අලින්ට ඇති අයිතිය තමන්ටත් ඉල්ලන රොටවැව මිනිස්සු | සිළුමිණ

අලින්ට ඇති අයිතිය තමන්ටත් ඉල්ලන රොටවැව මිනිස්සු

මින්නේරිය රොටවැව ගම්මානය පාරම්පරිකව කිරි නිෂ්පාදනය කරනු ලබන ප්‍රදේශයකි. දියර කිරි නිෂ්පාදනය අතින් පොලොන්නරුව දිසාවේ ප්‍රමුඛස්ථානයක් ඊට හිමිවේ. කවුඩුල්ල ජලාශය හා එහි වැව් පිටිය මූලිකව සිදු කෙරෙන මෙහි ගම්වැසීන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන්නේ ද එකී කිරි නිෂ්පාදන කර්මාන්තය යි. රොටවැව යනු පොලොන්නරුවේ පැරණි ශේෂ ගම්මානයක් වන නිසා එහි කිරි නිෂ්පාදන කාර්යය සඳහා ද නවීන තාක්ෂණය, වැඩි දියුණු කළ ගවයින් එක්වී නොමැති ය.

එහෙත් වසර ගණනාවක සිට රොටවැව ජනයා සිදු කරගෙන ආ කිරි නිෂ්පාදන කර්මාන්තයට මෑත කාලයේ සිට කණ කොකා හඬමින් තිබේ. ඔවුන්ගේ සාම්ප්‍රදායික කිරි ගොවිතැනට විශාල අභියෝගය රැසක් පැමි‍ණෙමින් තිබේ. 2002 වසරේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම රොටවැවේ කිරි ගොවිතැනට බලපෑම් එල්ල වී ඇති අතර එය ලබන වසරේ මැද භාගය වන විට උපරිම තත්ත්වයට පත්වනු ඇත. ඒ 2019 ජුනි 30 දා සිට කවුඩුල්ල වැවට ගවයින් ඇතුළු කිරීම වනජීවී දෙපාර්තමේන්තුව මඟින් සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගැනීමයි. තවත් මාස පහ හයකින් සිදුවන මෙම නීතිමය ක්‍රියාමාර්ගය නිසා රොටවැවේ ගැමියන් විශාල ලෙස ගැටලුවලට මුහුණ දෙනු ඇත.

මින්නේරිය රොටවැව ගමේ කිරි නිෂ්පාදකයන්ගේ සමුපකාර සමිතියේ භාණ්ඩාගාරික කේ.බී. පුෂ්ප කුමාර මහතා ඒ ගැන පැවසුවේ මෙවැන්නකි.

රොටවැව කියලා කියන්නේ පාරම්පරිකව කිරි නිෂ්පාදනයට සම්බන්ධ වෙන ගමක්. ගමේ පදිංචි අයගෙන් වැඩි දෙනෙකුට හරක් ඉන්නවා. අපි එදා ඉඳලම හරක් රැක බලා ගත්තේ කවුඩුළු වැවට දාලා. මේ ගමේ අපි කාටවත් අත නොපා ජීවත්වෙන අය. නමුත් මෑත කාලයේ ඉඳලා වනජීවී එක වැවට හරක් දාන එකට බාධා කරනවා. අපේ අයට හිරිහැර කරනවා. දැනටමත් එක් කෙනෙකුට නඩු දාලා.

කවුඩුලුවැවට හරක් දාන්න එපා කියන්නේ අලින්ට කෑම හිඟ වෙන හින්දා කියලා කියන්නේ. අවුරුදු සිය ගාණක් අපේ ගමේ ගොවීන්ගේ හරකුයි ඔයි අලිනුයි කවුඩුලු වැව් පිටිය භුක්ති වින්දා. ඔය කෑම ප්‍රශ්න මොකුත් නැහැ. සුද්දන්ට අලි පෙන්නලා සල්ලි හම්බ කරන්න ගත්තට පස්සේ තමයි ඔය තහංචි වැටෙන්නේ.

අපි ආණ්ඩුවේ බලධාරීන්ට කියන්නේ වැවට හරක් දාන්න එපා නම් අපිට ඉඩ තියෙන තැනක තණකොළ පිට්ටනි හදලා දෙන්න. හොඳ ගවහල් හදලා දෙන්න. එතකොට වැවට යන එක නතර කරන්න පුළුවන්.

