
- මහ මෝල් හිමියන් හාල් කිලෝ 1කින් රුපියල් 35ක ලාභයක් ලබනවා රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් ටෙරන්ස් ගාමිණී
- වී ටික ගොවියාම සහල් කර විකුණුවොත් ගොවියාත් පාරිභෝගිකයාත් දිනුම් කවුඩුල්ලේ ගොවි නායක එම්.කේ. ජයතිස්ස
- රජය වී හා හාල් වෙළෙඳපොළට මීට වඩා බලපෑම් කළයුතුයි ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
හාල් මිල ඉහළ යෑම පිළිබඳව කරුණු දැක්වූ ප්රගතිශීලී ගොවිජන සම්මේලනයේ සභාපති එම්.කේ. ජයතිස්ස මහතා පැවසුවේ අපේ රටේ සහල් මිල අඩු කිරීමට නම් නිෂ්පාදකයන්ගෙන් කෙළින් ම පාරිභෝගිකයන්ට සහල් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.
ඒ අනුව තමන් ඇතුළු හිඟුරක්ගොඩ ගොවි සංවිධාන එකතුවී කොළඹ පාරිභෝගික සංවිධානවලට අවශ්‍ය සහල් අඩු මිලට ලබා දෙනවා. මේ වැඩපිළිවෙළ අනුව දැනටමත් පොලොන්නරුවේ විවිධ ගොවි සංවිධාන එක්වී සමුපකාර සමිති පිහිටුවා අවසන්. එය රටපුරා ප්‍රචලිත කිරීමට පියවර අරන්. මේ මඟින් අලුත් ගුණාත්මක රසවත් සහල් කෙළින්ම කොළඹ පාරිභෝගිකයන්ට ලබාදීමට අපි ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට හාල් කිලෝවක් රුපියල් 70-100 අතර මිලකට පාරිභෝගිකයන්ට ලබා දෙන්න පුළුවන්. මේවාට කල්තබා ගන්න වස විස දමන්නේ නැහැ.
මහ මෝල් හිමියන් කරන්නේ රුපියල් 32 – 35 ගන්නා වී කිලෝව සහල් කර රුපියල් 100 – 125 ට විකිණීමයි. ඒ මඟින් ඔවුන් වී කිලෝ 1 කින් රුපියල් 25 – 30 ක් ලාභ ලබනවා. මේක වැළැක්වීමට නම් කළ යුත්තේ නිෂ්පාදකයා තම වී හාල් කර කෙළින් ම පාරිභෝගිකයාට ලබාදීමයි. එවිට වී ගොවියාට තම හාල්වලට වැඩි මිලක් ලැබෙන අතර පාරිභෝගිකයාට ගුණවත් රසවත් වස විස නැති හාල් ද ලැබෙන බව ජයතිස්ස මහතා කියයි.
මේ පිළිබඳව කරුණු දැක්වූ ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ කැඳවුම්කරු චින්තක රාජපක්ෂ මහතා පැවසුවේ, මහ මෝල් හිමියන් සහල් තොග හංගාගෙන සිටීමත්, පසුගිය මහ කන්නයේදී උතුරු මැද පළාතේ අක්කර ලක්ෂයක් පමණ කීඩෑ උවදුරෙන් විනාශවීමත් නිසා සහල් මිල වැඩිවෙමින් පවතින බවයි.
අප රටේ මහ වී මෝල් හිමියන් පසුගිය මහ කන්නයේ හා යල කන්නයේ හාල් ගත්තේ කිලෝ 1 ක් රුපියල් 30 – 35 අතර මිලකට. දැන් ඒ අය ඒ වී වලින් හාල් කිලෝවක් රුපියල් 100 – 150 අතර මිලකට අලෙවි කරනවා.
මේ රෙට් හාල් මිල පාලනය කිරීමට රජය මීට වඩා මැදිහත් විය යුතුයි. වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නා වී ප්‍රමාණය වැඩි කළ යුතුයි. වී වගාවට අවශ්‍ය නව ලොව නව තාක්ෂණික දැනුම ජනතාවට දිය යුතුයි. බිත්තර වී ටික ලාබෙට දිය යුතුයි.
