ඇයි මේඛලා ඔයා බය වෙලා වගේ ඉන්නේ? | Page 49 | සිළුමිණ

ඇයි මේඛලා ඔයා බය වෙලා වගේ ඉන්නේ?

චන්ද්‍රලතා ගෙදර වැඩපළ කළේ දහසක් දේවල් හිතන ගමන්ය. දැන් සියලු රහස් එළිවෙලාය. ශ්‍රී ජය වලව්වත් රත්නපුර වලව්වත් ජයේන්ද්‍ර පුතාගේ ගෙදරත් දැන් මේ ආරංචියෙන් ගිනියම් වෙලාය. හැම කතාවේම කතා නායිකාව තමාය! ජයතිස්ස ආයෙත් දවස් දෙකක් ම අසනීප පිට ගෙදර සිටියේ පැක්ටරියේ අයට මූණ දෙන්න බැරි නිසාම වන්නට ඇත.

තරංගා කතා කරද්දී මලින්ද ඒ කතා අසා සිටියේ දෙසවන්වලින් විතරක් නොවේ. මුළු ශරීරයෙන්මත් හිතින්මත් තිගැස්සෙමිණි.අවන්හ‍ෙල් සිටිනා අනෙක් අය ගැන කිසිම හැඟීමක් නැති ගානට දෙදෙනා ම හෙම්බත් වෙලාය.

“මට හිතාගන්න බැරිවුණා මලින්ද; එක පාරටම එයාලා ඇවිත් තඩි වාහනේකින් බැහැලා කෑගහන්න පටන්ගත්තා.”

“ඔයාට අඳුනන්න පුළුවන්ද ඒ කට්ටිය කවුද කියලා..”

“සන්ග්ලාස් දාලා... එකෙක්ගෙ අතේ පිස්තෝලයක්.. උන් දෙවනත් වෙන්න කෑගැහුවා මලින්ද.. අපට ඒක තමා හරිම ලජ්ජාව වුණේ.. අයියාට ඉවසන්න බැරිව ඉස්සරහට පැන්නා. මායි අම්මයි බ‍යවෙලා කෑගැහුවා. නැත්නම් එතන මහා ජංජාලයක් වෙන්නේ. සෙනගත් වට වුණා මලින්ද විලිලැජ්ජාවෙ පණ ගියා..”

තරංගා ගේ හැඬුම්බර හඬ මලින්දගේ සිත කම්පනය ක‍රයි.

“මට සමාවෙන්න.. තාරා... අපේ අප්පච්චිලගෙ පල් වැඩ තමා ඕවා! මං බලාගන්නම්කො.. මොකක්ද එයාලා කරන්නෙ කියල” මලින්ද කීවේ ස්ථිරසාර හඬින්ය.

අගෝරිස් කපුවාගේ කීම් ඔස්සේ අප්පච්චිලා කෙසේ හෝ තරංගලාගේ වාසස්ථානය හොයාගන්නට ඇත. මෑතක දී ඇතිවූ බහින්බස්වීම සහ අගෝරිස් කපුවා සමඟ ඇතිවූ කෝන්තරය අප්පච්චි මුදා හරින්නට ඇත්තේ මේ විදියටය. තමුන්ගේ ළඟ වැරදි තියාගෙන ලැජ්ජා නැතිව අනුන්ගේ වැරදිවලට ඇඟිල්ල දික් කරගෙන ඉන්නා කැත මිනිස් ගතිය...

“මං හොඳ පාඩමක් උගන්නන්නම්කො...”

මලින්ද එසේ තොල් මැතිරුවේ මන්ත‍රයක් ජපකරන ගානටය. තරංගා අසරණව සිසිල් බීම වීදුරුව දෙස බලා සිටියා පමණි.

