
- මේ ලෙඩේට වැඩිපුර ගොදුරු වෙන්නේ පිරිමි
- අපිට පිරිසිදු වතුර ඕනෑ
- වැඩිහරියක් දරුවන්ට ඉන්නේ මව විතරයි
- වකුගඩුවක් බද්ධ කරන්න ඉඩම විකිණුවොත් දරුවො අනාථ වෙනවා
- දෙහිඅත්තකණ්ඩියේ පමණක් රෝගීන් 2790ක් ලියාපදිංචි වෙලා
රජරට ජන ජීවිතයට කණ කොකා හඬන වකුගඩු රෝගයට තවමත් නිශ්චිත හේතුවක් සොයා ගෙන නැත. පානීය ජලයේ ලවන සාන්ද්‍රණය ඉහළ යෑම, අධික ලෙස කෘෂි රසායනික භාවිතය ආදී විවිධ කාරණා මේ රෝගයට හේතුවිය හැකි බව වෛද්‍යවරුන් මෙන්ම මේ රෝගය පිළිබඳ ව පර්යේෂණ කරන විශේෂඥයෝද කියති. අද වන විට රසායනික ද්‍රව්‍ය භාවිතය යම් ප්‍රමාණයකට අඩුවී ඇත. එමෙන්ම පිරිසිදු කරන ජලය පානයට ගැනීම වැඩි වශයෙන් සිදු වෙයි. නමුත් දිනෙන් දින අලුතින් එකතුවන වකුගඩු රෝගීන්ගෙන් සායන පෝලිම් දිගු වෙයි. මහවැලි කලාපවල සෑම ගමකම අඩු වැඩි වශයෙන් වකුගඩු රෝගීහු වෙති.
වකුගඩු රෝගයට ගොදුරු වූ බහුතරය පිරිමි වෙති. ඒ අය අතරින් වැඩි දෙනෙක් තරුණ සහ මැදිවියේ උදවිය වෙති. රෝගයට ගොදුරුවී පියා මරු තුරුලට ගිය පසු දරු පවුල අන්ත අසරණ වෙයි. වැන්දඹු මවට පවුල්බර කරට ගැනීමට සිදු වෙයි. මහවැලි බී හා සී කලාප වලට අයත් සෑම ගම්මානයකම වකුගඩු රෝගයෙන් මිය ගිය ගොවි වැන්දඹුවන්ගේ කතාව එක හා සමානය.
මේ සෑම කෙනෙක් ම මීට වසර විසිපහකට, තිහකට පමණ පෙර වගා කටයුතු සදහා මහවැලියට පැමිණි උදවිය වෙති. ඔවුන්ගේ ජීවන අත්දැකීම් ද එක හා සමාන ය.
වර්තමානයේ පවතින සමාජ ආර්ථික ප්‍රශ්න හමුවේ ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේදැයි අපි ඔවුන්ගෙන් විමසුවෙමු.
“මගේ මහත්තයා වකුගඩු රෝගයට ගොදුරුවෙලා කියලා දැනගත්තේ 2008 අවුරුද්දේ. එයා මත්පැන්, දුම්වැටි පාවිච්චි කරපු කෙනෙක් නොවෙයි. ඒ වෙනකොට එයාගේ වකුගඩුව ක්‍රියාකාරී තත්ත්වය 5% යි කියලා දොස්තර මහත්තුරු කිව්වා. වකුගඩුවක් බද්ද කරන්න එයා අකමැති වුණා. එහෙම කරන්න අපිට කුඹුර උකස් කරන්න වෙනවා. එහෙම උනොත් දරුවෝ අසරණ වෙනවා. දෙහිඅත්තකණ්ඩිය රෝහලෙන් ප්‍රතිකාර කළා.
පරීක්ෂණවලට මාසෙකට සැරයක් මහනුවර මහරෝහලට අරන් ගියා. 2009 අවුරුද්දේ මහත්තයා සදහට ම අපිව දාලා ගියා. ඒ වෙනකොට එයාගේ වයස අවුරුදු 52 යි. දිඹුලාගල, සිරිපුර, මුදුන්කඩවල පදිංචි ඒ.ආර්. දයාවතී මහත්මිය අකාලයේ වියෝවූ තම සැමියා සිහිකරමින් තවමත් කඳුළු සලන්නීය.
“අපි මහවැලියට ආව මුල්කාලේ අසීමිතව දුක් වින්දා. නාන්නේ කුනු ඇලවල් වලින්. බොන්න වතුර මහවැලියෙ බවුසර් වලින් ගෙනැත් දුන්නත් එය ප්‍රමාණවත් නැති නිසා අපි ළිංවල කිවුල් වතුර බිව්වා. ඒ කාලේ වකුගඩු නරක්වීමේ රෝගයක් ගැන අපි දැනගෙන හිටියේ නැහැ.
