
හැන්දෑවේ වැඩ ඇරිලා ඇවිත් ජයතිස්ස ගෙට ගොඩවුණේ හොඳටම කහිමින්ය. කුස්සියේ සිට පැමිණි චන්ද්‍රලතා ඒ දෙස බැලුවේ ඇස් පුංචි කරගෙනය. ඕනෑම හිතේ අමාරුවක් හැදුණම ජයතිස්සට කැස්සකුත් හැදීම සාමාන්‍ය දෙයකි. උපහාස සිනාව බලෙන් ම මකාගෙන සැමියා සිටින දෙසට ඈ ගියේ එසේ සිතමිනි.
වලව් ආලින්දයට මොර තියාගෙන ආ අප්පච්චි දැක ජයමාල් නතර වුණේ බයකට නොවේ. තමා ආලින්දයට එද්දී සුදු මැණිකෙ නැන්දා සමඟ අම්මා කරමින් සිටියේ කුමක් හෝ රහස් සාකච්ඡාවක් බව තේරුණ නිසා ඔහු සිටියේ සීරුවෙනි.
“මොකක්ද පුතා ඔය ‘උපාසක’ කතාවක් කිව්වෙ.. ඒක කියලා හිටියානං...”
“හහ් උපාසක...!”
ජයමාල් ඒ වචන දෙක කියා දැම්මේ ඔලොක්කුවටය. එයින් රත්නසේකර හිටිවනම අමුතු විය.
“ඔය අයියාට නෙ එයා ඔය එදිරිවාදි කතා කියන්නෙ... අපෙ මහත්තයා! පව්.. ශ්‍රීමාල් පුතා... එයැයි දන්නෙත් නෑ මෙහෙම අපහාස කතා කියන බව...”
නිර්මලා මැණිකෙ එසේ කීවේ තම සැමියා ගැන හිතලා ඔහු පත්වෙච්ච අසීරුතාවෙන් ගලවාගන්නටය. රත්නසේකර කටපියාගෙන හාන්සි පුටුවේ දිගාවෙලා තම බිරින්දෑ දිහා බැලුවේ අලුත් ඇහැකිනි. පසුගියදා ඇතිවූ නෝක්කාඩුව ටික ටික හෝ තුනී වෙන එක මොනතරම් හොඳද...
“යන තැනක ගිහින් සුනංගු නොවී එන්න පුතා... මැණිකෙ... අපි තේ එකක් බොමුද..”
මිදුලේ හිටිය ජන්තු නොණ්ඩි ගසමින් ගෙතුළට ගියේ ඒ අතරේය. ජයමාල් බේබි තමුන්ගේ අලුත් ම මෝටර් සයිකලය ගරාජයෙන් එළියට ගන්නා හැටි බලන්නට ඔහු එතැන නොහිටියේ හාමුලාට පක්ෂපාති වෙන්නට ඕනෑකම නිසා මිස අහිතකින් නොවන බව දන්නේ ඔහුම විතරය.
“ඔය බලන්න ඉතින් අස්සය පිටේ යනවා වගේ ඔය යන්නෙ.. අනේ මං දන්නෙ නෑ.. මුන්ගෙ මුරණ්ඩුකම් ඉහටත් උඩින්...”
රත්නසේකර කීවේ නිර්මලා මැණිකේ දෙසත් සුදු මැණිකෙ හාමු දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි.
“ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ අයියෙ අර අපේ ගෙදර පේන්නැද්ද.. මලින්ද පුතා සෑහෙන්න මුරණ්ඩු වෙලා... අගෝරිස් කපුවා හොඳම තැනකින් එයාට කටයුත්තක් බලලා තියෙන්නෙ..”
“මලින්ද පුතා සම්බන්ධ වෙලා ඉන්න කවුරු හරි ඉන්නවද”
නිර්මලා මැණිකෙ අතින් තේ බඳුන ගන්නා ගමන් රත්නසේකර ඇසුවේ කුහුලුනි.
සුදු මැණිකෙ හාමු බර සුසුමක් හෙළා ඔසරි පොටෙන් කඳුළක් පිසගනියි. ඇයට ඉකි බිඳෙයි.
“අන්න අරහේ පෙත්තරේ පැත්තෙ කලේලක්...!”
“මොනවා...!”
විල්ප්‍රඩ් රත්නසේකර නැගී සිටියේ කෑගසමින්ය. ඒ සද්දෙට මිදුල කොනේ කුරුලු තට්ටුවේ සිටි ගිරව් රංචුවකුත් ඉගිළ ගියේ කෑගසාගෙනය.
********
හැන්දෑවේ වැඩ ඇරිලා ඇවිත් ජයතිස්ස ගෙට ගොඩවුණේ හොඳටම කහිමින්ය. කුස්සියේ සිට පැමිණි චන්ද්‍රලතා ඒ දෙස බැලුවේ ඇස් පුංචි කරගෙනය.
