‍මට සමා­වෙන්න ජයේ මං හිතුවේ ඔයා මාව රැවැ­ට්ටුවා කියලා | සිළුමිණ

‍මට සමා­වෙන්න ජයේ මං හිතුවේ ඔයා මාව රැවැ­ට්ටුවා කියලා

මං බොහොම අමා­රු­වෙන් තමා අපේ මහ­ත්ත­ය­වත් මේ සම්බ­න්ධව පාල­නය කොරා­ගෙන ඉන්නෙ.. ඒ දරු­වගෙ වැඩේම මහා කට කැඩිච්ච කතා කිය කියා වලව් පෙළැ­න්ති­යට පාච්චල් කරන එක... මට හිතා­ගන්න බෑ. ඒ වෙලා­වල අපේ මහ­ත්ත­යත් කට වහ­ග­න්නවා හරි­යට හුළං බැහැලා වගේ..

ශ්‍රීමාල් ආලි­න්ද­යට ඇවිත් කල්පනා කර­මින් සිටියේ දැන් දැන් ගෙදර උද්ගත වෙලා ඇති තත්ව­යන්ගේ බර­ප­ත­ළ­කම ගැනය. ඔහුගේ මුහුණ පුරා ඇඳී තිබුණේ එත­රම් සතු­ටු­දා­යක ස්වරූ­ප­යක් නොවන බව පෙනුණේ විල්ප්‍රඩ් රත්න­සේ­ක­ර­යට. කොහොම වුණත් බාල පුතා සමඟ කතා­බහ කර­න­විට දැනෙන අප­හ­සුව ලොකු පුතා සමඟ කතා කරද්දී නොදැ­නෙන එක පුදු­මය.

“අප්පච්චි කල්පනා කරලා කල්පනා කරලා අස­නීප වෙන්න එපා.. දැන් වැඩක් නෑනෙ.. ඒවා කතා කරලා.. මම මල්ලී­ටත් කිව්වෙ ඒකයි.”

ශ්‍රීමාල් එසේ කීවේ සීරු­වෙනි. ඒත් ගෞර­ව­යෙනි. රත්න­සේ­ක­රගේ හිත රිදෙන්නේ ඒ නිසාය. තම ජීවි­තයේ රහ­සක් දැන් හෙළිවී ඇත. ඒත් ඒ නිසා තමා පරා­ජය විය යුතුද? නැත...! තමා තම බිරි­යගේ සහ දරු­වන්ගේ යුතු­කම් කව­දත් පැහැර හැරලා නැත. ඒත්... නිර්මලා මැණි‍ෙක් මෙය දැන ගත්දා පටන් සිටින්නේ යුද්දෙට සැර­සිච්ච සෙබ­ළි­යක වගේය. හොඳ වෙලා­වට ඇය නම්බු­කාර විදි­යට ඉහළ පෙළැ­න්තියේ වල­ව්වක හැදිච්ච කුමා­රි­හාමි කෙනෙකි. ඒ නිසා ඇය අප­හාස වචන කියා කෑ මොර දුන්නේ නැත. කාම­ර­යට වී දව­සක් ම නොකා නොබී කඳුළු සැලු­වාය. ඇය දැන් තමා දිහා නොබලා අසල තිබෙන හැම­දේට ම ඔර­වයි. ඇය ගෙනි­යන්නේ එවැනි සීතල යුද්ධ­යකි. ඒ යුද්ධය වඩාත් භයා­න­කය.

“පුතා... ඒ ඔක්කෝම සිද්ධි වුණේ පුතාලා ඉප­දෙන්න කලින්... පුතාලා ඉපැ­දු­ණාට පස්සෙ මා තින් එහෙම වැරදි කව­දා­වත් වුණේ නැහැ. මං ඒක අම්ම­ටත් පැහැ­දිලි කරලා කිව්වා.. ඒත් අම්මා ඒවා නෑහුණා වගේ ගහක් ගලක් වගේ ඉන්නවා...”

ශ්‍රීමාල්ට අප්පච්චි ගැන දුකය. පුංචි එකෙක් වගේ එසේ කියවා ඇස්වල තෙත මාත්තු කර­නවා දැක්කාම ඊටත් දුකය.

“අයියේ... මොකද ඔතන කරන්නේ. පොඩ්ඩක් එන්නකෝ.. මට පොඩි වැඩක් තියෙ­නවා කතා කර­ගන්න...!”

