
එක්තරා ගැමියෙක් හේනේ පිටියේ වැඩ සඳහා ශක්තිමත් මන්නයක් සාදා ගැනීමට පහළ කම්මලේ ආචාරියාට පිරිසුදු වාෙන් තලයක් දී මන්නයක් සාදා දෙන ලෙස කීවේය. කම්හල්කරු කලකට පසු ඉස්තරම් වානේ තලයක් දුටු නිසා එය බාරගෙන අසවල් දවසේ එන්න යැයි ගැමියාට පැවසීය. මෙවැනි ඉස්තරම් වානේ තලයකින් මන්නයක් සාදනවාට වඩා මට මේස පිහි හත අටක් සාදා ගත්තානම් ලොකු මුදලකට විකුණා ගත හැකියැයි සිතූ කම්මල්කරු පරණ අමු යකඩ කෑල්ලක් ළිපේ දමා රත්කර තලා මන්නා තලයක් හා කැති බෙරයක් සමඟ මිට ගසා තැබීය.
නියමිත දින පැමිණි ගැමියාට මන්නය දුන් කම්හල්කරු කුලිය ද ලබා ගත්තේය. ගැමියාද ඉතා සතුටින් ‘මන්නය’ බාර ගෙන ගෙදර ගොස් බිරියට පෙන්වූයෙන් ඇය මන්නේනම් හේනේ වැඩට නෙවෙයි. කොස්, දෙල් කපන්න මැල්ලුමක් ලියා ගන්න මේක හොඳ කුස්සියට යැයි කිවේය.
දවසක් දෙකක් ‘හේනේ’ වැඩපළ කරලා බලලා දෙන්නම් කෝ යනුවෙන් පැවසූ ගැමියා උදය කාලයේ හේනට ගොස් කුඩා පඳුරු කීපයක් කපා දමා වැරනිය පඳුරකට තරමක් වේගයෙන් මන්නා පහරක් එල්ල කළේය. මන්නය දෙකට කැඩී තලය පැත්තකටත් මිට පැත්තකටත් විසි විය.
මෙයින් සිත් තැවුලට පත් ගැමියා මන්නා තලය අතට ගෙන දෙපැත්ත හරවා බලා තමා දුන් ‘වානේ’ තලයෙන් නොව වෙනත් අමු යකඩ කෑල්ලක් රත්කර තලා මන්නය අටවා දුන් බව තේරුම් ගත්තේය. කම්හල් හිමියා රැවටු බව දැනගත් ගමරාල තලයත් මිටත් ගෙන ගොස් පෙන්නා මෙසේ කීවේය.
පිරිසුදු වානේ ‘තලයක්’ නේ දුන්නෙ මම
අමු යකඩය තලා ‘පන්නරේ’ නැතිව මෙම
‘මන්නය’සදා දුන්නත් එය නොනිමි නිම
මල නහයවත් නොකැපෙන්නට කරුණ කිම
ගැමියා ඇසු ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් කම්හල්කරු තරමක ‘දෙගිඩියාවකින්’යුතුව මෙසේ පිළිතුරු දුනේනේය.
පොල් කටු අඟුරු තිබුණේ නෑ. ඇති තරම
කුස්සියෙ’ ළිපෙයි යකඩය ගිනි දැම්මේ මම
අඹුවත් ගමට ගොස් දරුවන් කැටුව හැම
කවුරුත් හිටියෙ නෑ අදිනට ‘මයින’ හම
සරීනා රහීම්
කොළඹ - 02
පවුලක බර කරට ගත් දරු දෙදෙනෙක්
දරුවන් දෙමවුපියන් අතර ඇති සහසම්බන්ධතාව කෙතරම් හෘදයාංගම වුවද ඇතැම් විට දරුවන් විසින් අතහැර දමන ලද වියපත් දෙමාපියන්ගේ දුක් අඳෝනා කොතෙකුත් අසන්නට ලැබේ. නමුදු මේ කියන්නට සුදානම් වන්නේ බෝසත් දරුවන් දෙදෙනෙකුගේ කතාවකි.
