බුදුන් පහළ වන්නත් කලින් වීදුරුවලින් පබළු හැදූ ලංකාවේ මිනිස්සු | Page 2 | සිළුමිණ

බුදුන් පහළ වන්නත් කලින් වීදුරුවලින් පබළු හැදූ ලංකාවේ මිනිස්සු

* අදින් අවු­රුදු 2800කට පෙර දියුණු මට්ට­ම­කින් රන්-රිදී-තඹ කර්මා­න්ත­යත්, යකඩ තාක්ෂ­ණ­යත් භාවිත කරලා
* විජය එන්නේ සමෘ­ද්ධි­මත් ලංකා­ව­කට 
* ගොවි­තැන් කරන්න වැව් නිර්මා­ණය කළේ විජ­යා­ව­ත­ර­ණ­යට සිය­වස් ගණ­න­කට කලින්

ආචාර්ය ඩී. තුසිත මැන්දිස්
අධ්‍ය­ය­නාංශ ප්‍රධාන, පුරා­විද්‍යා හා උරුම
කළ­ම­නා­ක­රණ අධ්‍ය­යන අංශය,
ශ්‍රී ලංකා රජ­රට විශ්ව­වි­ද්‍යා­ලය, මිහි­න්තලේ

මධ්‍ය යාන්ඔය නිම්නය (හොරො­ව්පො­තාන, කහ­ට­ග­ස්දි­ගි­ලිය, නික­වැව, මර­ද­න්ම­ඩුව, වාහ­ල්කඩ, දිවු­ල්වැව ආශ්‍රිත ප්‍රදේ­ශය) වර්ග කිලෝ­මී­ටර් 1400ක් පුරා පැති­රුණු භූමි­යකි. මේ භූමිය තුළ පූර්ව ඉති­හා­ස­යට අයත් සුසාන ස්ථාන 25ක් කාල රක්ත වර්ණ මැටි මෙව­ලම් හමු වන ස්ථාන හයක් (ක්‍රි.පූ.1000 සිට ක්‍රි.ව.300 දක්වා කාලය තුළ මේ පොළොවේ ජීවත් වුණු මිනිස්සු කාල රක්ත­වර්ණ මැටි බඳුන් භාවිත කළහ) පමණ පුරා­විද්‍යා පශ්චාත් උපාධි ආය­ත­නයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය රංජිත් දිසා­නා­යක විසින් හඳු­නා­ගෙන වාර්තා කර තිබිණි.

අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කය තුළ පූර්ව ඓති­හා­සික සංස්කෘ­ති­යට අදාළ (එනම්: ක්‍රි.පූ.1000, අදින් වසර 3000කට පෙර) පැර­ණි­තම සාධක දැනට වාර්තා වන්නේ අනු­රා­ධ­පුර ඇතුළු-නුව­රිනි. විකි­රණ මාන දින නිය­මය හා ඔක්ස්කැල් කාල­නි­ර්ණය අනුව මේ සංස්කෘ­තිය ක්‍රි.පූ.1000 තරම් ඈතට දිවෙන බව මේ වන විට තහ­වුරු කර­ගෙන තිබේ. (Deraniyagala, 1992, 707-712; Deraniyagala & Abyerathne, 707- 731).

එහෙත් මධ්‍ය යාන්ඔය නිම්නය ආශ්‍රි­තව පූර්ව ඓති­හා­සික සංස්කෘ­ති­යට අයත් (අදින් වසර 3000කට පමණ පෙර ඇරඹි සංස්කෘ­තිය) සුසා­න­ස්ථාන රාශි­යක් වාර්තා වී තිබිණි. වඩි­ග­වැව, ගුරු­ග­ල්හින්න, කොක්එබේ, රඹෑව, තම්මැ­න්නා­ගො­ඩැල්ල, වල­හ­වි­ද්ද­වැව, දිවු­ල්වැව, මර­ද­න්ම­ඩුව, පරං­ගි­යා­වා­ඩිය (නික­වැව) ආදි ස්ථාන ඉන් සම­හ­රකි. මේ සුසාන අතු­රින් 2013දී රංජිත් දිසා­නා­යක තම්මැ­න්නා­ගො­ඩැල්ල ආශ්‍රි­තව කැණීම් සිදු කර එම සුසාන ක්‍රි.පූ.470ට අයත් බව - එනම්: අදින් අවු­රුදු 2490ක් පැරණි බව - තහ­වුරු කළේය. මේ දත්ත අනුව අනු­රා­ධ­පුර නග­ර­යෙන් නැ‍ඟෙන­හිර දිශා­වට පූර්ව ඓති­හා­සික සංස්කෘ­තිය විහි­දීමේ ස්වභා­ව­යක් පෙන්නුම් කර තිබුණේ කේද්‍රයේ සිට නැ‍ඟෙන­හිර පර්ය­න්තය දෙස­ටය.

