
පතලේ ගැඹුර මීටර් 476කි. පහළට යද්දී සෝපානයෙන් නැඟෙන දඩ දඩ හඬ හදවත ගැස්ම තවත් තීව්ර කරයි. දෑස් ක්‍රමයෙන් අඳුරට හුරු වෙද්දී ආරක්ෂක හිස් වැසුමේ ඇති විදුලි එළියෙන් ක්‍රමයෙන් අවට දිස්වෙන්නට විය. එහෙත් මීටර් ගණනක් පහළට යනතෙක් හතරවටින් දිස්වන්නේ ගන කළුවර පමණි. අතරමඟදී වේගයෙන් පහළට යන සෝපානයේ ගමන් වේගය මන්දගාමී වේ. එවිට සිතට දැනෙන්නේ බියකි. මෙලෙස ගිය සෝපාන ගමන විනාඩි දෙක තුනකදී නතරවිය. අප පතලේ අතර මඟකට පැමිණ ඇති බව දැනුණේ එවිටය. මටත් හොරා මගේ මුවින් සැනසුම් සුසුමක් පිටවිය.
අප ගමන ආරම්භ කළේ හිමිදිරියේමය. අරුග්ගම්මන බෝගල පතල් බිමට පැමිණෙන විටත් කම්කරුවෝ එක්කෙනා දෙන්නා වැඩ බිමට පැමිණෙමින් සිටියහ. බෝගල පතල පිහිටි බිමට යනවිට මුලින්ම දිස්වන්නේ වසර සිය ගණනකටත් වඩා පැරණි යැයි අනුමාන කළ හැකි විසල් බෝ රුකකි. ගලක් මත බෝධින් වහන්සේ පැළවී ඇති නිසා මෙම ප්‍රදේශය බෝගල නම් වන්නට ඇතැයි යන්න ගැමි විශ්වාසයයි. අක්කර එකසිය දෙකක පමණ භූමි ප්‍රමාණයක බෝගල පතල පිහිටා ඇත්තේය. කලක් තිස්සේ බෝගල පතලට යෑමේ අප සිත්හි පැවැති සිහිනය සැබෑ වෙමින් තිබිණි.
වසර එකසිය පනහක් පමණ පැරණි බෝගල පතල ගැන අප අසා ඇති කතා බොහෝය. එමෙන්ම අද වන විට ඇමෙරිකාව, ප්‍රංසය, ඉන්දියාව, පාකිස්තානය, කොරියාව හා චීනය වැනි රටවලට අපේ රටෙන් මිනිරන් අපනයනය කරයි. මෙය අපට ආඩම්බර වියහැකි කරුණකි. බෝගල පතල හැරුණු විට කහටගහ පතලද තවමත් සක්‍රීය මට්ටමේ පවතී. අතීතයේ ලංකාවේ බොහෝ පතල් තිබී ඇති බවට සාධක බොහෝය. කලකට පෙර අපි දුම්බර පතල බලන්නට ගියෙමු. අප එහි යන දවස වන විටද එය අතහැර දැමූ පතලකි. නමුදු විටින් විට කතා මවන බෝගල පතලේ තොරතුරු සෙවීමට තිබූ ආශාව නිසාම මේ ගමන පැමිණියෙමු.
ඒ මොහොතේ පතල් සේවකයෝ පතලට බහින්නට සූදානමින් සිටියහ.
“දැන් අපි පහළට බහින්නයි හදන්නේ. ඒත් මෙන්න මේකට අස්සන් කරන්න වෙනවා.” බෝගල පතලේ සුරක්ෂිත නිලධාරි ටී. චමින්ද අප ඉදිරියේ කොළයක් සහ පෑනක් තැබීය. සිය කැමැත්තෙන් පතලට බසින බවත් යම් අනතුරක් සිදු වුවහොත් ඊට කිසිවෙකුගේ වගකීමක් නැති බවත් එහි සඳහන් විය. කියවා අත්සන් කිරීම සඳහා එය අපට දෙනු ලැබීය. මහත් උජාරුවෙන් වසර සිය ගණනක් පැරණි බෝගල පතල බැලීමට යනවා යැයි කියා පැමිණිය ද ඒ මොහොතේ හිත මොහොතකට ගැස්සිණි. ජායාරූප ශිල්පී වාසිත, රියැදුරු සම්පත් හා මම මුහුණට මුහුණ බලා ගත්තෙමු.