රොටවැව පදිංචි ඩබ්.එම්. සිසිර කුමාර මහතා සිය දරු පවුල නඩත්තු කරනු ලබන්නේ ගොවිතැනට අමතරව කිරි නිෂ්පාදනයෙන් ලැබෙන ආදායමිනි. එම ආදායම අහිමිවීම යනු මේ පවුල යන එන මං නැති තත්වයට පත් වීමකි. ඔහු ඒ ගැන කතා කළේය. මට කිරි හරක් 13 දෙනෙක් ඉන්නවා. දවසකට කිරි ලීටර් 20-25 ක් අර ගන්නවා. මාසයකට රුපියල් 15,000.00 ක් විතර ගන්නවා. සමහර මාසවලට ඊට වඩා ගන්න පුළුවන්. ඒත් දැන් දැන් වනජීවී එක අපිට නීති දානවා. ඒ අයට හොරෙන් තමයි හරකුන්ට කන්න දෙන්නේ. අහු උනොත් නඩු දානවා. ඇත්තටම පරම්පරාවෙන් මේ රස්සාව කරන අපට වෙන්නේ ලොකු අසාධාරණයක්. අනික අපේ ගමේ පවුල් කීයක්නම් මේකෙන් ජීවත් වෙනවද?. අලින්ට වගේම මේ කාලේ වැව අපිටත් අයිතියි. අවුරුදු ගාණක් කිසිම ගැටුමක් නැතිව අපි මේ රස්සාව කළා. ඉදිරියටත් ඒකට ඉඩ දෙන්න කියලයි අපි ඉල්ලන්නේ”.

රොටවැව පදිංචි තවත් කිරි ගොවියෙකු වන බඩ්.එම් අමරතුංග කතාවට එක් විය. මම කිරි හරක් හතර දෙනෙක් ඇති කරනවා. අපේ ගව ගාල් තියෙන්නේ විදුලි වැටෙන් එහා කවුඩුලු වැව් තාවුල්ලේ. ඒ නිසා හැංගි හැංගි තමයි වැවට හරක් දාන්නේ. වනජීවී එක කියනවා අපේ මිනිස්සු වනජීවී කැලේට ඇතුල්වෙලා ජාවාරම් කරනවා කියලා. අපි කියන්නේ ගමේ මිනිස්සු වැරදි කරනවානම් ඒකට දඬුවම් දුන්නට කමක් නැහැ. හැබැයි බොරුවට නඩු දාන්න එපා. අපිට කිරි හරක් ඇති කර ගන්න ක්‍රමවත් වැඩ පිළිවෙළක් හදලා දෙන්න.

රොටවැව කිරි ගොවියෙකු වන කේ. ජේ. දේශප්‍රිය බණ්ඩාර කතා කළේ වේදනාවෙනි. මට හරක් 63 දෙනෙක් ඉන්නවා. නිතරම හරක් 14-15 කගෙන් කිරි ගන්නවා. දවසකට කිරි ලීටර් 45- 50 ක් විකුණනවා. මාසයට ලක්ෂයකට වැඩි ආදායමක් ගන්නවා. අපි පවුල නඩත්තු කරන්නේ මේකෙන් ලැබෙන ආදායමෙන්. කාටවත් අත පාන්නේ නැතිව අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ආණ්ඩුවේ නිලධාරීන් අපිට ධෛර්යක් වෙනවා මිසක් මේ වගේ දේවල් කරන්න හොඳ නැහැ.

රොටවැව පදිංචි තවත් කිරි ගොවියෙකු වන ටී. සිරිවර්ධන සිය අදහස් දැක්වීය.

අපේ ගමේ පවුල් සීයකට විතර අධික හරක් 800-1000 ක් විතර ඉන්නවා. ඒ සතුන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් කිරි හරක්. හවස එකට දෙකට විතර තමයි මේ සත්තු වැවට දාන්නේ. පැටව් යවන්නේ නැහැ. අවුරුදු ගාණක් කිසිම ප්‍රශ්නයක් නැතිව අලිනුයි හරකුයි වැව් පිටියේ තණකොළ කෑවා. කවුඩුල්ල පාර්ක් එක දැම්මට පස‍්සේ තමයි මේ ප්‍රශ්න ඔක්කෝම. මේ ප්‍රශ්නයට බලධාරින් සාධාරණ විසඳුමක් අපට දෙන්න ඕනෑ.

