
නිතර අසා පුරුදු සුන්දර ගීතයක තාලයක් ගෝල්ෆේස් හෝටලයේ ඇතුළත ශාලාවක වාදනය වෙයි. එතැනට රැස්ව සිටි දූ පුතුන් සමූහයක් ඒ මනරම් ගී තනු වාදනය අසා සිටියේ සමවැදුණාක් මෙනි. ආදරය අහිමි ව ගිය ඒ අහිංසක සිත්වලට එක්දිනක හෝ සෙනෙහස පුදන්නනට සැරසෙන මොහොතකි ඒ. කොළඹ නගරයට අනෝරා වැසි වැටෙමින් පැවැති ඒ මොහොතේ වැස්ස පවා මදක් තුරල් කරමින් සහනයක් දුන්නේ මේ කරන්නට යන සද්කාර්යට ආශිර්වාදයක් වෙමිනි. රාත්‍රියේ කොළොම් තොට පුරා දැල්වෙන දස දහස් ගණනක් වන විදුලි බුබුළු මෙන්ම ගෝල්ෆේස් පිටිය හරහා ඇදී එන මුහුදු සුළඟ ද ගතට එක් කළේ සුවයකි. දහසකුත් එකක් හැලහැප්පිලිවලට මුහුණ දී විඩාවෙන් සිටි ඒ පුංචි ජීවිතවලට කොළඹ ආ මේ ගමන අලුත්ම අත්දැකීමක් වූවා නිසැකය. ජීවිතයට නැවුම් අත්දැකීමක් එක් කරන්නට විය. එතැන සිටි දරුවන්ගෙන් බොහෝ දෙනකුට මව්පිය සෙනෙහස අහිමිය. ඉටු කර ගන්නට මහා බලාපොරොත්තු ගොන්නක්ද ඔවුනට නැත. එහෙත් එදා දිනයේ ඔවුන් කොළඹය පැමිණියේ හදවත්හි සතුට පුරවා ගෙනය. එතැන සිටි දරුවන් අතරින් බොහොමයක් ජීවිතයේ පළමු වරට කොළඹට පය ගැසූ දිනය වූයේ එදිනය.
“අපි ඉස්සෙල්ලාම කොළඹ ආවේ අදයි. කොළඹ දැක්කෙත් අදයි. කොළඹ ගොඩාක් රස කෑම ජාති තියෙනවා. කවදාවත් කාපු නැති රසම රස කෑම ජාති ගොඩාක් මේ මාමලා නැන්දලා දුන්නා . ටිකක් නොවෙයි ගොඩාක්ම සතුටුයි” එසේ පැවසුවේ චලනිය.
“අපි ප්ලේන් එකේත් ගියා. ගොඩාක් සතුටුයි” උඩින් යනවා දැක මිස කිසිදා ගුවන් යානාවක් අහලකටවත් ගොස් නැති ඔවුන්ට ගුවන් යානයක් යනු අරුම පුදුම දෙයකි. ඉමේෂ්ට කතා කිරීමට නොහැකි වුවත් ඔහු තම සිතේ ඇති දේ හස්ත සංඥාවෙන් අපට පවසන්නේය.
චලනි හා ඉමේෂ් වැනි මේ පුංචි පැටවු රොත්ත පසුගියදා සිළුමිණ අපට හමුවූයේ ළමා දිනය සංකේතවත් කරමින් ජීවිතයේ මුල්වරට ඔවුන් කොළඹට කැටුව පැමිණි ගමනේදීය. ඒ කොළඹ දැකගන්නට පමණක් නොව ඔවුන්ගේ ජීවිතයේ පොතපතින් පමණක් දුටු වරාය, මුහුද හා ගුවන්තොටුපළ සියැසින් දැකගත් අවස්ථාවේය.මේ දරුවන්ට ඒ දුර්ලභ අවස්ථාව හිමිකර දුන්නේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ මාමලා නැන්දලා ය. එදා පැමිණි ගමනට වීදි දරුවන් සඳහා අපේ රටේ පිහිටි එකම පාසල වන නුවර මද්දුම බණ්ඩාර විදුහලේ හා කොළඹ රත්මලානේ අඳ ගොළු බිහිරි පාසලේ දරුවෝ සහභාගි වූහ.