සිතේ චකිතය පසෙකලා වෙන දෙයක් වුණාවේ යැයි සිතමින් අපි එහි අස්සන් තැබූවෙමු. යකඩ සෝපානය සුදානම්ය. එය මිනිසුන් මෙන්ම ඩක්කුද ඉහළ පහළ ප්‍රවාහනය කරන සෝපානයකි. එහි වරකට දොළොස් දෙනෙකුට පමණ ගමන් කළ හැකිය. ඒ වනවිට උදෑසන පෙරෙට්ටුව ආරම්භ වී තිබිණි. මිනිසුන් කාර්යබහුලය. ඔවුහු කණ්ඩායම් වශයෙන් පතලට බැසීමට සූදානම්ව සිටියහ. බූට්ස් දමා හෙල්මට් පැලඳ සිටි ඔවුහු අපටද ඒ ඇඳුම් ඇඳ ගැනීමට සැලැස්වූහ.
පතලේ අප සිටි තැන සිට පතලේ ගැඹුර මීටර් 476කි. සෝපානයේ නැඟී පහළට යද්දී සෝපානයෙන් නැඟෙන දඩ දඩ හඬ හදවත ගැස්ම තවත් තීව්ර කරයි. දෑස් ක්‍රමයෙන් අඳුරට හුරු වෙද්දී ආරක්ෂක හිස් වැසුමේ ඇති විදුලි එළියෙන් ක්‍රමයෙන් අවට දිස්වෙන්නට විය. එහෙත් මීටර් ගණනක් පහළට යනතෙක් හතරවටින් දිස්වන්නේ ගන කළුවර පමණි. ඒ යන අතරමඟදී වේගයෙන් පහළට යන සෝපානයේ ගමන් වේගය මන්දගාමී වේ. එවිට සිතට දැනෙන්නේ බියකි. විනාඩි කිහිපයක් මෙලෙස අතරමඟ නැවතෙමින් ගිය සෝපාන ගමන විනාඩි දෙක තුනකදී නතරවිය. අප පතලේ අතරමඟ තැනකට පැමිණ ඇති බව දැනුණේ එවිටය. මටත් හොරා මගේ මුවින් සැනසුම් සුසුමක් පිටවිය.
“අපි දැන් සිරස්ව පොළොව යටට මීටර් එකසිය විසි හතරක් ඇවිල්ලා තියෙන්නේ. මෙතැනට කියන්නේ ඇල්ෆට් ආවාටය කියලා. දැනට මෙහි මිනිරන් කැණීම් කරන්නේ නැහැ. මේවායේ මිනිරන් කඩලා ඉවරයි. මිනිරන් පතලේ සම්පූර්ණ ගැඹුර මීටර හාරසිය හැත්තෑ හයක් තියෙනවා. අපි දැන් මුහුදු මට්ටමට වඩා යටට යනවා.” සුරක්ෂිත නිලධාරි චමින්ද සෝපානයේ සිටම අපට කරුණු පැහැදිලි කරයි.
අප මඳ වෙලාවක් ගත කළේ දෑස් එහි ඇති අඳුරට හුරුකර ගැනීමටය.
දෑස් අඳුරට හුරුවෙද්දී අප දුටුවේ ඈතින් ඈතට අඳුරේ ඇදී ඇති බිංගෙයක් වැනි උමගකි.