මහත්තයාගේ අභාවයේ කම්පනය මටත් දරුවන්ටත් අදටත් තිබෙනවා. මහත්තයා නැති වුණත් දරුවෝ එක්ක එකතු වෙලා කුඹුරු වැඩ කරලා අපි ජීවිතේ ගොඩ නඟා ගත්තා. සිරිපුර, මුදුන්කඩවල මල්ලිකා රත්නායක මහත්මිය තම කටුක අත්දැකීම් වචනයට පෙරළුවා ය. රක්ෂිත ඉඩමක පැලක් හදාගෙන සැමියත් දරු පැටව් තුන්දෙනෙකු සමඟ හරි හරියට දුක් වින්ද බව ද ඇය පවසන්නීය.
“මම දරුවො තුන් දෙනෙකුගේ අම්මා කෙනෙක්. අපිට රජයෙන් ඉඩම් දෙන්න කලින් අපි මුදුන්කඩවල රක්ෂිතයක අනවසරයෙන් හිටියා. ඒ හිටියෙ මැටි ගෙයක් හදාගෙන. වැස්ස දවස් වලට ගෙදරට වතුර ගලනවා. එතකොට පුතාට වයස අවුරුද්දක් විතර ඇති. දරුවෝ නොතෙමෙන විදිහට මැස්සක් උඩ තියලා අපි එළිවෙනකම් ඇහැරගෙන හිටිය අවස්ථා තිබුණා. ඉඩම් ලැබුණට පස්සෙත් අපිට සැපක් තිබුණෙ නැහැ.
අනිත් අය වගේම අපිත් කුඹුරු කරල ගෙයක් දොරක් හදා ගත්තා. දරුවන්ට පුළුවන් උපරිමයෙන් උගන්නුවා. දරුවෝ උස්මහත් වෙනකොට තාත්තා වකුගඩු රෝගයට ගොදුරු උනා. දරුවන්ගේ තාත්තාට මේ ලෙඩේ හැදිලා කියලා දැනගත්තු මුල් දවස්වල අපි නොකා නොබී දුක් වුණා. රෝගයට දෙහිඅත්තකණ්ඩිය රෝහලෙන් බෙහෙත් ගත්තා. ඒ රෝහලේම සායන වලට ගියා.
ලෙඩේ හඳුනාගෙන මාස හයකින් දරුවන්ගේ තාත්තාට හොඳට ම අමාරු වුණා. ඒ වෙනකොට ජීවිතයට මුහුණ දෙන්න අපි හිත හදාගෙන හිටියා.2011 දෙසැම්බර් මාසේ එයා නැති වුණා.එවිට එයාගේ වයස අවුරුදු 50 යි. වකුගඩු මාරයාට දරුවන්ගේ තාත්තා ගොදුරු උනා කියලා අපි වැලපෙමින් හිටියෙ නැහැ. කෙහොමහරි දුක දරාගෙන ජීවිතේට මුහුණ දෙන්නවා. වකුගඩු රෝගයට ගොදුරුවු පවුල්වල තරුණ මව්වරු ජීවිතය ජය ගන්න බොහෝ වෙහෙසෙන බව සැලසුම්ගම ග්‍රාම නිලධාරී නාලක සදරුවන් මහතා පවසයි.
“සැලසුම්ගම ග්‍රාමසේවා වසමට ගම්මාන දෙකක් අයත් වෙනවා. ඒ සැලසුම්ගම සහ මුදුන්කඩවලයි. මේ වසමේ පවුල් 410 ක් ඉන්නවා. ජනගහනය 1410 යි. වසම තුළ වකුගඩු රෝගීන් 29 දෙනෙකු ඉන්නවා. ජනගහනය වැඩි ගම්මානවල රෝගීන් ප්‍රමාණයත් වැඩියි. වකුගඩු රෝගයට ගොදුරුවූ අයට රජයෙන් දීමනාවක් දෙනවා. ඒ වගේම ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් නිවාස ආධාරයක් දෙනවා.
ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නඟා සිටුවීම වෙනුවෙනුත් විවිධ වැඩ සටහන් ක්‍රියාවට නංවා තිබෙනවා. මගේ පසුගිය වසර හතරක සේවා කාලය තුළ මේ ග්‍රාම සේවා වසම තුළ වකුගඩු රෝගයෙන් 09 දෙනෙකු මියගොස් තිබෙනවා.
සැමියා මිය ගියා කියලා මේ එක කාන්තාවක්වත් සැලුණේ නැහැ. ධෛර්යය සම්පන්නව නැඟී සිටියා. සමහර අවස්ථාවල තරුණ මවුවරුන්ට සමාජයෙන් නොයෙක් බලපෑම් ඇති වෙනවා. ඒ වගේ අවස්ථාවල ඒ මවුවරු ඇවිත් අපිව දැනුවත් කරනවා.
