
අඹ කෑම
‘දවසකට තුන් හතර පාරක් ළමයින්ට දඬුවම් කරන්ඩ පුළුවන්ද? අනිත් එක කවුද ඔය කුණුගොඩ හැදෙන්ට ඇරියෙ? දැන්වත් තේරෙන්නෙ නැද්ද ගෙවල්වලින් ගෙනත් ඔතන කුණු ගොඩගහන එක වැරදියි කියල?
කරන්ඩ තියෙන්නෙ එක දෙයයි. ඔයගොල්ලො ගමට ගිහිං ගම්මුන්ට පැහැදිලි කරල දෙන්ඩ ඉස්කෝලයක් කිට්ටුව කුණු ගොඩගහන එක වැරදියි කියල. ඒ අතරෙ
ගුරු මණ්ඩලේ අපිත් සාකච්ඡා කරල ළමයින්ගෙ
ගමන නවත්ත ගන්ඩ විදියක් හදන්නම්. දැන් හැමෝම ආපහු යන්ඩ. උදේ රැස්වීම පටන් ගන්ඩ වෙලාව ඇවිත්!
ගමේ පාසලකි.
පේනතෙක් මානයේ කුණු ගොඩකි.
ඒ ළඟ ම අඹ ගසකි.
උදෑසන පාසල ඇරඹීමට ඔන්න - මෙන්න කියා තිබිය දී ගැමි කතක් ඔසරිපොට තද කරගනිමින් කඩිමුඩියේ එනු දුටු විදුහල්පති සිය කුටියෙන් පිටතට ආවේ ය. ඒ වන විටත් තවත් මවුපියෝ කිහිප දෙනෙක් ද පැමිණ සිටියහ.
‘මොකද මේ පිරිස?’ විදුහල්පති විමසුවේ ය.
‘අනේ ලොකු ඉස්කෝලෙ මහත්තයො, අපේ පුතාට හොඳට ම උණ! ඒ හින්ද ඉස්කෝලෙ එන්ඩ විදිහක් නෑ. ඔය කුණුගොඩ ළඟට යන හින්දයි ඒ දරුවට උණ ගැනුණෙ. මගෙ අනිත් ළමයි දෙන්නත් කුණුගොඩ ළඟට යනවලු. එතන තියෙන ගහෙන් අඹ කඩාගෙන කනවලු. අනේ මහත්තයො දඬුවමක් දීල හරි ළමයි ඔතෙන්ට යන එකෙන් වළක්වාගන්ඩකො’
විදුහල්පති සෙස්සන් දෙස ද බැලුවේ ය.
‘ඔය ගොල්ලන්ටත් කියන්ඩ තියෙන්නෙ ඒ ගැන ද?’
‘ඔව්’
‘මේ කවුරුත් මතක තියා ගත්තොත් හොඳයි. මමවත්, ගුරු මණ්ඩලේ කිසි ම කෙනෙක්වත් මේ ළමයින්ව කුණු ගොඩ ගාවට යැව්වෙත් නෑ. යවන්නෙත් නෑ.’
‘අපි දන්නව මහත්තයො. ඒත් අපේ දරුවො ලෙඩ රෝගවලින් බේර ගන්ඩ මෙහෙම පැමිණිලි කරනව ඇරෙන්ඩ අපි වෙන මොනවද කරන්නෙ?’
