සෙනෙ­හස අය­දින මල් කැකුළු | Page 2 | සිළුමිණ

සෙනෙ­හස අය­දින මල් කැකුළු

හෙටට යෙදෙන ලෝක ළමා දිනය වෙනු­වෙනි

ගොඩක් බත් කවන්න එපා.” ඇය හුර­තල් හඬින් කට උල් කර­මින් පව­ස­න්නීය.

“මොකද ඒ?”

“ගොඩක් කෑවාම ඉක්ම­නට ලොකු වෙනවා. ”

“මං ලොකු වෙන්න ආස නෑ.”

“ලොකු වෙන්න ආස නෑ.! ඇයි ඒ”

“මං ලොකු වුණාම ඕගොල්ලෝ මට ආදරේ නැති වෙයි.”

සිඟි­ත්තිය පව­සන්නේ දුක්බර හඬිනි. ඇගේ සුර­තල් කතා අසා සිටි­න්නට ආසාය. සිඟි­ත්තිය සවී­ණාය. වයස අවු­රුදු හයකි. නමුදු ඇගේ පෙනුම තව­මත් වයස අවු­රුදු දෙකක තුනක දරු­ව­කුගේ පම­ණය. සවීණා යනු විශේෂ අව­ශ්‍යතා දැරි­යකි. උප­තින්ම ඇවි­දීමේ හැකි­යා­වක් නැති එක් අතක් අහිමි සවීණා කාගේත් ආද­ර­යට ලක්ව සිටී. ඇය මට හමුවූයේ නාරා­හේ­න්පිට සෙනෙ­හස මධ්‍ය­ස්ථා­න­යේ­දීය. සවිණා ගැන සවි­ස්තර තොර­තු­රක් දැන ගැනී­මට මම ඇයට කෑම කව­මින් සිටි තරු­ණිය විම­සිමී.

“මම යුද හමු­දාවේ සේවය කරන්නේ. මේ දවස් ටිකේ මේ දරු­වයි තව දරුවෝ ටික දෙනෙ­කුයි පුහුණු වීම්ව­ලට එනවා. සවීණා දුව ඉන්නේ ප්‍රීති­පුර විශේෂ අව­ශ්‍යතා සහිත දරු­වන් ඉන්න නිවෙසේ.”

දරු­වන් මල් වැනිය. නමුදු විටෙක පිපෙන මල් අතර ද යම් යම් අඩු­පාඩු ඇතුවා සේම ඇතැම් දරු­වන්ගේ ද උප­තින්ම යම් යම් අඩු­පාඩු තිබේ. පවු­ල­කට ආබාධ සහිත දරු­වන් උපන් විට ඒ දරු­වන් සඟවා තැබී­මට එක්කෝ කානු පල්ලක, එහෙ­මත් නැත්නම් වැසි­කිළි වළක දමා යාමට තරම් හිත් පිත් නැති දෙම­වුපි­යෝද අපේ සමා­ජයේ සිටිති. එවන් මිනි­සුන් අතර තම කුසින් බිහි කළ දරුවා මලක් මෙන් රැක ගන්නා ඔවුන් වෙනු­වෙන් ජීවිත කාල­යම කැප කරන අම්මලා තාත්තලා සමු­හ­යක්ම අපට සෙනෙ­හසේ දී හමු විය. සෙනෙ­හස යනු විශේෂ අව­ශ්‍යතා සහිත දරු­වන් රඳවා සිටින නවා­තැන් පොළක් නොවේ.

සවීණා මා සිත නොස­න්සුන් කළාය. ඇය පම­ණක් නොව සෙනෙ­හස මධ්‍ය­ස්ථා­න­යේදි ඇස ගැසුණු සෑම දරු­වෙක්ම අප හිත් මොහො­ත­කට සසල කළහ.