වසර එකසිය පනහකටත් වඩා පැරැණි බෝගල පතල දහනව වැනි සියවසේ මුල් භාගයේදී පමණ ඇරඹෙන්නට ඇතැයි සැලකේ. බෝගල පතල මෙතැන ඇරැඹීමේ කතාව මෙසේය. ගම්මුන් මේ ප්‍රදේශය හඳුන්වන්නේ අරුග්ගම්මන කන්ද ලෙසිනි. එක්දහස් අටසීයේදී පමණ ආරුග්ගම්මන ගැමියන් තම දෛනික අවශ්‍යතා සඳහා පොළොව කැණීමේද දිලිසෙන ද්‍රව්‍යයක් පොළොව යට තිබෙනු දැක ඇත. ඒ කාලයේ ඔවුහු ඒ මිනිරන් යැයි නොදැන සිටියහ. පසුව ඒ මිනිරන් බවට හඳුනාගත් ගමේ කීපදෙනක් මේ ප්‍රදේශයේ මිනිරන් කැණීම ආරම්භ කර ඇත්තාහ. ඉන්පසු පතල්කරුවන් කිහිපදෙනෙකු එක්ව කන්දේ තැනින් තැන මිනිරන් හාරන්නට පටන් ගෙන ඇත. එකල මිනිරන්වලට හොඳ මිලක් ද විය. ප්‍රදේශයේ මිනිරන් හාරන ලද පතල් මහ බෝගල, පුංචි බෝගල හා කරදවත්ත ආදී නම්වලින් හඳුන්වා ඇති අතර මේ එක් පතලක හිමිකරුවා වී ඇත්තේ කතෝනිස් බාස් හෙවත් ප්‍රනාන්දු මහතාය. පසුකාලීනව මොහු බෝගල කන්දේ සියලු පතල්වල හිමිකරුවා වී ඇත්තේය. මෙම පතල් ලියාපදිංචි කර ඇති අතර බෝගල පතලේ ලියාපදිංචි අංකය වන්නේ SAB3851 ය.
බෝගල පතල ආරම්භයේදී සාම්ප්‍රදායික ක්‍රම ඔස්සේ මිනිරන් කැණීම සිදු කළද පසුකාලිනව නවීන ක්‍රම භාවිතා කරන්නට විය. එසේ වීමට හේතුවක් වූයේ පතල් හිමිකරුවූ කතෝනිස් බාස් ගේ පුතුන් දෙදෙනාගෙන් එක් අයෙකි. ඔහු මහා බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලබා නැවත මව් රට පැමිණියේ හිතමිතුරකු සමඟිනි. බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ඔහු පතල් කැණීම් විශාරදයෙක් වූයේය. නමින් ක්‍රිස්ටෝපර් රෙනොල්ඩ්ස්ය. මෙරටට පැමිණි ඔහු බෝගල පතල නිරික්ෂණය කළේය. මෙය ශ්‍රී ලාංකිකයෙකු යටතේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සේවය කළ ප්‍රථම අවස්ථාව ලෙසද සැලකේ. තම දැනුම උපයෝගී කරගනිමින් ක්‍රිස්ටෝපර් බෝගල පතල් සඳහා තට්ටු කැපීම හා පිරවීමේ ක්‍රමවේදය හඳුන්වා දී ඇත්තේය. ක්‍රිස්ටෝපර් හා ඔහුගෙන් පසුව පැමිණී යුරෝපිය ජාතිකයන්ගේ දැනුම ලබමින් තාක්ෂණය උපයෝගි කරගනිමින් ප්‍රනාන්දු පවුලේ පතල් කර්මාන්තය දියුණු වන්නට විය.
බෝගල පතලේ මිනිරන් කර්මාන්තයට අද වන විට බොහෝ සෙයින් නවීන තාක්ෂණය මුසුව ඇත්තේය. කටුවට මිටියට හා ගල්බෝර ගැසීමට පමණක් වැඩි බරදුන් මිනිරන් කර්මාන්තය සඳහා දැන් දියමන්ති විදුම් යන්ත්‍ර භාවිතයද අතින් ක්‍රියාත්මක කරවූ දබරය වෙනුවට විදුලි සෝපානය ද ආදේශ වී ඇත. කුප්පි ලාම්පුවට හා ඉටි පන්දම වෙනුවට කාබයිට් ලාම්පුව භාවිත කෙරුණු අතර දැන් උමං මං දිගේ විදුලි ලාම්පු තිබේ. අතීතයෙන් වර්තමානය දක්වා පැමිණි බෝගල මිනිරන් පතලේ උමං මං දෙපැත්තේ ඇත්තේ දිය බැස යෑම සඳහා සැකසූ කානුය. දෙපස කළුගල් බිත්ති ය. හිසට ඉහළින් ඇත්තේද කළුගලය. උමග දිගේ යන මේ ගමන අපට නුහුරුය. නමුදු බක්කි තල්ලු කරමින් යන ඔවුන්ට ඒ ගමන හොඳින් හුරුය.
