
ඒ කාලේ පිටකොටුව පොලිසිය තිබිලා තියෙන්නේ වේල්ලවිදීයේ. ඒ පොලිසියෙන් තමයි බුද්ධ ප්‍රතිමාව හදලා තියෙන්නේ. යුනිවර්සල් හෝටලයෙන් තමයි දෑගසව් දෙනම හැදුවේ. ඇතුළේ තියෙන කතරගම දේවාලය හදලා තියෙන්නේ ලීලා ස්ටෝර්ස් අධිපතිතුමා. විෂ්ණු දේවාලය හදලා තියෙන්නේ වික්‍රමසිංහ මහත්තයයි නෝනයි. ඔවුන්ට දරුවෝ හිටියේ නැහැ. ඒ නිසා එයාලගේ දේපළ අයිතිවුණා මහාභාරකාර මණ්ඩලයට. අදත් ඔවුන්ගේ දේපළවල මුදල් මේ සංගමයට ලැබෙනවා. ගම්බාර දේවාලය හැදුවේ සී.ජේ ආරච්චි. පසුකාලිනව රටේ නම්දරාපු බොහෝ ව්‍යාපාරිකයෝ පිටකොටුවේ බිස්නස් කරපු අය.”
පාන්දර එකට දෙකට කොළඹ පැමිණිය ද, මද්දහනේ පැමිණිය ද, පිටකොටුව බෝධීන් වහන්සේ වන්දනා කරන්නෙකු නොදකින්ට ලැබුණොත් එය දුර්ලබ දෙයකි. රටේ කොයි කොනින් පැමිණිය ද බෝධින් වහන්සේ ඉදිරියේ මොහොතකට නතර වී දොහොත් මුදුන් දී වඳින්නෙක් දැකීම සාමාන්‍ය දසුනකි. කාගේත් ජාති ආගම් කුල මල භේදයෙන් තොරව කාගෙත් වන්දනාමානයට පාත්‍ර වූ පිටකොටුවේ බෝධීන් වහන්සේට දිගු ඉතිහාසයක් ඇත. මේ ඉතිහාස කතා දන්න අය අද වන විට හිඟය.
පිටකොටුවේ බෝධීන් වහන්සේ එම ස්ථානයේ රෝපණ කරනු ලැබුවේ අපූරු ආකරයකටය. මේ බොධීන් වහන්සේ ගැන පමණක් නොව එක්දහස් නවසිය පනස් ගණන්වල කොළඹ පිළිබඳ තොරතුරු දන්නා අයෙකු සොයා අප ඉකුත්දා ගොඩගමට ගියෙමු. ඔහු දැන් වයෝවෘද්ධය. නමුදු අප එන ආරංචියට ඔහු රේල් පාර පැනවිත් පුංචි කඳුගැටයක් නැග අප නිවෙසට කැඳවාගෙන ගියේය.
ගාල්ලේ අක්මීමන උපන් සේන අක්මීමන මුල් කාලයේ පාසල් ගරුවරයකු ලෙස කටයුතු කළේය. වයස අවුරදු දාහතේදී පමණ ශිෂ්‍ය ගුරුපත්වීමක් ලද ඔහු ට සේවය සදහා ලැබුණේ බදුල්ල ප්‍රදේශයේ පිටිසර පාසලකි.
‘‘ මගේ අම්මා ගුරුවරියක්. තාත්තා ව්‍යාපාරිකයෙක්. නංගියි මමයි විතරයි පවුලේ. බදුල්ලේ පත්වීම ලැබුණ ඉස්කෝලේ හිටියේ ගුරුවරු තුන්දෙනයි. විදුහල්පතිතුමයි, ඔහුගේ බිරිඳයි මමයි තමයි ඉස්කෝලෙටම හිටිය ගුරුවරු. ළමයි ඔක්කෝම ආවාම විදුහල්පති ළමයින්ව අරගෙන ඔහුගේ ගොවිතැන් වැඩ වලට යනවා. ඔහුගේ බිරිඳ උයන්න යනවා. මම බලන් ඉන්නවා. ඒ කාලේ දරුවෝ පාසල් ආවේ රෙදි ඇඳගෙන. යාන්තම් විලි වහගෙන. ගුරුවරුන්ට කතා කළේ ගුරුන්නාන්සේ කියලා. කොහොම වුණත් මාස කිහිපයක් යනකොට මට ගුරුකම එපා වුණා. ගෙදරටත් නොකියම මම බදුල්ලේ ඉඳලා කොළඹට ආවා. ඒ වෙනකොට අපේ ඥාතීන් කිහිප දෙනෙක්ම කොළඹ ව්‍යාපාර කෙරුවා. ඔවුන්ට සරුයි.”
