
කොළඹ යුගයේ විශිෂ්ට කවියෙකු වූ විමලරත්න කුමාරගම කවියාගේ කවි පන්ති අතර හමුවන ‘මායා’ සැබෑ ලොව සැබෑ චරිතයක් බව දන්නෝ ඉතා අල්පය. කුමාරගම කවියා ලියු බොහෝ කවිවලට ඔහුගේ හිත ඇදී බැඳී ගිය මේ දියණිය ‘මායා’ ප්‍රස්තුත විය. විමලරත්න කුමාරගමයන් ගේ කවීත්වයට පෙම්බැඳි උදවියට හා ඔහුට ඇලුම් කරන එම කව් කියවා ඇති රසික ඔබ මේ මායා කවුදැයි නොදන්නවා විය හැකියි. ‘මායා’ යනු කුමාරගමයන් ගේ කවි නිර්මාණවලට නිමිති වූ සැබෑ චරිතයකි. ප්‍රවීණ කිවිවර ඩී.ටී.මල්ලවයන්ගේ දියණිය වන එදා හත් හැවිරිදි මායා අද හැත්තෑ වියැති මිත්තණියකි. මේ අපූර්වත්වයෙන් යුතු ‘මායා’ සොයා සිළුමිණ ඇගේ නිවෙසට පසුගිය දිනෙක ගොඩ වැදුණේ විමලරත්න කුමාරගමයන් හා ඇය ගෙවූ ළමා වියේ රසමුසු තැන්, අත්දැකීම් ඔබ වෙත ගෙන ඒමේ අරමුණෙනි. මේ ‘මායා’ ගේ කතාවයි.
මායා කුමාරගම කවියා වෙත ලියූ කවකට කවියෙන්ම පිළිතුරු ලබයි.
ඔබෙ කවිය හරි හොඳයි
ලියුමක් ද ඒ වගෙයි
කිව යුත්තෙ මතු ඔබත්...
කිවිඳියක වන වගයි...
මෙහි සිට එන විට කාරෙක බැලුවා
හරි ගස්සන්නට කල් යනු දුටුවා
කයි නාවේ ගිය සති අන්තේ
ළඟදීම එමි දන්වා ඔය පැත්තේ...
ඔබහට මෙන් මට නිදහස නැත්තේ
ඇති නම් මා ඔහි හැමදම ඇත්තේ...
අම්මට තාත්ත ට
අයියා හට ද අක්කට
නංගිට ද බැළලි ට
අනේ රිදවනු එපා කිසිවිට
රඹුටන් ගහේ ගෙඩි රන් පෑ ගැහුණා ද?
මට මෙන් තාත්තට අම්මට දුන්නා ද?
‘චුූටි’ ගෙ පූසි තව ගස් උඩ නගිනවද ?
මා මගෙ දුවට එවු ලියමන හොඳ නේද?
කාරෙක නැති නිසා එන්නට බැරිය දුවේ
ඔබ දැකගන්ට බැරිෙයන් හදවත ද දැවේ
ඔබේ ගත සිත හොඳට හොඳ පිළිවෙළට වැඩේ
ජීවත්වනු මැනවි මවුපිය අදර සුවේ.
මගෙ දුව ‘මායා’
ලස්සන හඳකි පායා
ලස්සන රකිනු ඇත...
මගේ දියණිය රසික ‘මායා’
මෙහෙ දැන් මහ වැසි හොඳට වහිනවා
සීතල හින්දා ගිනි ද තපිනවා
මගෙ බල්ලන් ඇඳ ළඟ කැරකෙනවා
අහ අට වැනි දා හවසට එනවා...
• මුලින්ම ඔබ ගැන දැන ගන්න කැමැතියි?
මම ‘මායා.’ මම උපන්නේ 1949 දී. ඩී.ටී.මල්ලව කවියා තමයි මගේ පියා. ඔහු කොළඹ යුගයේ දෙවැනි පරපුර නියෝජනය කළ කවියෙක් මට ‘මායා’ කියල තමයි ගෙදරට කියන්නේ නෑදෑයො, හිතවතුන් හැමදෙනාම මා දන්නේ ‘මායා’ නමින් මොකද ඒ කාලේ අපේ සැබෑ නම් ගමට එළිවෙනවට මවුපියන් කැමැති වුණේ නැහැ. මොකද ඒ නම් ගමේ වෙන අයට තියාවි කියලා.
