
* කුණුවලට අලුත්ම විසඳුමක්
* විසඳුම දුන්නේ බැක්ටීරියා 3ක්
* විනිමයත් ඉතිරියි. කොම්පෝස්ට්වලින් ආදායම්
* අඩු ඉඩක්. කසළ වෙන් කිරීමක් නෑ
කුණු කරදරකාරී ප්රශ්නයක්ව බොහෝ කල් ගත වී ඇත. එයට පිළියම් සෙවීමට අපි බොහෝ ප්‍රමාද වූයෙමු. එහෙත් පමා වී හෝ නිසි පිළියමක් කරා යොමු වීම වැදගත්ය. කැමැති වූවද අකමැති වූවද අපේ නිවෙසේ, කාර්යාලයේ, නිෂ්පාදනාගාරයේ තේ කඩයේ කුණු මහ මඟට ඇද දමා නිදහස් වීමට අපි කැමැත්තෙමු. කුණුවලින් තොර රටක් නිර්මාණය කර ගැනීම එයින් ම සිහිනයක් වේ.
කුණු ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන බොහොමයක් තිබේ. කුණු කඳු ද තිබේ. අලුවක්කාලු වැනි කුණු වළවල් ද තිබේ. එහෙත් කුණුවලින් තොර රටක් දැකීමේ සිහිනය සිහිනයකි. තවමත් කුණු ප්‍රශ්නය එලෙසමය. කුණු රටට ගැටලුවක් නොවීමට නම් දිනකදී රටේ නිපදවෙන කුණු ප්‍රමාණය පසු දින වන විට අවසන් විය යුතුය. මෙරට තවමත් එවන් ක්‍රමවේදයක් සැකැසී නොමැත. කොම්පෝස්ට් සකසන තෙක් කුණු ගොඩ ගසා තැබේ. අලුවක්කාලු දක්වා ගෙනයනතෙක් කුණු ගොඩ ගසා තැබේ. මේ කුණු වෙන්කර ගැනීමට වෙනම සේවක පිරිසක් අවශ්‍යය. එහෙත් ඒ සඳහා යොමු කර ගත හැකි සේවක පිරිස සීමිතය. අනියම් හෝ තාවකාලික පත්වීම් ලබා ස්ථීර පත්වීම් ලබන කම්කරුවෝ කුණු හා රැඳෙන්නේ නැත. නැතිනම් නිවාඩු ලබති. එය මානුෂීය ප්රශ්නයකි. ලංකාවේ පොදු ප්‍රශ්නයක් වූ කුණුවලින් නිදහස් නගර සභා ප්‍රාදේශීය සභා ඇත්තේ අතළොස්සකි.
අද එන කුණු හෙට ඉවරයි
අද නිපදවෙන කුණු හෙට උදෑසන වනවිට ඉවත්කිරීම සිහිනයකැයි ඔබට සිතෙනු ඇත. එහෙත් එය සිහිනයක් නොවේ. බොහෝ රටවල ක්‍රියාත්මක තිරසාර ප්‍රතිචක්‍රීකරන ක්‍රමවේදය ඔස්සේ කුණු වටිනා සම්පතක් සේ සලකා කළමණාකරණය කෙරේ. කළමණාකරණය කරමින් ඉන් විශාල ධනයක් උපයයි. එහෙත් ලංකාවේ නිවැරදි තිරසර ක්‍රමවේදයක් භාවිත නොකිරීම ගැටලුවට විසඳුම් පමා කර තිබේ. ශ්‍රී ලංකාවේ අපි තවමත් භාවිත කරනු ලබන්නේ ප්‍රාථමික අඩු කාර්යක්ෂමතාවෙන් යුත් සංකීර්ණ ක්රමවේදයන්ය. කසළ අවම කිරීම කෙරෙහි අප තවම අවධානය යොමු කොට නැත. නැවත භාවිතය කෙරෙහි අප තවමත් අවධානයක් යොමු කර ඇති බවක් නොපෙනේ. එහෙත් ප්‍රතිචක්‍රිය කරනය කෙරෙහි අපි අවධානය යොමු කර ඇත්තෙමු. එහෙත් එය කාර්යක්ෂම ක්‍රියාවලියක් නොවේ.
