
හෙටට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙනි
ගොඩක් බත් කවන්න එපා.” ඇය හුරතල් හඬින් කට උල් කරමින් පවසන්නීය.
“මොකද ඒ?”
“ගොඩක් කෑවාම ඉක්මනට ලොකු වෙනවා. ”
“මං ලොකු වෙන්න ආස නෑ.”
“ලොකු වෙන්න ආස නෑ.! ඇයි ඒ”
“මං ලොකු වුණාම ඕගොල්ලෝ මට ආදරේ නැති වෙයි.”
සිඟිත්තිය පවසන්නේ දුක්බර හඬිනි. ඇගේ සුරතල් කතා අසා සිටින්නට ආසාය. සිඟිත්තිය සවීණාය. වයස අවුරුදු හයකි. නමුදු ඇගේ පෙනුම තවමත් වයස අවුරුදු දෙකක තුනක දරුවකුගේ පමණය. සවීණා යනු විශේෂ අවශ්‍යතා දැරියකි. උපතින්ම ඇවිදීමේ හැකියාවක් නැති එක් අතක් අහිමි සවීණා කාගේත් ආදරයට ලක්ව සිටී. ඇය මට හමුවූයේ නාරාහේන්පිට සෙනෙහස මධ්‍යස්ථානයේදීය. සවිණා ගැන සවිස්තර තොරතුරක් දැන ගැනීමට මම ඇයට කෑම කවමින් සිටි තරුණිය විමසිමී.
“මම යුද හමුදාවේ සේවය කරන්නේ. මේ දවස් ටිකේ මේ දරුවයි තව දරුවෝ ටික දෙනෙකුයි පුහුණු වීම්වලට එනවා. සවීණා දුව ඉන්නේ ප්‍රීතිපුර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉන්න නිවෙසේ.”
දරුවන් මල් වැනිය. නමුදු විටෙක පිපෙන මල් අතර ද යම් යම් අඩුපාඩු ඇතුවා සේම ඇතැම් දරුවන්ගේ ද උපතින්ම යම් යම් අඩුපාඩු තිබේ. පවුලකට ආබාධ සහිත දරුවන් උපන් විට ඒ දරුවන් සඟවා තැබීමට එක්කෝ කානු පල්ලක, එහෙමත් නැත්නම් වැසිකිළි වළක දමා යාමට තරම් හිත් පිත් නැති දෙමවුපියෝද අපේ සමාජයේ සිටිති. එවන් මිනිසුන් අතර තම කුසින් බිහි කළ දරුවා මලක් මෙන් රැක ගන්නා ඔවුන් වෙනුවෙන් ජීවිත කාලයම කැප කරන අම්මලා තාත්තලා සමුහයක්ම අපට සෙනෙහසේ දී හමු විය. සෙනෙහස යනු විශේෂ අවශ්‍යතා සහිත දරුවන් රඳවා සිටින නවාතැන් පොළක් නොවේ.
සවීණා මා සිත නොසන්සුන් කළාය. ඇය පමණක් නොව සෙනෙහස මධ්‍යස්ථානයේදි ඇස ගැසුණු සෑම දරුවෙක්ම අප හිත් මොහොතකට සසල කළහ.
සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන්නකි. මෙම ආයතනය සුවිශේෂිය. එයින් කෙරෙන සේවාවේ අගය දන්නේ එහි සේවය ලබන්නන්ම පමණී. ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන්ගේ පවුල්වල දරුවන් සඳහා පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ දරුවන් සඳහා අවශ්‍ය සේවාවන් ලබා දෙයි. වැලේ ගෙඩිය වැලට බරක් නොවේ. එමෙන්ම කුමන අයුරින් සිටිය ද බෝසත් අම්මලාට තම දරුවන් බරක් නොවේ. එය සැබෑවක්ම බව වැටහෙන්නේ ආබාධිත දරුවන් වෙනුවෙන් සිය ජීවිත කැප කළ අම්මලා දකින විටය.
“මගේ දූ තමයි සෙනෙහසේ මුල්ම දරුවා. මගෙ දූට දැන් අවුරදු දාහතරයි. මහත්තයා යුද හමුදාවේ සේවය කරන්නේ. දුව ලැබෙන්න ඉන්න කාලේ එයා හිටියේ මන්නාරමේ. ඒ යුද්ධය තිබුණ කාලේ. කරන්න දෙයක් නැහැ මේ අපිට ලැබුණ දේ. මම මෙයාව කවදාවත් තනි කරලා නැහැ. ඇවිද ගන්න බැරි වුණාට කතා කරන්න බැරි වුණාට මෙයා ඕන කෙනෙක්ව අඳුනනවා. මෙහාට ආවාට පසුව දූගේ යම් දියුණුවක් තියෙනවා.” ඒ මව පැවසුවේ රෝද පුටුවේ සිටි දියණිය තුරුලට ගනිමිනි. ජීවිතය දුකක් යැයි කියා හෝ අම්මාගේ හිතේ ගින්දර කොපමණදැයි හෝ නොදන්නා දියණිය අම්මාගේ තුරුලේ සිට අප හා සිනාසෙන්නීය.