මේ දරුවන්ට තම තමන් ගැන කීමට ඇති කතා බොහොමයකි. ඔවුන් පෙළන ප්‍රශ්න ඒ පුංචි සිත්වලට දරා ගැනීමට අපහසුතරම්ය. එක් කෙනෙකු දෙන්නෙකු පමණක් නොව මේ හැම දරුවෙකුම පාහේ සිටින්නේ මව් පිය සෙනෙහසින් බොහෝ දුරස්ව ය. ආදරය ලැබිය යුතු වයසේ පසුවන මේ පැටවුන්ට ආදරය කියා දෙන්නේ මේ පාසල්වල ගුරුවරුන් පමණි. එවන් වූ දරුවන් පිරිසකට ලෝකය ගැන නොව අපේම රටේ වගතුග කියා දෙන්නට ගෝල්ෆේස් හෝටලය, ඊබට් සිල්වා සමූහ ව්‍යාපාරය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව සිය ළමා දින සමාජ සත්කාරක වැඩ සටහන යටතේ මේ දරුවන් දැක නැති කොළඹ පෙන්වීමට කටයුතු යොදා තිබිණි.
“අපි මීට පෙර කවදාවත් කොළඹ ඇවිත් නැහැ. මුහුද දැකලා තිබුණේත් නැහැ. අපි අහසේ යන ප්ලේන් දැක්කත් මුහුදේ යන නැව් කවදාවත් දැකලා තිබුණේ නැහැ. අද අපි මුහුද බලන්න ගියා. රැල්ල පෑගුවා. මුහුද ගොඩාක් ලොකුයි. මුලින් නම් මුහුදට බහින්න ගොඩාක් බය හිතුණා. අපි කොළඹට ආවේ කෝච්චියෙන්. ඒ එනකොට ගඟවල් ගොඩාක් දැක්කා. අපිට මෙහේ නැන්දලා මාමලා ඇපල් දුන්නා, ලස්සන පාට පාට කේක් දුන්නා. කවදාවත් කාලා නැති රස කැම ජාති දුන්නා. ඒ වගේම තෑගි ත් දුන්නා” මහනුවර මද්දුම බණ්ඩාර විදුහලේ සිසුවියක වන ගීත්මා පවසන්නීය.
මහනුවර මද්දුම බණ්ඩාර විදුහල නගර මධ්‍යයේ පිහිටි කුඩා පාසලක් වුවද අනෙකුත් පාසල්වලට වඩා වෙනස්ය. මෙහි අකුරු කරන්නේද දැයේ දරුවන් වුවත් මේ දරුවන් බහුතරයක්ම විෂම සමාජයේ අසාධාරණයට ලක්වූ දරුවන්ය. එම පාසලේ දරුවෝ පනහකට වැඩි ගණනක් ඉගෙනුම ලබති. ඔවුන් රැක බලා ගන්නා මව පාසලේ විදුහල්පතිතුමියයි.
“මේ පාසල නුවර නගර මධ්‍යයේ පිහිටියත් මේ පාසලට එන්නේ නගරයේ වීථි දරුවන්, වගේම යන්න තැනක් නැතිව අසරණ වූ දරුවන්. මේ දරුවෝ හැදෙන්නේ අපේ ජයවික්‍රම ළමා නිවාසයේ. සාමාන්‍ය දෙමවුපියන්ගේ දරුවන් මේ පාසලට එන්නේ නැහැ. ආවොත් එන්නේ කිසිම පාසලකට යන්න බැරි වුණු කිහිප දෙනෙක් පමණයි. මේ ගොඩාක් දරුවන්ට දෙමවුපියන් නැහැ. පාසලේ අපි තමයි කවලා පොවලා නාවලා කරලා අම්මා තාත්තා වගේ මේ දරුවන්ව ආදරයෙන් බලා ගන්නේ. මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බලන්න කිසිම කෙනෙක් පාසලට එන්නෙ නැහැ. මේ පාසලේ දරුවෝ 56 ක් හිටියට 11 වසර දක්වා පංති තියෙනවා. ඒත් මේ දරුවෝ හරිම අසරණයි. ඒ අය ආදරය රැකවරණය ලබන්න ආසයි. අපේම මහන්සියෙන් තමයි මේ දරුවන් ඉදිරියට ගෙනි යන්නේ. මේ වගේ ගමනක් මේ වගේ කැම බීම මේ දරුවන්ට හීනයක් වගේ. කිසිම කෙනෙකුට මේ පාසල ගැන ඇහැ ඇරෙන්නැති මොහොතක මේ වගේ ගමනක් සංවිධානය කළ මේ ආයතනයවලට ගොඩාක් පින්” මද්දුම බණ්ඩාර විදුහල්පතිනී ඊ.පී.පී ඒකනායක මහත්මිය පවසන්නී ය.