ගොඩගැසීම හෝ වැළැලීම කිසිසේත් කසළ කළමණාකරණයෙහි නිවැරදි ක්‍රමවේදයන් නොවේ. ගොඩගැසිම වෙනුවට වැළැලීම භාවිත කළ ද අලුවක්කාලු කසළ අංගනය භාවිතයට ගත හැකි කාලය සීමිතය. එය වසර සීයයක් හෝ දෙසියයක් පමණ විය හැකිය. එහෙත් ලංකාවේ කුණු නිමා වන්නේ කවදාද?
ලංකාවේ නාගරික අපද්‍රව්‍ය අතරින් 40-75% කාබනික හෙවත් දිරායන අපද්‍රව්‍ය වේ. මේ කසළ කළමණාකරණයේ අභියෝගාත්මක කොටසයි. දුඟද හා අප ජලය පරිසර දුෂණය, මැසි මදුරු උවදුරු, සෞඛ්‍ය, භූගත ජල දූෂණය, ජලමූලාශ්ර අපවිත්රවීම කෙරෙහි බල පෑම් කරනු ලබන්නේ කාබනික අපද්‍රව්‍ය වේ.කොළඹ මධ්‍යම වෙළෙඳ පොළ, දඹුල්ල, මීගොඩ , රත්මලාන වැනි ආර්ථික මධ්‍යස්ථානවල අපද්‍රව්‍ය මාළු වෙළෙඳපොළ අපද්‍රව්‍ය කාබනික අප ද්‍රව්‍ය ලෙස රැස් වේ. මේ අපද්‍රව්‍ය කොම්පෝස්ට් බවට ක්‍රමිකව පත් වීමට දින 80-90 අතර කාලයක් ගතවේ. එම කාලය එක් දිනක් දක්වා අඩුකර ගත හැකි උසස් තාක්ෂණයෙන් පෝෂිත පාරිසරික පද්ධතියක් හඳුන්වා දිමට කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨ පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය ඇම්. ජී. කුලරත්න මහතා ඇතුළු කණ්ඩායම සමත්ව සිටී.
පැය දෙකෙන් දෙකට යන්ත්‍රයට අපද්‍රව්‍ය
කාබනික ද්‍රව්‍ය දීරාපත් වීම වේගවත් කිරීමේ ජීව තාක්ෂණික ක්‍රමවේදය ERS (Environmentd Recyclinn System) ඒ යාන්ත්රණයයි. මේ යන්ත්‍රයට පැය දෙකෙන් දෙකට අපද්‍රව්‍ය යොමු කළ හැකි අතර පැය 22කින් කොම්පෝස්ට් නිෂ්පාදනය වී පිටතට පැමිණේ. ද්‍රවමය අපද්‍රව්‍ය, ගලි අපද්‍රව්‍ය, මේ යන්ත්‍රය හරහා කොම්පෝස් බවට පත්කර ගත හැකිවේ. අප ජලය මේ යන්ත්‍රයට යොමු කොට අපද්‍රව්‍ය ඉවත් කර කොම්පෝස්ට් නිපදවා පිරිසිදු ජලය පරිසරයට මුදු හැරිය හැකි වේ. ඒ සඳහා ගතවන කාලය පැය 22ක් පමණි. කුණු සඳහා දුර්ගන්ධය වළක්වන රසායනික යෙදීම අවශ්‍ය නොවන අතර යන්ත්‍ර ක්‍රියාකාරීත්වය මගින් අපද්රව්යන්ගේ දුර්ගන්ධය නසා දමයි.
මෙසේ දිනපතා රැස්වන කාබනික අප ද්‍රව්‍ය කොම්පොස්ට් බවට පත්කීරීම මගින් වගාවන්ට අවශ්‍ය පොහොර ආනයනය අවම කර ගත හැකිය. කොම්පොස්ට් අලෙවියෙන් ආදායම් බලාපොරොත්තු නොවන්නේ නම් නිපදවනු ලබන කොම්පෝස්ට් රාජ්‍ය වැවිලි සංස්ථාවේ වතු ඉඩම්වලට මුදා හැරිය හැකිය.