වර්ෂ 2015 ශ්‍රී ලංකා රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ පුරා­විද්‍යා අධ්‍ය­ය­නාං­ශය හොරො­ව්පො­තාන ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ කොක්එබේ මෙග­ලි­තික සුසා­න­ස්ථාන ආශ්‍රි­තව මතු­පිට සිදු කළ ගවේ­ෂණ අනුව හෙක්ට­යාර් 10ක පමණ භූමි­භා­ග­යක් පුරා ව්‍යාප්ත වන ගල් සොහොන් 215ක් පමණ වාර්තා ‍විය. එසේම ඒ ගවේ­ෂ­ණ­යේදී සුසාන ආකෘති හත­රක් හඳු­නා­ගෙන වාර්තා කෙරිණි.

1. ශිලා මංජුසා සුසාන (Cyst burial)

2. ශිලා කේතුක සුසාන (Cairn heap/ Cairn mounds)

3. ශිලා මණ්ඩල සුසාන (Cairn circle)

4. බරණි සුසාන (Urn pot)

මීට පෙර කොක්එබේ මෙග­ලි­තික සුසා­නය ආශ්‍රි­තව හඳු­නා­ගෙන තිබුණේ ශිලා මංජුසා සුසාන පම­ණකි. සොහොන් භූමිය ආශ්‍රි­තව සිදු කරනු ලැබූ මූලික ගවේ­ෂ­ණ­යෙන් පසු ශ්‍රී ලංකා පුරා­විද්‍යා දෙපා­ර්තු­මේ­න්තුවේ අව­ස­රය පරිදි 2016 වර්ෂ­යේදී තෝරා­ගත් සුසාන දෙකක පර්යේ­ෂණ පුරා­විද්‍යා කැණීම් සිදු කරන ලදි.

විජ­යා­ග­ම­න­යට අවු­රුදු තුන්සී­ය­කට පෙර වීදුරු පබළු හැදූ අයුරු

මේ කැණී­ම්ව­ලදී පූර්ව ඓති­හා­සික යුගයේ මධ්‍ය යාන්ඔය නිම්නයේ ජීවත් වූ මිනි­සුන් විසින් නිර්මා­ණය කරන ලද විවිධ හැඩ­ව­ලින් යුත් කාල-රක්ත­වර්ණ මැටි­බ­ඳුන් (Black and Red Ware), නිල්, කොළ, දුඹුරු ආදි වර්ණ­ව­ලින් නිර්මිත 100කට අධික වීදුරු පබළු සහ දළ­ව­ලින් නිර්මිත පබළු කිහි­ප­යක් සොයා­ගැ­නිණි. මේ ද්‍රව්‍ය සියල්ල සුසාන තැන්පතු ලෙස සුසාන අභ්‍ය­න්ත­රයේ තැන්පත් කර තිබූ ඒවා විය. මේ සුසාන ද්‍රව්‍යය හා මානව අස්ථි වැළ­ලී­මට භාවිත කර තිබූ සුසා­න­බ­රණි තුළින් ලද අඟුරු සාම්පල ඇම­රි­කාවේ මියා­මිහි පිහිටි බීටා ඇන­ලි­ටික් ආය­ත­න­යට යවා රේඩියෝ කාබන් කාල­නි­ර්ණ­යට බඳුන් කරනු ලැබිණි. ඒ දත්ත තහ­වුරු කළේ කොක්එබේ ගල් සොහොන් කනත්ත ක්‍රි.පූ.800ක් තරම් - එනම්: අදින් අවු­රුදු 2800ක් තරම් - පැරණි බවයි.