‘‘කොළඹ ඇවිල්ලා මම බිස්නස් කළා. බසාර් එකෙන් පිහිය, කතුරු අරගෙන විකුණුවා. කොටුවේ පදිකවේදිකාවේ වෙළඳාම් කරන අය වෙනුවෙන් මොනවා හරි කරන්න ඕන කියන හැඟීම තිබුණා. ඒ අනුව තමයි රත්නවීර සහෝදරයා සමඟ එකතු වෙලා සමස්ත ලංකා පදික වෙළඳුන්ගේ සංගමය ආරම්භ කළේ. මම තමයි කොටුවේ පදික වෙළෙඳුන්ගේ සංගමයෙ මුල්ම ලේකම්වරයා.
අපි පදික වෙළෙඳුන් වෙනුවෙන් පෙනී හිටියා. ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් නඩු කිව්වා. මේ නඩුවලට මට තිරයෙන් පිටුපස සිට සහාය දුන්නේ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්මයා. ඒ කාලේ කොටුව, පිටකොටුව, බොරැල්ල.දෙමටගොඩ, තොටළඟ ආදි ප්‍රදේශ ඔක්කගේම පදික වෙළෙඳුන් දෙදහස් පන්සියයක් තුන් දහසක් පමණ හිටියා.
ඒකාලේ සමස්ත ලංකා වීර සංගමය කියලා එකක් තිබුණා. එහි උප සභාපති හිටියේ ප්‍රේමදාස මහතා. සංවිධායක ලෙස චාලස් රූපසිංහ මහතා. සභාපති පියදාස පලන්සූරිය මහතා. මම තමයි ලේකම් හැටියට හිටියේ. මට ප්‍රේමදාස මහත්තයාව ළඟින් ඇසුරු කරන්න ලැබුණේ මේ කාලේ. දවසක් ඔහු මට කිව්වා, වරෙන් බං අපි දෙන්නා නයිට් ඉස්කෝලේ යමු කියලා. ඔහුගේ කීමට අපි දෙන්නම නයිට් ඉස්කූල් ගියා ඉංග්‍රිසි ඉගෙන ගන්න. කොහොම වුණත් පසුව සමස්ත ලංකා වීර සමාජයෙන් ප්‍රේමදාස මහත්තයා අයින් වුණා. ඒ අයින් වෙලා තමයි ඔහු සුචරිත ව්‍යාපාරය ආරම්භ කෙරුවේ.”
ප්‍රේමදාස මහත්තයයි මමයි එකට ‘නයිට් ස්කූල්’ ගියා
අතීත තොරතුරු සිහිපත් කරන අතරේ සේන අක්මීමන මහතා පරණ ලිපි ගොනුද අවුස්සයි. ඔහු පරණ තොරතුරු පවසන්නේ තමන්ට මතක් වන හැටියටය. අප නොදන්නා අතීත තොරතුරු ඔහු හරි අපූරුවට ගොනුකරන්නේය.
‘‘ඒ කාලේ කොළඹ කොටුවේ තැබෑරුම් දාහතරක් තිබුණා. රජයට ලොකු ආදායමක් ලැබුණේ මේ තැබෑරුම්වලින්. නමුත් ප්‍රේමදාස මහත්තයා කිව්වා මේ තැබෑරුම් වහන්න ඕන කියලා. ඒ කාලේ ඔය කොළඹ තිබුණේ වතු. සාංචිආරච්චි වත්ත, කෙසෙල්වත්ත, පංචිකාවත්ත, බායිගේ වත්ත (දැන් මරදාන කියන්නේ) යන වතු තිබුණේ.