සෙනෙ­හස අධ්‍යා­පන සම්පත් පර්යේ­ෂණ සහ තොර­තුරු කේන්ද්‍රය රාජ්‍ය ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය යටතේ ක්‍රියා­ත්මක වන්නකි. මෙම ආය­ත­නය සුවි­ශේ­ෂිය. එයින් කෙරෙන සේවාවේ අගය දන්නේ එහි සේවය ලබ­න්නන්ම පමණී. ශ්‍රී ලංකා යුද හමු­දාව, ගුවන් හමු­දාව, නාවික හමු­දාව, පොලි­සිය හා සිවිල් ආර­ක්ෂක බළ­කායේ සාමා­ජි­ක­යන්ගේ පවු­ල්වල දරු­වන් සඳහා පම­ණක් නොව සාමාන්‍ය ජන­තා­වගේ දරු­වන් සඳහා අවශ්‍ය සේවා­වන් ලබා දෙයි. වැලේ ගෙඩිය වැලට බරක් නොවේ. එමෙන්ම කුමන අයු­රින් සිටිය ද බෝසත් අම්ම­ලාට තම දරු­වන් බරක් නොවේ. එය සැබෑ­වක්ම බව වැට­හෙන්නේ ආබා­ධිත දරු­වන් වෙනු­වෙන් සිය ජීවිත කැප කළ අම්මලා දකින විටය.

“මගේ දූ තමයි සෙනෙ­හසේ මුල්ම දරුවා. මගෙ දූට දැන් අවු­රදු දාහ­ත­රයි. මහ­ත්තයා යුද හමු­දාවේ සේවය කරන්නේ. දුව ලැබෙන්න ඉන්න කාලේ එයා හිටියේ මන්නා­රමේ. ඒ යුද්ධය තිබුණ කාලේ. කරන්න දෙයක් නැහැ මේ අපිට ලැබුණ දේ. මම මෙයාව කව­දා­වත් තනි කරලා නැහැ. ඇවිද ගන්න බැරි වුණාට කතා කරන්න බැරි වුණාට මෙයා ඕන කෙනෙක්ව අඳු­න­නවා. මෙහාට ආවාට පසුව දූගේ යම් දියු­ණු­වක් තියෙ­නවා.” ඒ මව පැව­සුවේ රෝද පුටුවේ සිටි දිය­ණිය තුරු­ලට ගනි­මිනි. ජීවි­තය දුකක් යැයි කියා හෝ අම්මාගේ හිතේ ගින්දර කොප­ම­ණ­දැයි හෝ නොදන්නා දිය­ණිය අම්මාගේ තුරුලේ සිට අප හා සිනා­සෙ­න්නීය.

සෙනෙ­හස දරු­වන්ට අවශ්‍ය මාන­සික චිකි­ත්සාව මෙන්ම ඇතැම් දරු­වන්ට වෘත්තීය පුහු­ණුව ද ලබා දෙයි. පාපිසි සෑදීම, ලියුම් කවර සෑදීම ආදි පුහු­ණුව ද ලබා දේ. ජීවිත කාල­යම රෝද පුටු­ව­කට සීමා වන්නට සිදු වූ, කිසි දෙයක් ගැන දැනු­මක් අව­බෝ­ධ­යක් නැති බොහෝ විට මේ සමා­ජ­යෙන් කොන්කර තිබෙන මෙවැනි දරු­වන්ගේ හෙට දවස වෙනු­වෙන් අද දවස කැප කරන මිනි­සුන් ද එහිදී අපට මුණ ගැසිණි.

ආබා­ධිත වුවද මේ දරුවෝ සංගී­ත­යට හා රංග­න­යට ඉම­හත් ප්‍රති­චාර දක්වති. සංගී­ත­යෙන් හා රංග­න­යෙන් ඔවුන්ගේ මනස සුව­පත් කිරී­මට ලැබෙ­නුයේ මහත් පිටි­ව­හ­ලකි. මෙහි දරු­වන්ට රංග චිකි­ත්සාව ලබා­දෙන්නේ ආචාර්ය රවින්ද්‍ර රණ­සිංහ මහ­තාය. ඔහු මේ දරු­වන් සඳහා සිය අගනා කාලය කැප කර­න්නේය.

“දැනට අපේ රටේ කිසිම විශ්ව­වි­ද්‍යා­ල­යක රංග චිකි­ත්ස­නය උග­න්වන්නේ නැහැ. මාන­සික ගැටලු, විශා­දය, වර්ධන දුබ­ලතා සිට බර­ප­තළ මාන­සික ආබාධ ඇති අයට මේ රංග චිකි­ත්ස­නය ලබා­දීම බොහෝම වැද­ගත්.