සෙනෙහස දරුවන්ට අවශ්‍ය මානසික චිකිත්සාව මෙන්ම ඇතැම් දරුවන්ට වෘත්තීය පුහුණුව ද ලබා දෙයි. පාපිසි සෑදීම, ලියුම් කවර සෑදීම ආදි පුහුණුව ද ලබා දේ. ජීවිත කාලයම රෝද පුටුවකට සීමා වන්නට සිදු වූ, කිසි දෙයක් ගැන දැනුමක් අවබෝධයක් නැති බොහෝ විට මේ සමාජයෙන් කොන්කර තිබෙන මෙවැනි දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අද දවස කැප කරන මිනිසුන් ද එහිදී අපට මුණ ගැසිණි.
ආබාධිත වුවද මේ දරුවෝ සංගීතයට හා රංගනයට ඉමහත් ප්‍රතිචාර දක්වති. සංගීතයෙන් හා රංගනයෙන් ඔවුන්ගේ මනස සුවපත් කිරීමට ලැබෙනුයේ මහත් පිටිවහලකි. මෙහි දරුවන්ට රංග චිකිත්සාව ලබාදෙන්නේ ආචාර්ය රවින්ද්‍ර රණසිංහ මහතාය. ඔහු මේ දරුවන් සඳහා සිය අගනා කාලය කැප කරන්නේය.
“දැනට අපේ රටේ කිසිම විශ්වවිද්‍යාලයක රංග චිකිත්සනය උගන්වන්නේ නැහැ. මානසික ගැටලු, විශාදය, වර්ධන දුබලතා සිට බරපතළ මානසික ආබාධ ඇති අයට මේ රංග චිකිත්සනය ලබාදීම බොහෝම වැදගත්.
වර්ධන අක්‍රමිකතා ඇති අයගේ කැටපත් නිව්රෝන වර්ධනයට රංග චිකිත්සන ක්‍රියාදාමය බොහෝම වැදගත්.” ආචාර්ය රණසිංහයන් පවසයි.
“මේ ළමයාට මුකුත් බැහැ. ගෙදරක පිළිවෙළකට ඉන්න දන්නේ නැහැ. තැනකට ගෙනියන්න බැහැ. කතා කරන්න බැහැ. ඇවිදන්න බැහැ”යනාදී වශයෙන් විවිධ හේතු දක්වමින් නිවෙසක සිටින විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ගෙයි මුළුවල සඟවද්දි දරුවන් කර පින්නාගෙන විත් දවසම ඔවුන් වෙනුවෙන් මහ මඟ ගෙවා දමන අම්මලා තාත්තලා ගැන හිතේ ඇති වන්නේ අප්‍රමාණ වූ ආදරයකි.
“මගෙ දරුවා විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් වුණාට ඔහුට ළඟම පාසල හොඳම පාසලට යන්න සියලු සුදුසුකම් තිබුණා. ඒත් දරුවා පාසලට බාර ගත්තේ නැහැ. ඒ වෙලාවේ සෙනෙහස ආයතනයෙන් තමයි මට සහනයක් ලැබුණේ.” මවක පවසන්නේ හැඬූ කඳුළෙනි.
හෙට ලෝක ළමා දිනයයි. මේ දිනවල සෙනෙහස ආයතනය සුදානම් වන්නේ දරුවන්ගේ දක්ෂතා කරළියට ගෙන ඒමටය. සෙනෙහසේ දරුවන් සමඟ ප්‍රීතිපුර හා කොටගල ළමා නිවාසවල දක්ෂතා දක්වන දරුවෝ ද සිටිති. කොයි මුහුණුවලත් ඇත්තේ සතුටු සිනාය.