මේ දරුවන්ගේ හැසිරීම් ඔවුන්ගේ අසරණකම පෙන්වන කැඩපතකි. චාරිකාවේදි ලැබුණු ටී ෂර්ටයෙන් සැරසුණු මේ දරු පිරිස කොළඹ වටේ කරක් ගැසුවේ ඊබට් සිල්වා ආයතනයෙන් ලබා දුන් කලම්බු සිටි නම් ඩබල්ඩෙකර් බස් රථයෙනි. ඒ ගමන ඔවුන් සතුටින් පුරවාලීය. වරාය අධිකාරියේ සංවිධානයෙන් මෙසේ කොළඹ පැමිණි මේ දරුවන්ට වරාය දැක බලා ගන්නට සැලැස්වුවා පමණක් නොව වරායට පැමිණි සුඛෝපභෝගී නැවකටද ඇතුළු විමේ අවස්ථාව ලැබිම ඔවුන්ගේ ජීවිතයට නැවුම් අත්දැකීමක් එක් කළේ ය. වරාය නැරඹීමෙන් අනතුරුව මේ දරුවන් වෙනුවෙන් ගෝල්ෆේස් ආයතනය සිය හෝටලයේ විදේශිකයන් වෙනුවෙන්ම සැකසුණු දිවා භෝජන සංග්‍රහයක් ද භුක්ති විඳීමට අවස්ථාව සලසා තිබුණි. තරුපහේ හෝටලයකට යෑම සිහිනයක් වු මේ දරුවන්ට ජීවිතයේ කිසි දිනක භුක්ති නොවිඳි ආකාරයේ ප්‍රණීත ආහාර පානයෙන් සප්පායම් වීමට අවස්ථාව ලැබිණි
“අපි වරායට ගියා. නැව් ගොඩාක් දැක්කා. ලොකු නැවකටත් නැග්ගා. අපි අද රයිස් කෑවා. ඒ රයිස් එකට බෙදාගන්න ගොඩාක් කෑම ජාති තිබුණා. මං කවදාවත් ඒ වගේ කෑම දැකලා තිබුණේ නැහැ. මොනවද බෙදා ගන්නේ කියලා මට හිතාගන්න බැරිවුණා. ඒ නිසා තියෙන හැම දේම බෙදා ගත්තා. මීට කලින් අපි මෙහෙම ගමනක් ගිහින් තිබුණේ නැහැ”යැයි රත්මලාන අඳ ගොළුබිහිරි පාසලින් පැමිණි ගිම්සර එසේ පැවැසූයේ හස්ත මුද්‍රාවෙනි. දරුවන් පවසන දේ අපට පැහැදිලි කර දුන්නේ ඔවුන් සමඟ පැමිණි ගුරුවරුය.
මේ දෙමව්පියෝ සිය දරුවන් ආරක්ෂාව සඳහා පාසලට බාර දී ඇත. එතැන් මේ දරුවන්ගේ ලෝකය වන්නේ මේ පාසලයි. පොතපතේ දැනුමට දරුවන්ගේ හිත් එක්තැන් කර ගැනීමට මේ ගුරුවරුන් විඳින්නේ අපමණ වෙහෙසකි. ජීවිතයේ කිසිදු අරමුණක් නැති දරුවන්ට දැන් සිතන්නට යමක් ඇත්තේය.
“ මාත් කවදා හරි ඒ වගේ ලොකු ගුවන් යානාවක් පදවනවා.” ආකර්ෂා එසේ පවසද්දී “ මාත් කවදා හරි ඒවගේ ලොකු නැවකින් පිටරට යනවා” තරගයටමෙන් අසේල පවසන්නේ ය. දැන් මේ දරුවන්ට සිතන්නට අරමුණත් ඇත්තේය. ගොඩ නඟන්නට ලොවක් ඇත්තේය. ඒ ළමා දිනය වෙනුවෙන් හිත් පිත් ඇත්තන්ගෙන් මේ පුංචි පැටවුන් ලද දේ නිසාය.