මෙය අති­ශ­යින්ම වැද­ගත් වන්නේ යාන්ඔය නිම්නය ආශ්‍රිත පූර්ව-ඓති­හා­සික යුගයේ සංස්කෘ­තිය අනු­රා­ධ­පු­රය තරම්ම පැරණි බව හඳු­නා­ගත හැකි වීමය.

යාන්ඔය මධ්‍ය නිම්නය තුළ ස්ථාන­ගත පූර්ව-ඓති­හා­සික ජනා­වාස (අදින් වසර 3000 සිට 2800 දක්වා කාලයේ පිහි­ටුවූ ජනා­වාස, ක්‍රි.පූ.1000-800) ඒ නිම්නයේ ස්ථාවර වීම සඳ­හාද සංකීර්ණ සාධක රැසක් බල­පා­න්නට ඇති බව පෙනේ. දැනට අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ පූර්ව-ඓති­හා­සික සංස්කෘ­තියේ පැර­ණි­තම සාධක (ක්‍රි.පූ.1000) අනු­රා­ධ­පුර ඇතුළු-නුවර ඇසු­රෙන් හඳු­නා­ගෙන ඇත. එමෙන්ම මෙග­ලි­තික සුසාන ආශ්‍රි­තව පැර­ණි­තම කාල­නිර්ණ (ක්‍රි.පූ.800) දැනට කොක්එබේ ප්‍රදේ­ශ­යෙන් ලැබී තිබේ. ඒ නිසා කොක්එබේ ප්‍රදේ­ශයේ ජනා­වාස අනු­රා­ධ­පුර ඇතුළු-නුවර ජනා­වාස තරම්ම පැරණි වීමට ඉඩ ඇති බව උප­ක­ල්ප­නය කළ හැකිය. දැනට කර ඇති පර්යේ­ෂ­ණ­ව­ලට අනුව අවු­රුදු 2500කට හෝ 2600කට පෙර - එනම්: ක්‍රි.පූ.600-500 පමණ වන විට - අනු­රා­ධ­පු­රය නාග­රික තත්ත්ව­යට පත් වී තිබිණි (Deraniyagala 1992: 711). ඒ අනුව විජ­යා­ව­ත­ර­ණය වන විට මේ රට සංස්කෘ­තික මිනි­සුන් විසූ සමෘ­ද්ධි­මත් රටකි. ඒ අනුව නාග­රික ජනා­වා­සය ලෙස අනු­රා­ධ­පු­රය ඉස්මතු වීමත් සමඟ එම ජන­ප­ද­යට අවශ්‍ය ගාමක බලය සැප­යීම මධ්‍ය යාන්ඔය නිම්නයේ පිහි­ටු­වා­ගන්නා පූර්ව ඓති­හා­සික ජන­පද (අදින් වසර 3000 සිට 2800ට පෙර පිහි­ටු­වා­ගත් ජන­පද) මඟින් සිදු වී ඇත.

මධ්‍ය යාන්ඔය නිම්නය තීර­ණා­ත්මක වැද­ග­ත්ක­ම­කින් යුත් සම්පත් ඇති ප්‍රදේ­ශ­යකි. ප්‍රදේ­ශය පුරා හඳු­නා­ගත හැකි ප්‍රධාන පස් වර්ගය රතු–දුඹුරු පසයි (Reddish–Brown Earth). ඊට අම­ත­රව ඇලු­වි­යල් පස්ව­ලින්ද (Alluvial soil) යුක්ත වේ. මෙවැනි පරි­ස­ර­යන් තුළ ප්‍රාථ­මික ජන­ස­මා­ජ­යක් මුල්බැ­ස­ගැ­නීම සඳහා ප්‍රධාන කරුණු කිහි­ප­යක් බලපා තිබේ. ඒ අතර ප්‍රධාන වශ­යෙන්ම යාන්ඔය නිම්න­යෙන් හඳු­නා­ගත හැක්කේ ග්‍රාමීය ජන­පද පිහි­ටු­වා­ගැ­නී­මට අවශ්‍ය පාරි­ස­රික කරුණු හා ඒ ප්‍රදේ­ශ­යට ආස­න්න­තම ස්ථාන­වල ඛනිජ සම්ප­ත්වල පිහි­ටීම බව පෙන්වා­දිය හැකිය.