********

‍අගෝරිස් කපුවා සහ ගොඩලියද්ද හාමු අතර ඇතිවූ අරෝව නිසා ඉස්මතු වුණු ‘රහස’ කන වැකුණු වෙලේ පටන් ජයමාල් සිටියේ කේන්තියෙනි. ශ්‍රීල් විසින් ඒ ප්‍රවෘත්තිය ඔහු වෙත සැල කරන්නත් කලින් ජයමාල්ට ගෙදර වාතාවරණය තුළ යම් වෙනසක් පෙනෙමින් තිබුණි.

කුස්සිය පැත්තට ගියත් සිරියා සහ ජන්තු කටුකුටු ගගා සිටිති. මිදුල පැත්තට ආවිට කරුණාදාස කුමාරත් සමඟ රහස් කතාබහක ය.

අම්මා නිතර ම ඔසරිපොට අතේ අරන් සාලය මැදින් එහෙ මෙහෙ යන ගමන්ය. දුරකථනය ළඟ ඇගේ ගැවසීම වැඩිය.

“මොකෝ අම්මෙ වෙලා තියෙන්නෙ.. කට්ටියම ගස් ගිල්ලා වගේ..”

නිර්මලා මැණිකේ සාලයේ පුටුවක වාඩි වී පොඩි පුතා දිහා බලයි.

“අනේ පුතේ පුතා ඔය ‘හුටු හුටු යන්තරෙන්’ යන්නෙ එන්නෙ බලාගෙන... පරිස්සමට... ඔයා ගෙදර එනකම් ඇ‍ඟේ ලේ වතුර වෙලා ඉන්නෙ..”

ජයමාල් පුතාගේ කට‍ කොණට නැ‍ඟෙන සමච්චල් හිනාව නිර්මලා මැණිකෙට පෙනෙන්නේ නැත.

“හා... අම්මා... දැන් මේ හින්දද කට්ටිය තැන් තැන්වලට වෙලා කසු කුසු මන්තර ජප කරන්නෙ... ආ... බොරුවෙන් වැඩක් න‍ෑනෙ අම්මා...! අපි සත්‍යයට ඔව් සත්‍යයට... මුහුණ දෙන්න ඕනෑ... ගොඩලියද්ද මාමාගෙත් පට්ටංදරයක් එළිවෙලා නේද... හහ්... බලාගෙන ගියාම.. අපේ අප්පච්චියි එයයි තකට තක... තමුන්ගෙ දරුවන්ට ගෑනුන්ට පාරෙ බැහැලා යන්න බැරි විදියෙ වැඩ කරන... හහ්... මේ වගේ නම්බුකාර හාමුලා...! ෂිහ්...!”

නිර්මලා මැණිකේ බියපත් වන්නේ තරුණ පුත්‍රයාගේ ආවේගය දැකලාය.

“පුතා.. ඕක නවත්තගන්න... අප්පච්චි එයි...”

ජයමාල් නිහඬව අම්මා දෙස බලයි. ඇගේ ඇස්වල රතුපාට පුතාගේ සිත පීඩාවට පත් කරයි.

“අහරෙ සුදු මැණිකෙ නැන්දා ආයෙ අසනීප වෙලා පුතේ.. රත්නපුර වලව්වෙ... එක විජ්ජුම්බරයයි..!”

“හා.. ඇත්තද... අම්මා ඉතින් කියලා දෙන්නකො තමුන්ගෙ නෑනණ්ඩිට... තමුන්ගෙ සුවාමියාගෙ අනාචාර හැසිරීම් ඉවසලා ඉන්නෙ කොහොමද කියලා... ෂිහ්... මට දැන් මේ ගමේ ඉඳලත් එපා වෙලා අප්පා...! මේවා මතක් වෙනකොට මට දැන් මේ රටත් අතෑරලා යන්න හිතෙන්නෙ..!”

ජයමාල් කෝපයෙන් කියමින් සාලයෙන් ආලින්දයට යද් දී, මිදුලේ සිට ආලින්දයට ගොඩවන විල්ප්‍රඩ් හාමු තම බාල පුතා දිහා බැලුවේ කුකුසෙන්.

“මොකෝ ඉලන්දාරියා... කෑ ගහන්නෙ... තමුන්ගෙ අම්මටද?”