බෝගල පතලේ අඳුර අතරේ සිරව සිටියදී හිත අතීතය කරා ඇදී යයි. මිනිසුන් එදවස පතල් රස්සාව කරන්නට ඇත්තේ ජීවිතය ගැන කෙතරම් නම් දෙගිඩියාවෙන් වන්නට ඇත්ද?
වසර තිස්දෙකක් තිස්සේ බෝගල පතලේ සේවය කරන ගාමිණීගෙන් අපි ඔහුගේ පතල් කෙරුවාව ගැන විමසුවෙමු.
“මම ජාතික ආධුනිකත්ව මණ්ඩලයෙන් ඉගෙන ගත්තේ. කම්මල්කරුවකු හැටියට තමයි පතලට එක් වුණේ. මගෙ තාත්තාත් සීයාත් රස්සාව කළේ පතලේ. තාත්තා අවුරුදු තිහක් පතල් රස්සාව කරලා තියෙනවා. මගෙ හිතට බයක් දැනෙන්නේ නැහැ. මම බොහොම ආසාවෙන් රස්සාවට එන්නේ. ” ඔහු පැවසීය.
පතල් රස්සාව පහසු නැත. නමුදු මෙහි අද වන විට ආරක්ෂාවට මුල් තැන දෙනු ලැබේ. මීට කලකට පෙර පතලේ සිටියේ පතල් බාස් ය. දැන් සිටින්නේ කණ්ඩායම් නායකයන්ය. උදෑසන 7 වන විට පතලේ වැඩ ආරම්භ කැරෙන එම සේවා මුරය දහවල් එකයි තිහ දක්වා තිබේ. සවස දෙකට පමණ ආරම්භ වන ඊළඟ සේවා මුරය රාත්‍රී දහය දක්වාය. මේ අතර සේවකයන්ට උදෑසන දිවා රාත්‍රී ආහාර නොමිලේ ලබාදෙනු ලැබේ.
ගල් දෝනාවල යමින් මිනිරන් ඉල්ලම් මතුකරගෙන ඒවා මුදල් කළ මිනිස්සු එකල ගජ පොහොසත්තු වූහ. ඒ මිනිරන් පතලට තනි අයිතිකරුවන් සිටි යුගයේය. එක්දහස් නවසිය හැත්තෑ දෙකේදී පතල රජයට පවරා ගැනුණු අතර එය රාජ්‍ය මිනිරන් සංස්ථාව යටතේ පාලනය විය. කෙසේ වෙතත් අද වන විට මෙම පතලේ අයිතිය ඇත්තේ ජර්මානු සමාගමකටය.
අතීත හා වර්තමාන තොරතුරු විමසමින් අපි පතලේ තවත් පතුලට ගියෙමු.
“මේ පතලේ ප්‍රධාන ඉල්ලම් දෙකක් තියෙනවා. එකක් නා ඉල්ලම. අනික කුඹුක් ඉල්ලම. කුඹුක් ඉල්ලමට අතු ඉල්ලම් තියෙනවා. ඒ ඉල්ලම් වල තමයි මිනිරන් කඩන්නේ. පතලේ ලිෆ්ට් එක ක්‍රියාත්මක කරන්නේ සංඥා මගින්. උමගේ අපට නොපෙනෙන ඉසව්වක සිට පතලේ ක්‍රියාකාරිත්වය මෙහෙය වන්නේ වින්චිකරුයි. ඔහු ඉන්නේ කළු ගලෙන් එහා පැත්තේ.” චමින්ද උමං මං දිගේ අප හා යමින් පතලේ ක්‍රියාවලිය විස්තර කරයි. ඒ අතරවාරයේ පහළ දෝනාවල කඩන ලද මිනිරන් බක්කිවල පුරවා උඩට ගෙ යන ලැබේ. මිනිරන් පතලක් යැයි කියූ විට අපට සිතෙන්නේ එහි සිදුකැරෙන එකම කාර්යය වන්නේ මිනිරන් කැණීම පමණක් කියාය. නමුදු පතලක් ඇතුළත සිදුවන තවත් කාර්යන් බොහෝය. එනම් පලංචි දැමීම, දමා ඇති පලංචිවල යකඩ ආදිය අබලන් වී ඇති දැයි සොයා බැලීම යනාදී බොහෝ කටයුතු වෙයි. මේ සියලු කටයතු සඳහා පතලේ කාර්ය මණ්ඩලය සියයක් වෙති.