ඉතාම වැදගත් කාරණය වන්නේ වීදුරු, යකඩ, ලී, ප්ලාස්ටික්, ඉටිකොළ වැනි ද්‍රව්‍ය කළමණා කරණයට මින් පහසුවක් සැලැසීමයි. ERS යන්ත්‍රය තුළට කිසි සේත් ම කසළ වෙන්කොට යොමු කළ යුතු නොවේ. නගර සභාව කසළ වෙන් කර රැස් කිරීමට ජනයා දැනුවත් කර ඇත. නිෂ්චිත දිනකට ගෙනයන තුරු කසළ නිවෙසේ රඳවා ගැනීමට ජනයාට සිදුවේ. ඒ කරදරයෙන් ජනයා මුදවාලීමට ද කසළ වෙන් කිරීමට යන වියදම අවම කර ගැනිමට ද ප්රතිචක්රිකරණ ක්‍රියාවලියෙදී මේ ERS යන්ත්‍රය භාවිතයෙන් හැකියාව ලැබේ. කාබනික නොවන දිරා නොයන කසළ යන්ත්‍රයෙන් පිටතට පැමිණි පසු ඒවා ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කළ හැකිය. කුණු කඳු ගොඩ ගසාගෙන කසළ තේරීමේ කාර්ය නවතා ලීමට ERS යන්ත්‍රයට හැකියාව තිබේ. එය මේ යන්ත්‍රයේ ඇති සුවිශේෂි වාසියයි.
මිරිදිය මත්ස්‍ය කර්මාන්තය හා සුරතල් මසුන් සඳහා විනිමය වැය කරමින් අපි මත්ස්‍ය ආහාර ආනයනය කරමු. රටවටා කරවල වාඩි, මාළු වෙළෙඳ සැල් ආදියෙහි රැස් වන සත්ව අපද්‍රව්‍ය, ටැන්කි පිරිසිදු කරන්නන්, කලපු ආඳා හා වැව්පොකුණුවල වෙසෙන පරිභෝජනයට නොගන්නා මසුන්, සත්ව ගොවිපළ ඉවතලන ද්‍රව්‍ය එක්කර මේ යන්ත්‍රය භාවිතයෙන් අපට මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කිරීමට හැකියාව තිබේ. රටවටා ඇති මත්ස්‍ය වෙළෙඳ සැල්හි අප ද්රව්යපැය 22ක් තුළ මත්ස්‍ය ආහාර ලෙස සකසා විදේශ විනිමය ඉතිරි කර ගැනීමටත් ආදායම් ඉපයිමටත් අපට හැකියාව ලැබේ.
මෙට්‍රික් ටොන් 100ක ධාරිතාවක්
රටවටා ඇති එළවළු වෙළෙඳ සැල් හා ආර්ථික මධ්‍යස්ථානවලින් ඉවතලන පලතුරු හා එළවළු වැනි ආහාර ද්‍රව්‍ය ERS යන්ත්‍රය භාවිතයෙන් සත්ව ආහාර ලෙස සැකැසීමේ හැකියාව තිබේ.
එවිට වෙළෙඳ පොළ වෙත එළවළු පලතුරු හෝ ධාන්‍ය රැගෙන එන ලොරියේ නැවත පොහොර සත්ව ආහාර හෝ මත්ස්‍ය ආහාර රැගෙන ගොස් ගමේ බේදාහැරිය හැකිවිම ගොවියන්ටද ප්රවාහකයාටද වාසිසහගතය.
රසායනික ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ගැටලු බොහෝමයකට මෙය පිළිතුරක් වනු ඇතැයි ආචාර්ය එම්. ජී. කුලරත්න මහතා පවසයි.
ජනාකීර්ණ ප්‍රදේශයන්හි වාහන තදබදය මැද කුණු ඉවත් කිරිමේ අවශ්‍යතාවක් මේ යන්ත්‍රය හේතුවෙන් ඇති නොවේ. කාල කළමනාකරණයෙන් යුතුව තද බදය අඩු වේලාවන්හිදි හෝ රාත්‍රියේ කසළ ප්‍රවහනය කළ හැකිවේ.
වරකට ERS යන්ත්‍රයට මෙට්‍රික් ටොන් 100 දක්වා ධාරිතාවක් මේ යන්ත්‍රයට යොමු කළ හැකිය. නගර සභාවන්ට අවශ්‍ය පරිදි මෙට්‍රික් ටොන් 2 -100 අතර ධාරිතාවයෙන් යුතු යන්ත්‍ර ලබාගත හැකිවේ. මෙට්‍රික් ටොන් 100 ක ධාරිතාවයෙන් යුත් යන්ත්‍රයක් භාවිතයෙන් කොළඹ නගරයේ කුණු එක් දිනක් තුළ කොම්පෝස්ට් කර පොලිතින්, ප්ලාස්ටික්, විදුරු, ගල් හා යකඩ වැනි නොදිරන ද්‍රවය වෙන්කර ප්‍රතිචක්‍රිය ක්‍රියාවලියට යොමු කිරීමට ද අවස්ථාව සැලැසේ.