අසරණ වූ කන්තාවකට සමාජය සලකන්න ඕන විදිහ අදාළ පුද්ගලයාට පැහැදිලි කළාට පසුව ඒ වගේ බාධාත් වැළකෙනවා. දරුවො යහමඟ යවන්න නම් මවගේ භූමිකාව හරිහැටි තිබිය යුතුයි. මෙම පවුල්වල මවට මවුපිය දෙදෙනාගේම වගකීම් ඉටු කළ යුතුව තිබෙනවා. මෙය එක්තරා විදිහක අභියෝගයක්.
කෙසේ හෝ මේ මවුවරු ජීවිතය ජය ගන්නවා. ඩෙංගු, මැලේරියාව ආදියට නම් මදුරුවෝ හේතුවක් වන බව දන්නවා.ඒ රෝග වලින් බේරෙන්න කරන්න ඔනෑ දේවල් අපි දන්නවා. නමුත් වකුගඩු රෝගයට හේතුව ජලය බව කියනවා. රසායනික බෙහෙත් පොහොර බව කියනවා. නමුත් තවම නිශ්චිත හේතුවක් නැහැ. මේ ලෙඩේට ගොදුරු වෙන්නේ වැඩිපුර පිරිමි අයයි. මගේ වසමේ මෙතෙක් වකුගඩු රෝගයෙන් මිය ගියේ පිරිමි විතරයි. වතුර හෝ රසායනික ද්‍රව්‍ය හේතුවක් නම් ගැහැනු අයටත් මේ රෝගය වැළදෙන්න එපායැ.
මුදුන්කඩලවල පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන පාලිකාව සෝමා නවරත්න මහත්මියයි. ප්‍රදේශයේ කුඩා දූ දරුවන් සිය දහස් ගණනකගේ නැණ පහන් දැල්වූ ඇයගේ සමාජ සේවාවට නොදෙවනි සේවාවක් සැමියා වූ මහින්ද ජයලත් මහතා ඉටු කළේය.
නරක ලෙඩේට ගොදුරු වී සිටි ඔහු ඒ සියල්ල නිමාකර පසුගිය වර්ෂයේ නොවැම්බර් මාසයේ අවසන් ගමන් ගියේය. නරක ලෙඩේට ගොදුරුවී තම සැමියා අහිමිවූ ඇය තවමත් සමාජ සේවාවේ නිරතවී සිටින්නේ පවුලේ යුතුකම්ද නිසිලෙස ඉටුකරමින් ය.
“අපේ මුල් ගම් ගල්ගමුව. අපි 1991 අවුරුද්දේ මහවැලි සී කලාපයේ පදිංචියට ආවා. අපිට මුලින්ම ඉඩම් ලැබුණේ යක්කුරේ. නමුත් එතන ප්‍රශ්න තිබුණ නිසා මුදුන්කඩවලට ආවා. මගේ මහත්තයා වකුගඩු රෝගයට ගොදුරු වෙලා ඉන්නවා කියලා මුලින්ම හදුනාගත්තේ 2007 අවුරුද්දේ.
එදා ඒ නරක ආරංචිය දැනගත්තු මොහොතේ මගේ ජීවිතය නැතිවෙන්න යනවා වගේ හැගීමක් ඇති වුණා. අපේ පවුලම ආගම දහමට නැඹුරු අය නිසා හිත හදාගන්න පුළුවන් වුණා. ඒ රෝගයට බෙහෙත් බීලා වෙනත් අතුරු ආබාධත් හැඳුණා. ඊට පස්සේ සතියකට දවසක් දෙකක් රෝහල් ගතවෙලා ප්‍රතිකාර ගන්න සිද්ධ වුණා.
මහත්තයා ප්‍රදේශයේ පොදු සමාජ සේවා කටයුතුවලදී නායකත්වය අරගෙන වැඩකරපු කෙනෙක්. වසර නවයක් පුරා වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව සිටි එයා පසුගිය අවුරුද්දේ අපෙන් සදහටම වෙන් වුණා. අපේ ගම්මානයේ මේ වන විට වකුගඩු රෝගයට ගොදුරුවී ප්‍රතිකාර ගන්න විශාල පිරිසක් ඉන්නවා. අනාගත පරපුර මේ රෝගයෙන් බේරා ගැනීමට අපි කටයුතු කළ යුතුයි.
දැන් ගොවිතැනට වසවිස යෙදීම නම් ගොඩක් දුරට අඩුයි. ඒ උනත් පසට හා ජලයට එකතුවී තිබුණු වස විස අපේ ජීවිතවලට දීර්ඝ කාලීනව බලපෑම් ඇතිකළ හැකියි. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ අපේ ගමටත් පොදුවේ භාවිත කළ හැකි බැර ලෝහ ඉවත් කරන ජල පිරිපහදුවක් ලබා දෙන්න කියලා.