වර්ධන අක්‍ර­මි­කතා ඇති අයගේ කැට­පත් නිව්රෝන වර්ධ­න­යට රංග චිකි­ත්සන ක්‍රියා­දා­මය බොහෝම වැද­ගත්.” ආචාර්ය රණ­සිං­හ­යන් පව­සයි.

“මේ ළම­යාට මුකුත් බැහැ. ගෙද­රක පිළි­වෙ­ළ­කට ඉන්න දන්නේ නැහැ. තැන­කට ගෙනි­යන්න බැහැ. කතා කරන්න බැහැ. ඇවි­දන්න බැහැ”යනාදී වශ­යෙන් විවිධ හේතු දක්ව­මින් නිවෙ­සක සිටින විශේෂ අව­ශ්‍යතා සහිත දරු­වන් ගෙයි මුළු­වල සඟ­වද්දි දරු­වන් කර පින්නා­ගෙන විත් දව­සම ඔවුන් වෙනු­වෙන් මහ මඟ ගෙවා දමන අම්මලා තාත්තලා ගැන හිතේ ඇති වන්නේ අප්‍ර­මාණ වූ ආද­ර­යකි.

“මගෙ දරුවා විශේෂ අව­ශ්‍යතා සහිත දරු­වෙක් වුණාට ඔහුට ළඟම පාසල හොඳම පාස­ලට යන්න සියලු සුදු­සු­කම් තිබුණා. ඒත් දරුවා පාස­ලට බාර ගත්තේ නැහැ. ඒ වෙලාවේ සෙනෙ­හස ආය­ත­න­යෙන් තමයි මට සහ­න­යක් ලැබුණේ.” මවක පව­සන්නේ හැඬූ කඳු­ළෙනි.

හෙට ලෝක ළමා දින­යයි. මේ දින­වල සෙනෙ­හස ආය­ත­නය සුදා­නම් වන්නේ දරු­වන්ගේ දක්ෂතා කර­ළි­යට ගෙන ඒම­ටය. සෙනෙ­හසේ දරු­වන් සමඟ ප්‍රීති­පුර හා කොට­ගල ළමා නිවා­ස­වල දක්ෂතා දක්වන දරුවෝ ද සිටිති. කොයි මුහු­ණු­ව­ලත් ඇත්තේ සතුටු සිනාය.

දරුවෝ තමන්ගේ ජීවිත තත්ත්වය නොද­නිති. උපතේ සිටම ගෙවන ජීවි­තය ගැන ඔවුන්ට දුකක් නැත. නමුදු මේ දරු­වන් ගැන සිතා දුක් වේදනා විඳින්නේ ඔවුන්ගේ මවුපි­යන්ය. සදා­කා­ලික දුකෙන් දිවි ගෙවන ඒ අම්ම­ලාගේ තාත්ත­ලාගේ ගින්දර නිවී­මට ඉදි­රි­පත්ව සිටින සෙනෙ­හස ආය­ත­නය තම සේවාව පිළි­බඳ කියන්නේ මෙවැනි කතා­වකි.

“මෙම ආය­ත­නයේ සේවා ලාභින් අතර රණ­විරු පවුල්වල දරු­වන් මෙන්ම සිවිල් පවු­ල්වල දරු­වොත් ඉන්නවා. රණ­විරු සේවා අධි­කා­රියේ සභා­ප­තිනි අනෝමා ෆොන්සේකා මැති­නි­යගෙ මූලි­ක­ත්ව­යෙන් තමයි මෙය ආරම්භ කෙරුණේ. බොහෝ අය අපට ස්වේච්ඡා­වෙන් උදව් කර­නවා. මේ දරු­ව­න්ගෙන් ඇතැම් අයගේ තාත්තලා යුද්දෙන් මිය­ගි­හිල්ලා. මෙතැන සේවය ලබන අය­ගෙන් සිය­යට අනූවක්ම රණ­විරු පවු­ල්වල දරුවෝ.