අප මේ පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටී.බී. සරත් ගෙන්ද තොරතුරු විමසුවෙමු.

“රොටවැව කියන්නේ මාතලේ කැරැල්ලෙන් පසු බැහැලා ආව මිනිස්සුන්ගෙන් පැවත එන පාරම්පරික ගම්මානයක්. මේ ගමේ සංස්කෘතිය අනෙක් ප්‍රදේශවලට වඩා ටිකක් වෙනස්. පාරම්පරික ගොවිතැන, සත්ව පාලනය මේ ගමට ආවේණික විදියට සිද්ධ වෙන්නේ.

මේ ගමේ කවුඩුල්ල වැවවත් එක්ක තමන්ගේ ගව පාලනයත්, ධීවර කර්මාන්තයත් අවුරුදු සිය ගාණක් තිස්සේ කිසිම කරදරයක් නැතිව සිද්ධ කරලා තියෙනවා. දැන් වනජීවී එක ඉඩම් ටික වට කරලා විදුලි වැටවල් ගහලා අල්ලාගෙන ගොවීන්ට ඒවාට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ.

රොටවැවේ ගොවීන් මේ දේවල් කරලා දේශීය නිෂ්පාදනයට දායක වෙන්නේ. රජය කරන්න ඕනෑ මේ අයට නව තාක්ෂණික පහසුකම් ලබා දීලා ඒක වැඩි දියුණු කරන එක. අනිත් එක මේ ගම තුළ ඉන්නේ අපේ දේශීය ගව සම්පත. හැම දෙයක්ම පිටරටින් ගේන අපේ රජයවල් දේශීය ගව සම්පත ආරක්ෂා කරන වැඩ පිළිවෙළකට යන්න ඕනෑ.

අනිත් එක වනජීවී දෙපාර්තමේන්තුව සංචාරකයින්ට අලි පෙන්නලා අවුරුද්දකට ලක්ෂ 900 ක් විතර ගන්නවලු. හැබැයි ඒ එක සතයක්වත් වියදම් කරලා වන අලින්ට හරි ඒ ආශ්‍රීත සතුන්ට කන්න එක තණකොළ ගහක් හිටවලා තියෙනවද? වන අලින් වගේම කිරි ගවයින්ටත් මේ බිම අයිතියි. රොටවැවේ ගොවියෝ රජයෙන් මොනවත් ඉල්ලන්නේ නැහැ. ඒ අයට නිදහසේ තමන්ගේ වෘත්තිය කරගෙන යන්න ඉඩ දෙන්න.

‍පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වර්ග කිලෝ මීටර් 1330 විතරයි ජනවාස, වගාබිම්, ගෙවතු ඔක්කෝම තියෙන්නේ. ඒත් වර්ග කිලෝ මීටර් 1850 කම තියෙන්නේ වනාන්තර. ඒ නිසා අලින්ට කෑම හිඟයි කියන එක පිළිගන්න බැහැ. අපි කියන්නේ මේ දෙපිරිසටම සාධාරණයක් වන විසඳුමකට රජය සැලසුම් හඳන්න ඕනෑ.

මින්නේරිය රොටවැව කිරි ගොවීන්ගේ ප්‍රශ්නය සම්බන්ධව අප කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ භාරකාර එච්.ඒ. ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතාගෙන්ද තොරතුරු විමසුවෙමු.

කවුඩුල්ල වැවත් එක්ක කිරි ගොවියෝ විතරක් නෙවෙයි ධීවරයෝ, ගොවීන්, සංචාරක කර්මාන්තයේ නිරත පිරිස් ඔය ඔක්කෝම ඉන්නවා. හැබැයි ධීවරයෝ ගොවිතැන කරන අය හා සංචාරක කර්මාන්තයේ නිරත පිරිස් සෘජුවම වැවත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. ගව පාලනයට වෙන විසඳුම් වලට යන්න පුළුවන්. අපි වනජීවී දෙපාර්තමේන්තුව හැටියට වන අලින් ඇතුළු වනජීවීන් ආරක්ෂා කරන්න ඕනෑ. ඒක අපේ වගකීම.