මේ වන විට මිනිරන් කැණීම සඳහා අපේ රටේ පමණක් භාවිතකරන අවි ආයුධ ද වේ.
සුනිල් පතල් රස්සාවට එක්වී මේ වෙද්දී වසර විසි හතකි. ඔහු අප හා පැවසුවේ එදා මෙදාතුර පතල් කර්මාන්තයේ දියුණුවයි.
“ඉස්සරට වඩා දැන් තාක්ෂණය දියුණුයි. අපි මෙහෙ වැඩට එනකොට වඩා පතල දැන් දියුණුයි. මගේ හිතේ බයක් තිබුණේ නැහැ. මම බොහෝම කැමැත්තෙන් මේ රස්සාවට ආවේ. අපි හැම වෙලාවෙම අපේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. ඉස්සර වගේ නෙමෙයි අනතුරු වෙනවා බොහෝම අඩුයි.”
ජයවික්‍රම හා ජයකොඩි නඩත්තු කණ්ඩායමේ සේවය කරන්නෝය.
“අපි ආවාටවලට යනවා. ඒවායේ ඇති යකඩ දිරාපත් වෙලාද? ගල් කඩා වැටෙනවද කියලා හොයලා බලනවා. ” ඔවුන් සිය කාර්යභාරය විස්තර කළේ සේවයේ නිරතව සිටියදීමය.
බොහෝ වේලාවක් උමං මංවල රැඳී සිටීම නිසා දැන් අපේ දෑස් අඳුරට හුරුය. අප සිටින සීමාව ආලෝකයෙන් නැහැවෙමින් තිබුණද හාත්පස අඳුරුය. අපට මඟ පෙන්වමින් ඉදිරියට ගිය චමින්ද නතර වූයේ ගල්දොරුවක් මතය.
“මෙතැනින් යටට බහින්න පුළුවන්. දොරුවේ ඉණිමං බැහැගෙන ගියාට පස්සේ මිනිරන් කඩනවා. බාල්දිවලින් තමයි ඒ මිනිරන් දොරුවෙන් ගන්නේ. බාල්දිවලින් ගන්න මිනිරන් බක්කිවලට පටවලා ලිෆ්ට් එකෙන් උඩට ගන්නවා.” ගල් උමගේ අතරමඟ තිබූ දොරුව (පොෙළාව යටට යා හැකි දොරක්) පෙන්වමින් චමින්ද පවසයි.
“මෙතැනින් පහළ තමයි වැඩ බිම තියෙන්නේ” උමග ඇතුළේ බිම ඇති දොරක් පෙන්වමින් ඔහු පවසයි.
චමින්ද ඡායාරූප ගැනීමට වාසිත සමඟ උමගේ තැනක ඇති කුඩා ඉනිමඟකින් පහළට බසින්නට විය. ඔවුන්ට ඇති එකම එළිය වූයේ හිස් වැසුමේ රැඳි ටෝච් එළිය පමණි.. ඔවුන් ගිය පසු කළුගල් පතුරක් මත හිඳගත් මම මගේ හිස්වැසුමේ එතෙක් දැල්වෙමින් තිබූ එළිය නිවා දැමුවෙමි. දැන් උමග ඇතුළේ ඇත්තේ ගන කළුවරකි. මිනිසුන් මෙතරම් කළුවරේ සිටින්නේ කොහොමද? කළුවරට වඩවඩාත් දෑස් හුරුකර ගැනීමට උත්සාහ දරණ අතරේ සගයෝ යළිත් ඉණිමඟ දිගේ මා සිටි තැනට එන්නට වූහ. ඔවුන් සමඟ ඉහළට පැමිණියේ අප අතර නොසිටි අයෙකි.