මධ්‍ය යාන්ඔය නිම්නය ආශ්‍රිත පූර්ව-ඓති­හා­සික අව­ධියේ පරි­ස­රය සැකසී තිබුණේ හුදෙ­කලා කඳු කිහි­ප­ය­කින් යුතු සරු­පස සහිත භූමි­යක් ලෙසය. පරි­සර පද්ධ­තිය ආශ්‍රය කොට­ගෙන පූර්ව-ඓති­හා­සික ජනා­වාස ගණ­නා­වක් ස්ථාන­ග­තව ඇති බව ගුරු­ග­ල්හින්න, දිවු­ල්වැව, කොක්එබේ, රඹෑව, වඩි­ග­වැව, තම්මැ­න්නා­ගො­ඩැල්ල, පරං­ගි­යා­වා­ඩිය ආශ්‍රිත ප්‍රදේ­ශ­ව­ලින් හඳු­නා­ගත හැකිය. මෙවැනි හුදෙ­කලා කඳු හෝ ගොඩැලි සහිත භූවි­ෂ­ම­තාව නිසා ඒ පරි­ස­රයේ ස්වාභා­වික භූප­ත­න­යක් (Hollow) නිර්මා­ණය වී තිබේ. මේ භූප­තන ඊසා­න­දිග මෝසම් වර්ෂාව සක්‍රීය වීම සමඟ ජලය රැ‍ඳෙන ස්ථාන බවට පත් වේ. පූර්ව-ඓති­හා­සික අව­ධියේ ජනා­වා­ස­වල ස්ථාන­ගත වීම පිළි­බඳ විම­ර්ශ­නය කිරී­මේදී මෙවැනි භූප­තන සහිත ස්ථාන­වල එම ජනා­වාස ස්ථාන­ගත වී ඇති බව පෙනේ. ඉබ්බ­න්ක­ටුව, ඉද­මො­ර­ළු­ව­වැව, පොම්ප­රි­ප්පුව වාටිකා ස්ථානය යන ස්ථාන­ව­ලින් මේ ජනා­වාස හඳු­නා­ගත හැකි ආකා­රය සුද­ර්ශන් සෙනෙ­වි­රත්න පෙන්වා දී තිබේ (සෙන­වි­රත්න, 1996: 285).

මධ්‍ය යාන්ඔය නිම්නයේ සෑම පූර්ව-ඓති­හා­සික ස්ථාන­යක් ආශ්‍රි­තව කුඩා වැවක් පැවති ආකා­රය වර්ත­මා­න­යේද හඳු­නා­ගත හැකිය. ඒවා මේ වන විට බෙහෙ­වින් වෙන­ස්වී­ම්ව­ලට ලක් වී ඇත. පුරා­ණයේ මේ වැව් ස්ථාපිත කර ඇත්තේ භූප­තන ආශ්‍ර­යෙ­හිය. ඊසා­න­දිග මෝස­මින් ප්‍රදේ­ශ­යට ලැබෙන වර්ෂා­ප­ත­නය මිලි­මී­ටර් 1000–1500 ප්‍රමා­ණ­යක් වන බැවින් මෙවැනි කුඩා වැව් ආශ්‍රි­තව ජලය ගබඩා කර­ගැ­නී­මට වැඩි පහ­සු­ක­මක් සැලසේ.

