
පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර මහජනයාට වඩාත්ම සමීප රාජකාරියක නිරත වනුයේ රථවාහන හසුරුවන නිලධාරීන්ය. දිවා රෑ නොබලා රාජකාරියේ නිරත රථවාහන හසුරුවන පොලිස් නිලධාරීන් තරම් මහජනයාගෙන් 'බැණුම්' අහන පිරිසක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ නොමැති තරම්ය. ඇතැම් නිලධාරීන් නොමනා ලෙස හැසිරුණත් බොහෝ නිලධාරීන් රාජකාරිය අකුරටම ඉටුකළත් මහජනයාගෙන් ලැබෙනුයේ හොඳ ප්රතිචාරයක්නම් නොවේ.
පසුගිය තුන්වැනිදා ද රාජකාරිය නිසි ලෙස ඉටුකරමින් මහජනයාගේ යහපත වෙනුවෙන් කැපව නිලධාරීන් දෙදෙනකු රාජකාරි කරමින් සිටියේ රාගම ගුවන් පාලම යට දුම්රිය හරස් මාර්ගය අසලය. දුම්රිය ගේට්ටු වසා දමා තිබියදී ඒ අතරින් රිංගා යන රියැදුරන් නිසා සිදුවන අනතුරු හේතුවෙන් බොහෝ අවස්ථාවල එම ස්ථානයේ පොලිස් නිලධාරීහු රාජකාරියෙහි නිරත වෙති. එලෙස එදින පෙරවරුවේ රථවාහන රාජකාරියෙහි නිරත වූ පොලිස් නිලධාරින් දෙදෙනෙකුට අකරතැබ්බයකට මුහුණපෑමට සිදුවූයේ යතුරුපැදියක් ධාවනය කළ කාන්තාවක විසින් නිලධාරීන්ගේ රාජකාරි නිල ඇඳුමටද අගෞරව වන ලෙස අත-පය හසුරුවමින් බැණ වැදෙමින් කළ 'රංගනය' නිසාය.
කාන්තාවක එලෙස හැසිරෙමින් නිලධාරින් දෙදෙනා අසරණ කරන ආකාරය එදින එම සිදුවීම රූගත කරමින් සමාජ මාධ්‍යයට මුදාහළ වීඩියෝවක මනාව දිස්විණි. එම වීඩියෝ දසුන් සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය වීමත් සමඟ මේ ගැන බොහෝ අයගේ අවධානය යොමු වූයේ එම කාන්තාවගේ නොමනා හැසිරීමත් නිලධාරීන් දෙදෙනාගේ නීතිය අකුරට ඉටුකිරීමත් ගැන විවිධ මත පළ කරමිනි. සමාජ ජාල පුරා මේ කාන්තාව පොලිස් නිලධාරීන් දෙදෙනාට ‘නීතිය ඉගැන්වීමට’ ප්රයත්න දරන ආකාරය සිද්ධියේ පටිගත වූ දසුන් ද සමඟින් හුවමාරු වූයේ ඒ ගැන අපූරු කතාද සමඟිනි.
දුම්රිය හරස් මාර්ගය අසලදී රාජකාරිය ඉටුකිරීමට ගොස් කාන්තාවකගේ පීඩනයට හසුවූයේ පොලිස් කොස්තාපල්වරුන් වූ සත්‍ය බණ්ඩාර දිසානායක (77426) සහ අජිත් ගාල්ලගේ(64689) යන පෑලියගොඩ දිසා රථවාහන කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනාය.
කොස්තාපල් සත්‍ය බණ්ඩාර එදින තමන් මුහුණපෑ සිදුවීම ගැන අපට මෙසේ කීවේය.