“කෑ ගහන්නෙ... මම තව කෑගැහුවෙ නෑ!”

ජයමාල් මිදුලට බැස යකඩ අස්සයාගේ පිටේ නැ‍ඟී වේගයෙන් යන හැටි ඇස් දහයක් ම බලා සිටී. ඒ හාමු ජෝඩුවත් කරුණාදාස හා ජන්තුත් කුස්සිය පැත්තේ පැති මිදුලට ආ සිරියාත්ය!

“හත්දෙයියනේ... බේබි හාමු ගිය වේගෙ...! මේ කන්ද පල්ලම එසේ මෙසේ පල්ලමක් නෙවේනේ... ඇඟ හිරි වැටෙනවා... හපොයි දෙයියනේ එයැයිගෙ හිත හොඳටෝම කැඩිලා.... කුඩුපට්ටම් වෙලා ඇත්තෙ... මං දන්නවනේ... ශ්‍රීමාල් බේබි හාමු වගේ නෙමෙයි එයැයි හිතුවක්කාරයි... ඇට්ටරයි... පුංචි කාලෙ ඉඳන්ම...”

ජන්තු කරුණාදාසට ළංවෙලා කියන්නේ වටපිට ඇස‍් බමවමින්ය. ආලින්දයේ සිට හාමු ජෝඩුවත් මොනවාදෝ කියමින් සිටියත් එය ඇහුණේ නැත.

“මැණිකෙ හාමු අදත් යාවි වගේ රත්නපුර වලව්වට...” කරුණාදාස කීවේ හෙමිහිටය.

********

චන්ද්‍රලතා ගෙදර වැඩපළ කළේ දහසක් දේවල් හිතන ගමන්ය. දැන් සියලු රහස් එළිවෙලාය. ශ්‍රී ජය වලව්වත් රත්නපුර වලව්වත් ජයේන්ද්‍ර පුතාගේ ගෙදරත් දැන් මේ ආරංචියෙන් ගිනියම් වෙලාය. හැම කතාවේම කතා නායිකාව තමාය! ජයතිස්ස ආයෙත් දවස් දෙකක් ම අසනීප පිට ගෙදර සිටියේ පැක්ටරියේ අයට මූණ දෙන්න බැරි නිසාම වන්නට ඇත.

ඇත්තටම තමාට තමුන් ගැන සතුටු වන්නට කිසිම කාරණාවක් ඇත්ද? තමුන්ගේ සැමියා ජයතිස්සය. ලොකු පුතා ජයේන්ද්‍රගේ පියා, ශ්‍රී ජය වලව්වේ විල්ප්‍රඩ් හාමුය. දුව... චන්ද්‍රානිගේ පියා.. රත්නපුර වලව්වේ ගොඩලියද්ද හාමුය!

කොයිකාට මූණ දුන්නත් දැන් චන්ද්‍රානි නම් වූ තමුන්ගේ දුවට මුහුණ දෙන්නේ කොහොමද?

ජයේන්ද්‍රගේ ආරංචිය ඇසූදාත් ඇය කැලඹුණු හැටි මතකය. විශ්වවිද්‍යාලයේ සිට ඇය ගෙදර ආ ගමන් මේ සියල්ල ඇගේ කණ වැකෙනවා ඇත.

චන්ද්‍රලතාගේ ඇඟ සීතල වෙලා හරියට උණ ගැනෙන්න වගේය. තොලකට කරිවිල කෑවා සේ තිත්ත බව දැනෙද්දිම ජයතිස්ස එතැනට ආවේ හදිසියෙනි.

“‍ෙමාකෝ මේ උඹලගෙ හැටි... මූණ තඩිස්සි වෙලා ඇස් රතු වෙලා මේ ගැහෙනවා නේද? දෙයියනේ... සහලෝල උණ...!”

චන්ද්‍රලතා තම සැමියාගේ අත අත්දෙකින් ම අල්ලාගත්තේ හරියට දෙවියන් යදින්නාක් මෙනි.