සීමිත කෘෂි­ක­ර්මා­න්තය හා හේන් ගොවි­තැන පව­ත්වා­ගෙ­න­යනු ලැබු පූර්ව-ඓති­හා­සික මිනි­සුන්ට (අදින් වසර 3000කට පෙර විසූ මිනි­සුන්ට) මේ කුඩා භූප­තන තර­මක් විශාල කර අතින් වේලි බැඳ වැවක් සකස් කර­ගැ­නීම සඳහා හැකි­යාව පැව­තියේ ලෝහ තාක්‍ෂ­ණය මේ සංස්කෘ­තික පිරිස භාවිත කළ නිසාය. එම­ඟින් වියළි සම­යන්හි මඩ ගොවි­තැන කර­ගැ­නී­මට පහසු විය. යාන්ඔය නිම්නයේ ජීවත් වූ පූර්ව-ඓති­හා­සික ජන­තාව සඳහා මඩ ගොවි­තැ­නට අවශ්‍ය ඇලු­වි­යල් පස් (Alluvial soil) යාන්ඔය නිම්න ප්‍රදේ­ශය පුරා ව්‍යාප්තව තිබු­ණේය (Cooray, 1984: 293). එසේම ගොඩ ගොවි­තැන සඳහා අවශ්‍ය රතු-දුඹුරු පස් පුළුල් ව්‍යාප්ති­ය­කින් යුක්තව මේ ප්‍රදේ­ශය පුරා හඳු­නා­ගත හැකි. එනිසා මේ භූමි­ප්‍ර­දේ­ශ­යට පූර්ව-ඓති­හා­සික සමයේ ජන ආක­ර්ෂ­ණය වීම සඳහා ජලය හා පසෙහි උප­යෝ­ගි­තාව ඍජුව බල­පා­න්නට ඇත.

සත්ත්ව පාල­නය

එසේම මධ්‍ය යාන්ඔය නිම්නයේ අදින් වසර 3000ක සිට ජීවත් වූ පූර්ව-ඓති­හා­සික ජනයා කෘෂි­ක­ර්මා­න්ත­යට අම­ත­රව පශු පාල­නය සිදු කළහ. විශේ­ෂ­යෙන්ම ගවයා කෘෂි­කා­ර්මික කට­යු­තු­ව­ලට මෙන්ම කිරි හා මස් ලබා­ගැ­නීම සඳහා ඇති කර තිබිණි. ආර­ම්භක සමයේ එඬේර පිරි­සක් වූ මොවුන් පසුව ස්ථාවර ජනා­වාස පිහි­ටු­වා­ගැ­නීම සමඟ යාන්ඔය මධ්‍ය නිම්නය තුළ පශු පාල­නය පව­ත්වා­ගෙන ගොස් තිබේ. කුළු හර­කුන් හීලෑ කරන මිනිස්සු අද­ටත් මේ ප්‍රදේ­ශයේ ජීවත් වෙති. වර්ත­මා­නයේ ඔවුහු මරි­ක­රු­වන් ලෙස හඳු­න්වනු ලබති. මරි­ක­රුවා වනය තුළ වසන හීලෑ නොවූ මී හරක් සාම්ප්‍ර­දා­යික ක්‍රම­වේද භාවිත කර අල්ලා හීලෑ කර තම අව­ශ්‍යතා සඳහා යොදා­ගැ­නීම අද­ටත් සිදු කරයි. වර්ත­මාන යාන්ඔය නිම්නය තුළ තව­මත් මී හරක් පට්ටි වශ­යෙන් ඇති කරන මිනිස්සු වෙති.

එඬේර කට­යුතු සිදු කිරී­මේදී අධික වර්ෂාව සහිත පරි­ස­රය ඒ සඳහා නොගැ­ළපේ. යාන්ඔය නිම්නයේ ඇති ස්වාභා­වික ජලය රැඳෙන ස්ථාන හඳු­න්වනු ලබන්නේ එබ නමිනි. කොක්එ­බේද මෙවැනි එබක් ලෙස හඳු­නා­ගත හැකිය. වර්ෂය පුරා ජලය නොසි‍ඳෙන මෙවැනි එබ අවට ගව­යන් ඇතුළු තෘණ වර්ග ආහා­ර­යට ගන්නා සතුන්ට අනැගි තෘණ භූමි නිර්මා­ණය වන්නේය. ඒ අනුව මධ්‍ය යාන්ඔය නිම්නය තුළ පූර්ව-ඓති­හා­සික ජනා­වාස පිහි­ටු­වී­මේදී කෘෂි, වාරි හා එඬේර කට­යුතු සඳහා යෝග්‍ය පරි­සර පද්ධ­තිය අති­ශ­යින් වැද­ගත් වී තිබේ.