දැන් පිටකොටුවේ බෝධීන් වහන්සේ තියෙන තැන එදා තිබුණේ ඇළක්. දැන් ඇළ ගොඩවෙලා ගිහිල්ලා. කොහොම හරි ප්‍රේමදාස මහත්තයා ඔය වතුවල ගිහිල්ලා ගෙවල් ගානේ ගිහිල්ලා තැබෑරුම් වහන්න ඕන, ඒකට එකඟ වෙන්න කියලා මිනිස්සුන්ට කිව්වා. කළුකොඳයාවේ හාමුදුරුවෝ , පියසේන මහත්තයත් මේ වැඩ පිළිවෙළේ හිටියා. හැමෝගෙම මතේ වුණේ බාල පරම්පරාව නොමඟ යනවා කියන එක. ”
ඒ අතීතය එසේය. අපේ කතානායක වන සේන අක්මීමන වසර ගණනක්ම පිටකොටුව බෝධීරාජ සමිතියෙ ලේකම්ධුරය ඉසිලුවේය.
‘‘ අද බෝධින් වහන්සේ තියෙන තැන එදා තිබිලා තියෙන්නේ ඇළක්. මම කොළඹට එන කාලෙත් ඇළ තිබුණා මතකයි. මේ බෝධින් වහන්සේ ගෙනැල්ලා තියෙන්නේ අනුරාධපුරයෙන්. ඒ කාලේ අද වගේ බස් නැහැනේ. දකුණේ ඉඳලා අනුරාධපුරේ වන්දනාවේ ගිය පිරිසක් එන විට කාඩ්බෝඩ් පෙට්ටියක බෝ පැළයක් ගෙනැල්ලා. ඒ පිරිස කොටුවට ඇවිත් තියෙන්නේ කෝච්චියෙන්. ඒ රෑ ඔවුන්ට තේ බොන්න කියලා තියෙන්නේ පුංචි ආප්ප කඩයක්.
ඔවුන් තේ බොන්න ගිය අතරේ රික්සෝකාරයෝ අර කාඩ් බෝඩ් පෙට්ටිය උස්සලා කැලේ හංගලා. අර මිනිස්සු ඒක හොයලා නැති තැන යන්න ගිහිල්ලා. කොහොම වුණත් රික්සෝකාරයෝ පසුව පෙට්ටිය ඇරලා බැලුවම එහි තිබිලා තියෙන්නේ බෝ පැළේ. ඔවුන් ඒක ඇළ ගාව හිටවලා. කාලයත් එක්ක බෝ පැළේ හැදිලා. ඒ වටේ රිස්සොකාරයෝ උණ බම්බු වැටක් ගහලා. ඔහොම ආව බොධීන් වහන්සේ තමයි දැන් රටේම ජනතාවගෙන් පිදුම් ලබමින් වැඩ ඉන්නේ.
ක්‍රමයෙන් මෙතැන වැඩි දියුණු වුණා. ඒ කාලේ පිටකොටුව පොලිසිය තිබිලා තියෙන්නේ වේල්ලවිදීයේ. ඒ පොලිසියෙන් තමයි බුද්ධ ප්‍රතිමාව හදලා තියෙන්නේ. යුනිවර්සල් හෝටලයෙන් තමයි දෑගසව් දෙනම හැදුවේ. ඇතුළේ තියෙන කතරගම දේවාලය හදලා තියෙන්නේ ලීලා ස්ටෝර්ස් අධිපතිතුමා. විෂ්ණු දේවාලය හදලා තියෙන්නේ වික්‍රමසිංහ මහත්තයයි නෝනයි. ඔවුන්ට දරුවෝ හිටියේ නැහැ. ඒ නිසා එයාලගේ දේපළ අයිතිවුණා මහාභාරකාර මණ්ඩලයට. අදත් ඔවුන්ගේ දේපළවල මුදල් මේ සංගමයට ලැබෙනවා. ගම්බාර දේවාලය හැදුවේ සී.ජේ ආරච්චි. පසුකාලින රටේ නම්දරාපු බොහෝ ව්‍යාපාරිකයෝ පිටකොටුවේ බිස්නස් කරපු අය.”
පිටකොටුව බෝධීරාජ සමිතියෙන් ඇරඹි බත් දන්සල අද දක්වාම පැවැත්වේ. මෙය දින දෙකක් පුරා පැවැත් වෙන්නකි.
