වකුගඩු රෝගය පාලනයට ජල පෙරණවලින් ලොකු මෙහෙයක් | සිළුමිණ

වකුගඩු රෝගය පාලනයට ජල පෙරණවලින් ලොකු මෙහෙයක්

අපේ රටේ දරුණුතම මාරාන්තික රෝගය බවට පත්ව ඇති හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය දැන් පුද්ගලයන් 40000ක් පමණ වැලඳී ඇත. ඔවුන්ට රෝගය සඳහා ප්‍රතිකාර කළත් වකුගඩු රෝගය සුවවීම සිදුවන්නේ සෙමෙන්ය.

නමුත් වකුගඩු රෝගය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය හා නාවික හමුදාව දැනට රට පුරා විවෘතකර ඇති ජල ප්‍රතිආශ්‍රැති කරන්න ජල පද්ධති 500 මඟින් අපේ රටේ නිදන්ගත වකුගඩු රෝගය පාලනයක් සිදුව ඇතැයි ඒ වකුගඩු රෝගය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා පවසයි.

මෙරට නිදන්ගත වකුගඩු ‍රෝගය (CKDU) පාලනය කිරීමට වකුගඩු රෝගය බහුලව ඇති ප්‍රදේශවල ජනතාව පිරිසුදු පානීය ජලය ලබාදීම කළ යුතු බව වකුගඩු රෝගය පිළිබඳව දිගුකාලීන පර්යේෂණ කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ කණ්ඩායම් පවසා ඇත. වැව් ජලයේ කුඹුරුවල ඇති කෘෂි රසායනික අන්තර්ගත ජලය බීම නිසා වැඩි වශයෙන් වකුගඩු රෝගය ව්‍යාප්ත වන බව මෙම පර්යේෂණ අනුව අනාවරණය වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි වකුගඩු රෝගය නිවාරණය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බළකාය මඟින් පසුගිය වසර තුන ඇතුළත විවිධ වැඩ රැසක් ක්‍රියාවට නැංවී තිබේ. ඒ අතර ජංගම සායන ආදිය පැවැත්වීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව පාසල් මට්ටමින් හා ග්‍රාමීය සංවිධාන මට්ටමින් නිදන්ගත වකුගඩු රෝගයෙන් මිදීමට අවශ්‍ය සමාජයීය හා සෞඛ්‍ය උපදෙස් ලබාදීමට සම්මන්ත්‍රණය හා වැඩමුළු පැවැත්වීමටත් කටයුතු කර තිබේ. ඊට අමතරව වකුගඩු රෝගය ඇති ප්‍රදේශවල වකුගඩු රෝග අවදානම සහිත ප්‍රදේශවල පුද්ගලයන් 851349 දෙනකු පමණ සායනිකව පරීක්ෂා කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා මෙරට විශ්වවිද්‍යාලවල විද්වතුන් කළ පර්යේෂණ අනුව නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුවක් වන්නේ අපිරිසුදු හා රසායනික ද්‍රව්‍ය එක්වූ දූෂිත ජලය පානය කිරී‍මයි. ඒ අනුව ඉහත විද්වතුන් රජයට යෝජනා කළ වකුගඩු රෝගය අඩු කරන ප්‍රධාන අදහස වූයේ මේ වකුගඩු රෝගය වැඩි ප්‍රදේශවලට පිරිසුදු පානීය ජලය ලබාදීමයි.

ඒ අනුව ඒ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායට උපදෙස් දුන්නේ වකුගඩු රෝගය අවම කිරීමට ජලය පිරිසුදු කරන ජල ප්‍රතිආශ්‍රැතිකරණ පද්ධති නිපදවා රට පුරා බෙදාහරින ලෙසයි.

ඒ අනුව නාවික හමුදාව මෙරට ප්‍රථම ප්‍රතිආශ්‍රැතිකරණ යන්ත්‍රය 2015 දෙසැම්බර් 22 වැනිදා අනුරාධපුර, රබෑව ගම්මානයේදී ජනතා අයිතියට පත්කරන ලදී.

මෙම ජල පෙරන යන්ත්‍රයක් මඟින් ලබාදෙන්නේ සාමාන්‍ය ජලය නොවේ. ඉතා හොඳ පිරිසුදු කළ ජලයයි. ඒ අනුව ජල පෙරණ යන්ත්‍රයට දමනු ලැබූ ජලය තුළ ඇති ඉතා කුඩා ක්ෂුද්‍ර අංශු රොඩු බොඩු පවා එම යන්ත්‍රය තුළ රැඳී පිරිසුදු වූ ජලය අපට ලබාදෙයි. ඒ ජලයේ ඇති ක්ලෝරීන් හා වෙනත් ඛනිජ වර්ග ද ආශ්‍රැතිකරණ යන්ත්‍රය මඟින් පෙරී යයි. නාවික හමුදාව ජනාධිපති කාර්ය සාධක හමුදාව සමඟ එක්ව නිපදවූ මෙම යන්ත්‍රයෙන් දිනකට ජලය ලීටර් 10000 යේ ජනතාවට ලබාදෙයි.

ඒ අනුව පසුගිය අවුරුදු තුන ඇතුළත මේ අයුරින් වූ විශාල ප්‍රමාණය ජල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පෙරණ පද්ධති 500ක් වකුගඩු රෝගය බහුලව ඇති ප්‍රදේශවලට ලබාදී ඇත.