ඛනිජ සම්පත් පරි­හ­ර­ණය කළ තාක්ෂ­ණික මිනිස්සු

මධ්‍ය යාන්ඔය නිම්නයේ පූර්ව-ඓති­හා­සික ජනා­වාස රටාව අධ්‍ය­ය­න­යේදී එම ජන­පද එම භූමියේ ස්ථාන­ගත වීම උදෙසා ඛනිජ සම්ප­ත්වල පිහි­ටී­මද බලපා ඇත. ඒ අතු­රින් ලෝහ සම්පත් යාන්ඔ­යට ඉතා ආසන්න ප්‍රදේ­ශ­වල ස්ථාන­ගත වී තිබේ. යකඩ හා තඹ යන ඛනිජ ශ්‍රී ලංකාවේ භාවි­තය ආරම්භ වන්නේ පූර්ව-ඓති­හා­සික යුග­යේදී බව (අදින් වසර 3000කට පෙර සිට) සුද­ර්ශන් සෙනෙ­වි­රත්න පෙන්වා දී ඇත (Senaviratne, 1994: 16). යාන්ඔය මධ්‍ය නිම්න­යට ආස­න්නව නිධි­ගත වී ඇති ඛනි­ජ­යක් ලෙස තඹ ලෝපස් සේරු­විල ප්‍රදේ­ශයේ දී හමු වේ.

වර්ෂ 1971දී ශ්‍රී ලංකා භූ-සමී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සේරු­විල සිදු කර ඇති භූවිද්‍යා අධ්‍ය­ය­න­ව­ලට අනුව මැග්න­ට­යිට් තඹ (Copper Magnetite) සේර­විල නිධි­ගත වී ඇති­බව හඳු­නා­ගෙන තිබේ (Senaviratne, 1995: 116 ). මීට පෙර බ්‍රිතාන්‍ය ජාතික ඩේවි (Davy) විසින්ද මැග්න­ට­යිට් යපස් සේරු­විල පව­තින බව හඳු­නා­ගෙන තිබිණි. සේරු­විල භූමි ප්‍රදේ­ශ­යේදී මතු­පි­ටට ප්‍රවිෂ්ට වී ඇති විප­රිත පාෂාණ කාණ්ඩ­යට අයත් මේ ධන­වත් ඛනිජ තීරය සැත­පුම් 250ක් දිගින් යුක්තව සේරු­විල සිට හම්බ­න්තොට දක්වා ව්‍යාප්ත වේ. මේ සාර­වත් ඛනිජ නිධිය තුළ මැග්න­ට­යිටි, රීදි, බිස්මත්, සින්ක්, මයිකා, ත්‍රෝමි­යම්, නිකල් යන ඛනිජ ද්‍රව්‍ය­යද ගැඹුරු කොට­ස්වල රත්‍රන්ද පිහිටා ඇත (Senaviratne, 1995: 116). සේරු­විල ප්‍රදේ­ශ­යේදී මතු­පි­ටට ප්‍රවි­ෂ්ටව ඇති මැග්න­ට­යිට් තඹ ටොන් මිලි­යන 7ක් එම භූමියේ මතු­පිට මට්ටමේ සිට අඩි 200ක් පොළොව අභ්‍ය­න්ත­ර­යට විහි­දෙන බව ශ්‍රී ලංකා භූ සමී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සිදු කළ පර්යේ­ෂ­ණ­ව­ලින් තහ­වුරු කර තිබේ (Senaviratne, 1995: 117).