2015 පසුගිය රජය බලයට එනවිට සහල්, බඩ ඉරිඟු, ලොකු ලූනු, සෝයා, වියළි මිරිස් යන බෝගවලින් රට ස්වයංපෝෂිත කරනවයි කියලා පොරොන්දු වුණා. ඒත් අඩුගානේ හාල්වලින්වත් රට ස්වයංපෝෂිත කරන්න බැරි වුණා. හාල් මිල අහස උසට නැග්ගා. මේකට විසඳුම රජය ගොවි සංවිධාන හා මෝල් හිමියන් සමඟ එක්වී වැඩියෙන් හාල් වෙළෙඳපොළට දැමීමයි.
අද අපේ රටේ හාල් මෝල් 500 ක් විතර සම්පූර්ණයෙන් වහලා දාලා. තවත් මෝල් බොහෝ ප්‍රමාණයක් විටින් විට වහනවා. වී තිබෙන කාලෙට විතරයි අරින්නේ. මේ තත්ත්වය වෙනස් කර හාල් ගැටලුව විසඳීමට කෘෂි විද්‍යාත්මක හා විද්වත් කමිටුවක් මඟින් රජය කටයුතු කළ යුතුයි. අතරමැදියන් නොමැතිව ගොවියා කෙළින්ම පාරිභෝගිකයනට හාල් ලබාදෙන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු බවත්, චින්තක රාජපක්ෂ මහතා පැවසීය.
අද අපේ රටේ පවතින මහ මෝල් හිමියන්ගේ බරපතළ ඒකාධිකාරය නිසා හාල් මිල පාලනය කිරීමට රජයට අපහසු වී ඇති බව උතුරුමැද මහජන සැලසුම් සංසදයේ කැඳවුම්කරු වන ටෙරන්ස් ගාමිණී මහතා පවසයි.
අද මේ මහ මෝල් හිමියන් සතුව අපේ රටට මාස 3 – 4 කට අවශ්‍ය වී තොග තිබෙනවා. ඒවා අරන් තිබෙන්නේ වී කිලෝව රුපියල් 32 – 36 අතර මිලකට. ඒ අය දැන් ඒ වී වලින් හැදූ වී කිලෝව රුපියල් 100 – 135 දක්වා ඉහළ ගණන්වලට අලෙවි කරනවා.
මේ අනුව මේ අය හාල් කිලෝ 1කින් රුපියල් 25 – 30 ක අතර ලාභයක් ලබනවා. නමුත් මහ මෝල් හිමියන් තම මෝල් ඉදිරිපිට සඳහන් කර තිබෙන්නේ වී කිලෝවක් රුපියල් 45 – 50 අතර මිලකට මිලදී ගන්නා බවයි. ඒ අනුව පරණ වී වලටත් දැන් වී මිල අනුව මිල තීරණය කර සහල් විකුණා අධික ලාභ ලබාගන්නා බවත් ටෙරන්ස් මහතා පවසයි.
“අපේ ගොවියාට වී කිලෝවක් නිපදවීමට රුපියල් 30ක නිෂ්පාදන වියදමක් යනවා. නමුත් වී කිලෝවක් අපෙන් ගන්නේ 35 ට. පාරිභෝගිකයන් ඒ වගේ තෙගුණයක් ගෙවලා හාල් කිලෝ 1ක් මිලදී ගන්න වෙලා තිබෙනවා. මේ තත්ත්වය නැති කිරීමට රජය වී අලෙවි මණ්ඩලය හරහා කාර්යක්ෂම වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි” ටෙරන්ස් ගාමිණී මහතා පවසයි.
මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ පොළොන්නරුව ප්රගතිශීලී ගොවිජන සම්මේලනයේ සංවිධායක ඩබ්.එන්.එන්. විනාධිපති මහතා පැවසුවේ හාල් මිල පාලනය කිරීමට සහල් පාලන මිල ක්‍රියාත්මක කළයුතු බවයි. ඒ සමඟම වී අලෙවි මණ්ඩලයේ මිලදී ගන්නා වී සහල් කිරීමට කුඩා පරිමාණ වී මෝල්වලට ලබාදී ඒ මෝල් හිමියන්ට සහන සැලසිය යුතු බව ද විනාධිපති මහතා පැවසීය.
ඒ සමඟම වැසී ඇති සහල් මෝල් හිමියන්ට රුපියල් ලක්ෂ 12 – 20 ක පමණ ණය ආධාර ලබාදී ඒ අය නඟා සිටුවා රජයේ වී තොග ඉක්මනින් සහල් කර වෙළෙඳපොළට යැවීම මඟින් සහල් මිල පාලනය කළ හැකි බව ද විනාධිපති මහතා පෙන්වා දෙයි.
මේ අනුව බලන විට අපේ රටේ සහල් ගැටලුව විසඳීමට විවිධ අදහස් හා ක්‍රම විධි ඕනෑ තරම් ඇත. අප කළ යුත්තේ ගොවි සංවිධාන හා සමුපකාර සමඟ එක්ව ඒවා ක්‍රියාවට නැංවීමයි.
මහ මෝල් හිමියන් සහල් මිල අඩු කළා
අලෙවි හා ආහාර ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන
- හාල් මිල වැඩි කළොත් මිල පාලනයක් ඒවි
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ අලෙවි ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යපාර අංශයේ හිටපු අංශ ප්‍රධාන, ජීවන වියදම් කමිටු සාමාජික සහ කෘෂි ආර්ථික ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී ඩබ්.එච්.දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසන්නේ ඉදිරි දිනවල සහල් මිල අඩුවන බවයි. මේ ඒ මහතා සමඟ සාකච්ඡාවකින් සකස් කළ වෙළෙඳපොළ විවරණයකි.
රට තුළ සහල් වෙළෙදපොලේ පවතින වර්තමාන තත්ත්වය සහ මිල හැසිරීම කෙබඳුද?
ප්‍රථමයෙන් සහල් වෙළඳපොළ පිළිබඳ සලකා බැලීමේදී පසුගිය මාස 6ක කාලපරිච්ඡේදයට සාපේක්ෂව සම්බා හැර අනෙකුත් සියලුම සහල් වර්ගයන්හි මිල මට්ටම්හි පහළයාමේ ප්‍රවණතාවක් තොග සහ සිල්ලර යන වෙළඳපොළ දෙකෙන්ම වාර්තාවෙනවා. ඒ අනුව, රටේ සමස්ත ජනගහනයෙන් 80%කට ආසන්න ජනතාවක් පරිභෝජනය කරන ප්‍රධාන සහල් වර්ගය වන නාඩු සහල් මිල ගණන්හි කැපී පෙනෙන පහළයාමක් පසුගිය මාස කිහිපයට සාපේක්ෂව මේ වන විට දක්නට ලැබෙනවා. විශේෂයෙන් රතු සහ සුදු කැකුළු සහල් තොග මිල කිලෝවක් රු.60.00-70.00 අතර පවතින අතර සිල්ලර මිල රු.70.00-රු.85.00 දක්වා පරාසයක වාර්තා වුණා. එසේම, නාඩු සහල් තොග මිල රු.75.00-79.00 අතර වන විට එහි සිල්ලර මිල රු.80.00-90.00 අතර මිලක් දක්නට ලැබුණා. (2018.11.10 වන විට). එසේම පළමු පන්තියේ නාඩු සහ සම්බා සහල් අලෙවි කරනු ලබන මහා පරිමාණ සහල් මෝල් හිමියන් ද මිල කිලෝවකට රුපියල් 10.00 කින් පමණ මිලකින් පහත දැමීමට කටයුතු කර ඇත.ඒ අනුව පසුගිය වසර තුළ පැවති සීමිත සැපයුමත් සමඟ ඉහළගිය සහල් මිල මේ වන විට ඉල්ලුම් සැපයුම් බලවේග සමඟ පහළයෑමේ ප්‍රවණතාවක් දැකිය හැකිය.