“මේ ගමන දරුවන්ගේ ජිවිතවලට අලුත් අපේක්ෂාවක් එක් කළා. ඔවුන්ගේ ජීවිත හෙට සිට ලොකු වෙනසක් වෙයි කියා අප බලාපොරොත්තු වෙනවා. කෙතරම් ප්‍රශ්න තිබුණත් මෙවැනි ගමනක් එන්න තරම් දරුවන් පින් කර තිබෙනවා. ඒත් හෙට ඉඳන් නැවතත් මේ දරුවෝ ළමා නිවාසයේ. සමහර දරුවන් කවදාවත් කෝච්චියේ ගිහින් නැහැ. අද මේ අය කෝච්චියේ ඇවිත් ලොකු සතුටක් ලැබුවා. දරුවන් මෙතරම් සතුටු වූ දවසක් මං මින් පෙර දැක නැහැ. ඔවුන්ට මෙවැනි අවස්ථාවක් ලබා දුන් ගෝල්ෆේස් ආයතනය මෙන්ම ඊබට් සිල්වා ආයතනයට ගොඩාක් පින්” මද්දුම බණ්ඩාර පාසලේ ගුරුවරියක වන රසිකා කරම්පිටිය මහත්මිය පැවසුවාය.
පරිත්‍යාගවලින් පවත්වා ගෙන යන මේ පාසලට අඩුපාඩු බොහෝය. පාසලට කාලයක පටන් දැඩි අඩුපාඩුවක්ම පවතින බුදු මැදුරක් සාදා දීමට දැන් ගෝල්ෆේස් ආයතනය සූදානමින් සිටී.
“ ගෝල්ෆේස් ආයතනය ළමා දිනය වෙනුවෙන් මේ ආකාරයේ වැඩ සටහනක් සංවිධානය කළේ සිවුවැනි වතාවටයි. මේ දරුවන්ගේ සතුට දුටු අපේ දෑස්වලට කඳුළු ඉණුවා. ඔවුන්ගේ පාසලට ගිය අපි එහි ඇති අඩුපාඩු දැක හැකිතරමින් ඒවා සපුරාලන්න උත්සහ කරනවා. අප සාදවා දෙන බුදුමැදුර එම ජීවිතවලට වෙනසක් ගෙනේවි යැයි අප විශ්වාස කරනවා. මෙහි සම්පූර්ණ ගෞරවය හිමි වෙන්නේ ගෝල්ෆේස් සමූහ ව්‍යාපාරයේ සභාපති සංජීව ගාඩ්නර් මහතාට. ඒ වගේම මේ කාර්යයේදි සහාය දැක්වූ හැමෝටම ස්තූතියි” ගෝල්ෆේස් හෝටලයේ විධායක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සමරසිංහ මහතා පවසයි.
ඊබට් සිල්වා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා රාජිනී සිල්වා මහත්මිය ද අදහස් පළ කළාය. “ අද දරුවන්ට විතරක් නෙවේ අපටත් විශේෂිත දවසක්. දරුවන්ට කවදාවත් මෙවැනි අවස්ථාවක් ලැබිලා නැහැ කියා ඔවුන් අපට කිව්වා. ඉදිරියටත් මෙවැනි කාර්ය කිරීම අපේ බලාපොරොත්තුවයි”
ආදරය ලැබීමට හැමෝම කැමැති වුවත් ආදරය අහිමි බොහෝ දෙනා තවමත් මේ මිහිපිට වාසය කරති. සමහරක් ජීවිතයේ කිසිදා ආදරයක් නොලබාම මියයති. ඒ දෛවය තීරණය කරන හැටිය. එහෙත් පිපෙන්නට වෙර දරන මල් පිපෙන්නටනම් ආදරය ඇවැසිය. ලෝකය සුවඳ වත් වන්නේ මේ පිපුණු සුවඳැති මල්වලිනි. ඒ පිපුණු මල් තවත් බබළවන්නට ඔබටත් හැකිනම් ඔවුන්ගේ ජීවිත සැමදා සුන්දර වනු ඇත.
ජායාරූප - විමල් කරුණාතිලක