පොළොන්රුවේ වෙසෙන තිලක් ගාමිණි ජයරත්නට ස්ථිර රැකියාවක් නොතිබිණි. ඔහුගේ එකම ආදායම් මාර්ගය වූයේ ඉංග්‍රිසි විෂය ඉගැන්විමය. මෙය ඔහුට හොඳ ආදායම් මාර්ගයක් විය. මේ ආදායම් මාර්ගය ඔහුට තම බිරියත් දරුදෙදෙනාත් පෝෂණය කිරීමට ප්‍රමාණවත් විය. නමුත් ඔවුන්ගේ ජීවිතවලට කණකොකා හඬන්නට වැඩි කලක් ගත නොවූයේ තිලක් ගාමිණීගේ බිරිය හදිසියේම රෝගීවීමත් සමඟය. හෘදයාබාධයකින් පෙළෙන්නට වූ ඇයගේ රෝගී තත්ත්වය වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්නට මෙන්ම ඇය රැක බලාගන්නට ද තිලක්ට සිදුවිය. පාසල් වියේ පසුවන දෙදරුවන්ට මව රැක ගැනීම අසීරුය. මේ නිසා ගාමිණිට පෞද්ගලික පන්ති පැවැත්වීම අසීරු විය. මේ නිසා ඔවුන්ට ජීවත් වීමට තිබූ එකම ආදායම් මාර්ගයද අැහිරිණි.
අවසානයේ පවුලේ බර කරට ගත්තේ දෙදරුවන්ය. තෝපා වැව මහා විද්‍යාලයේ දහතුන වසරේ ඉගෙනුම ලබන සකුන්තලා දියණිය හා අභය මහා විද්‍යාලයේ පහවසරේ ඉගෙනුම ලබන සකුන්තල පුතු පවුලේ ආර්ථිකයට ශක්තියක් වූහ.
“අපට බොහෝ ආර්ථික අමාරුකම් තියෙනවා. උදව් කරන්න කෙනෙක් නැහැ. බිරියට බෙහෙත් ගන්න පරීක්ෂණ කරන්න හුඟක් මුදල් වැය වෙනවා. කරන්නම දෙයක් නැති තැන මම මව් ගුණ කවියෙන් ලියා දුන්නා. දුවයි පුතයි දෙන්නා මේ කවි බණ ගායනා කරනවා. අපි දරුවෝ තනියම යවන්නේ නැහැ. මම දරුවන්ගේ තනියට යන්නේ රෝගී බිරියත් අරගෙන. දරුවෝ දෙන්නගෙත් එකම බලාපොරොත්තුව අම්මා සුවපත් කිරීම. මම ඉංග්‍රිසි දෙමළ සිංහල භාෂා තුනින්ම පන්ති කෙරුවා. ඒ දවස්වල අප බොහොම හොඳින් ජීවත් වුණා.” ගාමිණි පවසන්නේ කනගාටුවෙනි.
දැන් ඔවුන් දවස ගෙවන්නේ දියණියත් පුතාත් කවි බණ කීමෙන් සොයා ගන්නා මුදලෙනි. එයින් වැඩි කොටසක් වැය වන්නේ මවගේ ප්‍රතිකාර සඳහාය.
“අපි ඉගෙන ගන්න ආසයි. ඒත් අම්මා අසනීපෙන් ඉන්නවා අපිට බලන් ඉන්න බැහැ. තාත්තාට අම්මා දාලා කොහේවත් යන්න බැහැ. ඉස්සර අපිට හොඳ ගෙයක් තිබුණා. දැන් අපේ ගේත් හොඳටම අබලන් වෙලා. කවි බණ කියන්න යන්නේ කවුරු හරි ආරාධනා කළොත් . ඒත් හැමදාම එහෙම යන්න ලැබෙන්නේ නැහැ. කවුරු හරි අපට උදව් කරනවා නම් ඒක ලොකු පිනක්.”
සකුන්තලා කරන්නේ අහිංසක ඉල්ලීමකි. මේ දරුපවුල වෙනුවෙන් ඔබට කළ හැකි යමක් වේ නම් එය මහඟු පින්කමකි.
එච්. එල්. තිලක් ගාමිණි ජයසිංහ
දුරකථන අංකය-076-8947062
ගිණුම් අංකය-8880031328
කොමර්ෂල් බැංකුව - පොළොන්නරුව ශාඛාව
හේමන්ත බණ්ඩාර
ජයන්තිපුර සමූහ