වර්තමානයේ සහල් වෙෙළඳපොළ පිළිබඳ විශ්ලේෂණාත්මක විවරණයක යෙදුණොත්...
ඉදිරි මාස කිහිපය තුළ මෙරට සහල් වෙළඳපොළ තුළ කැපී පෙනෙන මිල පහළයාමක් සිදු වෙන්න පුළුවන්. මොකද ජීවන වියදම් කමිටු තීරණයකට අනුව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්විම යටතේ මෙරට සියලුම සුළු හා මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමඟ වූ එකඟතාවයකට අනුව ප්‍රධාන සහල් වර්ග දෙක වන සම්බා සහ නාඩු යන දෙවර්ගයෙහිම මිල 2018 නොවැම්බර් සහ සිට පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කීරි සම්බා හැර සුපිරි සම්බා කිලෝවක් රු.108.00ක උපරිමයක් යටතේ ද සුපිරි නාඩු සහල් ද ඇතුළු නාඩු සහල් කිලෝවක් රු.88.00ක සිල්ලර මිලකටත් ලබා දීමට කටයුතු කිරීමට මෙරට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් සියලු දෙනා එකඟතාවයට පැමිණියා.දැනට ඔවුන්ගේ මෙම සහල් සිල්ලර වෙළෙඳපොළ තුළ අලෙවි වනුයේ සම්බා සහල් කිලෝවක් රුපියල් 119.00 ක් සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 98.00 ක් ලෙස විය. ඒ අනුව මෙම සතියේ සිට සියලුම සුපිරි වෙළෙඳසැල් ජාලය තුළ මෙන්ම ලංකා ස.තො.ස අලෙවිසල් සහ අනෙකුත් සිල්ලර වෙළඳසැල් තුළ මෙම මිල සහල් බෑගය පිටත සටහන් කොට අලෙවි කිරීමක් සිදුවෙතැයි අපේක්ෂා කරනවා.
විශේෂයෙන් ඕනෑම භාණ්ඩයක් මිල දී ගැනීමේදී අදාළ භාණ්ඩයේ සඳහන් කර ඇති උපරිම සිල්ලර මිලට එහා ගිය මිලක් නොගෙවීමට පාරිභෝගිකයාට ද අයිතියක් තිබෙනවා. එම තත්ත්වය සහල් වෙළඳපොළට ද ඒ ආකාරයෙන්ම අදාළ වෙනවා. අපි දන්නවා සබන්, දත්බෙහෙත් වැනි ද්‍රව්‍යවලත් මුද්‍රිත මිලට එහා ගිය මිලක් ගෙවන්නේ නැහැ. ඒ අනුව සුපිරි සම්බා සහල් කිලෝග්‍රෑම් 10 පැකට් එකක් රු.1080.00ක මිලකටත් සුපිරි නාඩු සහල් කිලෝ 10 පැකට් එකක් රු.880.00ක මිලකටත් අලෙවි විය යුතු ය. විශේෂයෙන් සඳහන් කරන්න ඕන පසුගිය මාස කිහිපය තුළ සියලු මහා පාරිමාණ මෝල් හිමියන්ගේ මෙම සුපිරි සම්බා අලෙවි කරනු ලැබුවේ කිලෝ 10 පැකට් එකක් රු.1190.00ක් වැනි මිලකටත් නාඩු කිලෝ 10 පැකට් එකක් රු.980.00ක් වැනි මිලකටත් වීමයි. ඒ වගේම මෙම නව මිල ගණන් යටතේ කිලෝ 05 සුපිරි සම්බා සහල් පැකට් එකක් රු.540.00ක් වැනි මිලකටත් නාඩු කිලෝ 05 පැකට් එකක් රු.440.00ක් වැනි මිලකටත් අලෙවි විය යුතුයි. මෙම මහා පරිමාණ මෝල් හිමියන් මෙම තත්ත්වයෙන් ඉතාම හොඳ සහල් වල මිල කිලෝවක් රු.10.00 කින් පමණ පහත දැමීමට කටයුතු කිරීම සෘජුවම විවෘත වෙළෙඳපොළ තුළ දෙවන පෙළ අලෙවි වන සම්බා සහ නාඩු සහල් මිල කිලෝවක් රු.8.00-10.00 අතර මිලකින් අඩුවීමක් අනිවාර්යෙන්ම සිදු විය යුතුය. එනම්, සාමාන්‍ය වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය තුළ සහල් වල තත්ත්වය පාරිභෝගික රුචිකත්වය තත්ත්වයෙන් ඉහළ සහල් වල මිල මට්ටම් පහළයෑම මෙසේ මිල පහළයාමක් සිදුවීමට ප්‍රධාන වශයෙන් හේතු වනවා.