“මට තේරෙනවා චන්ද්‍රලතා... උහුලගන්න බෑ තමා මේ රහස එළිවෙච්ච එක... අපේ දූ හවස එනවා කියලා තිබුණා... මට තේරෙන්නෙ නෑ කොහොම මූණ දෙන්නද කියලා... දරුවන්ට... අනේ මන්දා.. මට අහරෙ වැඩට යන්නත් බෑ වගේ..!”

එකවරම චන්ද්‍රලතා සිහි නැතිව වැටෙන්නට ගියේ ඒ අතරේය. යම්තම් ඇයව වත්තම් කර අල්ලාගත් ජයතිස්ස වහාම පුතාට ඇමතුමක් ගත්තේ හිත ගිනි පත්තුවෙමින්ය. ඒ එක්කම ළිපේ කිරි හොද්දත් උතුරා ගියේය.

අනේ මං දන්නෙ නෑ... අපිට පාරට බහින්න වේවිද කියලා.. එහෙම හිතාගෙන යද්දී මිදුලේ වාහනයක හඬ ඇසී ඔහුගේ හිතට සහනයක් ඇතිවුණි.

********

දේශන හමාරවී සුපුරුදු තැන දී හමුවූ ශ්‍රීමාල් සහ මේඛලා බොහෝ වේලාවක් යනතුරු ප්‍රශ්න ගැන සාකච්ඡා කළේ පිළිතුරු ඇත්තේ නැති බව දැනගෙන වගේය.

“මං හිතන්නෙ මේඛලා, මලින්ද අයියා ඉතාම දැඩි තීරණයකට ඒවි... අපේ රත්නපුරේ මාමා ඕනෑ නැති බලපුළුවන්කාරකමක් නේ පෙන්නන්න ගිහින් තියෙන්නේ... එහේ තරංගා ගෙ අයියලා මාමලා හොඳටම කිපිලා ඉන්නේ... එයාලා තරංගාව කාටදෝ බන්දලා දෙන්න ලෑස්ති කරලා...!”

ශ්‍රීමාල් එහෙම කියද්දී මේඛලා ඔහු දෙස බලා සිටියේ හි‍ෙත් චකිතයෙනි. අවට පරිසරය ගැන කිසිම හැඟීමක් නැත. එහා මෙහා ඇදෙන සරසවි මිතුරන් මිතුරියන් කිසිකෙනෙක් නොපෙනෙන තරමේ හිස් බැල්මක් ඇගේ දෙනෙතේ විය. ඒ දෑස්වල රැඳී තිබුණේ ශ්‍රීමාල්ගේ මුහුණ විතරය.

“ඇයි... ඇයි... මේඛලා ඔයා බයවෙලා වගේ.. බලා ඉන්නේ..?”

මේඛලාගේ ඇස්වලින් කඳුළක් පනින්න ඔන්න මෙන්න ය.

“කතා කරන්නකො...!”

ශ්‍රීමාල් දුන්නේ විධානයකි.

“තරංගගෙ ප්‍රශ්නෙ මටත් තියෙනවා ශ්‍රීමාල්...!”

“මොකක්ද ඒ...?”

“අපේ තාත්තලාත් මාව කාට හරි බන්දලා දෙන්න තීරණේ කරගෙන ඉන්නේ... මං මේ ඔයාට කොහොම කියන්නද කියලා හිත හිතා හිටියේ...!”

දැන් මේඛලා අඬන්න පටන් අරන්ය. ශ්‍රීමාල්ගේ හිත විදුලි කොටයි. ඒ සමඟම ජංගම දුරකථනය නාද වෙද් දී ඔහු එයට පිළිතුරු දෙන්නේ දෙගිඩියාවෙනි. මලින්ද අයියා කියන්න යන්නේ සුදු නැන්දාට හොඳටම අමාරු වෙලා බවද?

“ශ්‍රීමාල් මල්ලි... මම තරංගාව කසාද බඳිනවා!”

 

ලබන සතියට‍...

Comments