‘දවසකට තුන් හතර පාරක් ළමයින්ට දඬුවම් කරන්ඩ පුළුවන්ද? අනිත් එක කවුද ඔය කුණුගොඩ හැදෙන්ට ඇරියෙ? දැන්වත් තේරෙන්නෙ නැද්ද ගෙවල්වලින් ගෙනත් ඔතන කුණු ගොඩගහන එක වැරදියි කියල? කරන්ඩ තියෙන්නෙ එක දෙයයි. ඔයගොල්ලො ගමට ගිහිං ගම්මුන්ට පැහැදිලි කරල දෙන්ඩ ඉස්කෝලයක් කිට්ටුව කුණු ගොඩගහන එක වැරදියි කියල. ඒ අතරෙ ගුරු මණ්ඩලේ අපිත් සාකච්ඡා කරල ළමයින්ගෙ ගමන නවත්ත ගන්ඩ විදියක් හදන්නම්. දැන් හැමෝම ආපහු යන්ඩ. උදේ රැස්වීම පටන් ගන්ඩ වෙලාව ඇවිත්! හැබැයි මේකත් මතක තියා ගන්ඩ! ගමේ වැඩිහිටියො හිතන්නෙ - මතන්නෙ නැතුව කරපු වැඩේ තමයි වැරැද්ද තියෙන්නෙ. ඒකට දරුවන්ට දඬුවම් කරන්ඩ මං කැමති නෑ’
දවාලේ ශිෂ්‍ය නායකයෙක් විටින් විට කුණු ගොඩ පැත්ත විපරම් කොට හොරෙන් එහි ගොස් සිටි ශිෂ්‍යයන්ගේ ගේ නම් ලියා ගත්තේ ය. ඒ අනුව විදුහල්පති අදාළ ශිෂ්‍යයන් ගෙන්වා අවවාද කළේ ය. ඒ අතර ම විදුහල්පති දරුවන් කුණු ගොඩ ළඟට යෑමෙන් වැළැක්වීමේ ක්‍රමයක් සකස් කිරීමට සිය ගුරු මණ්ඩලය පෙලඹුවේ ය.
මාසයේ පුන් පෝ දින එළඹියේ ඊළඟ සතියේ ය. පෝ දින විදුහල්පතිගේ නියෝගයෙන් ළමයින් පන්සලට කැඳවිණ. වන්දනාමානාදියෙන් හා ස්වාමීන් වහන්සේගේ අනුශාසනයෙන් පසු දරු පිරිස පෝලිමේ කැඳවාගෙන යන ලද්දේ පාසල් පිට්ටනියට ය.
කුණුගොඩ හොඳින් දිස්වන, එහෙත් කුණු ගඳ එතරම් නොදැනෙන තැනක ළමයින් නවත්වන ලදි.
විදුහල්පතිවරයා කුණුගොඩ ළඟට යෑමේ සහ එහි ගසෙන් අඹ කඩා කෑමේ ආදිනව පැහැදිලි කළේ ය.
විදුහල්පති ගේ කතාව අවසාන වෙනවාත් සමඟ ම කුණුගොඩ පැත්තේ සිට සින්දුවක් කියාගෙන ආවේ සින්දු ජෝන් ය.
‘... කුණු කුණු කුණු කුණු කුණු ගඳ එනවා
රුං රුං රුං රුං මදුරුවො එනවා
ලෙඩ ලෙඩ ලෙඩ ලෙඩ ලෙඩ පැතිරෙනවා
මං ඈතට යනවා - මං ඈතට යනවා...’
ඒ සමඟ ම පෙර සැලසුම ක්‍රියාත්මක වී පිරිසේ සිටි ළමයි පිරිසක් ද ඒ ගීය ගයන්නට පටන් ගත් හ.
බහුතර ළමා පිරිස විස්මයෙන් මුසපත්ව බලා සිටිය දී පෙර පුහුණුව ලද ඊළඟ ළමා පිරිස ද ගීයට එක් වූහ.
ගීය මුළු ළමා පිරිස ම අතර ව්‍යාප්තව ගියේ ළැව් ගින්නක් සේ ය. පෙර පුහුණුව ලද ළමයි ගීය ගයමින් නටන්නට වූහ. ඒ දුටු සෙසු දරුවෝ ද ඔවුන් අනුකරණය කරන්නට වූහ.
අවසානයේ දක්නට ලැබුණේ ගීය ගයමින් රංගනයක යෙදෙන සමස්ත ළමා යායකි.
දරුවන් විසිරී ගියේ තේ පැන් සංග්‍රහයක් ද බුක්ති විඳි පසු ය.
ගුරු මණ්ඩලය විසින් රහසේ නිමවා පුහුණු කරන ලද මේ ගී සන්දර්ශනය සමස්ත පාසල් දරුවන්ට කෙතරම් ප්රබලාකාරයෙන් දැනුණා ද යත් එතැන් පටන් කිසි ම දරුවකු කුණුගොඩ ළඟ අඹ ගසෙන් අඹ කඩා කන්නට ගියේ නැත.
විශ්‍රාමලත් ආචාරිනී මාලිනී විජේසේකර මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.