අනෙකුත් වසර තුළ මෙම සහල් මිල උපරිමයක් දැකිය හැක්කේ කුමන මාසයන්හිදීද...
විශේෂයෙන් සඳහන් කරන්න ඕන සෑම වසරකම අනෙකුත් මාසයන්ට සාපේක්ෂව සහල් මිල ඉහළ යන ප්‍රධානතම මාස තුන තමයි මෙම ඔක්තෝබර් මස 15 සිට ජනවාරි 15 දක්වා කාල සීමාවයි. නමුත් මෙම වසර තුළ එම තත්ත්වය පාරිභෝගිකයාට වාසිදායක වන අයුරින් ගලපගන්නට විශේෂයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සෘජු මැදිහත් වීම හේතු වී තිබෙනවා. ඒ වගේම දැනට මෙම සම්බා සහල් සඳහා එකඟතාවයකට පැමිණි රු.108.00 සහ නාඩු සහල් සඳහා වන රු.88.00ක මිල එළඹෙන 2019 ජනවාරි මාසයෙන් පසු තවදුරටත් පහත හෙළීමට මෙරට සියලු මහා පරිමාණ මෝල් හිමියන් මෙහිදී එකඟතාවයකට පැමිණීම ද විශේෂත්වයක්. ඒ අනුව ජීවන වියදමට බලපාන ප්‍රධානතම ආහාර කාණ්ඩයේ මිල පහළයාම පාරිභෝගික ජනතාවට ද කිසියම් ආකාරයක සහනයක් සිදුවෙන්න පුළුවන්.
සහල් නිෂ්පාදනයේ ඉහළයෑමක් මෙම වසර තුළ දැකිය හැකිද?
මෙම වසර තුළ කෘෂිකර්මාන්තය සඳහා පැවති හිතකර කාලගුණයත් සමඟ 2017/18 මහ කන්නයෙන් සහ 2018 යල කන්නයෙන් මෙම වසර සඳහා ප්‍රමාණවත් සහල් නිෂ්පාදනයක් රටට ලැබී තිබෙන බව කාෂිකර්ම දෙපාර්තමේන්තු සංඛ්‍යා දත්ත පෙන්වා දෙනවා.
සාමාන්‍යයෙන් රටේ ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 110ක් පමණ වන අතර ඒ අනුව රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙ.ටො. ලක්ෂ 24කට ආසන්න වෙනවා. ඒ අනුව දැනට පවතින තත්ත්වය අනුව මෙම වසර තුළ කිසිඳු සහල් ප්‍රමාණයක් ආනයනය කරන්න කිසිඳු අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. ඒ වගේම තමයි එළඹෙන මහ කන්නය තුළින් ද ඉතා හොඳ නිෂ්පාදනයක් විශේෂයෙන් වී වගා කරනු ලබන ප්‍රධාන නිෂ්පාදන ප්‍රදේශයන්ගෙන් අපේක්ෂා කරන්න පුළුවන්. මොකද මෙවර මහ කන්නය සඳහා අපේක්ෂිත වර්ෂාව නිසි පරිදි සියලුම නිෂ්පාදන ප්‍රදේශයන්ට මේ වනවිට ලැබෙමින් පවතිනවා.
