
මං බොහොම අමාරුවෙන් තමා අපේ මහත්තයවත් මේ සම්බන්ධව පාලනය කොරාගෙන ඉන්නෙ.. ඒ දරුවගෙ වැඩේම මහා කට කැඩිච්ච කතා කිය කියා වලව් පෙළැන්තියට පාච්චල් කරන එක... මට හිතාගන්න බෑ. ඒ වෙලාවල අපේ මහත්තයත් කට වහගන්නවා හරියට හුළං බැහැලා වගේ..
ශ්‍රීමාල් ආලින්දයට ඇවිත් කල්පනා කරමින් සිටියේ දැන් දැන් ගෙදර උද්ගත වෙලා ඇති තත්වයන්ගේ බරපතළකම ගැනය. ඔහුගේ මුහුණ පුරා ඇඳී තිබුණේ එතරම් සතුටුදායක ස්වරූපයක් නොවන බව පෙනුණේ විල්ප්‍රඩ් රත්නසේකරයට. කොහොම වුණත් බාල පුතා සමඟ කතාබහ කරනවිට දැනෙන අපහසුව ලොකු පුතා සමඟ කතා කරද්දී නොදැනෙන එක පුදුමය.
“අප්පච්චි කල්පනා කරලා කල්පනා කරලා අසනීප වෙන්න එපා.. දැන් වැඩක් නෑනෙ.. ඒවා කතා කරලා.. මම මල්ලීටත් කිව්වෙ ඒකයි.”
ශ්‍රීමාල් එසේ කීවේ සීරුවෙනි. ඒත් ගෞරවයෙනි. රත්නසේකරගේ හිත රිදෙන්නේ ඒ නිසාය. තම ජීවිතයේ රහසක් දැන් හෙළිවී ඇත. ඒත් ඒ නිසා තමා පරාජය විය යුතුද? නැත...! තමා තම බිරියගේ සහ දරුවන්ගේ යුතුකම් කවදත් පැහැර හැරලා නැත. ඒත්... නිර්මලා මැණිෙක් මෙය දැන ගත්දා පටන් සිටින්නේ යුද්දෙට සැරසිච්ච සෙබළියක වගේය. හොඳ වෙලාවට ඇය නම්බුකාර විදියට ඉහළ පෙළැන්තියේ වලව්වක හැදිච්ච කුමාරිහාමි කෙනෙකි. ඒ නිසා ඇය අපහාස වචන කියා කෑ මොර දුන්නේ නැත. කාමරයට වී දවසක් ම නොකා නොබී කඳුළු සැලුවාය. ඇය දැන් තමා දිහා නොබලා අසල තිබෙන හැමදේට ම ඔරවයි. ඇය ගෙනියන්නේ එවැනි සීතල යුද්ධයකි. ඒ යුද්ධය වඩාත් භයානකය.
“පුතා... ඒ ඔක්කෝම සිද්ධි වුණේ පුතාලා ඉපදෙන්න කලින්... පුතාලා ඉපැදුණාට පස්සෙ මා තින් එහෙම වැරදි කවදාවත් වුණේ නැහැ. මං ඒක අම්මටත් පැහැදිලි කරලා කිව්වා.. ඒත් අම්මා ඒවා නෑහුණා වගේ ගහක් ගලක් වගේ ඉන්නවා...”
ශ්‍රීමාල්ට අප්පච්චි ගැන දුකය. පුංචි එකෙක් වගේ එසේ කියවා ඇස්වල තෙත මාත්තු කරනවා දැක්කාම ඊටත් දුකය.
“අයියේ... මොකද ඔතන කරන්නේ. පොඩ්ඩක් එන්නකෝ.. මට පොඩි වැඩක් තියෙනවා කතා කරගන්න...!”
ජයමාල්ගේ වේගවත් කටහඬ සාලය පැත්තෙන් ඇසෙන්නේ හරියට අප්පච්චිගේ පපුවට අනින්නා වගේ යැයි ශ්‍රීමල්ට සිතෙයි. ඔහුට එක අතකින් කේන්තිය. කී දෙනෙකුග් හිත හද හදා ඉන්නද... තමා හරියට ඉටිපන්දමක් වගේය. ඒ උපමාව නම් අපූරුය.