රටේ දිස්ත්‍රික්ක 20 කට මේ පද්ධති ස්ථාපිත කර තිබේ. ඒ අනුව මේ සඳහා ජනාධිපති අරමුදල රුපියල් ලක්ෂ 8000ක් වැයකර ඇති අතර ඉහත සියලු ජල පෙරණ මඟින් ජනතාවට දිනපතා සුපිරිසුදු ජලය ලීටර් ලක්ෂ 500 ක් නොමිලේ ලබාදීමට කටයුතු කර ඇත. මේ ජලය ඒ අය වෙළෙඳ පොළෙන් ගන්නට සිදුවූයේ නම් ඒ සඳහා ඔවුන්ට වැය වන මුදල රුපියල් මිලියන 2250ක් වැයවෙන බව ජනාධිපති කාර්ය සාධක බළකාය පවසයි. මේ පද්ධති මඟින් රටපුරා ජනතාව ලක්ෂ 13ක් පමණ ප්‍රතිලාභ ලබන අතර සියලු නඩත්තු කටයුතු නාවික හමුදාව සිදුකරයි.

මේ යටතේ ප්‍රතිආශ්‍රැතිකරණ පද්ධති 176 ක් අනුරාධපුරයටද, පොලොන්නරුව 50ක් ද කුරුණෑගලට 59ක් ද, බදුල්ලට 41ක් ද මොනරාගලට 45ක් ද වවුනියාවට 30ක් ලෙස ලබාදී ඇත. ඊට අමතරව මාතලේ, ත්‍රිකුණාමලය, මුලතිව්, පුත්තලම, අම්පාර, යාපනය, කිළිනොච්චි, මන්නාරම, හම්බන්තොට, මහනුවර වැනි දිස්ත්‍රික්කවලට ද මේ යන්ත්‍ර ලබාදී තිබේ.

මෙම ප්‍රතිආශ්‍රැතිකරණ පද්ධතිවල 500 වැනි ප්‍රතිආශ්‍රැතිකරණ යන්ත්‍රය මහින්තලය ප්‍රදේශය සඳහා ජනාධිපතිතුමා අනුරාධපුරයෙදි විවෘත කරනු ලැබූහ.

ඊට අමතරව කලින් ඉදිකරන ලද ජල පෙරණවලින් ලබාගත් ජලය ද ශ්‍රී මහා බෝධියට පූජා කළ අයුරු පසුගිය සතියේ අපට දැකගන්නට ලැබිණි‍.

වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා පවසන පරිදි තවත් ප්‍රතිආශ්‍රැතිකරණ පද්ධති 500ක් 2019 අවසන් වන විට රටපුරා ස්ථාපිත කරනු ලැබේ. ඒ අනුව රටපුරා ඇති ජල පෙරණ යන්ත්‍ර ගණන 1000ක් වේ.

ඉද්දවෙල මහතාගේ අදහස අනුව 2015 සිට ක්‍රියාත්මක කරන මේ ප්‍රතිආශ්‍රැතිකරණ යන්ත්‍ර රටපුරා ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ නිසා ඒ ප්‍රදේශවල වකුගඩු රෝගය දැන් පාලනය වී ඇත.

අසේල මහතා පවසන පරිදි දැන් අපේ මේ වකුගඩු රෝගීන් ප්‍රමාණය 40000කට වැඩිය වසරකට ඔවුන්ගේ 1000ක් දෙනා වකුගඩු රෝගය නිසාම මරණයට පත්වෙති.

මෙරට ඇති ඉහත සියලු ප්‍රතිආශ්‍රැතිකරණ පද්ධති සියල්ල නඩත්තු කරන්නේ නාවික හමුදාවයි.

ඊට අමතරව ගැමි ගෙවල්වලටත් නිවාසවලට සුදුසු ජල පෙරණ යන්ත්‍ර 5000ක් බෙදාදී අවසන් කර ඇත. ඉන් පුද්ගලයන් 25000කට පමණ සෙත සලසා තිබේ.

මේ සියලු කටයුතුවලින් රටේ හැමදෙනාටම සෙතක් ලැබෙන බවත් කණ්ඩායමක් ලෙස මේ කටයුතු කිරීම නිසා මෙවැනි ප්‍රගතියක් ඇතිව‍ූ බවත් අසේල ඉද්දවෙල මහතා පවසයි. සියලු ප්‍රදේශවල වෛද්‍යවරු විද්වතුන් හා රෝගී පවුල්වල හැම එකතු වුණොත් මේ රෝගය පාලනය කිරීමට අවස්ථාව ඇත.

මේ නිසාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික උනන්දුව මත රට තුළ වකුගඩු රෝගය වැළැක්වීමට හා රෝගීන්ට සහන සැලැසීමට වැඩ කටයුතු රැසක් ක්‍රියාත්මකයි.

වකුගඩු රෝග පිළිබඳව වැඩිදුරටත් පර්යේෂණ පැවැත්වීම සඳහා රුපියල් ලක්ෂ 1500 ක් වියදමින් අංග සම්පූර්ණ රසායනාගාරයක් පිහිටුවීමට ද කටයුතු යොදා තිබේ. ඊට අමතරව රුපියල් 3000ක්වූ වකුගඩු රෝගීන් සඳහා වූ මාසික ජීවනාධාරය රුපියල් 5000 දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇත.

 

Comments