
යුවරාජ් හා සුල්තාන් යන දෙදෙනාම සිටින්නේ ඉන්දියාවේය. හර්යානා ප්රාන්තයේය. මිනිසුන් හඳුන්වන නම්වලින් හැඳින්වුවද උන් ගවයන්ය. අපේ රටේ මෙන් රත්තී හඳයා පුල්ලියා වයිරා යනාදී ලෙසින් ගවයන් හැඳින්වීමට යොදන නම් නොමැතිව මේ දෙදෙනා විශේෂ නම්වලින් හඳුන්වන්නේ සැබැවින්ම මේ දෙදෙනා සුවිශේෂ ගවයන් නිසාය.
සුල්තාන් හෙවත් රජා ලෙසින් හඳුන්වන ගවයා දිගින් මෙන්ම උසින් ද වැඩිය. රටපුරාම සුල්තාන් ගේ යැයි කිවහැකි පැටවුන් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි. සුල්තාන්ගේ අනෙක් විශේෂත්වය වන්නේ සෑම හැන්දෑවකටම විස්කි අඩියකින් සප්පායම් වීමය. ඌ එයට දක්වන දැඩි ලොල්බව නිසා සුල්තාන් ගේ අයිතිකරු දිනපතාම දෙන මේ විස්කි වඩිය දීම කෙසේවත් අතපසු නොකරයි.
යුවරාජ් හෙවත් දෙවැනි රජු ලෙසින් හඳුන්වන අනෙක් ගවයා එරට සිටින ශක්තිමත් ගවයන් ගෙන් එකෙකි. මුළු රට පුරාම යුවරාජ්ගෙන් බෝ කර ගත් ගවයන් සංඛ්‍යාවද ලක්ෂ දෙක ඉක්මවයි. එලෙස යුවරාජ් යොදවා වැස්සියක ගැබ් ගන්වා ගැනීම වෙනුවෙන් අයිතිකරු වරකට අය කරන මුදල ඉන්දියානු රුපියල් ලක්ෂ එකහමාරකි.
ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කර්නල් ප්‍රදේශයේ පසුගිය වසරේ පැවැති කෝටා කෘෂිකර්ම ප්‍රදර්ශනයේ වැඩිපුරම අවධානය යොමු වූ සතුන් වූයේ මේ ගවයන් දෙදෙනාය.
සුල්තාන් ගේ අයිතිකරු නරේෂ් කුමාර්ය. ඉන්දියාවේ වාර්තාගත ගවයා ලෙස විරුදාවලි ලද සුල්තාන් එරට වටිනාකමෙන් වැඩි උසින් හා දිගින් ද වැඩි ගවයා වෙයි. සුල්තාන් මෙතෙක් ලබා ඇති සම්මාන ගණනද අති විශාලය. උගේ බර ටොන් 1.5කි. දිග අඩි 14කි. උස අඩි හයකි. වටිනාකම ඩොලර්වලින් නම් මිලියන 2.5කි.
අසමසම ශක්තියකින් යුතු සුල්තාන් බලාකියා ගන්නේ ලක්වීර් සිං ය.
“හැම උදෑසනකම අපි සුල්තාන් කිලෝමීටර් 5ක් දුර ව්‍යායාම ලෙස ඇවිද්දවනවා. මගේ භාරකාරත්වය යටතේ බලා ගන්න තුන් හතර දෙනකු ඉන්නවා. දිනපතා ආවතේව සමඟ නිසි පරිදි ආහාර දීම අපේ වගකීමයි. දිනකට මෙයා වෙනුවෙන් ඩොලර් 30-33ත් අතර මුදලක් වැය වෙනවා.”
සුල්තාන් මෙන්ම යුවරාජ් ද ඉන්දියාවේ මුරාහ් වර්ගයේ ගවයන්ය. මේ අයගේ අති මහත් ශක්තිය නිසා ඔවුන්ගෙන් පැටවුන් ලබා ගැනීම සඳහා ඇත්තේ අති විශාල ඉල්ලුමකි. එයම ඔවුන්ගේ හිමිකරුවන්ට ධන උල්පතක් වී ඇත.
“සුල්තාන්ගේ ශුක්‍රාණු සඳහා දැඩි ඉල්ලුමක් තියෙනවා. ඉන්දායාව පුරාම දැන් සුල්තාන්ගෙන් බිහිවූ පැටවුන් ඉන්නවා. අපි අවුරුද්දකට සුල්තාන්ගේ ශුක්‍රාණු විකුණා රුපියල් මිලියන 10ක් පමණ උපයනවා. හැබැයි මෙයා විස්කිවලට කැමති වුණාට මෙයාගේ පැටවුන් විස්කිවලට පුරුදු නෑ” සුල්තාන්ගේ හිමිකරු පවසයි.