එදා පන්සලේදී මේඛලා එහෙම කියද්දි සිරිනාතත් සංජයත් ඊට බොහොම සද්ද හිනාවෙන් අනුමැතිය පළකළා මතකය.
“මොකෝ... මල්ලි... හදිසිය... මං ටිකක් අප්පච්චි එක්ක කතා කළා හරි නෑනේ..”
“ඔව් ඔව් ඒක නම් ඇත්ත තමා... ඕං... අර කපුරාල.. එයා දැන් ‘බ්‍රේකින් නිවුස්’ එකක් පතුරවනවා.. හහ්... ඔයා පන්සලේදි කවුරු හරි කෙල්ලෙක් හම්බ වුණාද... ආ...?”
“මොකක්....?”
*******
අලුතෙන් හදාගෙන පදිංචි වූ මාලිගාවක් වගේ ගෙදර එක සැරේටම අපායක් වෙන්න ආපු හැටි මතක්වෙලා සමන්තිට පුදුමය. තමාගේ කෑගැහිල්ලට හා දොස් පැවරීමට උරණ වූ ජයේන්ද්‍ර නොකා නොබී සිට බෙල්ල වැලලාගන්ටත් හැදුවේය. ඒ තමුන් මේ දේවල් කිසිවක් ගැන දන්නේ නැති බවත් තමාගේ ජාතකය ගැන දැනගෙන මෙහෙම සම්බන්ධයක් පටන් ගත්තේ නැති බවත් දහ අතේ දිවුරා කියමින්ය. අන්තිමට ශ්‍රීමාල් මල්ලිගේත් මලින්ද මල්ලිගේත් උපදෙස් අනුව ජයේන්ද්‍ර නිර්දෝෂී යැයි තමාට තීරණය කරන්නට සිදුවුණි. ඒ නිසාම යම්තම් පවුල නොකැඩී බේරුණි.
“මට සමාවෙන්න ජයේ මං හිතුවෙ ඔයත් මේවා දැනගෙන මාව රැවැට්ටුවා කියලා ඒකයි..”
“එහෙම නම් මම මගේ අම්මට අර විදියට දොස් කියන්නෙ නෑනෙ සමන්ති... ඔයාට ඒකවත් තේරුම් ගන්න තිබුණා!”
කඳුළු වගුරමින් දෙන්නා සමාදාන වෙද්දී චන්ද්‍රලතාගේ හිතේ ගින්දර නිවිලා යයි. ඒ එක්කම ඈ යටිහිතින් මෙහෙමත් හිතාගෙන පුංචි එකාව හුරතල් කරයි.
“සමන්ති හාමුට කේන්ති ගන්න නෙමේ සතුටු වෙන්නයි තිබුණෙ හරි නම් තමුන්ගෙ සුවාමියා නිකම්ම නිකම් වතු කොන්දොස්තරයෙකුගෙ පුතෙක් නෙවී හාමු කෙනෙක්ගෙම පුතෙක් වුණාට හහ්!”
නමුත් දැන් දැන් සමන්ති හාමු විතරක් නෙමේ හැමදෙනාම තමා දිහා බලන්නේ වනචර ගෑනියක් විදියටය. ඒකෙ ආයෙ වෙනසක් නැත. ඊළඟට... තව දවසක් ඒවි... ඒ... තමුන්ගේ දුව චන්ද්‍රානි ගේ ජාතකය එළිවෙන දවසය. ගොඩලියද්ද හාමුටත් වැඩි දවසක් යන්ට නොදී ඒ ග්‍රහචාරය ලබනවා ඇත. එතකොට බලන්න බැරියැ... මේ නාටකේ ඊළඟ කොටස..
චන්ද්‍රලතා එහෙම හිතුවේ පිරිමි සංහතිය කෙරේම ද්වේෂයෙන්ද කියා ඇයම දන්නේ නැත. ජයතිස්ස නියම පිරිමියෙක් වගේ හිටියා නම්... තමා මෙහෙම අශික්ෂිත ‘හාමු ගොදුරක්’ බවට පත්වන්නේත් නැත!
