අවි­වා­හ­ක­යන්ගේ මඩේ දැඟලිල්ල | සිළුමිණ

අවි­වා­හ­ක­යන්ගේ මඩේ දැඟලිල්ල

මේ සංස්කෘතික උත්සවයකි. සිදු වන්නේ අවිවාහකයන් අතර මඩවලින් කරන ක්‍රීඩාවක් ලෙස ය. ජනප්‍රවාද අනුව නම් සොහොයුරන් සිවු දෙනකුගේ ජයග්‍රහණ සැමරීමක් මෙයින් සිදු වේ.

ක්‍රීඩා ලෝකය විවිධ ය. ඇතැම් තැනෙකදී එය අප නොහිතන තරමටම විචිත්‍ර ය; රසවත් ය. වියට්නාමයේ මඩ බෝල මල්ලව පොරයත් එබඳු ක්‍රීඩාවකි. එය එරට සංස්කෘතිය තුළ හැඳින්වෙන්නේ “ඛාන් හා”සැමරුම යනුවෙනි. මේ කියන විදිහේ අමුතු මල්ලව පොරයක් පසුගිය දාත් පැවැත් විණ. ඒ සමඟ මඩ බෝල මල්ලව පොර ගැන මාධ්‍ය වාර්තා පළවන්නට වූයෙන් ලොව බොහෝදෙනකුගේ අවධානය ඊට යොමු වන්නට පටන් ගත්තේය.

මඩ බෝල මල්ලව පොර තරගය පැවැත්වෙන්නේ වියට්නාමයේ උතුරුදිගට වන්නට පිහිටි බැක් ගියැන්ග් පළාතෙහි වැන් නමැති කුඩා ග්‍රාමයේ ය. තරගය සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ සිවු වන චන්ද්‍ර මාසයේ 12වැනිදා සිට 14වැනිදා දක්වා වූ දින තුන තුළයි. එසේම එය, සිව් වසරකට වරක් පමණක් දැක බලාගත හැකි සංස්කෘතික උත්සවයකි. සොයුරන් සිවු දෙනකුගේ ජයග්‍රහණයක් සැමරීම මෙමඟින් සිදුවන බව ජන ප්‍රවාදයෙහි සඳහන් වේ. ටෘඔන්ග් හොන්ග්, ටෘඔන්ග් හච්, ටෘඔන්ග් ලුන්ග්, ටෘඔන්ග් ලයි යනු එකී සහෝදරයන් සිවුදෙනායි. හතර වැනි සියවසේදී හෝ පස් වැනි සියවසේදී හෝ ඔවුන් සිවුදෙනා යක්ෂයන්ට එරෙහිව මඩ බෝල මල්ලව පොරයෙහි යෙදී ජය වර්තා කළ බව ජන ප්‍රවාදයෙහි දැක්වේ. එදා එම තරගය පවත්වා තිබෙන්නේ මඩ වගුරක ය. ඛාන් හා උත්සවය හෙවත් මඩ බෝල මල්ලව පොරය, ගම්මානයේ වැඩිහිටියන්ගේ විනෝදාස්වාදය පිණිස ඉන් මතු පවත්වන මෙන් පරාජයට පත් යකුන්, සොයුරන් සිවුදෙනාගෙන් ඉල්ලා සිට ඇත. යක්ෂයන්ගේ එම ඉල්ලීම ඉවත නොහෙලා වැන් ගම්මානයේ ගම්මු, එවක් පටන් මඩ බෝල මල්ලව ක්‍රීඩා උත්සවය පවත්වති. ඉතිහාසයේ අවස්ථා කිහිපයකදී හැරුණු විට අන් සෑම කල්හිම වාගේ මේ උත්සවය අඛණ්ඩව පවත්වා තිබේ. ඛාන් හා සැමරුමක් ගම්මුන්ගෙන් මඟ හැරී ගියේ නම් ඒ වියට්නාමය යුදයකට ඈඳී සිටි අවස්ථාවකදී පමණි.

උත්සවය පැවැත්වෙන දින වකවානු තීරණය කර ගැනීමෙන් අනතුරුව තරග බිම සකසා ගැනීම සම්ප්‍රදායානුකූලව සිදු කෙරේ. වර්ග මීටර 200ක පමණ මඩ ගොඩක් මේ පොරයට අවශ්‍ය වේ. එය තනන්ෙනා් බවලත්තු ය. ඊට හවුල්වන බවලත්හු අසල ඇති කවු ගඟෙන් දිය ඇද තෝරාගත් බිම මත ඒ දිය හලා මඩ කරති. සමහර ගැහැනු මේ මල්ලව පොර කෙළියට දිය නොඇද මඩ ම ඇද දෙන්නෝය.

සම්ප්‍රදායික මඩ බෝල මල්ලව පොරයට දිය හෝ මඩ හෝ ඇදිල්ල ගැහැනුන් කරන්නේ මහත් ආඩම්බරයකිනි. ඒ විධියට ආඩම්බරේට මඩ ඇද මඩ කෙරෙන වර්ග මීටර් 200ක් තරම් වූ කොටුවේ අන්ත දෙකක ගෝල ආවාට දෙකක් ද තැනේ. එසේ තැනෙන එක් ආවාටයක් සෙන්ටිමීටර 50ක් තරම් පුළුල් ය; සෙන්ටිමීටර 80ක් තරමට ගැඹුරු ය.