කෘෂිකර්ම ප්‍රදර්ශනයේදී මේ සතුන් දෙදෙනාගේ හිමිකරුවන් උන් ප්‍රදර්ශනය කරමින් ගොවීන් දැනුම්වත් කළේ හරිහමන් උත්පත්තියක් ඇති ගවයන් ඇතිකර මුදල් ඉපයීමට නම් මේ සතුන්ගේ මුහුවක් ලබා ගන්නා ලෙසය.
එම ප්‍රදර්ශනයේදී ධනවත් ගොවිපොළ හිමියකු යුවරාජ් මිලදී ගැනීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 9ක් ගෙවීමට ඉදිරිපත් වුවද උගේ හිමිකරු කරම්වීර් සිං යුවරාජ් විකිණීම ප්‍රතික්ෂේප කළේය.
“මං මේ සතා මිලට ගත්තේ මීට අවුරුදු 7කට පෙරයි. යුවරාජ් වෙනුවෙන් එදා මං ගෙව්ව මිලට වඩා ලක්ෂ ගාණක් මං ඉපයූවා. එහෙත් යුවරාජ් මට පවුලේ කෙනෙක් වගෙයි. අපි උදේට අවදි වූ ගමන් දකින්නේ මෙයාගේ දර්ශනය. තිරිසනකු වුවත් අපට වාසනාව ගෙනාවේ යුවරාජ්.”
යුවරාජ්ගේ බර කිලෝ ග්‍රෑම් 1500කි. උස අඩි 5 අඟල් 7කි. යුවරාජ් ජාතික පශු සම්පත් ශුරතාව 24 වතාවක් දිනා තිබේ. සුල්තාන් මෙම ශුරතාව සය වතාවක් දිනා ඇත.
එදින ප්‍රදර්ශනය නැරැඹීමට දකුණු අප්‍රිකාවෙන් පැමිණි ගොවිපොළ හිමියකු සුල්තාන් වෙනුවෙන්ද කෝටි 21ක මුදලක් ගෙවීමට ඉදිරිපත් වුවද ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
මේ සතුන්ගේ ශුක්‍රාණු තරල මිලි ලීටර් 6ක් අඩංගු එක් මාත්‍රාවක් අලෙවි කරනුයේ ඉන්දීය රුපියල් 250කටය. යුවරාජ් වෙතින් විද්‍යානුකූලව ලබා ගන්නා තරල මගින් වසරකට මාත්‍රා 45000ක් නිපද වේ. සුල්තාන්ගේ නිපැයුම වසරකට මාත්‍රා 54000කි. මේවා අලෙවි වන්නේ මිලියන ගණන් මුදලකටය.
“අපි මේ සතුන්ගේ නඩත්තුව සඳහා වසරකට විශාල මුදලක් වැය කරනවා.” ගව හිමියෝ පවසති.
මේ ගවයන් දෙදෙනාටම අඩු වැඩි වශයෙන් දිනකට කිරි ලීටර් 20ක් ඇපල් කිලෝ 15ක් කැරට් කිලෝ 20ක් ධාන්‍ය කිලෝ 10ක් හා පලා කිලෝ 10ත් 12ත් අතර ප්‍රමාණයක් ආහාරයට දෙනු ලැබේ.
හොඳ වර්ගයේ එළ හරකුන් ලබා ගැනීම සඳහා ඉන්දියාවේ පමණක් නොව ලොව වෙනත් රටවලින් ද මේ සතුන්ගෙන් පැටවුන් බෝ කර ගැනීම සඳහා ඇත්තේ දැඩි ඉල්ලුමකි. එලෙස බෝ කර ගත් එළ වැස්සියකගෙන් දිනපතා කිරි ලීටර් 20කට වැඩි ප්‍රමාණයක් දොවා ගත හැකැයි වාර්තා වේ.
යුවරාජ් ගේ හා සුල්තාන් ගේත් අගය කෙතරම් දැයි කිවහොත් එම සතුන් සිටින ගම්මානයේ ගම්මුන්ට උන් ආඩම්බරයකි. එනිසා දිනපතා නිදි නොලබා මේ සතුන් රැකීමට ඔවුහු වගබලා ගනිති.
වීඩියෝ දර්ශන පහතින් නරඹන්න