• එතකොට ‘මායා’ ඔබේ සැබෑ නම නෙවෙයි?
නැහැ. මගෙ සැබෑ නම අංජලී කාන්තිමතී මල්ලව. දැන් කාලේ ඇහෙන නමක් වගේ තරුණයි නේද? (ඇය සිනාසෙයි) තාත්තා කවියෙක් හින්දා ලස්සන නමක් මට දාන්න ඇති.
• විමලරත්න කුමාරගමයන් ගේ කවිවලට ඔබ නිමිති වුණා?
ඔව්. එතුමන් අපේ පවුලට ඉතාම සමීප කවියෙක්. නිතරම අපේ ගෙදර ආවා ගියා. මගේ මවුපියන් හා ඔහු අතර ඉතාම කුලුපග මිතුරුදමක් තිබුණා. ඒ වගේම මගේ අක්කා - යමුනා, අයියා - පාලිත, මම - මායා හා නංගී - චූටි අපි හතර දෙනා සමඟ ඉතාම සමීප බවක් අංකල්ට තිබුණා. එතුමන් අපේ නෑයො නෙමෙයි. නෑදෑයෙකුට වඩා වැඩි බැඳීමක් ඔහු කෙරෙහි අපට තිබුණා.
• ඔබේ පවුලේ තොරතුරු?
අම්මයි, තාත්තයි, අක්කයි, අයියයි, මමයි, නංගියි අපි හය දෙනා තමයි ගෙදර හිටියේ. අපේ ගම් ප්‍රදේශය කෑගල්ල, වැලිමනාතොට. මගේ තාත්තා කවියෙක් වුණත් ඔහු වෘත්තියෙන් කෑගල්ල කච්චේරියේ ලිපිකරුවෙක්. මගේ මවත් රැකියාවක් කළා. අපි පදිංචි වෙලා උන්නේ කෑගල්ල රජයේ නිවාසවලයි.
• ගෙදර කවියට තිබුණු ඉඩකඩ මතකද?
අපේ ගෙදර හැමදාමත් කවීන්ගෙන් පිරුණු තැනක්. තාත්තා, අම්මා, නැන්දා මේ හැමදෙනාටම හොඳින් කවි ලියන්න, කවි කියන්න හැකියාව තිබුණා. ඒ නිසාම දෝ කවියෙක් නැති දවසක් අපේ ගෙදර තිබුණෙ නැහැ. හැමදාම කවීන් ආවා ගියා. ගැවසුණා.
• නිතර ආ ගිය කවීන් කවුරුන්ද?
විමලරත්න කුමාරගම, එච්. එම්. කුඩලිගම, උඳුගොඩ නවරත්න, මාකඳුරේ ගුණවර්ධන, බැන්ටිස් රණවීර, පලන්සුරිය, පී. බී. අල්විස් පෙරේරා. වගේ කවීන් නිතරම ආවා. ඒ අය නුවර යන ගමන් හරි කොළඹට එන ගමන් හරි කෑගල්ලේ අපේ ගෙදරට ගොඩවැදිලා කාලා බීලා යන්න අමතක කළේ නැහැ. අපේ අම්මත් ඕනම වෙලාවක ඒ අයට සංග්‍රහ කරන්නට ලැහැස්ති පිට තමයි හිටියේ.
• එතකොට විමලරත්න කුමාරගම කවියා විශේෂ වන්නේ?
කුමාරගම අංකල් තමයි වැඩිපුරම අපේ ගෙරදට ආව ගිය කවියා. අපි පුරුදුවෙලා හිටියා ජාතික ඇඳුම ඇදගෙන එන අය මාමා ලෙසත් කලිසම් කෝට් ඇදලා එන අය අංකල් ලෙසත් හඳුන්වන්න. ඒ නිසා කුමාරගම අංකල් කියලා තමයි අපි එතුමාට කතා කළේ මොකද ඔහු ඇන්දේ කලිසම, කමීසය, කෝට් එක.
• ඔහු මොනවගේ කෙනෙක් ද?
කුමාරගම අංකල්ව මම දකින කොට මට අවුරුදු හතක් අටක් විතර ඇති. එතුමන් හරිම ලස්සන මනුස්සයෙක් සුදුයි හරි ලස්සනයි. හරිම ප්රතාපවත් පාටයි. ඔහු විවාහ වී සිටියේ නැහැ. දරුවන්ට නම් පුදුමාකාර ආදරයක් දැක්වුවා. ඒකට සාක්ෂි තමයි අපි හතර දෙනා. අපේ ගෙදර හැම සති අන්තෙකම වගේ එනවා.
මට මතකයි ඔහුගේ කාර් එක එන තෙත් මම ගෙදර බංකුවක් තියාගෙන ගලකුත් අතට අරගෙන ඉඳගෙන ඉන්නවා. ඒ කාර් එකේ රෝදේ අඩයට තියන්න...
ඉතින්, ඔහු ගෙදරට ආවට පස්සේ මාව වඩාගෙන නිතර හුරතල් කරනවා. මා ලව්වා කවි කියවනවා. ඔහු හා ගෙවුණු අතීතය හීනයක් වගේ තවම මතකයි.
• ඒ ගැනත් කතා කරමු?
කුමාරගම අංකල් ආපු දවසට අපේ ගෙදර රසම රස සාගරයක් වගේ. ඒ ගැන කියලා වැඩක් නැහැ. මතක් කළත් සතුටක් දැනෙනවා. අපි ගෙවූ අතීතය අද කාලේ දරුවෙකුට හිතන්නවත් බැහැ. (ඇගේ දෙනෙත් කඳුළකින් බොඳවෙයි.) අපේ ගෙදරට එන කවියො ටික එකතු වෙලා පොඩි අඩියක් ගහලා කවි කියනවා. හරියට සතුටු වෙනවා. පුංචි මං ලව්වත් කවි කියවනවා. ඒ අය අඩියක් ගැහුවට අද කාලෙ වගේ නෙමෙයි. කාටවත්ම කරදරයක් නැහැ. බොහොම අහිංසක සතුටක් වින්දේ. ඒ අය කතාබහ කළේ කවිය, සාහිත්‍යය ගැන. මේ නිසා පුංචි අපේ හිත්වලත් කලාවට විශාල ඇල්මක් ඇති වුණා.
• ඔබත් කවි ලිව්වා ද?
මමත් ඉස්සර පුංචිකමට කවි ලියනවා. කවි ගයනවා. මම ඉස්සරෝම කවියක් ලියපු දවස මට අද වගේ මතකයි. කුමාරගම අංකල් මාව වඩාගෙන මගේ තාත්තාට කිව්වා. ‘මල්ලව උඹ හරි වාසනාවන්තයි’ කියලා. මොකද මගේ කවියට කුඩා කල සිටම තිබූ දක්ෂතාව නිසා අංකල්ට සතුටු හිතිලා මට තෑගිත් ගෙනත් දුන්නා. ඩික්ෂනරි එකක් තමයි මට ලැබුණු තෑග්ග. අනෙක මම පාසලේ දී පවා කවි තරගවලින් ජයග්‍රහණය කළා. මට මතකයි මම පොඩි කාලෙ තාත්තගෙ අතේ එල්ලිලා කොළඹ තරුණ කවි සමාජයට යනවා. මට ඕන වුණේ ඒ කාලෙ ප්‍රසිද්ධ කවියෝ දැක බලා ගන්න.
• කුමාරගම කවියාගේ කවීත්වය ගැන කතා කළොත් ?
ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. පුදුමාකාර හැකියාවක් එතුමාට තිබුණා. මගේ තාත්තගේ කවිවලටත් වඩා මම හුඟක් ආස කරන්නේ කුමාරගමගේ අංකල් ගේ කවිවලට. ඒ අතරින් ‘අයියනායක’ කවි පන්තියට මම හුඟක්ම කැමතියි. කුමාරගම අංකල් ප්‍රසිද්ධ කවියෙක් වුණාට වෘත්තියෙන් ඩී.ආර්.ඕ. කෙනෙක් ඔහු සේවය කළේ සංගිලිපාලමේ නාරම්පනාවේ. අපි නිවාඩු කාලයට නාරම්පනාවේ නවතින්න යනවා. ඔහු මේ ප්‍රදේශවල ජීවත් වූ දුක්විඳින ගැමියන් ගැන, සතා සිවුපාවා ගැන හරියට දුක් වුණා. ඒවා තමයි ඔහුගේ අතින් කවි නිර්මාණ බවට පත් වුණේ.
මට මතකයි අපි එහෙ ගිහින් ඉන්න එක වෙලාවක ඉතාම වයසක අම්මා කෙනෙක් ආවා. ඒ අංකල්ට කියලා පින් පඩිය හදවා ගන්න. ඒත් ඒ වෙනකොට පින් පඩිය දෙන්නේ නැහැ. ඇගේ දුක් ගැනවිල්ල අහලා අංකල් ඇඬුවා මොකද අංකල් ඩී.ආර්.ඕ. වුණත්, ඔහුට පින්පඩිය හදවා දෙන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. ඒ ආච්චි යන්න ගියා. මඟක් දුර යන විට මගේ අතට අංකල් සල්ලි දීලා කිව්වා දුවලා ගිහින් මේ මුදල ඇයට දෙන්න කියලා. ඒ වගේ සංවේදී හදවතක් තමයි කුමාරගම අංකල්ට තිබුණේ.
• ඒ වගේම ඔහු සතා සිවුපාවටත් ආදරය කළා?
අංකල්ගෙ නිල නිවාසෙ හැමතැනම හුඟක් සතුන් හිටියා. ගේ ඇතුළේ වැල් ගිහිල්ලා ඒවායේ කූඩු හදාගෙන කුරුල්ලෝ හිටියා බල්ලො, පූසො සත්තු හිටියා උන්ට කන්න දෙන එකමයි වැඩේ ඔහුට අත් උදව්කරුවන් දෙන්නෙක් හිටියා. උයන්න හිටියේ රංහාමි. රංහාමිට නින්ද ගියොත් වැඩ අතපසු වුණොත් කවදාවත් අංකල් කෑගහනව, බැණ වදිනව අපි දැකල නැහැ. හරිම නිවුණු කෙනෙක්.
• ඔබත් කුමාරගම කවියාගේ කවිවලට නිමිති වෙනවා.?
කුමාරගමයන් ලියූ කවි පොත් කියෙව්වා නම් ඔබට “මායා” ගැන දැනගන්න පුළුවන් එතුමන් ගේ “නොපළ කවි” පොත කියෙව්වාම ‘මායා’ ගැන කවි බොහොමයක් ලියැවිලා ඇති. මම ලියුමක් ඔහුට තැපැල් කළාම ඔහුත් ලිපියක් එවනවා. මම විතරක් නෙමෙයි අක්කා, අයියා, නංගි අපි හතර දෙනාම ඔහුට ලිපි ලියනවා. මම තමයි ගෙදර දඟකාරම ගෙදර වෙන හැමදේම මම ලියලා අරිනවා. අක්කා, අයියා එක්ක සණ්ඩු කළත් ඔවුන් මට තරවටු කළත් මම ඒ හැමදේම අංකල්ට ලියලා අරිනවා. කවිත් ලියලා අරිනවා. මේවාට උත්තර කවියෙන්ම ඔහු අපිට ලියලා එවනවා. ඔහු අපේ ගෙදර එනවා නම් අපිට ටෙලිග්‍රෑම් එකක් එවනවා.
• ඔහු එන දවසට ඔබලා මොකද කරන්නේ?
අපිත් කවි ලියාගෙන ඔහු එනතුරු මඟ බලා ඉන්නවා. අම්මා අංකල්ට මස් මාළු එක්ක හොඳ කෑම වේලක් හදලා තියෙනවා. අංකල් කෑමට වාඩිවෙද්දී මමත් පුංචිකමට අංකල්ගේ එහා පැත්තෙන් වාඩිවෙනවා. ඔහු බත් බෙදාගෙන එක මාළුවක් එක්ක තමයි මුලින්ම කන්නේ. මටත් ඒ විදියටම බෙදනවා. සමහර වෙලාවට මම කන්න කැමැති නැති එළවළුත් බෙදනවා. ඒ වෙලාවට මම ඒවා කන්නෙ නැතුව ගිලිනවා. කොහොම හරි අංකල් තමයි අපිට කෑම කන්න උගන්වන්නේ මෙහෙමයි කන්න ඕන කියලා ඒ වගේම මට මතකයි මට පොල්ගාන හැටි පවා දවසක් කියලා දුන්නේ අංකල්. ඒ විදියට පුංචි අපේ අඩුපාඩුකම් පවා අංකල් හැඳුවා.
• ඔහු ඔබට පාසලටත් කවි ලියා එවනවා නේද?
මම ඉගෙන ගත්තේ කෑගල්ල බාලිකා විදුහලේ මගේ උපන්දිනයට මම අංකල්ට කියනවා පාසලට සුබ පැතුම් පතක් එවන්න කියලා. ලස්සන කවියක් ලියලා මට සුබ පතලා පාසලට පෝස්ට් කාඩ් එකක් එවනවා. එවන්නේ විදුහල්පතිතුමිය අතට ඉතින් ප්‍රින්සිපල් මැඩම් අනුලා උදුලාගම මහත්මිය මට කතා කරලා විමලරත්න අංකල් ගැන අහලා බොහොම සතුටින් සුබපැතුම්පත මට දෙනවා. ඉතින් මට හරිම සතුටුයි.
• කුමාරගමයන් දරුවන්ට හුඟක් ආදරෙයි වගේ?
ඔව්. අපි පදිංචිවෙලා හිටියේ රජයේ නිවාසවල. එහෙ එක එක ජාතීන්ට අයත්, විවිධ ආගම් අදහන අයත් අපි හිටපු නිවාසවල ජීවත් වුණා. මේ හැමගෙදරකම වගේ ළමයි අපේ ගෙදර ඇවිත් සෙල්ලම් කරනවා. සෙල්ලම් ගෙවල් හදනවා. මේ දේවල් දිහා අංකල් හොරෙන් බලා ඉන්නවා අපි කියන කරන ඒවාට කන්දීගෙන ඉන්නේ. පස්සේ සෙල්ලම් ගෙදරට නෑයො එනව වගේ අංකල් අපේ සෙල්ලම් බත් කනවා. අපිත් එක්ක සෙල්ලම් කරනවා. අපේ එකමුතු කමට අංකල් හරි ආසයි. මම තමයි ගෙදරින්ම ටිකක් දඟ. ඒ නිසා නිතරම අවවාද දෙනවා. ලියුමක් එව්වත් දඟ වැඩ කරන්න එපා හොඳ වැඩ කරන්න කියලා අවවාද දෙනවා.
• කුමාරගම කවියාගේ අවසන් කාලය ඔබට මතකද?
ඔව්. අංකල් හරියට අඩි ගහනවා. ඒත් කාටවත් හිංසාවක් කරදරයක් නැහැ. මට මතකයි අංකල්ට ලේ වමනය වෙන්න අරන් රෝහල්ගත කර හිටියා. රෝහලටත් මම ගියා ඔහුව බලන්නට. අන්තිමේදී අවුරුදු හතළිස් ගණනකදී ඉතාම අඩු වයසකින් අංකල් මිය ගියා. ඔහුගේ අවසන් කටයුතු සිදු වුණේ නාරම්පනාවේදී අපේ පවුලේ හැම දෙනාම එයට සහභාගී වුණා. මගේ ජීවිතේ මම දැකපු කවියන් අතරින් හොඳම චරිතයක් තමයි කුමාරගම අංකල් ඒ වගේ කරුණාවන්ත, නිහතමානී, සරල මනුස්සයෙක් අඩු වයසින් මිය ගියා කියන්නේ ඒක ලොකු පාඩුවක්. ඔහු මිය ගියාට පසු ඔහු ගැන ඔහු ලියපු කවි එකතු කරලා මගේ පියා සහ හල්දුම්මුල්ලේ සිරිවර්ධන ‘විමලරත්න කුමාරගම නොපළ කවි’ නමින් පොතක් කළා. ඒ වගේම පී.බී. අල්විස් පෙරේරා කවියත් ඔහු ගැන පොතක් රචනා කළා. ඒ වගේ කෙනෙක් ඇසුරු කරන්න ලැබීම මගේ පිනක් ලෙසයි හැමදාමත් මට හිතෙන්නේ.