*******
තම අයියාගේ කතන්දරය ආරංචි වී චන්ද්‍රලතාගේ දුව චන්ද්‍රානි පිස්සු හැදෙන තරමට වියරු වැටුණි. රජරට විශ්වවිද්‍යාලයට තේරුණ නිසා ඇයට අනුරාධපුර පැත්තේ නෑදෑ ගෙදරක නවාතැන් ගන්ට සිදුවී තිබුණි. ගෙදර හිටියා නම් මේ කතාව අසා තමාට පිස්සු හැදෙනු ඇතැයි කල්පනා වී ඇය ඉකිබින්දේ ආත්මානුකම්පාවෙනි. අයියාගේ දුරකතන ඇමතුමින් ඇය මොනතරම් වික්ෂිප්ත වූවාද කියතොත් එදා දවසේ ම දේශන අපතේ ගියා වැනි විය.
“අපේ තාත්තා පඹයෙක් ද? නංගි...?”
ජයේන්ද්‍ර අයියාගේ කටහඬ දෝංකාර දුන්නේ රාත්‍රි නින්දට යන මොහොතේදීය. කුඩා කාලයේදී පටන්ම අසන දකින ලද අම්මාගේත් තාත්තාගේත් චර්යාවන් සිතින් විශ්ලේෂණය කරන්ට පටන්ගත්තේ ඉන් අනතුරුවය. අම්මා සහ තාත්තා අතර කිසිම දාක රණ්ඩු සරුවල් තබා එකිනෙකා වෙත රවා බැලීමක්වත් නොතිබූ බව මතක් වී ඇයට ඔවුන්ගේ ජීවිත ගැන පුදුම සිතුණි. දැන් සමන්තිට වගේ ම සුදු මැණිකෙ හාමුට වගේ ම නිර්මලා මැණිකේ හාමුට මොනවා හිතෙනවා ඇත්ද? ඇය ගැහැනු සිතින් තර්ක කළාය. සියලු තර්ක - විතර්ක තනිවම උහුලාගන්ට බැරි තැන තම නවාතැනේ හොඳම යෙහෙළිය සමඟ ද කීවාය.
“ඕවා ඔහොම තමා... චන්ද්‍රානි ඔය ලොකු ලොකු පවුල් අතරේ ඔය වාගේ සිදුවීම් අනන්තවත් තියෙන බව මම අහලා තියෙනවා.”
“ඒත් මට දුක අපේ අම්මා මේ මහඑවුන්ගේ සෙල්ලම් බඩුවක් වෙච්චි එකට...! දුප්පත් වුණත් පෝසත් වුණත් තමුන්ගෙ දරුවන්ගෙ හිත් දූෂණය වෙන විදියෙ වැඩ කරන එක... ඒක හරිම සමාජ ව්‍යසනයක්...”
“ඒ වගේ ම තමා චන්ද්‍රානි සමහර දරුවන්ගෙ වැඩත්.. බලන්න අද කාලේ දෙමවුපියන්ට පාරේ බැහැලා යන්න බැරි බාල වැඩ කරන දරුවො ඉන්නෙ ඕනෑතරම්...”
චන්ද්‍රානිගේ ජංගම දුරකතනය නාද වූයේ ඒ අතරය. කවදාකවත් ලබන්න බැරි වෙතැයි පුංචි කාලේ සිතාගෙන සිටිය දුරකතනය උපන්දින තෑග්ගක් වශයෙන් ඇයට දුක්නේ සමන්ති හාමු බව මතක් වී කඳුළකුත් එයි.
“නංගී.. ඔයා හිත කරදර කරගන්නෙ නැතිව පාඩම් වැඩ කරගෙන යන්න... මෙහේ විරසක ඔක්කෝම සමහන් වුණා... අපි හොඳින්...!”
