
සරසවි දිවියේදී ලද ශිෂ්‍යත්ව ආධාර මුදලින් ගත් පොත් සඟරා පරෙස්සම් කර දරුවන්ට දුන්නා. සියල්ල සිදුවන්නේ විශ්වාසය මතයි. මට දරුවන් අවිශ්වාස නෑ
මුහුණු පොතට අන්තර්ජාලයට දරුවන් ඇබ්බැහිවන යුගයක පොත පතට දරුවන් නැඹුරු කිරීම අද වන විට එක්තරා විදිහේ අභියෝගයකි. මේ නව තාක්ෂණයෙන් ඈත්ව සිටිය ද ඇතැම් දරුවන්ට පාසල් පෙළ පොත් හැරුණ විට බාහිර පොත පත මිලට ගන්නට තරම් වත්කමක් නැත. මේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නට කෙනෙක් ඉදිරිපත් වන්නේ නම් එය යුගයේ හැටියට සද්කාර්යයකි. තමන් පොතින් පතින් උගත් දෙයින්, තම ගම් ප්‍රදේශයේ දරුවන්ට දැනුම ලබා දීමටත් ඔවුන් පොත පත කෙරෙහි නැඹුරු කරවීමටත් සාමාන්‍ය මිනිසෙකු ඇරඹී අපූරු කාර්යයක් පිළිබඳය මේ තොරතුර.
මෙහි පුරෝගාමියා වන්නේ මහින්ද දසනායක මහතාය. අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෙසෙල්වත්ත ග්‍රාම සේවා වසමේ වඩුමුල්ල ඔහු ජීවත්වන ගම්මානයයි. යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ළමා රක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කරන ඔහු දැයේ දරුවන් කෙරෙහි දක්වන්නේ අසීමිත කරුණාවකි. සිය රාජකාරියට අමතරව ඔහු විසින් දැනට නොමිලේ ජංගම පුස්තකාල සේවාවක් පවත්වාගෙන යයි. එය ආරම්භ කෙරුණේ මේ වසරේ ජනවාරි මාසයේය.
තමන් පවත්වා ගෙන යන ජංගම පුස්තකාලය ආරම්භ කිරීමේ අදහස පිළිබඳ මහින්ද පවසන්නේ මෙවැනි කතාවකි.
“මම හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලයෙන් අධ්‍යපනය ලබා අනතුරුව රජරට විශ්වවිද්‍යාලයේ ජල සම්පත් කළමණාකරණය පිළිබඳ උපාධියක් ලබා ගත්තා. විශ්වවිද්‍යලයේ සිටින කාලයේ පොතපත කියවීමට අමතරව සමාජයේ විවිධ පුද්ගලයන් අසුරු කරන්නටත් ලැබුණා. විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉන්න කාලයේ වවුනියාව, මැදවච්චිය වැනි ප්රදේවලට යන්න අවස්ථාව ලැබුණා. එහි දී අපි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් වශයෙන් යුද්ධයෙන් බැට කෑ සමාජයේ දරුවන්ගේ ප්‍රශ්න දැක්කා. ළමා අපචාර, මත් ද්‍රව්‍යයවලට ළමයින් යොමුවීම. එහි දි තමයි මේ අනාගත පරපුර වෙනුවෙන් යමක් කළ යුතුයි කියන සංකල්පය මුලින්ම හිතට ආවේ. එහෙම ඉන්නකොට තමයි 2014 වර්ෂයේ ජාතික ළමා රක්ෂක අධිකාරියට අනුයුක්තව යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට රැකියාව ලැබුණේ. ලැබුණු රැකියාවත් ළමයින්ට සම්බන්ධ ම දෙයක් නිසා මගේ අරමුණ සම්පුර්ණ කර ගැනීම තවත් පහසු වුණා.
ළමා මනස සකස් කළොත් රටේ අනාගතයට හොඳ පුරවැසියෙක් හදන්න පුළුවන්. ඒ නිසා ළමුයින් අතර හොඳ ගුණ ධර්ම වර්ධනය කළ යුතුයි. එම නිසයි මෙම ජංගම පුස්තකාල වැඩ සටහන පටන් ගත්තේ. මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලයේ ශිෂ්‍යත්වයක් වශයෙන් රුපියල් 1900 ක් ලැබුණා. මම එම මුදලින් පොත්, සඟරා ආදිය ගෙන තිබුණා. ඒවා ද උපයෝගි කරගෙන යතුරු පැදියෙන් දැනට මාස 7 ක විතර සිටයි මේ වැඩ සටහන පටන් ගත්තේ.”
මහින්ද විසින් එක් ග්‍රාම සේවා වසමකින් ආරම්භ කළ මේ ජංගම පුස්තකාලය ඉන්පසු අනෙක් ග්‍රාම සේවා වසම්වල ද ව්‍යාප්ත කරනු ලැබීය. දැන් ඔහුට කාගේ කාගේත් උදව් ලැබෙන්නේය. ඔහු ගම්මානවල පොදු ස්ථානවලට පොත් රැගෙන යන්නේ තම රාජකාරී වේලාවෙන් පසුය. එලෙස රැගෙන යන්නේ යතුරු පැදියෙනි. ඔහුගේ ජංගම පුස්තකාලයේ එක්තරා ක්‍රමවේදයක් තිබේ.
“මම කිසිදු මුදලක් අය කරන්නේ නෑ.නොමිලේමයි එම සේවාවන් කරන්නේ. මේ සතියේ ලබාදුන් පොත් ඊළග සතියේ භාරදිය යුතුයි. ඒ පොත අවශ්‍ය නම් ඊළඟ සතිය දක්වා පරිශීලනය කළ හැකියි. අපි එකිනෙකා මත තියෙන විශ්වාසය මතයි පොත් බාර දෙන්නේ. ළමයි ගැන මට අවිශ්වාසයක් නැහැ. ඒ වගේම තමයි පොත් ගෙනියන්න එන දරුවන් එකට රැස් වුණාම මම ඔවුන්ට පුංචි දේශන පවත්වනවා. පොත පත ගැන මෙන්ම ලෝකය ගැන. මෙම සද් කාර්යයේ දි මගේ තේමා පාඨය වන්නේ ‘මම පොතයි’ යන්නයි. එය තෝරා ගත්තේ ළමයින්ට සරල තේරුම් ගත හැකි වචන මාලාවක් නිසයි. දැනට කෑගල්ල හා අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගම්මානවල සිදු කරගෙන යන මෙම කටයුත්ත ඉදිරියේදී තවත් පුළුල් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වේවැල්තලාව වගේ දුෂ්කර මෙන්ම දෙමළ දරුවන්ට මෙම සේවාව ආරම්භ කිරීමට උත්සහා කරනවා. දැනට ළමයින්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ දැඩි උනන්දුවක් තියෙනවා මෙම වැඩ සටහන සඳහා. දැනටමත් පොත් හා පොත් ලබා ගැනීම සදහා මුදල් දීමට කැමති අය බොහෝ දෙනා ඉදිරිපත් වෙලා ඉන්නවා. නමුත් මම කිසිම කෙනෙකුගෙන් මුදල් ගන්නේ නැහැ. ඒත් යම් අයෙක් මට පොත් දෙනවා නම් ඒවා මගේ නිවෙසට හෝ යටියන්තොට මගේ කන්තෝරුවට ඇවිත් මා හමුවී දෙන්න කියන කාරුණික ඉල්ලීම විතරයි කරන්නේ.” දසනායක මහතා පවසයි.
ඩබ්ලිව්. රෝහණ
බුලත්කොහුපිටිය සමූහ