ජය­මාල්ගේ වේග­වත් කට­හඬ සාලය පැත්තෙන් ඇසෙන්නේ හරි­යට අප්ප­ච්චිගේ පපු­වට අනින්නා වගේ යැයි ශ්‍රීමල්ට සිතෙයි. ඔහුට එක අත­කින් කේන්තිය. කී දෙනෙ­කුග් හිත හද හදා ඉන්නද... තමා හරි­යට ඉටි­ප­න්ද­මක් වගේය. ඒ උප­මාව නම් අපූ­රුය.

එදා පන්ස­ලේදී මේඛලා එහෙම කියද්දි සිරි­නා­තත් සංජ­යත් ඊට බොහොම සද්ද හිනා­වෙන් අනු­මැ­තිය පළ­කළා මත­කය.

“මොකෝ... මල්ලි... හදි­සිය... මං ටිකක් අප්පච්චි එක්ක කතා කළා හරි නෑනේ..”

“ඔව් ඔව් ඒක නම් ඇත්ත තමා... ඕං... අර කපු­රාල.. එයා දැන් ‘බ්‍රේකින් නිවුස්’ එකක් පතු­ර­ව­නවා.. හහ්... ඔයා පන්ස­ලේදි කවුරු හරි කෙල්ලෙක් හම්බ වුණාද... ආ...?”

“මොකක්....?”

*******

අලු­තෙන් හදා­ගෙන පදිංචි වූ මාලි­ගා­වක් වගේ ගෙදර එක සැරේ­ටම අපා­යක් වෙන්න ආපු හැටි මත­ක්වෙලා සම­න්තිට පුදු­මය. තමාගේ කෑගැ­හි­ල්ලට හා දොස් පැව­රී­මට උරණ වූ ජයේන්ද්‍ර නොකා නොබී සිට බෙල්ල වැල­ලා­ග­න්ටත් හැදු­වේය. ඒ තමුන් මේ දේවල් කිසි­වක් ගැන දන්නේ නැති බවත් තමාගේ ජාත­කය ගැන දැන­ගෙන මෙහෙම සම්බ­න්ධ­යක් පටන් ගත්තේ නැති බවත් දහ අතේ දිවුරා කිය­මින්ය. අන්ති­මට ශ්‍රීමාල් මල්ලි­ගේත් මලින්ද මල්ලි­ගේත් උප­දෙස් අනුව ජයේන්ද්‍ර නිර්දෝෂී යැයි තමාට තීර­ණය කර­න්නට සිදු­වුණි. ඒ නිසාම යම්තම් පවුල නොකැඩී බේරුණි.

“මට සමා­වෙන්න ජයේ මං හිතුවෙ ඔයත් මේවා දැන­ගෙන මාව රැවැ­ට්ටුවා කියලා ඒකයි..”

“එහෙම නම් මම මගේ අම්මට අර විදි­යට දොස් කියන්නෙ නෑනෙ සමන්ති... ඔයාට ඒක­වත් තේරුම් ගන්න තිබුණා!”

කඳුළු වගු­ර­මින් දෙන්නා සමා­දාන වෙද්දී චන්ද්‍ර­ල­තාගේ හිතේ ගින්දර නිවිලා යයි. ඒ එක්කම ඈ යටි­හි­තින් මෙහෙ­මත් හිතා­ගෙන පුංචි එකාව හුර­තල් කරයි.

“සමන්ති හාමුට කේන්ති ගන්න නෙමේ සතුටු වෙන්නයි තිබුණෙ හරි නම් තමුන්ගෙ සුවා­මියා නිකම්ම නිකම් වතු කොන්දො­ස්ත­ර­යෙ­කුගෙ පුතෙක් නෙවී හාමු කෙනෙ­ක්ගෙම පුතෙක් වුණාට හහ්!”

නමුත් දැන් දැන් සමන්ති හාමු විත­රක් නෙමේ හැම­දෙ­නාම තමා දිහා බලන්නේ වන­චර ගෑනි­යක් විදි­ය­ටය. ඒකෙ ආයෙ වෙන­සක් නැත. ඊළ­ඟට... තව දව­සක් ඒවි... ඒ... තමුන්ගේ දුව චන්ද්‍රානි ගේ ජාත­කය එළි­වෙන දව­සය. ගොඩ­ලි­යද්ද හාමු­ටත් වැඩි දව­සක් යන්ට නොදී ඒ ග්‍රහ­චා­රය ලබ­නවා ඇත. එත­කොට බලන්න බැරියැ... මේ නාටකේ ඊළඟ කොටස..