බොහෝ කාලයක් වකුගඩු රෝගයෙන් පීඩා විදින විට ප්‍රතිකාර සදහා මේ පවුල් වල උදවියට විශාල මුදලක් වියදම් කිරීමට සිදු වෙයි. බොහෝ අවස්ථාවල පවුලේ එකම ආදායම් මාර්ගය වූ කුඹුරත් උකස් කිරීමට සිදු වෙයි. අවසානයේ අකාලයේ පියා මියයන්නේය. මෙසේ පියා අහිමිවූ දරුපවුලක් ඇද වැටෙන අගාධය ගැන අමුතුවෙන් කිවයුතුව නැත.
රටට බත සපයන මේ ගොවි දරුපවුල්වල ජන ජීවිතය නඟා සිටුවීමේ වගකීම ඇත්තේ මහවැලි අධිකාරියට ය. සිරිපුර, පරගස්වැව මහවැලි ඒකකයේ ක්ෂේත්‍ර සහකාර වසන්ති ප්‍රියදර්ශනී මහත්මිය මේ ගමනේදී හමුවු තවත් එක් රාජ්‍ය නිළධානියකි. ඇය තම අත්දැකීම් මෙලෙස අනාවරණය කළාය.
“ගෙදරක තාත්තා වකුගඩු රෝගියෙක් කියලා දැනගත්තු ගමන් මුළු පවුලම මානසිකව වැටෙනවා. ඒ අවස්ථාවල අපි මුලින්ම ඔවුන්ගේ මානසිකත්වය ගොඩ නඟනවා. ඒ වගේම මෙම රෝගයට ප්‍රතිකාර ගැනීමට විශාල මුදලක් වැය වෙනවා. සමහරු කුඹුරු ඉඩම් පවා උකස් කරනවා. මෙවැනි අවස්ථාවල අසරණ වෙන මිනිසුන්ගේ ඉඩම් උකස් ගන්නත් පිරිසක් බලා ඉන්නවා. ඒ නිසා අපි විශේෂයෙන් මෙම පවුල් ගැන අවධානය යොමු කරනවා.
කුඹුර උකස් නොකර එයින් ලැබෙන ආදායමෙන් පවුලේ කටයුතු සමබරව ගෙන යන්න මඟ පෙන්වීම කරනවා. ඒ වගේම පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්න වෙනත් විකල්ප ආදායම් මාර්ග සැලසුම්කර දෙනවා. විශේෂයෙන් මහවැලියෙ කාන්තාවො ධෛර්ය සම්පන්නයි. ඔවුන් අභියෝගවලට මුහුණ දෙනවා. වකුගඩු රෝගයෙන් සැමියා මිය ගියා කියලා ඔවුන් මහමඟට වැටෙන්නෙ නැහැ. කොහොම හරි ජීවිතේ ජය ගන්නවා. මේ වන තුරු අතරමංවූ කිසිවෙක් මට හමු වෙලා නැහැ.
දෙහිඅත්තකණ්ඩිය, ගිරාදුරුකෝට්ටේ, මහියංගණ, පොලොන්නරුව, අනුරාධපුර ඇතුළු උතුරු මැද, නැගෙනහිර, ඌව ආදි පළාත්බද ප්‍රධාන රෝහල්වල සංඛ්‍ය ලේඛන පරීක්ෂා කර බැලුවහොත් දෛනිකව වකුගඩු රෝගී සායනවලට අලුතින් එකතුවන පිරිස වැඩි වීමක් මිස අඩුවක් දැක ගත නොහැකිය. දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වකුගඩු සායනයට රෝගීන් 2790 ක් ලියා පදිංචි වී සිටින බව වෛද්‍ය අධිකාරී මහේෂ් දහනායක මහතා කියයි.
ගිරාඳුරුකෝට්ටේ දිසා රෝහලත් එවැනිම රෝගී පිරිසකට පිහිට වෙයි. වකුගඩු රෝගී පිරිස හෝ රෝගයෙන් මියයන පිරිස් පිළිබඳ නිවැරදි සංඛ්‍යාදත්ත කිසිදා ඉදිරිපත් කළ නොහැකිය. හේතුව ඒ තරමට දෛනිකව වකුගඩු රෝගයෙන් සැලකිය යුතු පිරිසක් මියයෑම සහ විශාල පිරිසක් රෝගයට ගොදුරු වීමයි. දරුවන්ට පියවරු අහිමි වෙති. මවුවරු වැන්දඹුවෝ වෙති. රජරට විශාලා මහනුවරක් කරමින් වකුගඩු මාරයා ව්‍යාප්ත වෙයි. විසඳුමක් පෙනෙන තෙක් මානයකවත් නැත.