මේ දරු­වන් වෙනු­වෙන් මෙහිදි ජල චිකි­ත්ස­නය රංග චිකි­ත්ස­නය වැනි විවිධ චිකි­ත්සක ක්‍රම­වේද අනු­ග­ම­නය කර­නවා. එසේම අවශ්‍ය ප්‍රති­කාර වගේම වෘත්තීය පුහු­ණු­වත් ලබා දෙනවා. අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය, සමා­ජ­සේවා ආය­ත­නය, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය, අපත් සමඟ එක්ව සිටි­නවා. මෙ දරු­වන්ට විශේ­ෂඥ වෛද්‍ය ප්‍රති­කාර ලබා දෙනවා.

අප මීට පෙර දුර බැහැර පළා­ත්වල කඳ­වු­රක් කළා. දෙම­වු­පිය නොදැ­නු­ව­ත්කම මත හෝ අත්හැර සිටින දරු­වන් කර­ළි­යට ගේන්න තමයි අපේ සූදා­නම.

මේ වසරේ ලෝක ළමා­දි­නය දා සිට ලබන වසරේ ලෝක ළමා දිනය දක්වා අප විශේෂ වැඩ සට­හන් මාලා­වක් මේ දරු­වන් සම්බ­න්ධ­යෙන් කර­නවා. එහි මූලික පිය වරක් ලෙස අනිද්දා එනම් දෙවැ­නිදා සවස 6ට බිෂොප් විද්‍යා­ල­යීය ශ්‍රව­ණා­ගා­ර­යේදී ‘සංවේදී රංග චිකි­ත්සන පෙළ­හර’ නමින් මේ දරු­වන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් ප්‍රසං­ග­යක් පව­ත්ව­නවා. ගිය වස­රේදී අප ‘අත් හැරුණු ජීවිත සොයා යමු’ කියලා නුව­ර­එ­ළි­යේදී ලෝක ළමා දිනය වෙනු­වෙන් වැඩ­ස­ට­හ­නක් කෙරුවා.” සෙනෙ­හස ආය­ත­නයේ අධ්‍යක්ෂ ලුති­නන් කර්නල් ප්‍රසන්න හෙට්ටි­ආ­රච්චි මහතා පව­ස­න්නේය.

එතැන සිටින දරු­වන්ට අප සිටි­න­ බ­වට වගක් නැත. ඔවුන් සිටින්නේ සතු­ටිනි, නැටු­මට ගැයු­මට සිත යොමු කර­ගෙ­නය. ඔවුන් පුහු­ණුව ලබන්නේ සතු­ටිනි. සිත එක අර­මු­ණක තබාගත නොහැකි, සිදු­වන්නේ කුම­ක්දැයි යන්න ගැන අව­බෝ­ධ­යක් නැති දරු­වන් එක අර­මු­ණක තබා, දෙයක් පුරුදු පුහුණු කිරීම අසී­රුය. නමුදු ඒ අභි­යෝ­ගය ජය­ගැ­න්මට ස්වේච්ඡාවෙන් නර්ත­නය පුහුණු කරණ බ්‍රෙන්ඩන් වෙත්ත­සිංහ මහතා සමත්ය. ඒ බව වැට­හෙන්නේ දරු­වන්ගේ නර්තන බලා සිටියදීය. එකම ශාලා­වක සිටින දරු­වන් ඔවුන්ගේ ලෝක­ව­ලය. අත්පා අහිමි සිඟිති දිය­ණිය චිත්‍ර අඳින්නේ මුවෙන් පැන්සල අල්ලා­ගෙ­නය. අස්ති බිඳීමේ රෝග­යට ගොදුරු වී සිටින දිය­ණි­යක් හරි අපූ­රු­වට ගී ගය­න්නීය.

මේ සියල්ල දකින විට දෛවය ඔවුන්ට කළ සර­දම ගැන අපේ සිතේ ඇති වන්නේ කන­ගා­ටු­වකි. මෙහිදී අපට ද එක්ව කළ හැකි යමක් ඇත. එනම් මේ දරු­ව­න්ටද සමා­ජයේ ජීවත් වීමට ඉඩක් සලසා දීමය. ඔවුන්ට ජීවත් වීමට සුදුසු පරි­ස­ර­යක් හා වට­පි­ටා­වක් සක­සා­ලී­මය.

ඡායා­රූප - තුෂාර ප්‍රනාන්දු

Comments