චන්ද්‍ර­ලතා එහෙම හිතුවේ පිරිමි සංහ­තිය කෙරේම ද්වේෂයෙන්ද කියා ඇයම දන්නේ නැත. ජය­තිස්ස නියම පිරි­මි­යෙක් වගේ හිටියා නම්... තමා මෙහෙම අශි­ක්ෂිත ‘හාමු ගොදු­රක්’ බවට පත්ව­න්නේත් නැත!

*******

තම අයි­යාගේ කත­න්ද­රය ආරංචි වී චන්ද්‍ර­ල­තාගේ දුව චන්ද්‍රානි පිස්සු හැදෙන තර­මට වියරු වැටුණි. රජ­රට විශ්වවිද්‍යා­ල­යට තේරුණ නිසා ඇයට අනු­රා­ධ­පුර පැත්තේ නෑදෑ ගෙද­රක නවා­තැන් ගන්ට සිදුවී තිබුණි. ගෙදර හිටියා නම් මේ කතාව අසා තමාට පිස්සු හැදෙනු ඇතැයි කල්ප­නා වී ඇය ඉකි­බින්දේ ආත්මා­නු­ක­ම්පා­වෙනි. අයි­යාගේ දුර­ක­තන ඇම­තු­මින් ඇය මොන­ත­රම් වික්ෂි­ප්ත වූවාද කිය­තොත් එදා දවසේ ම දේශන අපතේ ගියා වැනි විය.

“අපේ තාත්තා පඹ­යෙක් ද? නංගි...?”‍‍‍

ජයේන්ද්‍ර අයි­යාගේ කට­හඬ දෝංකාර දුන්නේ රාත්‍රි නින්දට යන මොහො­තේ­දීය. කුඩා කාල­යේදී පටන්ම අසන දකින ලද අම්මා­ගේත් තාත්තා­ගේත් චර්යා­වන් සිතින් විශ්ලේ­ෂ­ණය කරන්ට පට­න්ගත්තේ ඉන් අන­තු­රු­වය. අම්මා සහ තාත්තා අතර කිසිම දාක රණ්ඩු සරු­වල් තබා එකි­නෙකා වෙත රවා බැලී­ම­ක්වත් නොතිබූ බව මතක් වී ඇයට ඔවුන්ගේ ජීවිත ගැන පුදුම සිතුණි. දැන් සම­න්තිට වගේ ම සුදු මැණිකෙ හාමුට වගේ ම නිර්මලා මැණිකේ හාමුට මොනවා හිතෙ­නවා ඇත්ද? ඇය ගැහැනු සිතින් තර්ක කළාය. සියලු තර්ක - විතර්ක තනි­වම උහු­ලා­ගන්ට බැරි තැන තම නවා­තැනේ හොඳම යෙහෙ­ළිය සමඟ ද කීවාය.

“ඕවා ඔහොම තමා... චන්ද්‍රානි ඔය ලොකු ලොකු පවුල් අතරේ ඔය වා‍ගේ සිදු­වීම් අන­න්ත­වත් තියෙන බව මම අහලා තියෙ­නවා.”

“ඒත් මට දුක අපේ අම්මා මේ මහ­එ­වුන්ගේ සෙල්ලම් බඩු­වක් වෙච්චි එකට...! දුප්පත් වුණත් පෝසත් වුණත් තමුන්ගෙ දරු­වන්ගෙ හිත් දූෂ­ණය වෙන විදියෙ වැඩ කරන එක... ඒක හරිම සමාජ ව්‍යස­න­යක්...”

“ඒ වගේ ම තමා චන්ද්‍රානි සම­හර දරු­වන්ගෙ වැඩත්.. බලන්න අද කාලේ දෙම­වු­පි­යන්ට පාරේ බැහැලා යන්න බැරි බාල වැඩ කරන දරුවො ‍ඉන්නෙ ඕනෑ­ත­රම්...”

චන්ද්‍රා­නිගේ ජංගම දුර­ක­ත­නය නාද වූයේ ඒ අත­රය. කව­දා­ක­වත් ලබන්න බැරි වෙතැයි පුංචි කාලේ සිතා­ගෙන සිටිය දුර­ක­ත­නය උප­න්දින තෑග්ගක් වශ­යෙන් ඇයට දුක්නේ සමන්ති හාමු බව මතක් වී කඳු­ළ­කුත් එයි.

“නංගී.. ඔයා හිත කර­දර කර­ගන්නෙ නැතිව පාඩම් වැඩ කර­ගෙන යන්න... මෙහේ විර­සක ඔක්කෝම සම­හන් වුණා... අපි හොඳින්...!”