සහල් සඳහා පාලන මිලක් නොදමා මහා පරිමාණ මෝල් හිමියන්ගේ මිල පහළ දැමීම වෙළෙඳපොළ තුළ කෙසේ වේද?
සහල් සඳහා රාජ්‍ය මැදිහත් වීම යටතේ ඒකපාර්ශ්වීය ලෙස පාලන මිලක් දැමීම පසුගිය කාලය පුරාවටම අසාර්ථක වීම අපි දැකපු ප්‍රධාන ලක්ෂණයක්. ඒ අනුව මෙම අවස්ථාවේදී මේ ආකාරයට සියලුම ආකාරයේ සහල් නිෂ්පාදකයින්ගේ නියෝජනයක් සහිතව මෙසේ මිල පහළ දැමීමට එකඟතාවකට පැමිණ මිල මට්ටම පහළ දැමීමට කටයුතු කිරීම වෙළඳපොළ ක්‍රියාවලිය තුළ ඉතා හොඳ ලක්ෂණයක් ලෙස මා දකිනවා. මන්ද වෙළෙඳපොළ තුළ පැවතිය හැක්කේ එසේ නීතියක් ලෙස දමන මිලකට වඩා රීතියක් ලෙස යොදන මිලක් වීමයි. එයට හොඳම උදාහරණය පසුගිය කාලය පුරාවටම කිසිඳු සුපිරි වෙළෙඳසලක මහා පරිමාණ මෝල් හිමියන්ගේ නාඩු සහල් අලෙවිය සිදු නොවීම දක්වන්නට පුළුවන්.
සහල් මිලහි අසාමාන්‍ය ඉහළ යෑමක් ඇතැයි ඔබ සිතන්නේද..
දැනට පවතින මෙම සහල් මිල පසුගිය වසර කිහිපයකට සාපේක්ෂව සලකා බැලීමේදී අසාමාන්‍ය ඉහළ මිලක් ලෙස ඇතැම් පුද්ගලයින් අර්ථ දැක්වීමට උත්සාහ කළ ද රටේ පවත්නා අනෙකුත් භාණ්ඩ හා සේවාවන්හි මිල මට්ටම් වල ඉහළයෑමට සාපේක්ෂව සහල් මිලෙහි එවැනි අසාමාන්‍ය වර්ධනයක් දැකගත නොහැක. පසුගිය වසර තුළ පැවති නියඟ තත්ත්වයත් සමඟ සහල් නිෂ්පාදනයෙහි පහළයෑම හේතුවෙන් දේශීය සහල්වල මිල මට්ටම ඉහළ ගිය ද වර්තමානය වන විට කාලගුණික තත්ත්වයන් යහපත් වීම මත ප්‍රමාණවත් සැපයුමක් වෙළෙඳපොළට ලැබෙමින් පැවතීම හේතුවෙන් දේශීය සහල් මිල ගණන්හි සාපේක්ෂ පහළ මට්ටමක් දැකගත හැකිය. නිරන්තරයෙන් රටේ පවත්නා වී මිලට දෙගුණයකින් සහල් මිල ගණන් පවතින්නේ නම් එය අතිප්රාමාණික ලාභ නොමැති තාත්වික වෙළෙඳපොළ මිලකි. පවතින වෙළෙඳපොළ තත්ත්වය මත ඉදිරි මාස කිහිපය තුළ ද දැනට පවතින සහල් මිලෙහි ඉහළයාමක් කිසිසේත්ම අපේක්ෂා නොකරයි. කෙසේ නමුත් ආනයනික සහල් සඳහා සාපේක්ෂව ඉහළ මිලක් පවතින අතර ප්‍රමාණවත් දේශීය සහල් තොග පවතින බැවින් සහල් ආනයනය සීමා කර තිබීම එම අඩු සැපයුමට සහ ඉහළ මිලට ප්‍රධාන හේතුව වී තිබේ. විශේෂයෙන් වර්තමානය වන විට දිවයින පුරා ලංකා ස.තො.ස. අලෙවිසල් ජාලය තුළ මෙන්ම බොහොමයක් සුපිරි වෙළෙඳසල් තුළ ද සහල් සඳහා අඩු මිල මට්ටම් දැකගත හැකිය.