ඕනෑම හිතේ අමාරුවක් හැදුණම ජයතිස්සට කැස්සකුත් හැදීම සාමාන්‍ය දෙයකි. උපහාස සිනාව බලෙන් ම මකාගෙන සැමියා සිටින දෙසට ඈ ගියේ එසේ සිතමිනි.
“සංසාරෙම එපා වෙලයි තියෙන්නෙ දැන්නම්... මුන්ගෙ කටවල්වලට වැට නෙමෙයි ගහන්න තියෙන්නෙ අම්මපා..!”
ඔහු බිරිය දෙස බැලුවේ රවමින්ය. ඔක්කොටම මුල ඇය බව සිතින් සිතමින්ය.
චන්ද්‍රලතා ද ඒ රැවිල්ලට පිළිතුරු රැවිල්ලක් රැව්වේ ඔක්කොටම මුල ජයතිස්ස බව සිතින් සිතාගෙනය.
ජයතිස්සට කේන්ති ගියේ ඒකටය.
“ඔය පාර... අනිත් එකත් ඇවිස්සිච්ච ගමන්... ඉතින් රෙදි ඇඳගෙන පාරෙන යන්නවත් බැරිවෙයි ... හහ්...”
ජයතිස්ස කාර කාරා කැහැගෙන ගියේ චන්ද්‍රලතාට නැවත රවාගෙනය. ඔහුගේ මුහුණ පුරාම කෝපය උතුරයි.
“අනේ.. මගෙ කට.. රෙදි නැතිව පලයල්ලකො ඉතිං පාරෙ.. හහ්...!”
චන්ද්‍රලතා උච්ච ස්වරයෙන් කියද්දී ජයතිස්ස කර බාගනියි.
********
නිවාඩුව අවසන්ව සරසවි බිමට ආ විට ශ්‍රීමාල්ට දැනුණේ විශාල අස්වැසිල්ලකි. ගෙදර සිට ආ හැම දාම හැම මොහොතකම මේ සුවය සැනසිල්ල ලැබෙයි. වෙන අයට නම් සැනසිල්ල ලැබෙන්නේ තමුන්ගේ ‘ගෙදර’ කියන තැනට ගිය විටය. තමාගේ සැනසිල්ල තිබෙන්නේ ඒ හිර කූඩුවෙන් පිටවූ විටය. මුල්ම දේශනය අවසන් වූ සැණින් ඔහුට කටපුරාම සිනාසීගෙන එන මේඛලා හමුවෙයි.
“කෝ.. ඔයාගෙ පරිවාර සේනාව.. හා... අද තනියම...!”
“ඔයා වගේ ම තමා... පරිවාර සේනාව විසුරුවා හැරලා.. තනියම ආවා ද්වන්ද සටනට...”
“හා.. එතකොට ආදරේ කියන්නෙ ‘සටනක්’ ද ආ....!”
දෙදෙනා කරට අත දාගෙන ඇවිද යන්නේ අවට කිසි කෙනෙකු නොදකින ගානටය. අවට කිසිම දෙයක් ඇසෙන්නේ ද නැත.
“හා.. හා.. ආදරේ කියන්නෙ සටනක් තමා... මහන්සි වෙලා දිනාගන්න ඕනෑ...”
“ඒ කතාවට මම එකඟ නෑ... අපි දෙන්නා ඉතින් දැන් අපි දෙන්නාව දිනාගෙන නේ තියෙන්නේ... මොන සටනක්ද?”
මේඛලා හයියෙන් සිනාසෙයි. උදා හිරු එළිය කදම්බයක් වැටී ඇගේ මුහුණ හරියට මේ දැන් පිපිච්ච නෙළුමක් වගේ යැයි ශ්‍රීමාල් සිතෙයි.
“එහෙම නෙමෙයි... අපි ප්‍රායෝගික ලෝකෙදි අපේ ආදරේ දිනාගන්න ලොකු සටනක් කරන්න වෙනවා...!”
ඊළඟට දෙදෙනාම මොහොතකට නිහඬ වෙති. තුරු සෙවණක් යට වාඩිවෙන දෙදෙනාට දැන් අවට සියල්ලම පෙනෙයි. ශබ්ද ගෝසාවල් ඇසෙයි. ඒවා කර්කශ ය.
“ඒක නෙමේ ශ්‍රීමාල් අර අගෝරිස් කපුවා.. ඔයාලගෙ හැම වලව්වක් අස්සෙම රිංගනවා නේද?”
මේකලා අසන්නේ මූණ නරක් කරගෙනය. ශ්‍රීමාල් ප්‍රශ්නය ඇස්වලට අරගෙන මේඛලා දෙස බලා සිටියි. “එයා ගම්මැද්ද පුරාම කියව කියවා යනවා.. රත්නපුර වලව්වේ හාමුපුතාට දැන් හොඳම මඟුලක් කතා කරලා තියෙන්නෙ, ශ්‍රී ජය වලව්වෙ වැඩෙත් දැන් හරි කිය කියා...!”