තරග කිරීමට අවසරය ලැබෙන්නේ පිරිමින්ට පමණි. එනිසා ජව සම්පන්න පිරිමින්ගෙන් සමන්විත පිල් දෙකක් නිර්මාණය කර ගැනේ. එක පිලකට අටදෙනා බැගින් පිරිමි දහසය දෙනෙක් පිල් දෙකට ඇතුළත් වෙති. මේ ජව සම්පන්න පිරිමින් ඇඳ සිටින්නේ නූතන ක්‍රීඩකයන් අඳින පලඳින ආකාරයේ ඇඳුම් ආයිත්තම් නොව විළි වැසෙන්නට යන්තමට ඉණෙහි රුවා ගත් කෙටි දළ රෙදි කැබැල්ලකි.

එය ඔවුන්ගේ මඩේ දැඟලිල්ලට පංකාදු ඇඳුමකි. මෙලෙස තරග බිමට පැමිණෙන තරගකරුවන් කිසිවකු විවාහක අය නොවිය යුතුයැයි රීතියක් ද පවතී. එනිසා එදා සිටම ඊට සහභාගී වන්නේ අවිවාහක පුරුෂයෝම පමණි. එසේම ඔවුහු දින තුනක් පුරා බෙහෙවින්ම තද පුහුණුවක් ලැබූ අය වෙති. තරග ආරම්භයට පෙර ඔවුහු ගමේ ආරාමය වෙත ගොස් ආගමික වතාවත්වල නියැළෙති. තරග වදින සියල්ලෝ එකට හිඳ පලතුරු අනුභව කර වයින් හා සමාන බීමක් පානය කරනනෝ ය. එමඟින් ඔවුන් අපේක්ෂා කරන්නේ ක්‍රීඩා කිරීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමයි.

තරග වැදීම පළමුවෙන්ම ආරම්භ වන්නේ කුමන කණ්ඩායමකින්දැයි තේරුම් බේරුම් කර ගන්නට කාසියේ වාසිය උරගෑමක් පැවැත්වේ. කාසියේ වාසිය ලබන පාර්ශ්වය මඩ බෝල මල්ලව පොරය ආරම්භ කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එක් වටයකදී දෙපිල පැය තුනකට ආසන්න කාලයක් පුරා තරග වදිති. හැම ක්‍රීඩකයකුම තරග වදින්නේ ගෝලයක් වාර්තා කරන්නට වග බලාගනිමිනි. ඒ අතින් මේ මඩ බෝල මල්ලව පොරය සමාන වන්නේ නූතන පාපන්දු තරගයකට ය.

මඩයේ කෙරෙන පොරයට යොදාගන්නා බෝලය ගැනත් සඳහනක් නොකළහොත් එය අඩුවකි. එය නා ලීවලින් කළ කිලෝග්රෑම් 20ක් පමණ බරැති බෝලයක් බව සඳහන් වේ. බෝලයේ විෂ්කම්භය සෙන්ටිමීටර 40ක් පමණ වේ. එක් ඛාන් හා සැමරුමක් අවසන් වී ඊළඟ සැමරුම එළඹෙන තුරු බෝලය තැන්පත් කෙරෙන්නේ වැන් ගම්මානයේ ඇති ආරාමයෙහි විශේෂ කුටියක් තුළ ය.

ඛාන් හා තරග පැවැත් වෙන්නේ ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින ගිම්හානයේ මධ්‍යාහ්නයන්හි බැවින් ක්‍රීඩකයන්ට මෙන්ම නරඹන්නන්ටත් කාලගුණ තත්ත්වය දරා ගැනීම අසීරු ය. දරා ගැනීමට අමාරු කාලගුණයක් පැවැතියත් ඛාන් හා සැමරුම කෙරෙහි මේ පිරිස තුළ ඇති උනන්දුව සහ උද්යෝගය කිසිවිටෙකත් පහළ වැටෙන්නේ නැත. මඩ සහිත දියකඩිත්ත තුළ වැටෙන, නැඟිටින ක්‍රීඩකයන්ගේ අතින් අතට බෝලය මාරුවන විට නරඹන්නන් අතරින් නික්මෙන බෙර වාදන සහ අත්පොළසන් නාද උච්ච තැනකට එළඹේ. එවිට එහි සිටින තරුණ තරුණියන් අතර පැතිර යන උණුසුම ඕනෑම කෙනෙකුගේ හදවත නවතන්නට තරම් සමත් ය. ඒ උද්වේගකර අවස්ථාවේදී ගමේ වැඩිහිටියන් කරන්නේ ඉදිරි කන්නයේ වී වගා කටයුතු සඳහා යහපත් කාලගුණයක් ඉල්ලා දෙවියන් වන්දනා කිරීමයි. එමෙන්ම ඔවුහු සරු අස්වැන්නක් පතමින් දෙවියන්ට කන්නලව් කරන්නෝය.

ලොව ඉතාමත් වේගයෙන් වර්ධනය වන ආර්ථිකයකට හිමිකම් කියන වියට්නාමයේ සහල් නිෂ්පාදනය සහ සහල් අපනයනය අදටත් කැපී පෙනෙයි. සහල් නිෂ්පාදනය කරන ලෝක බලවතුන් අතර වියට්නාමයට සාමාන්‍යයෙන් හිමිව තිබෙන්නේ පස්වැනි ස්ථානයයි. සහල් අපනයනය කරන රටවල් අතර පස්වැනි තැනෙහි සටහන්ව තිබෙන්නේත් වියට්නාමයයි.

 

Comments