“සාමාන්‍යයෙන් දුම්රිය හරස් මාර්ගවල අනතුරු වැඩි නිසා අප එවන් තැන්වල රාජකාරියට යොදවනවා. මම ඔය රේල් ගේට්ටුව අසල රාජකාරියට ගිය දෙවන අවස්ථාව. හරියටම වෙලාව උදේ 10.40යි. ඒ අවස්ථාවේ රේල් ගේට්ටුව වහලා තිබුණේ. ඔය කාන්තාව විදුලියෙන් ක්‍රියා කරන බයික් එකකින් ඇවිත් රේල් ගේට්ටුව ළඟ නතර කළා. හැබැයි බයික් එකේ නම්බර් ප්ලේට් තිබුණේ නෑ. මං ගිහින් ඒ ගැන විමසුවා. ඒ කාන්තාව කිව්වා, 'මේක ඉලෙක්ට්‍රික් බයික් එකක් නිසා ලයිසන් කරන්න අවශ්‍ය නැහැ' කියා. මං කිව්වා, 'එහෙම බෑ... නීතිය අනුව ලයිසන් කළ යුතුයි' කියා. ඊට පස්සෙ ඇය කියනවා, 'එහෙම කොහේද මම මේක අවුරුදු තුනහමාරක් තිස්සෙ පදිනවා කිසිම කෙනෙක් මාව අල්ලලා නෑ. ඇල්ලුවත් යවනවා...' කියා. මා ඇයට කරුණු පහදලා දීලා පස්සෙ ඇයගේ රියැදුරු බලපත්‍රය ඉල්ලුවා. බලනකොට ඇයට ලයිසනුත් නෑ. ඒ කාන්තාව අපි දෙන්නට හයියෙන් හයියෙන් ජරා කතා කියමින් බණින්න ගත්තා. ඒ අතරේ ඇය දුරකථන ඇමැතුමක් අරන් කාටද කෝල් කළා. ඒත් එක්කම පිරිමි දෙන්නෙකුත් ආවා. හැබැයි ඒ දෙන්නා ඇයගේ වරද පිළිගත්තා. පස්සෙ කාන්තාව මට තර්ජනය කරමින් 'තමුසෙලා ජරාව කන්න හදන්නෙ' ආදි ලෙස පවසමින් අත-පය දික්කරමින් පාට් එක දාන්න එනවා. ඇත්තටම කාන්තාවක එලෙස හැසිරෙද්දී අපත් අසරණ වෙනවා.”
විනාඩි ගණනක් පුරා කාන්තාව එලෙස හැසිරෙද්දී මඟතොට යනඑන අයගේද අවධානය එම සිදුවීමට යොමුවූයේ නිතැතිනි. ඒ අතරේ මාර්ගයේ රථවාහන තදබදයක්ද ඇතිවුණේ කාන්තාවගේ හැසිරීම් රටාවේ වූ ආවේගශීලි බව නිසා සිද්ධිය දැක ගැනීමට එතැනට සෙනඟ රොක්වීම හේතුවෙනි. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන ආකාරයෙන් කාන්තාවගේ නොමනා හැසිරීමෙන් අසරණ වූ පොලිස් නිලධාරීන්ගේ සහායට එසැණින් එම ස්ථානයට රොක් වූයේ රාගම නගර වැසියෝය. ඒ අතරින් මූලිකත්වය ගත්තේ අසල වෙළෙඳසලක් පවත්වාගෙන යන රාගම මැදවත්තෙ පදිංචි ඩබ්ලිව්. එන්. එස්. සොයිසා නමැති කාන්තාව සහ යුද හමුදා සෙබළෙකු වූ මධුෂංඛ ප්‍රේමරත්න යන දෙදෙනායි. සොයිසා මහත්මිය ගැටුම සමථයකට පත්කරමින් පොලිස් නිලධාරින් දෙදෙනාට නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ හසර විවර කර දෙන ආකාරය එම සිදුවීම පටිගත කළ වීඩියෝ දසුන්වලින් මනාව දිස්විය. එම සිදුවීම සමථයකට පත්කිරීමට මැදිහත්වූ ප්‍රේමරත්න අප හා මෙසේ කීවේය.