බෝධීන් වහන්සේ තිබූ තැන එදා තිබුණේ ඇළක්
‘‘ අපට ඕන වුණා දන්සලක් පටන් ගන්න. ඒ කාලේ පිටකොටුවේ තොග බඩු ඒ කියන්නෙ සහල් කෙරුවේ වී.ටී.වී දේවනායගම් කියන මහත්තයා. මම හැමදාම බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා පූජා කරලා තියෙන මලකුත් අරගෙන කනේ ගහගෙන තමයි කඩේ වැඩ පටන් ගන්න යන්නේ. ඔහු දෙමළ වුණාට බෝධීන් වහන්සේ වන්දනා කරනවා. මම ඔහු හමුවීමට ගිහින් දන්සල ගැන කිව්වා. ඔහු කිව්වා සහල් දෙන්නම් කියලා. දන්සල අවසානයේ ගැනලා බැලුවා. ඔහු අපට හාල් මුට්ට එකසිය දොළහක් දීලා තිබුණා. හාල් මුට්ටයට හාල් සේරු අසූවක් තියෙනවා. පරිප්පු, ලූනු දුන්නේ ලීලා ස්ටෝර්ස් එකෙන්. එළවළු මැනිං මාර්කට් වෙළඳුන්ගෙන්. අදටත් පිටකොටුවේ ව්‍යාපාරිකයන්ගෙන් තමයි දන්සලට අනුග්‍රහය ලැබෙන්නේ.
ඒ කාලේ කෝකියාට දන්සලේ උයන්න රුපියල් 15000 ගෙව්වා. අපි මේ දන්සලට සහාය දක්වන්න කියලා යුදහමුදාවට පොලිසියට පවා ලියුම් ලිව්වා. දන්සලේ සෙනඟ බෝධිය ගාව ඉඳලා ගෑස්පහ ළඟට යනතුරු හිටියා. නගරාධිපති ලෙස හිටිය ජබීර් කාදර් මහත්තයා තමයි වතුර බවුසර් දෙකක් දුන්නේ. බෞද්ධ අබෞද්ධ හැමෝම මෙයට සහාය වුණා.”
දහනව අවුරුද්දක් තිස්සේ බෝධිරාජ සංගමයේ ලේකම් ධුරය ඉසිලු ලේකම් මහත්තයා පවසන්නේ හරි ආඩම්බරයෙනි. ඔහු වයෝවෘද්ධ වීමත් සමඟ තම කටයුත් සංගමයට බාර දුන්නේය. තම ජීවිතයේදි කලක් පුවත්පත් කලාවේදියෙකු ලෙස කටයුතු කිරීම ගැන ඔහු පවසන්නේ ආඩම්බරයෙනි.
‘‘තේජා ගුණවර්ධන නෝනා පත්තරයක් කළා. මම ඒ පත්තරේ ලිව්වා. ඒ වගේ ම බොරුල්ල වාර්තාකරු හැටියට මම ලංකාදීප දිනමිණ පුවත්පත් වලත් ලිපි ලිව්වා. මට බොහෝ දේශපාලනඥයන් සමඟ ළඟ ඇසුරක් පැවැත්වීමට අවස්ථාව ලැබුණා. ඒ කාලේ හිටියේ සාක්කු පුරෝගන්න දේශපාලනඥයෝ නෙමෙයි. රෝහණ විජේවීර ඒ කාලේ කොළඹ ආවොත් පිටකොටුවෙදි මාව හමුවෙනවා. මම ජනතා විමුක්ති පෙරමුණ සමඟ හිටිය. මේ නිසා මට හතර වෙනි තට්ටුවටත් යන්න වුණා. මගෙන් ප්‍රශ්න කළා. මම කිසි දෙයක් කිව්වේ නැහැ. අන්තිමට මට රෑ දෙකට විතර කිව්වා යන්න කියලා. මට හිතුණා අනතුරක් කියා. මම කිව්වා ගෙදර යන්න මේ වෙලාවට වාහන නැහැ කියලා. පස්සේ පොලිසියේ ලොකු මහත්තයා කිව්වා මාව වාහනේකින් ගෙදර යවන්න කියලා.”