ලෝහ මුල් යකඩ යුගයේ ජන­තා­වගේ ජීවන පැවැ­ත්මට අදාළ සම්පත් පරි­හ­රණ රටාවේ මූලික අංග­යක් වී ඇත. මේ නිසා ම යාන්ඔය නිම්න­යෙන් නැ‍ඟෙන­හිර සීමාව තුළ එනම් කදි­ර­වේලි ප්‍රදේ­ශයේ සිට මුල් යකඩ යුගයේ ජනා­වාස (ලංකාවේ යකඩ යුගය ආරම්භ වන අදින් වසර 3000–2800 දක්වා කාලය, ක්‍රි.පූ.1000–800 ) ස්ථාන­ගත වීමද සිදු වී ඇත්තේ මේ ලෝහ සම්පත මුල් කර­ග­නි­මිනි. මුල් ඓති­හා­සික අව­ධි­යේ­දීද (අදින් වසර 2300 සිට 1900 දක්වා, ක්‍රි.පූ.300–කි.ව.100) සේරු­විල ලෝහ නිධියේ යපස් පරි­හ­ර­ණය සිදු වී ඇති බව පර්යේ­ෂ­ණ­ව­ලින් තහ­වුරු කර ඇත. අනු­රා­ධ­පුර ඇතුළු-නුවර පූර්ව-ඓති­හා­සික අව­ධි­යට අයත් ජනා­වාස (යකඩ යුගය ආරම්භ වන අදින් වසර 3000 සිට ඇර­ඹෙන ජනා­වාස) ස්තර­ව­ලින් හමු වී ඇති ලෝහ අමු­ද්‍රව්‍ය හා ලෝහ මෙව­ලම් ආශ්‍රිත ව සිදු කර ඇති රසා­ය­නික හා සුක්‍ෂ්ම මුල­ද්‍රව්‍ය විශ්ලේ­ෂ­ණ­යට අනුව එම මෙව­ලම් නිර්මා­ණ­යට භාවිත කර ඇති ලෝහ ඉතා සමීප වන්නේ සේරු­විල ලෝහ නිධියේ ලෝහ පස්ව­ලට බව හඳු­නා­ගෙන තිබේ.

මීට අම­ත­රව ගුරු­ග­ල්හින්න, දිවු­ල්වැව, වඩි­ග­වැව, කොක්එබේ, කදි­ර­වේලි යන මධ්‍ය යාන්ඔය සුසා­න­ස්ථා­න­වල කැණීම් සිදු කර ඇති රාජා ද සිල්වා ඒ ස්ථාන ආශ්‍රි­තව යකඩ හා තඹ­ව­ලින් නිර්මිත පුරා­වස්තු හමු වූ බව ප්‍රකාශ කර ඇත (Senaviratne, 1984: 248, 257). මේ පිළි­බඳ වැඩි­දුර අධ්‍ය­ය­නය කර ඇති අර්ජුන තන්ති­ලගේ ප්‍රකාශ කර ඇත්තේ මේවා තඹද ලෝක­ඩද යන්න නිශ්චිත ලෙස රාජා ද සිල්වා ප්‍රකා­ශ­යට පත් කර නැති බවයි (Thanthilage, 2008: 202). මේ අතු­රින් ගුරු­ග­ල්හින්න ආශ්‍රි­තව තඹ උප­ක­රණ ලැබී ඇති බව රාජා ද සිල්වා 1970 වර්ෂයේ වාර්තා කර ඇති බව සුද­ර්ශන් සෙන­වි­රත්න ද පෙන්වා දෙයි (Senaviratne, 1984: 248). එසේම වඩි­ග­වැව ශිලා මංජුසා සුසා­න­යක් ආශ්‍රි­තව යකඩ වාර්තා වී ඇති බව එස්කේ සිත්‍ර­ම්ප­ලම් පෙන්වා දී ඇත (Sithrampalam, 182 in Senaviratne, 1984: 248). අර්ජුන තන්ති­ලගේ පෙන්වා දී ඇති ආකා­ර­යට ගුරු­ග­ල්හින්න ආශ්‍රි­තව වාර්තා වී ඇති ලෝහ මෙව­ලම් අතර තඹ­ව­ලින් පම­ණක් නිර්මා­ණය කරන ලද ඒවා හමු වී තිබේ. එසේම කොක්එබේ, වඩි­ග­වැව, දිවු­ල්වැව යන ස්ථාන ආශ්‍රි­තව යකඩ හා තඹ යන මාධ්‍ය දෙකෙන්ම නිර්මිත උප­ක­රණ හමු වී ඇත (Thanthilage, 2008: 202–203).