“මං ඒ වෙලාවේ ත්‍රිවිල් එකෙන් යමින් හිටියේ. ඒ කාන්තාව පොලිස් නිලධාරියාගේ ගෞරවය නැතිවන විදිහටමයි එතැනදී හැසිරුණේ... අත-පය දික්කරගෙන ගහන්නම වගේ ගියා... කාන්තාවක තියා පිරිමියෙක්වත් රාජකාරි ඇඳුමක් ඇඳපු කෙනෙකු ඉදිරියේ එහෙම හැසිරෙන්න හොඳ නැහැ. බයික් එකටත් ලයිසන් නෑ... කාන්තාවට රියදුරු බලපත්‍රයත් නෑ. පොලිස් නිලධාරියා මුල ඉඳලාම පහදලා දුන්නා එයාගේ වැරැදි ක්‍රියාව ගැන... ඒත් ඒ කාන්තාව ඒ කිසිවක්ම ගණන් ගත්තෙ නෑ. පස්සෙ සිද්ධිය මුල ඉඳලම දැකපු කඩේ අක්කා ආපු නිසා තමයි ගැටුම විසඳුණේ... ඒ අක්කා මුලින් හිතලා තියෙන්නෙ පොලිස් නිලධාරියාගෙන් කාන්තාවට වරදක් වෙනවා කියලා... පස්සෙ තමයි තේරිලා තියෙන්නෙ මේ කාන්තාව වැරැදි විදිහට හැසිරෙනවා කියලා..”
වසර කීපයක් තිස්සේම රියැදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදි ධාවනය, යතුරුපැදිය ලියාපදිංචි නොකර ධාවනය සහ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සාපරාධි බලහත්කාරය පා කටයුතු කළ වැලිසර කාන්තාවක වූ 31 හැවිරිදි සපුනි සචිත්‍රා පෙරේරා නමැති ඇය රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඒ අනුව ඇයව රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද අධිකරණය නියෝග කළේය.
සෑම විටෙකම පාහේ පොලිස් නිලධාරීන්ට එරෙහිව නැඟී සිටින මහජනයා මෙවර නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීම මෙහිදී කැපී පෙනිණි. ඒ මොහොතේ නිලධාරීන්ගේ සහායට එක්වූ අය අතර පෙරමුණගෙන ක්‍රියා කළ සොයිසා මහත්මිය සහ මධුෂංඛ ප්‍රේමරත්න යන දෙදෙනා පසුගිය 5 වැනිදා කොළඹ උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් තම කාර්යාලයට කැඳවනු ලැබීය. නීතිය හා සාධාරණය වෙනුවෙන් පෙනී සිටි දෙදෙනාට ප්‍රශංසා කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමස්ත මහජනයාගේ එම ක්‍රියාව අගයමින් පොලිස්පති උපදෙස් මත පොලිස් ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ප්රදානය කිරීමට අවැසි කටයුතු යොදන බවද ප්‍රකාශ කළේය.
මේ වෙද්දී සිද්ධිය මුළු රට පුරාම කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වූයේ ඒ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ජාලාවල පළ වූ අපූරු උපහාසාත්මක කියුම් ද සමඟිනි. ඉන් එක් කියුමක් මෙසේ විය. “රියදුරු බලපත්‍රය නොමැතිව යතුරු පැදි ධාවනය කළ හැකි බව පොලිසියට වටහා දුන් දිරිය කාන්තාවට අපේ උත්තමාචාරය” යන්නය.
පොලිස් දෙපාර්තමේන්තුව තුළ නීතියට පිටින් කටයුතු කරන නිලධාරින් අතළොස්සක අතරින් නීතිය අකුරට ඉටුකිරීමට වෙර දරන මෙවන් නිලධාරීන්ට සහාය දීම සෑම පුරවැසියකුගේම යුතුකමයි.