ඉදිරියේදී සහල් මිලෙහි ඉහළ යෑමක් ඇති වුවහොත් ඒ සඳහා රජයක් හැටියට මැදිහත් විය හැක්කේ කෙසේද? ඒ සඳහා මැදිහත්විය හැකි රාජ්‍ය අායතන පවතීද?
වර්තමාන රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය තුළින් වී ගොවියාගේ අස්වැන්න සඳහා ඉහළ ඉලක්ක මිලක් ලබා දෙමින් අස්වැන්න මිල දී ගැනීමට ඉදිරිපත්ව සිටින වී අලෙවි මණ්ඩලය හරහා මේ සඳහා යම් මැදිහත්වීමක් කළ හැකි තත්වයක පවතී. රටේ පවතින සහල් සහ වී වෙළෙඳපොළ පිළිබඳ විධිමත් අධ්‍යයනයකින් පසු ඉදිරිය සැලසුම් සකස්කර ඇත. එනම්, සහල් සඳහා අස්වනු රහිත කාලය තුළ පවතින මිල ඉහළයෑම් පාලනය කිරීමත් අස්වනු සමය තුළ වී මිල පහළයෑම පාලනය කිරීමත් අරමුණින් මිල දී ගන්නා වී තොග නැවතත් වී තොග ලෙසම අලෙවි නොකර සහල් බවට පරිවර්තනය කර හොඳ තත්ත්වයෙන් යුත් සහල් විවෘත වෙළෙඳපොළ තුළ අලෙවි කිරීමට ගෙන ඇති වැඩපිළිවෙළයි. මෙම වැඩසටහන කාලීන වශයෙන් ඉතා අගය කළ යුතු එකක් වන අතර එහි ඉලක්කය වී ඇත්තේ සෑම වසරකම සහල් මිල ඉහළ අගයක් ගනු ලබන නොවැම්බර් සිට ජනවාරි දක්වා කාල සීමාව වේ. එසේම, එම සහල් අලෙවියේදී විශේෂයෙන් අඩු ආදායම් සහිත ග්‍රාමිය සහ වතු ජනතාව ඉලක්කකොට ක්‍රියාත්මක විය යුතු අතර ඒ තුළ අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට හැකි වන අතර සමස්ථ සහල් මිලෙහි ඉහළයාම කිසියම් ප්‍රමාණයකට පාලනය වීමක් සිදු විය හැකිය. එනම්මෙවන් වැඩසටහනක් ක්රියාක්මක කිරීම තුළින් රජය වී මිලදී ගැනීම හි අරමුණ ඉටුවන අතරම අස්වනු රහිත කාලයේ දී සහල් වෙළෙඳපොළෙහි ඇතිවිය හැකි අසාමන්‍ය මිල ඉහළයෑම ද පාලනය විය හැකිය. ඒ අනුව රාජ්‍ය යාන්ත්‍රණය වී වෙළෙඳපොළට පමණක් නොව සහල් වෙළෙඳපොළටද අවතීරණය වීම වීම සහල් මිල ද පාලනයකට ලක්කර ගැනීමට රුකුලක් විය හැකිය තවද, වෙළෙඳපොළ ඉල්ලම් සැපයුම් බලවේගයන්ට අභියෝගයක් කරමින් කෘතීම හිඟයක් හරහා සහල් හිඟයක් නිර්මාණය කර මිල ඉහළ දැමීමට ක්‍රියාකරන්නේ නම් ඒ සඳහා රජයක් හැටියට සහල් සඳහා පාලන මිලක් නියම කිරිමද එවන් තත්ත්වයක් හමුවේ අනිවාර්යෙන්ම සිදුවිය හැකිය.