ඒ කතා කළේ ජයේ­න්ද්‍රය. තමාගේ එක­කුස උපන් අයියා ය. ඒත් හිතා­ගෙන හිටිය විදි­යට... තමුන් දෙදෙනා එකම තාත්තාගේ දරු­වන් නොවේ...! ඒත් සහෝ­ද­ර­කම.. දුරස් කර­න්නට ඒ වගේ හේතු­ව­ලට පුළු­ව­න්ක­මක් නැත....!

*******

දවස් සති වෙයි. සති මාස වෙයි.

කාල­යත් සම­ඟම සම­හර ප්‍රශ්න තුනී වෙයි. සම­හර ප්‍රශ්න අව­දි­වෙයි. හිස ඔස­වයි.

නිර්මලා මැණිකේ තම නෑන­ණ්ඩිය වන සුදු මැණිකේ සමඟ වලව් ආලි­න්දයේ අල්ලාප සල්ලා­ප­යේය...

“අපේ මලින්ද පුතා යාළු­ක­ර­ගෙන ඉන්න කෙල්ල මොන විදි­යෙ­න්වත් අපේ පෙළැ­න්ති­යට ගැළ­පෙන කෙනෙක් නෙමෙයි නංගී.. ඒත් එයාට විරුද්ධ වෙන්න වෙන්න එයා මුරණ්ඩු වෙනවා විත­රයි.”

“අපේ ජය­මාල් පුතාත් ඔය වගේ තමා.. හැම දේකට ම කට දාගෙන එන්නේ ඔරො­ප්පු­වට වගේ.. දැන් එයා නිද­හස් රස්සා­වක්ලු කරන්නෙ.. කාට­වත් යටත් නැතිලු.. හැම තිස්සෙම කතා කරන්නෙ... මේ දැන් වල­ව්වෙන් පිටමං වෙන්න වගේ. ඒ නිසා හරිම බයයි එයා එක්ක කතා කරන්න...”

“ඇයි ඉතිං එයාගෙ සම්බන්ධෙ නතර කරන්න කියලා තර­ව­ටු­වක් කරන්නේ නැත්තේ...”

“මොන... අකු­ළා­ගෙන යන්න යාවිද කියලා මට බයයි අක්කෙ.. මං බොහොම අමා­රු­වෙන් තමා අපේ මහ­ත්ත­ය­වත් මේ සම්බ­න්ධව පාල­නය කොරා­ගෙන ඉන්නෙ.. ඒ දරු­වගෙ වැඩේ ම මහා කට කැඩිච්ච කතා කිය කියා වලව් පෙළැ­න්ති­යට පාච්චල් කරන එක... මට හිතා­ගන්න බෑ. ඒ වෙලා­වල අපේ මහ­ත්ත­යත් කට වහ­ග­න්නවා හරි­යට හුළං බැහැලා වගේ..”

“අනේ මං දන්නෙ නෑ නංගි.. අපි ගෑනු අය වගේ නෙමේ පිරිමි ජීවිත... එයාලා නිද­හස්... කොට්ඨා­ස­යක්... අපි තමයි ගෙව­ල්ව­ලට හිර­වෙලා... අත­පය හකුළා­ගෙන ඉන්නේ...” එවි­ටම එතැ­නට එන්නේ ජය­මාල්ය.

“ආ... සුදු නැන්දත් ඇවිල්ලා ඉන්නේ.. මොකද අප්පේ දෙන්නගෙ සාක­ච්ඡාව... හොඳයි... හොඳයි.. දැන් අම්මත් සතු­ටින් නේ ඉන්නේ... හිත් අමාරු කර­ගෙන ලෙඩ වෙන්නෙ නැතිව ඔන්න ඔහොම ‘අප්ඩේට්’ වුණාම කාට­වත් කර­ද­ර­යක් නෑ...” ජය­මාල් පණ්ඩිත වාක්‍ය­යක් කියා­ගෙන ඇවිත් ඇඳු­මත් මාරු කර­ගෙන නැවත එළි­යට බසින්නේ ඇඟට පතට නොදැ­නී­මය.

“මේ පුතා... ඔයා ඔය කොහේද යන්නෙ ආ... ඔහොම නැව­තුණා නම්...!”

“මට හදිසි ගම­නක් අම්මා... යාළු­වෙක් හම්බ­වෙලා එන්නම්... උපා­ස­කයා වගේ අයියා ගෙද­රට වෙලා හිටි­යට මට එහෙම ඉන්න බැහැනේ...”

“ඔහොම නව­ති­නවා...!”

ආලි­න්ද­යට කෑග­සා­ගෙන ආවේ රත්න­සේ­කර හාමු ය..!

ලබන සතියට‍...

Comments