විට පිරිපහදු කළ ජලය බෙදා දෙන්නටත්, පොස්පේට් නිධිය විකිණීමට එරෙහි සටනේ නියමුවකු ලෙසත්, දෙමුහුම් වී වෙනුවට දේශිය වී වර්ග සංරක්ෂණයට සහ යළි වගාකිරිමටත් මුල් වූ ඔහු අද යුනෙස්කෝ ආයතනය පිළිගත් ජනශ්රැති පර්යේෂකයෙකු ලෙස ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටී.
යෝධ ඇළ දිගේ යන අපේ ගමනට එක් කළ යුතු යමක් ඔබටත් ඇත්නම් [email protected] ලිපිනයෙන් අපට ලියන්න.
(සංචාරය සඳහා අවශ්‍ය පාපැදි සම්බන්ධීකරණය කළ එප්පාවල සුනිල් විල්සන් මහතාටත්, සම්බන්ධීකරණ කටයුතු කළ තලාව ප්‍රාදේශිය සභා උප සභාපතිතුමා ඇතුළු අදහස් දැක්වූ ගම්වැසියන්ටත් ස්තූතියි!)
“බටුවත්තෙන් යළි ඇරඹෙන පැරණි යෝධ ඇළට ” ලබන සතියේ….