අවම මිනිස් ශ්රමයකින් යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පාලනය කළ හැකි අතර පිරිසිදු බවින් යුතු කොම්පෝස් , සත්ව ආහාර හෝ මත්සය ආහාර අලෙවියට සූදානම් කිරීමට යම් පමණක මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වේ.
අපද්‍රව්‍ය කළමණාකරණයේ නෛතික බලයක් ඇති ආයතනයන්ට තමන්ට අවශ්‍ය ධාරිතාවෙන් යුතුව යන්ත්‍ර ලබා ගත හැකිය. මේ යන්ත්‍රයේ වැඩි කොටසක් ලංකවේ නිපදවා ගතහැකි බැවින් යන්ත්‍රයේ ප්‍රධාන තාක්ෂණික ඒකකය වන ERS කොටස පමණක් ආනයනය කළ හැකි බව පවසන ආචාර්ය කුලරත්න මේ යන්ත්‍රය මගින් කුණු ප්රතිචක්රීයකරණය සඳහා වැය වන භූමි ප්‍රමාණය අවම වන අතර මෙට්‍රික් ටොන් 100 ක ධාරිතාවයෙන් යුත් යන්ත්‍රයක් සඳහා වැය වන භූමිය පර්චස් 11-12 වන බව පවසයි. අතිවිශාල වෙළෙඳ වටිනාකම් ඇති භූමි මේ නිසා කුණු කඳුවලට යට කිරීමට සිදු නොවේ.
ලෝකයේ කිසිදු රටක් අපද්‍රව්‍ය කළමණාකරණය මගින් මූල්‍ය වාසි අපේක්ෂා නොකරයි. මිනිසුන් මිය යෑම අවම වීම , සතුන්ට වන හානි අවම වීම සෞඛව ගැටලු පාලනය කර ගැනීම. ජලමූලාශ්ර හා භූගත ජලය අපිරිසිදු වීම වැළැක් වීම , පරිසර සංරක්ෂණය , ඉන් ලැබෙන වාසි වේ. ERS යන්ත්‍රය භාවිතයෙන් ඊට අමතරව ආදායම් ඉපයීමේ අවස්ථාවක් හා විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ අවස්ථාවක් ද සැලැසෙනු ඇත. ඉඩම් කාලය ශ්‍රමය හා මුදල් අවම ලෙස භාවිත කරමින් කසළ කළමණාකරණයට ERS යන්ත්‍රය භාවිතයෙන් හැකියාව ලැබේ. එබැවින් ලංකාවට සුදුසුම ක්‍රමවේදය ලෙස ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය මේ යන්ත්‍රික ක්‍රමවේදය කෙරෙහි යොමු වීම වැදගත් වේ.
යන්ත්‍රය උසස් ජපන් තාක්ෂණය භාවිතයේන් නිපදවා ඇති අතර මේ සියලු ක්‍රියාදාමය සිදු වන්නේ බැක්ටීරියා තුනක ක්‍රියාකාරිත්වයෙන් අධික උෂ්නත්වයක් තුළ කාබනික ද්‍රව්‍ය වේගයෙන් කොම්පෝස්ට් බවට පරිවර්තනය කිරීමෙනි.
පරිසරයට කිසිදු අපද්‍රව්‍යක් මුදා නොහැරෙන අතර දුගඳ නසා පිරිසිදු ජලය පමණක් මුදා හරි. කුණු ව්‍යසනයක්ව ඇති ලංකාව කුණු වලින් තොර ප්‍රදේශයක් බවට පත් කිරීමට අපට හැකියාව තිබියදී එය නොසලකා හැරීම නොකළ යුත්තකි. මේ යන්ත්‍රයේ ප්‍රධාන ඒකකය ආයෝජනයක් ලෙස සලකා ආනයනය කිරීමට රජයේ හෝ පළාත් පාලන හෝ පෞද්ගලික අංශයේ ආයතන යොමු වන්නේ නම් අපට කුණුවලින් තොර දේශයක් කරා යෑමට හැකි වනු ඇත.
සේයාරුව මාලන් කරුණාරත්න