කවුඩුලු වැවේ පිටියේ තණකොළ වැවෙන්නේ ජලය අඩු මාස හයක විතර කාළේ. ඒ කාලේට තමයි වන අලින් වැඩිපුරම වැවේ ඉන්නේ. ගමේ අයගේ හරක් වැවට වැඩිපුරම දාන්නෙත් ඔය කාලෙටමයි. එතකොට වන අලින්ට කෑම හිඟ වෙනවා. ගවයින්ට ආහාර දෙන්න ගමට අරගෙන යන්න පුළුවන්. ඒත් වන අලින්ට එහෙම විසඳුමක් දෙන්න පුළුවන් ද?.

අනිත් අතට ඔය ගමේ ඉන්න ගවයින්ගෙන් වැඩි ප්‍රමාණයක් කිරි හරක් නෙවෙයි. ගොවියොත් ඒක පිළිගන්නවා. ගමේ සම්ප්‍රදායික කිරි ගව පාලනය වෙනස් කරලා වැඩි කිරි ප්‍රමාණයක් ගන්න පුළුවන් සතුන් ඇති කරලා ගවයින්ගේ ගහණය පාලනය කිරීමේ හැකියාව තියෙනවා. අපේ විෂය භාර අමාත්‍යතුමන් මේ ගැන උපදෙස් දීලා තියෙනවා.

ඉස්සර මේ තරම් විදුලි වැටවල් ගහලා තිබුණේ නැහැ. දැන් කිලෝ මීටර් සිය ගණනක් විදුලි වැටවල් ගහලා නිසා අලින්ගේ ගමන් බිමන් සීමා වෙලා. උන්ට ආහාර හිඟයි. ඒ නිසා වනජීවී දෙපාර්තමේන්තුවට අයිති තණබිම් ගෘහාශ්‍රිත සතුන්ගෙන් අපි ආරක්ෂා කරගන්න ඕනෑ. කිරි ‍ගොවීන් සම්ප්‍රදායික ක්‍රම වලින් බැහැර වෙලා අලුත් ක්‍රම වලට යන්න ඕනෑ. මේක අපේ ආයතනයට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මීට සම්බන්ධ සෑම ආයතනයක්ම එකතු වෙලා දීර්ඝ කාලීන විසඳුමකට යන්න වෙනවා.

කොහොම උනත් අපට උපදෙස් දීලා තියෙනවා 2019 ජුනි 30 දායින් පසුව කවුඩුල්ල වනෝද්‍යානයට ගෘහාශ්‍රිත සතුන් ඇතුල් කිරීම සම්පුර්ණයෙන්ම නතර කරන්න කියලා. ඊට පස්සේ සිද්ධ වෙනවා අපට තදින් නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මේකට අදාළ ආයතන ඉක්මනින් සාකච්ඡා කරලා විසඳුමකට යන්න වෙනවා.

මින්නේරිය රොටවැවේ කිරි කර්මාන්තය තවමත් පවතින්නේ ගතානුගතික ක්‍රමයකට ය. ඔවුන් තවමත් කිරි දෙවීම පවා කරන්නේ ඔවුන‍්ගේ ම සංස්කෘතියකට අනුවය. ගව ගාලකට ඇතුළුවීමට පවා පිටස්තරයන්ට තහනම් ය. අක්‍රමවත් කිරි දෙවීම යනු මහා දුෂ්කර ක්‍රියාවකි. එහාට මෙහාට දඟලන දෙනුන්ගෙන් කිරි දෙවීම පැය ගාණක් තිස්සේ ඔවුන් සිදු කරනු ලබන්නේ හරක් මැස්සන්, ඇට මැස්සන් මදුරුවන්ගෙන් එල්ලවන පීඩාවන් දරාගෙන ය. එය කිරි තරම් රසවත් නොවේ. වනජීවී දෙපාර්තමේන්තුව පැත්තෙන් ගනු ලබන තීරණ සේම රොටවැවේ කිරි ගොවීන්ගේ කථාවද අසාධාරණ නැත. එහෙත් දෙපැත්තටම පිළිගත හැකි කඩිනම් විසඳුමකට යා යුතු කාලය ඉක්ම යමින් තිබීම කාට කාටත් හොඳ නැත. අප බලා සිටින්නේ අදාළ බලධාරින් ගන්නා නිවැරදි තීන්දුව දෙසය.

Comments