ඔහු සුමිත් රත්නායක ය.
“මම අවුරුදු දොළහක් තිස්සේ පතලේ රස්සාව කරනවා. කණ්ඩායම් නායකයෙක් හැටියට ඉන්නේ. මිනිරන් කඩන එක තමයි කරන්නේ. පතල ඇතුළේ ස්වාභාවික වාතය තිබුණාට කොම්ප්‍රෙෂර් එකක් මගින් හුළං පොම්ප කරන්න ඕනෑ. එතකොට තමයි පතලේ හැම තැනටම හුළං යන්නේ. උදේ 8.15 විතර වෙනකොට හුළං දෙනවා. ස්වාභාවික හුළං තිබුණට ඒවා ලැබෙන්නේ කම්ප්රෙෂර් එක වැඩකරනකොට. හුළං නැතිව ඉන්න බැහැ රස්නෙයි. දැන් මම මේ රස්සාවට හුරුවෙලා ඉන්නේ.
චමින්ද හා පතලේ බොහෝ තැන්වල ඇවිදිමින් කල් ගත කළ අපි පැය කිහිපයකට පසු මීටර හාරසිය හැත්තෑ හයක යට සිට පොළොව මතුපිටට පැමිණියෙමු. බොහෝ වේලා අන්ධකාරයේ සිටි හෙයින්දෝ අපගේ දෑස් ආලෝකයට හුරුවීමට මද වේලාවක් ගතවිය. ඒ වන විටත් පිටත මිනිරන් පිරවූ බක්කි ගණනාවක් එක පෙළට තබා තිබිණි. ඒ පෙර දවසේ හා එදින කඩන ලද මිනිරන්ය. අතීතයේ පොළොව මතින් දෝනා හාරමින් ගන්නා ලද මිනිරන් ඉල්ලම් අද වන විට කෙතරම් නම් ගැඹුරට ගොස් ඇද්ද. එය අදහා ගැනීමට බැරි තරම්ය. පොළොව යට ඇති උමංවල ගැඹුරේ තරම දැනෙන්නේ පතලට බැස්ස විටය.
කෙසේ වෙතත් අද වන විට සේවක සුබ සාධන කටයුතු වෙනුවෙන් ආයතනය බොහෝ ක්‍රියා මාර්ග ගෙන ඇත්තේය. පසුගිය වසරේදී ජර්මානු සමාගම විසින් සිය සමාගමේ වසර සියය සැමරිමේ උත්සවයේදී බෝගල පතලේ ප්‍රධාන සූපවේදියා වන උපුල් දිසානායකට විශේෂ අවස්ථාවක් ලබා දුන්නේය.
“ඒ උත්සවයට අපේ ආයතනයෙන් අට දෙනෙක් සහභාගි වුණා. ප්‍රධාන සූපවේදියා වන මට එහි දී ශ්‍රි ලංකාවේ කෑම වර්ග සහිත ප්‍රදර්ශන කුටියක් කිරීමට අවස්ථාව දුන්නා. මම අපේ දේශීය කෑම එම ප්‍රදර්ශනයට තිබ්බා. ඒ සඳහා විශේෂ ඉල්ලුමක් පැසසුමක් අපට ලැබුණා.”
උපුල් පවසන්නේ සතුටිනි. වැඩබිමේ සිටින කාර්ය මණ්ඩලය වෙනුවෙන් දිනපතා කෑම ලබාදෙන්නේ සුමිත්ගේ අධීක්ෂණය යටතේය.
(විශේෂ ස්තුතිය - බෝගල ග්‍රැෆයිට් ලංකා පී.එල්.සී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අමිල ජයසිංහ හා විශ්‍රාමික මේජර් දිමුත් මහලියන යන මහත්වරුන්ට)
ඡායාරූප - වාසිත පටබැඳිගේ