තම්මැ­න්නා­ගො­ඩැල්ල ආශ්‍රිත සුසාන 2013 වර්ෂයේ කැණීම් කරන ලද රංජිත් දිසා­නා­යක එම සුසාන තුළ තැන්පත් කර තිබු රන් පබළු, යක­ඩ­ව­ලින් නිර්මිත වළලු, කරාබු, දුනු-හී හා කෘෂි උප­ක­ර­ණද තඹ­ව­ලින් කරනු ලැබූ ඇස් අලං­ක­ර­ණ­යට භාවිත කරන අංජන කූරූ හා වළ­ලුද හමු වූ බව ප්‍රකාශ කර ඇත. (මන­මේ­න්ද්‍ර­ආ­රච්චි සහ අදි­කාරි, 2014: 216–217). ඒ අනුව ක්‍රි. පු. 800 පමණ කාලය වන විට මධ්‍ය යාන්ඔය නිම්නය තුළ යකඩ හා තඹ කර්මා­න්තය මෙන් ම රන් කර්මා­න්තය ට අදාළ තොර­තුරු ලැබීම ඉතා ම වැද­ගත් වේ.

මෙම කාල පරා­සය හා අනු­රා­ධ­පුර ඇතු­ළු­පුර කැණී­මේදී හමුවූ තඹ අමු­ද්‍රව්‍ය උණු කිරී­මට සම්බන්ධ දත්ත විකි­ර­ණ­මාණ දින නියම කිරීම් වලට අනූව ක්‍රි. පු. 600-500 කාල­යට අයත් වන බව පෙනේ. (Deraniyagala, 1972: 145 Senaviratne, 1995: 123). ඒ අනුව සම­කා­ලී­නව මේ තාක්ෂ­ණය මධ්‍ය යාන්ඔය නිම්නයේ මෙන්ම අනු­රා­ධ­පුර ඇතු­ළු­පු­ර­යේද භාවිත වී ඇති ආකා­රය පෙනේ.

අසි­රි­මත් සංස්කෘ­ති­ක­යක් ගැන කියන සොහොන්

 

මධ්‍ය යාන්ඔය නිම්නයේ පූර්ව-ඓති­හා­සික සංස්කෘ­තිය ඇසු­රෙන් හඳු­නා­ගත හැක්කේ මෙග­ලි­තික සොහොන් සංකී­ර්ණ­යන් රාශි­යක් පමණි. විශේ­ෂ­යෙන් මේ සොහොන් සංකී­ර්ණ­වල වප­ස­රිය පිළි­බඳ විම­සී­මේදී ඒවා­යෙහි නිඳන මිනි­සුන් ජීවත් වූ විශාල ජනා­වා­ස­යක් එම ප්‍රදේ­ශය ඇසු­රෙහි තිබිය යුතුය. මේ සෑම සුසා­න­යක් ආශ්‍ර­යෙ­හිම කුඩා පරි­මා­ණයේ වැවක් දක්නට ලැබේ. වර්ෂා­කා­ල­යේදී මෙම වැව් පිරී-ඉතිරී සුසාන සංකීර්ණ යට වී යයි. ඉන් පැහැ­දිලි වන්නේ එම වැව් පසු කාල­යේදී වෙනස් කිරී­ම්ව­ලට ලක් වී ඇති බවයි. එසේම ජනා­වාස ආශ්‍රිත තොර­තුරු මේ වන විට නිශ්චි­තව තහ­වුරු වී නැත්තේ ඒ වෙනස් වීම් නිසා බව උප­ක­ල්ප­නය කළ හැකිය. කෙසේ වෙතත් මධ්‍ය යාන්ඔය නිම්නයේ කොක්එබේ මෙග­ලි­තික සුසා­නය ආශ්‍රි­තව ලැබී ඇති කාල­නි­ර්ණය අනුව මධ්‍ය යාන්ඔය නිම්නයේ දියුණු මානව ජනා­වා­ස­ක­ර­ණය බුදුන් වහන්සේ ලොව පහළ වීමට සිය­වස් දෙක­හ­මා­ර­කට පෙර සිදුව ඇති බව පෙන්වා­දිය හැකි ය.

Comments