බෞද්ධ අබෞද්ධ හැමෝම එක්වී දන්සල පටන් ගත්තා
කලක් පත්තරකාරයකු ලෙසින් ද ප්‍රගතිශිලි දේශපාලනයේද කටයුතු කළ අක්මීමන එක්තරා විදිහට රහස් ඔත්තු සේවයේද වැඩ කළේය. ඔහු තමන් දන්නා බොහෝ තොරතුරු කීමට අකමැතිය. ඒ කාගේ හෝ සිත් රිදිමට පුළුවන් යැයි සිතෙන නිසාය.
‘‘ජේ.ආර් ජයවර්ධන මහත්තයා සමඟ එක් වෙලා කල්ලතෝනි පිළිබඳ තොරතුරු හෙව්වා. ඒ කාලේ ඉන්දියාවෙන් හොරෙන් ආව අය හරියට හිටියා. මොවුන්ව හොයලා රටින් පිටමං කළා. වැල්ලතොට පඤ්ඤාදස්සි හාමුරුවොයි මමයි මේ අය ගැන තොරතුරු හෙව්වා. අපි සෑහෙන අය පිළිබඳ තොරතුරු ලබා දුන්නා. කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගෙන හිටිය ඉන්දියානුවෙක් ගැන අපට කිව්වේ ඒ කාන්තාවන් දෙදෙනාගෙන් කෙනෙක්මයි. අපි ඔහු ගැන තොරතුරු දුන්නා. ඒකාලේ ඔහුට ලංකාවේ කොම්පැනි දහයක් තිබුණා.
මම මේ තොරතුරු එක්තරා මාධ්‍ය සගයකුට දුන්නා. ඔහු සේවය කළ ප්‍රගතිශිලි පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ වුණා. ඊට පසුදා ඔහුගේ රස්සාව නැති වුණා. මට මරණීය තර්ජන පවා තිබුණා. බොහෝ අය මාව රූපෙන් අඳුනන්නේ නැහැ. දවසක් නම් දරාපු කෙනෙක් බෝධිරාජ සමිතියේ ඔෆිස් එකට ඇවිල්ලා මාව අහනවා. මම කිව්වා මහත්තයා තාම ආවේ නැහැ කියලා. සමහර දවසට එන්නෙ නැහැ කියලත් කිව්වා.
ඔහු ඇවිත් තිබුණේ මාව මරන්නලු. කොහොම හරි මම සතියක් දෙකක් කාර්යාලයට ආවේ නැහැ.
තව දවසක් පොලිය සමඟ කරවල බිස්නස් කරන කල්ලතෝනිකාරයෙක් අල්ලන්න ගියාම ඔහු පොලිසියේ මහත්තයට ගැනලා රුපියල් තිස් පන්දහසක් දුන්නා. නමුත් ඔහුට බේරෙන්න බැරි වුණා. මම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලොක්කට කිව්වා. කරවල බිස්නස්කාරයව ගෙනැල්ලා කල්ලතෝනි කෑම්ප් එකේ තියන් ඉඳලා රටින් යැව්වා. අපි පොලිසියට කල්ලතෝනි අය ගැන ඔත්තු පහළොස් දාහක් පමණ දුන්නා. අදටත් ඒවාට මොනවා වුණාද දන්නේ නැහැ. ”
සේන අක්මීමන මහතා දන්නා තොරතුරු බොහෝය. කොතරම් දේශපාලන සම්බන්ධතා තිබුණ ද ඒ දවස ඔහු තමන්ට කියා දෙයක් කරගත් අයකු යැයි කිසිවෙකුට කියන්නට නොහැකිය. දැන් ඔහු වියපත්ය. ඔහුගේ බිරිය ද අසනීපයෙනි. නමුදු ඔහු දිවි ගෙවන්නේ සතුටෙනි.
‘‘ මට දරුවෝ පස්දෙනෙක් ඉන්නවා දූවේ. ඒ අය හොඳ ජීවිත ගෙවනවා. අපටත් බලනවා. මට සතුටු වෙන්න ඒ හොඳටෝම ඇති. අදත් මම මේ ගමේ බොහෝ සමිති සමාගම්වල ඉන්නවා . මට මේ රටේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න පුළුවන් වුණා කියන සතුට තියෙනවා.”
රේල් පාර බැස අප පාරට ඇරලවන්නට පැමිණෙන ගමනේදී ඔහු පැවැසුවේ සැහැල්ලු හඬිනි.
ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු
චමින්ද නිරෝෂන්