“මොකක්...!”
“ඒක තමා වැඩේ.. දැන් අපේ අයියයි අම්මයි එකතු වෙලා මටත් එකක් හොයාගෙන... මට දැන් පාස් අවුට් වෙච්ච ගමන් මලවදයක් වෙයි...”
ශ්‍රීමාල්ගේ හිත දැන් දුර ගමන් කරයි. ගෙදර කෙරුණ විවිධ කතාබහ සේම අගෝරිස් කපුවාගේ කතන්දරයක් ජයමාල් මල්ලි කියූ බවද මතකය.
“ඔය අගෝරිස් කපුවා... ඉතිං... අර රජවාසල කවටයා වගේ... පොදු චරිතයක්... මිනිහගෙ ගතමනාව හොයාගන්නනෙ ඔය කපු වැඩේට බැහැලා ඉන්නෙ...”
ශ්‍රීමාල් ඇඟට පතට නොදැනී එහෙම කියද්දී මේඛලාට ටිකක් කේන්ති යයි.
“මොකක් හරි.. අපේ... ප්‍රායෝගික ප්ලෑන් එකක් තියෙන්න ඕනෑ ශ්‍රීමාල්.. මං ඔයාට එදත් කිව්වේ... අපි කොහොමද මේ ප්‍රශ්නෙට මූණ දෙන්න ඕනෑ කියලා අපේ පූර්ව සැලැස්මක් නැත්නම්... අපිට ලොකු ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙයි.”
“මෙහෙමයි මේඛලා... පාස් අවුට් වෙච්ච ගමන් අපි රස්සාවල් හොයාගන්න ඕනෑ.. අපි නිදහස් වෙන්න ඕනෑ.. මට නම් මේ දෙමාපියන්ගෙන් යැපෙනතාක් කල් නිදහසක් ගැන හිතාගන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ...”
ශ්‍රීමාල් එසේ කියන්නේ මේඛලාගේ අතක් අල්ලාගෙනය. මේඛලා අත ඉවත් කර නැගිටින්නේ ක්ෂණයකිනි. අමනාපයෙන් වෙග්ය.
“ඔයාට තේරෙන්නෙ නෑ.. ශ්‍රීමාල්... රස්සාවල් කියන ඒවා ලෑස්තිපිට ඉඳලා අපේ අතට පනින්නෙ නෑනෙ.. අපි හුඟක් මාන්සිවෙන්න ඕනෑ.. කාලයක් ඉන්නත් වෙයි සමහරවිට... එතකොට අස්සයා ඉස්තාලෙන් ගිහිල්ලා ඉවරයි...!”
ශ්‍රීමාල් ගේ හිතට දැන් කරදරය. ඔහු නැගී සිට එහාට මෙහාට ඇවිදින්නේ හිසේ අතකුත් තියාගෙනය.
“පොඩ්ඩක් අපි ඉවසලා ඉඳිමු මේඛලා.. මට වෙලා තියෙන්නෙ අප්පච්චිලා බලකරනවා ෆැක්ටරි ඔෆිස් එකට ජොයින් වෙලා ඒ වැඩවලට මගේ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා... ඒත්... එතැන ඉඳගෙන... මට... මට ඕනෑ දේවල් කරන්න බැරි වෙයි..”
“කොතැන ඉඳගෙන හරි අපි අපේ ඉලක්කයට යන එකනේ කරන්න තියෙන්නෙ.. ශ්‍රීමාල්..!”
එසේ කියද්දීම... එතැනට ප්‍රීති නාද පවත්වාගෙන රංචුවක් පැමිණෙයි.
සිරිනාත ගීතාගේ කරට අතක් දමාගෙනය. සංජයත් චතුරත් තම තමුන්ගේ පෙම්වතියන් සමඟය.
“හහ් හා.. අද රාජකීය ජෝඩුව... උයන් කෙළියේ ඉන්නේ... ඊළඟ ලෙක්චර් එකට නොයන්න වගේ.. හහ්...!”
කට්ටියගේම සිනහව මැද මේඛලාගේ මුහුණ කළු වෙයි.
“හා... හා... මොකෝ මේ දේවින්නාන්සේ ඔරොප්පුවෙන්ද ආ... ඕං අපි නෑ...!”
“ප්‍රශ්නයක් ගැන කතා කළේ බං.. රස්සා ප්‍රශ්නෙ... රස්සා ප්‍රශ්නෙ...!”
ශ්‍රීමාල් හිනාවෙන්ට උත්සාහ කරමින් කීවත් ඔහුගේ මුහුණේ අඳුර... මිතුරු කල්ලියට වැටහෙයි.
“යමල්ලා... කැන්ටිමට ගිහිල්ලා මොනවා හරි බීලාම කතා කරමු” ශ්‍රීමාල් එසේ කියද්දී ප්‍රීති ඝෝෂාවක් මතුවෙයි.
ලබන සතියට...