ඒ කතා කළේ ජයේන්ද්රය. තමාගේ එකකුස උපන් අයියා ය. ඒත් හිතාගෙන හිටිය විදියට... තමුන් දෙදෙනා එකම තාත්තාගේ දරුවන් නොවේ...! ඒත් සහෝදරකම.. දුරස් කරන්නට ඒ වගේ හේතුවලට පුළුවන්කමක් නැත....!
*******
දවස් සති වෙයි. සති මාස වෙයි.
කාලයත් සමඟම සමහර ප්‍රශ්න තුනී වෙයි. සමහර ප්‍රශ්න අවදිවෙයි. හිස ඔසවයි.
නිර්මලා මැණිකේ තම නෑනණ්ඩිය වන සුදු මැණිකේ සමඟ වලව් ආලින්දයේ අල්ලාප සල්ලාපයේය...
“අපේ මලින්ද පුතා යාළුකරගෙන ඉන්න කෙල්ල මොන විදියෙන්වත් අපේ පෙළැන්තියට ගැළපෙන කෙනෙක් නෙමෙයි නංගී.. ඒත් එයාට විරුද්ධ වෙන්න වෙන්න එයා මුරණ්ඩු වෙනවා විතරයි.”
“අපේ ජයමාල් පුතාත් ඔය වගේ තමා.. හැම දේකට ම කට දාගෙන එන්නේ ඔරොප්පුවට වගේ.. දැන් එයා නිදහස් රස්සාවක්ලු කරන්නෙ.. කාටවත් යටත් නැතිලු.. හැම තිස්සෙම කතා කරන්නෙ... මේ දැන් වලව්වෙන් පිටමං වෙන්න වගේ. ඒ නිසා හරිම බයයි එයා එක්ක කතා කරන්න...”
“ඇයි ඉතිං එයාගෙ සම්බන්ධෙ නතර කරන්න කියලා තරවටුවක් කරන්නේ නැත්තේ...”
“මොන... අකුළාගෙන යන්න යාවිද කියලා මට බයයි අක්කෙ.. මං බොහොම අමාරුවෙන් තමා අපේ මහත්තයවත් මේ සම්බන්ධව පාලනය කොරාගෙන ඉන්නෙ.. ඒ දරුවගෙ වැඩේ ම මහා කට කැඩිච්ච කතා කිය කියා වලව් පෙළැන්තියට පාච්චල් කරන එක... මට හිතාගන්න බෑ. ඒ වෙලාවල අපේ මහත්තයත් කට වහගන්නවා හරියට හුළං බැහැලා වගේ..”
“අනේ මං දන්නෙ නෑ නංගි.. අපි ගෑනු අය වගේ නෙමේ පිරිමි ජීවිත... එයාලා නිදහස්... කොට්ඨාසයක්... අපි තමයි ගෙවල්වලට හිරවෙලා... අතපය හකුළාගෙන ඉන්නේ...” එවිටම එතැනට එන්නේ ජයමාල්ය.
“ආ... සුදු නැන්දත් ඇවිල්ලා ඉන්නේ.. මොකද අප්පේ දෙන්නගෙ සාකච්ඡාව... හොඳයි... හොඳයි.. දැන් අම්මත් සතුටින් නේ ඉන්නේ... හිත් අමාරු කරගෙන ලෙඩ වෙන්නෙ නැතිව ඔන්න ඔහොම ‘අප්ඩේට්’ වුණාම කාටවත් කරදරයක් නෑ...” ජයමාල් පණ්ඩිත වාක්‍යයක් කියාගෙන ඇවිත් ඇඳුමත් මාරු කරගෙන නැවත එළියට බසින්නේ ඇඟට පතට නොදැනීමය.
“මේ පුතා... ඔයා ඔය කොහේද යන්නෙ ආ... ඔහොම නැවතුණා නම්...!”
“මට හදිසි ගමනක් අම්මා... යාළුවෙක් හම්බවෙලා එන්නම්... උපාසකයා වගේ අයියා ගෙදරට වෙලා හිටියට මට එහෙම ඉන්න බැහැනේ...”
“ඔහොම නවතිනවා...!”
ආලින්දයට කෑගසාගෙන ආවේ රත්නසේකර හාමු ය..!
ලබන සතියට...