දරුවෝ තමන්ගේ ජීවිත තත්ත්වය නොදනිති. උපතේ සිටම ගෙවන ජීවිතය ගැන ඔවුන්ට දුකක් නැත. නමුදු මේ දරුවන් ගැන සිතා දුක් වේදනා විඳින්නේ ඔවුන්ගේ මවුපියන්ය. සදාකාලික දුකෙන් දිවි ගෙවන ඒ අම්මලාගේ තාත්තලාගේ ගින්දර නිවීමට ඉදිරිපත්ව සිටින සෙනෙහස ආයතනය තම සේවාව පිළිබඳ කියන්නේ මෙවැනි කතාවකි.
“මෙම ආයතනයේ සේවා ලාභින් අතර රණවිරු පවුල්වල දරුවන් මෙන්ම සිවිල් පවුල්වල දරුවොත් ඉන්නවා. රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මැතිනියගෙ මූලිකත්වයෙන් තමයි මෙය ආරම්භ කෙරුණේ. බොහෝ අය අපට ස්වේච්ඡාවෙන් උදව් කරනවා. මේ දරුවන්ගෙන් ඇතැම් අයගේ තාත්තලා යුද්දෙන් මියගිහිල්ලා. මෙතැන සේවය ලබන අයගෙන් සියයට අනූවක්ම රණවිරු පවුල්වල දරුවෝ.
මේ දරුවන් වෙනුවෙන් මෙහිදි ජල චිකිත්සනය රංග චිකිත්සනය වැනි විවිධ චිකිත්සක ක්‍රමවේද අනුගමනය කරනවා. එසේම අවශ්‍ය ප්‍රතිකාර වගේම වෘත්තීය පුහුණුවත් ලබා දෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය, සමාජසේවා ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අපත් සමඟ එක්ව සිටිනවා. මෙ දරුවන්ට විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවා.
අප මීට පෙර දුර බැහැර පළාත්වල කඳවුරක් කළා. දෙමවුපිය නොදැනුවත්කම මත හෝ අත්හැර සිටින දරුවන් කරළියට ගේන්න තමයි අපේ සූදානම.
මේ වසරේ ලෝක ළමාදිනය දා සිට ලබන වසරේ ලෝක ළමා දිනය දක්වා අප විශේෂ වැඩ සටහන් මාලාවක් මේ දරුවන් සම්බන්ධයෙන් කරනවා. එහි මූලික පිය වරක් ලෙස අනිද්දා එනම් දෙවැනිදා සවස 6ට බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ‘සංවේදී රංග චිකිත්සන පෙළහර’ නමින් මේ දරුවන්ගේ සහභාගිත්වයෙන් ප්‍රසංගයක් පවත්වනවා. ගිය වසරේදී අප ‘අත් හැරුණු ජීවිත සොයා යමු’ කියලා නුවරඑළියේදී ලෝක ළමා දිනය වෙනුවෙන් වැඩසටහනක් කෙරුවා.” සෙනෙහස ආයතනයේ අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ප්‍රසන්න හෙට්ටිආරච්චි මහතා පවසන්නේය.
එතැන සිටින දරුවන්ට අප සිටින බවට වගක් නැත. ඔවුන් සිටින්නේ සතුටිනි, නැටුමට ගැයුමට සිත යොමු කරගෙනය. ඔවුන් පුහුණුව ලබන්නේ සතුටිනි. සිත එක අරමුණක තබාගත නොහැකි, සිදුවන්නේ කුමක්දැයි යන්න ගැන අවබෝධයක් නැති දරුවන් එක අරමුණක තබා, දෙයක් පුරුදු පුහුණු කිරීම අසීරුය. නමුදු ඒ අභියෝගය ජයගැන්මට ස්වේච්ඡාවෙන් නර්තනය පුහුණු කරණ බ්‍රෙන්ඩන් වෙත්තසිංහ මහතා සමත්ය. ඒ බව වැටහෙන්නේ දරුවන්ගේ නර්තන බලා සිටියදීය. එකම ශාලාවක සිටින දරුවන් ඔවුන්ගේ ලෝකවලය. අත්පා අහිමි සිඟිති දියණිය චිත්‍ර අඳින්නේ මුවෙන් පැන්සල අල්ලාගෙනය. අස්ති බිඳීමේ රෝගයට ගොදුරු වී සිටින දියණියක් හරි අපූරුවට ගී ගයන්නීය.
මේ සියල්ල දකින විට දෛවය ඔවුන්ට කළ සරදම ගැන අපේ සිතේ ඇති වන්නේ කනගාටුවකි. මෙහිදී අපට ද එක්ව කළ හැකි යමක් ඇත. එනම් මේ දරුවන්ටද සමාජයේ ජීවත් වීමට ඉඩක් සලසා දීමය. ඔවුන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් හා වටපිටාවක් සකසාලීමය.
ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු